
ගිය වසරේ මාර්තු මස එකොළොස් වැනි දා රත්නපුර පොලිසියට පැමිණියේ බළන්ගොඩ වෙසෙන සෝමාවතී නමැති වයෝවෘද්ධ කාන්තාවකි. ඇගේ දුක්අඳෝනාවෙන් කියැවුණේ මෙවැන්නකි.
“මගේ බාල කොල්ලා... දැන් ටික දොහොක ඉඳන් ආගිය අතක් නෑ... ඌට මොකද වුණේ කියල කිසිම කෙනෙක් දන්නෙ නෑ... අනේ මගේ කොල්ලා කොහොමහරි හොයලා දෙන්න සර්...“ ලැබුණු පැමිණිල්ල පොලිස් පොතේ සටහන් විණි.
ඊට දින කීපයකට පසු තවත් කාන්තාවක් මාර්තු විසිපස් වැනි දා නැවතත් එම දුක්ගැනවිල්ලම බළන්ගොඩ පොලිසියටද ඉදිරිපත් කළාය. ඇය චන්ද්‍රකාන්ති නමැති කාන්තාවකි. ඇය කියා සිටියේ මෙවැන්නකි.
“මගේ මල්ලි රුවන් කුමාර... පසුගිය පෙබරවාරි 08 වැනි දා අන්තිමට ගෙදරින් ගියේ... එදා ඉඳන් අතුරුදන්... දැන් මල්ලිට වෙච්ච දෙයක් නෑ...“
ඇගේ දුක්මුසු පැමිණිල්ලද බළන්ගොඩ පොලිස් පොතේ සටහන් විය. එහෙත් මාස ගණනාවක් ඉක්ම ගියද බළන්ගොඩ පොලිස් පැමිණිල්ල හෝ රත්නපුර පොලිස් පැමිණිල්ල සම්බන්ධව සාධාරණයක් ඉටු වන වගක් නොපෙනිණි. සෝමාවතී අම්මාට තම පුත්‍රයා සම්බන්ධවත් චන්ද්‍රකාන්තිට සිය සහෝදරයා සම්බන්ධවත් කිසිදු තොරතුරක් ලැබුණේ නැත. ඒ අතරේ නොයෙක් කතාන්දරද පැතිර ගියේය.
අතුරුදන් බවට පොලිස් පොතේ ලියැවුණු රුවන් කුමාර 29 හැවිරිදි තරුණයෙකි. බළන්ගොඩ, උඩකන්ද, වෙලේගොඩ විසූ රුවන් තේ දලු නෙළීම ඇතුළු නොයෙක් රැකියාවල නිරත වෙමින් විසුවෙකි. සහෝදර, සහෝදරියන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සා රුවන්ය.
2013 වසරේදී රුවන්ට රත්නපුර, බටේවෙල, ගන්ගොඩගම වෙසෙන ප්‍රියදර්ශනී මුණගැසෙන්නෙ අහම්බෙනි. ඒ ප්‍රියදර්ශනීගේ යෙහෙළියකගේ දුරකතනයේ තිබූ අංකයක් රුවන් කුමාරට ලැබීමෙන් ඇති වූ කතාබහ ප්‍රේම සබඳතාවක් දක්වා දුරදිග යෑමෙනි. අනතුරුව වසර කීපයකට පසු දෙදෙනා නීතියෙන් එක් නොවූවත් එකම වහලක් යට වෙසෙන්නට වූහ. ඒ ප්‍රියදර්ශනීගේ වෙලේගොඩ නිවෙසේය. ඒ අතරේ දෙදෙනාට දාව දරු පැටියෙකුද මෙලොව එළිය දුටුවේය. රුවන් කුමාර වෙනත් නිවෙසක ජීවත් වන බව ඔහුගේ ඥාතින්ට සැල වූයේ රුවන් අතුරුදන් වූ පසුවය.
රුවන් 2018 පෙබරවාරි 8 වැනිදා සවස් යාමයේ මාපියන්ගේ සුවදුක් විමසා බළන්ගොඩ මහගෙදරින් නික්මි වෙලේගොඩ නිවෙසට ගියේය. ඒ රුවන් ජීවිතයේ අවසන් වරට මාපියන්, සහෝදරියන් දැකීමට බළන්ගොඩට ගිය ගමන බව ඔවුන් දැන සිටියේ නැත. එදින සිට රුවන් අතුරුදන් වූයේය. ආගිය අතක් නැති ඔහු ගැන සොයා බලන්නට ඔහුගේ මාපියෝ සහ සහෝදරියෝ සෑම විටෙකම උනන්දු වූහ.
