
මට කාලෝ එක්ක මුලින් කතා කරන්න අවස්ථාව ලැබුණේ අපි ඉගෙන ගත් කොළඹ වෛද්‍ය පීඨයේදී නෙවෙයි. කාලෝට MBBS විභාගයට පළමු පන්තියේ උපාධියක් ලැබුණා. ඔහුගේ කණ්ඩායමෙන් කාලෝටත් තවත් එක් අයකුටත් විතරයි පළමු පන්තියේ උපාධියක් ලැබුණේ. ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිටින කාලයේ නතර වෙලා හිටියේ වෛද්‍ය ශිෂ්‍යයන්ට තියෙන නේවාසිකාගාරයේ. කොළඹ හත කේරි කොලේජ් එකට අල්ලපු තට්ටු තුන හතරක් තියෙන ගොඩනැගිල්ල තමයි ඒ නේවාසිකාගාරය.
පළමු පන්තියේ උපාධියක් ලැබුණු නිසා ඒ කාලේ මහාචාර්ය රාජසූරියගේ වාට්ටුවේ කාලෝට නේවාසික අවුරුද්ද ගත කරන්නට ලැබුණා. ඒ වාට්ටුවේ නේවාසික පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබෙන්නේ පළමු පන්තියේ උපාධියක් ලැබුණු කෙනෙකු විතරයි. ඔහු නේවාසික පුහුණුව ගත කරන අවස්ථාවේදී තමයි මට කාලෝව මුලින්ම මුණගැහුණේ. පළමු පන්තියේ උපාධියක් ලැබුණු කෙනෙකු අපි දෙවි කෙනෙක් හැටියට සලකන්නේ. එදා මම ගිහින් එයාව මුණ ගැහිලා අතට අත දීලා සුබ ප්‍රාර්ථනා කළා.
මට වැඩිය අවුරුදු තුනයි ඔහු ජ්‍යෙෂ්ඨ. ඔහු වෛද්‍ය පීඨයේ ඉන්න ඇති. නමුත් කාලෝ ෆොන්සේකා කැපිලා පෙනුණේ නෑ. පළමු පන්තියේ උපාධියක් ලැබුණාම ඉතින් අප මුණ ගැහෙන්නම ඕනනේ ඒ උපාධිය ගත් කෙනාව.
කාලෝ මුලින්ම වැඩ කළේ බිංගිරිය රජයේ රෝහලේ. එහි අවුරුදු ගණනාවක් සේවය කළා. ඔහුගේ පෙම්වතිය වුණු පර්ලි සමඟ ඔහු විවාහ වුණේ ඒ කාලෙදී. රෝහලකට සේවය කරනවාට වැඩිය ඔහුගේ කැමැත්ත තිබුණේ වෛද්‍ය පීඨයකට බැඳෙන්න කියන එක මගේ අදහස. මොකද කාලෝ ෆොන්සේකයි මායි, අපි දෙන්නම අදහපු චරිතයක් තමයි මහාචාර්ය සේනක බිබිලේ.
ආචාර්ය උපාධිය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන්
ලෝකයේ තියෙන විශ්වවිද්යාවලවලින් ඉතාම පැරණි, ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය උපාධියක් කරන්න කාලෝට වරම් ලැබුණා. උපාධිය සම්පූර්ණ කර ශ්‍රී ලංකාවට ආවාට පසු කොළඹ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස පත් වීම් ලැබුවා. මම MBBS උපාධිය ලබාගත්තේ 1962 වර්ෂයේ.
සමීපතමයෝ
අප දෙන්නාටම තිබුණේ අධ්‍යයන කටයුතු අංශයෙන් කටයුතු කිරීමේ නැඹුරුවක්. උගන්වන්නත් ලොකු ආශාවක් අපට තිබුණා. 1969දී වෛද්‍ය පීඨයේ ජූනියර් ලෙක්චර් කෙනෙකු හැටියට තේරී පත් වුණා. කාලෝයි මායි ඉතාම හොඳින් සමීප වුණේ ඒ කාලේදියි. ඒ කාලේදී කාලෝ මට බොහෝ දේ ඉගැන්නුවා. ඒවා වෙන කාටවත් උගන්වන්න බෑ. එයාට විතරයි උගන්වන්න පුළුවන්. ඒකට හේතුව ඔහු ප්‍රායෝගිකව ඒවා දැන සිටීම.
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සුවිශේෂි දැනුමක් කාලෝට තිබුණා. වෛද්‍යවරයකු විදිහට අප හැසිරිය යුත්තේ කොහොමද කියලා අපට කියලා දුන්නේ කාලෝ. ඒ නීති රීති ගැන පොත පත් තියෙනවා. නමුත් කාලෝ වෛද්‍ය වෘත්තීය ගැන එක වචනයක් කිව්හම එහි සියල්ලම ගැබ්වෙලා තියෙනවා. යමක් කියලා දෙන විට හිතට කා වදින ලෙස කියා දෙන්නට ඔහුට පුදුම හැකියාවක් තියෙනවා.
