ලංකා ඉතිහාසය ගැන සඳහන් වන මහාවංසයේ සයවැනි පරිච්ඡේදය ඇතුළත් කරමින් රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බෝදාගම සුමනජෝති හිමියන්ගේ සංස්කාරකත්වයෙන් ලියැවී ඇති මේ පොත මරදාන සමයවර්ධන පොත්හල පෞද්ගලික සමාගම ප්‍රකාශයට පත් කර තිබේ.
මෙරට ජාතික හා ආගමික ඉතිහාසය අඛණ්ඩව පරපුරෙන් පරපුරට දායාද කිරීමේ අරමුණින් විරචිත මහාවංසය සාහිත්‍යමය මූලාශ්‍රයක් වශයෙන් ද ගිහි පැවිදි සැමගේ නිරන්තර අවධානයට යොමුවන කෘතියකි. සීහලට්ඨකථා මහාවංසය ඇසුරුකොට පාලි පද්‍යයෙන් විරචිත මෙම කෘතිය ජාතික හා ශාසනික ඉතිහාසය මතුකර ගැනීමෙහිලා පමණක් නොව භාෂාඥානය හා සාහිත්‍ය ඥානය දියුණුකර ගැනීමට ද උපකාරී වන්නකි. පිරිවෙන් අවසන් විභාගයට සූදානම් වන විද්‍යාර්ථීන් වෙනුවෙන් සැකසී ඇති මෙම සයවැනි පරිච්ඡේදය එහි පාලි පෙළද අන්වය හා සිංහල භාවාර්ථයන් මෙන් ම ව්‍යාකරණ හා විස්තර විවරණයන්ගෙන් යුතුව ලියැවී තිබේ.
සිංහබාහු කතන්දරය සමඟ විජය කුමාරයා ලක්දිවට පැමිණීමේ විස්තරය ගෙන ඒම මෙම පරිච්ඡේදයේ ප්‍රධාන අරමුණ වී තිබේ.