එහෙත් තම සහෝදරයාට, පුත්‍රයාට සිදු වූයේ කුමක්ද යන්න නීතියේ පිහිට පතමින් රුවන්ගේ මව සෝමාවතී සහ සහෝදරිය චන්ද්‍රකාන්ති පැමිණිලි කර තිබුණේ රත්නපුරට සහ බළන්ගොඩ පොලිස් ස්ථානවලටය. එහෙත් එම පැමිණිලි කිසිවකට සාධාරණයක් නොවූයෙන් රුවන්ගේ තවත් සහෝදරියක වන ස්වර්ණා පුෂ්පකුමාරි පසුගිය ජූලි 11 වැනි දා කොළඹ පොලිස් මූලස්ථානයේ පිහිටි පොලිස්පති සහන මැදිරිය වෙත පැමිණියේ තම සහෝදරයාගේ අතුරුදන්වීම පිළිබඳ කිසියම් හෝ සහනයක් බලාපොරොත්තුවෙනි.
ඊට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වමින් පොලිස්පති සහන මැදිරියට ලැබුණු පැමිණිල්ල යොමු කෙරුණේ රත්නපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා වෙතටයි. පොලිස් අධිකාරිවරයා ඍජු අධීක්ෂණය මත පැමිණිල්ල යොමු කෙරුණේ රත්නපුර නීතිය බලගැන්වීමේ ඒකකය වෙතය. එහි ස්ථානාධිපති ලයනල් ඇතුළු කණ්ඩායම පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කළේය.
රුවන්ගේ අතුරුදන් වීම ගැන දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මුලින්ම පසුගිය දෙවැනිදා විජේනායක නමැත්තෙක් අත්අඩංගුවට ගැනිණි. පසුව ලලන්ත, ඔහුගේ බිරිය උදේනි මාලා සහ, සමන් කුමාර හෙවත් ලොකු සමන් යන තිදෙනා සම්බන්ධ බවත් හෙළි විය. දැන් ඔවුන් පසුවන්නේද පොලිස් අත්අඩංගුවේය.
පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ වන විට රුවන් කුමාරට වූයේ කුමක්ද යන්න සැකකරුවන්ගෙන් අනාවරණය වී අවසානය. ඒ අනාවරණයන්ට අනුව සිදු වී තිබුණේ මෙවැන්නකි.
ගිය වසරේ පෙබරවාරි 08 වැනිදා බළන්ගොඩ මහගෙදරින් නික්මුණු රුවන්, වෙලේගොඩ නිවෙසට පැමිණීමෙන් පසු ප්‍රියදර්ශනී රුවන් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබිණි. එදින ප්රියදර්ශනීලාගේ නිවෙස ආසන්නයේ වූ සාලියගේ නිවෙසේ ඔහුගේ දියණිය වැඩිවිය පත් වීම පිළිබඳ වූ ප්රියසාදයකි. ප්‍රියදර්ශනී සහ රුවන් අතර බහින්බස් වීම සිදු වන අතර ප්‍රියදර්ශනීගේ මව සාලියගේ නිවෙසට දිව ගොස් ඒ බව පවසා තිබුණාය. ඊට ප්‍රතිචාරයක් ලෙසින් ප්‍රියසාදයට එක්ව සිටි පහළොවක, විස්සක පමණ පිරිසක් දිවගොස් තිබුණේ රුවන්ගේත්, ප්රියදර්ශනීගේත් අඬදබරය විසඳීමටය. ඒ මැදිහත් වීමෙන් පසුව සිදු වුණේ ඒ පිරිස නොසෑහෙන ලෙස රුවන්ට පහර දීමය.
“සර්.. අපි රුවන්ට හොඳටම ගැහැව්වා. පොලුවලින් පමණක් නෙවේ අහුවෙන අහුවෙන එකෙන් ගැහැව්වා. අන්තිමට රෙදි ගලවලා ගැහැව්වා... ඊට පස්සෙ බිම දාගෙන ඇදගෙන ගියා.... මීටර් පනහක් පමණ ඈතින් තියෙන ගමේ ප්‍රධාන පාරටම. ගෑනුත් ආවා රුවන්ට ගහන්න... “ඒ අත්අඩංගුවේ පසු වන සැකකරුවකුගේ පාපෝච්චාරණයකි.
මරණාසන්න තුවාල ලත් රුවන් මාර්ගයේ වැටී සිටියදී ඒ අසලින් ගොස් තිබුණේ කොළඹ රැකියාවට ගොස් ප්‍රියසාදයට සහභාගි වීමට ගමට එමින් සිටි රුවන්ගේ බිරියගේ වැඩිමහල් සහෝදරයා වන විජේනායකයි. ඔහු තම මස්සිනා වැටී සිටින අයුරු දුටුවත් කිසිවක් නොවිමසා නිවෙසට ගොස් සැණින් පැමිණියේ ප්‍රියසාදයට එක් වීමටය. එහෙත් විජේනායක නිවෙසේ සිට පැමිණෙන මොහොතේ රුවන් එම ස්ථානයේ නොසිටියේය.
ප්‍රියසාදයට සහභාගි වී කා-බී පැයක පමණ වේලාවක් එම ස්ථානයේ සිටි විජේනායක නැවතත් පැමිණ තිබුණේ මාර්ගයටය. ඔහු සිය මස්සිනා ගැන ඒ මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි ලොකු සමන් නමැත්තාගෙන් විමසා තිබුණේ, “කෝ... අර යකා... පාරේ වැටිලා හිටියනේ... දැන් නෑනේ...“ යනුවෙනි.
පසුව දෙදෙනා විසින් මුලින් රුවන් වැටි සිටි ස්ථානයට මීටර් තුන්සියයක් පමණ එපිටින් මාර්ගය අසල ඉදි කරමින් පවතින නිවෙසක් ඉදිරිපිට වැටි සිටි රුවන් දුටුවේය. දෙදෙනා විපරම් කොට බැලුවත් ඒ වන විට රුවන් මෙලොව හැර ගොස් සිටි බව දෙදෙනාටම ඒත්තු ගියේය.
රුවන්ට පහර දීමට සම්බන්ධව සිටි බවට පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන සිටින පොඩි සමන්, බණ්ඩාර, කපිල සහ ලලන්ත යන සිවුදෙනා ඒ මොහොතේ එම ස්ථානයට පැමිණියේය. ඔවුනට විජේනායක කීවේ, “ඒයි මේ යකා මැරිලනේ“යනුවෙනි.
“මැරිල නම් වළ දාමු... මං දන්නවා තැනක්... එතැනට ගෙනිහින් වළලමු....“ ඒ පොඩි සමන්ගේ පිළිතුරයි.
ඔවුන් සියලු දෙනා තීන්දු කොට තිබුණේ ඊට කිලෝමීටර් අටක් පමණ ඈතින් පිහිටි හෙට්ටිකන්දෙ කරුවලකැලේ නමැති රක්ෂිත වනයට ගොස් රුවන්ගේ නිසල සිරුර පොළොවට පස් කිරීමටයි.
අනතුරුව කපිලගේ ත්‍රිරෝද රථයෙන් විජේනායක සහ කපිල ගොස් තිබුණේ කරුවලකැලේට ළඟපාත තේවත්තකින් උදැල්ලක් සොයා ගැනීමටයි. පොඩි සමන්, බණ්ඩාර සහ ලලන්ත තිදෙනා ඩීසල් ත්‍රීරෝද රථයක බක්කියට පටවාගත් රුවන්ගේ සිරුර රැගෙන කරුවලකැලේ රක්ෂිතය මායිමට ගියහ. පසුව තිදෙනා මහ කැලයේ පා ගමනින් කිලෝමීටර් දෙකහමාරක් පමණ ඝන අන්ධකාරයේ අතිදුෂ්කර ගමනක යෙදුණාහ. ඒ රුවන්ගේ සිරුර කරේ තබාගෙනය.
උදැල්ල රැගෙන ආ විජේනායක සහ ලලන්ත පැය කීපයක් ගතකොට වළක් කපා රුවන්ගේ සිරුර දමා යට කළහ. ඔවුන් වළ උඩින්ම ගලක් තැබීමට අමතක නොකළේ කිසියම් සලකුණක් ලෙසිනි.
එදා සිදු කළ එම අපරාධයේ සුලමුල වසර එකහමාරකට අධික කාලයකට පසු මේ වන විට අනාවරණය වී අවසානය. සැකකරුවන්ගේ පාපෝච්චාරණයන් අනුව රුවන්ට මෙවන් අපරාධයක් කිරීමට දායක වූ 20කට ආසන්නට පිරිසක් සිටින බවට හෙළිවේ.
පසුගිය හතර වැනිදා රක්ෂිත වනයට ඇතුළු වූ රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මියගේ නියෝගයක් අනුව රත්නපුර ශීක්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ එම් කුඩාගම මහතාගේ අධීක්ෂණයෙන් රුවන්කුමාර සිරුර ගොඩ ගැනිණි.
ඡායාරූප - එන් පී.රාජදොරේ රත්නපුර විශේෂ වාර්තාකරු