සමහර දේශකයන් තම දේශනවල පැමිණීම ලකුණු කරනවා. කාලෝ ලකුණු කරන්නේ නෑ පැමිණීමේ ලේඛනය. සිසුන් ඔක්කොම ඔහුගේ දේශනයට එනවා. සිසුන් කිසිම සද්දයක් නැතුව කාලෝගේ දේශනය අහගෙන ඉන්නේ. ඔහුගේ දේශනවල හාස්‍ය රසයත් තියෙනවා.
ඉංග්‍රීසි සහ සිංහල ගුරුවරයා
ඉංග්‍රීසි භාෂාව ඔහු මට ඉගැන්නුවා; මම ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයෙන්. ඒ කාලෙත් අපි ඉංග්‍රීසි ටිකක් දන්නවා කියලා හිතාගෙන හිටියේ. නමුත් කාලෝගෙන් ලැබුණු ඉංග්‍රීසි දැනුම බොහොම ශ්‍රේෂ්ඨයි. දේශන ශාලාවක් දේශනයක් දෙන්නේ කොහොමද කියල ඉගැන්නුවා. දැනුම තිබුණාට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තේරෙන භාෂාවෙන් විග්රහ කිරීම, ඒ අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා විශේෂ දක්ෂතාවක් තියෙන්න ඕනෑ. මම කරන දේශනවලදී කාලෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක වාඩි වෙනවා. මගේ දේශනයේ අඩුපාඩු ලියාගෙන ඇවිත් ඒවා මට කියලා දෙනවා. සමහර වේලාවට ඔහු බොහොම සැරෙන් කියනවා. ඉතින් කේන්තිත් යනවා. දරාගෙන ඉන්නවා අපට වැඩිය ජ්‍යෙෂ්ඨ කෙනෙක් නිසා.
පුදුම වෙන්න එපා, ඉංග්‍රීසි භාෂාව වගේම මට සිංහල භාෂාව කියලා දුන්නෙත් එයා. මට ඒවා කියා දෙන්න පෙර ඒ භාෂා දෙකේම දැනුම තිබුණා. ඒත් විශේෂත්වයක් තිබුණේ නෑ. ඒ භාෂා හැසිරවීමේ විශේෂත්වය ආවේ ඒ කාලෝගේ ඉගැන්වීම් නිසා. මම ලංකාදීප පත්තරේට ලියනවා ඔබ දන්නවා. ඒ ලිවීමේ හැකියාව ලැබුණේ කාලෝගෙන්. ඒවා සල්ලි දීලවත් පොතකින්වත් ලබාගන්න බැරි දේවල්.
ශිෂ්‍යන් 60000කට ඉගැන්වූ ගුරුවරයෙක්
පශ්චාද් උපාධි වෛද්‍ය ආයතනයේ (Institute of Postgraduate Medicine) ශිෂ්‍යයන්ටත් කාලෝ දේශන පැවැත්වුවා. අවුරුදු ගණනාවකට පස්සේ මාත් ඔහුගේ ඒ ගමන් මඟ ගමන් කළා. පශ්චාද් උපාධිධාරීන්ට කාලෝ ලබා දුන්නු සේවය වෙනුවෙන් ගෞරවනීය තනතුරක් ඔහුට පිදුවා. විභාගයට වාඩිවෙලා සමත් වෙනවාට වඩා ඒ පිදුම් ලැබූ තනතුර බොහොම ඉහළයි. College of General Practitioners of Sri Lanka ආයතනයෙනුත් කාලෝට ගෞරව තනතුරක් හිමි වුණා. ඒවා සියලු දෙනාටම හිමි වෙන සම්මාන නෙවෙයි. කාලයක් එම ආයතනවලට කළ සේවයට ගරු කිරීමක් වශයෙන් ඒ තනතුරු ලැබෙන්නේ.
කාලෝ අවුරුදු හතළිහක් තුළ ආසන්න වශයෙන් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 48,000කට උගන්වලා තියෙනවා. ඊට වැඩි මිසක් අඩු නෑ. ඔහු උගන්වා තියෙන පශ්චාද් උපාධි ශිෂ්‍යයන් ගණනත් 12,000ක් විතර ඇති. ඒ අනුව ඔහු ශිෂ්‍යන් 60,000කට විතර උගන්වලා ඇති.
1971 වසරේදී මම පශ්චාද් උපාධිය ලබාගන්න එංගලන්තයට ගියා. ඒ නිසා අවුරුදු තුනක් විතර කාලොගෙන් ඈත් වුණා. ඒත් අපි ලියුම්වලින් දිගටම සම්බන්ධ වෙලා හිටියේ.
විෂයන් කිහිපයක්ම ගැනම කාලෝට තිබුණේ විශාරද දැනුමක්. ඒ විශාරද දැනුමටත් වඩා වඩා ඔහුගේ හදවත ඒ විෂයන්වල තිබුණා. ඔහුගේ සම්පූර්ණ පෞරුෂය දිහා බලනකොට මට පේන්න තිබුණු ලොකු දේ ඒක.
දේශපාලන වේදිකාවේ පුදුම සහගත කථිකයා
සේනක බිබිලේ මහාචාර්යවරයාගෙන් කාලෝටත් මටත් ආභාසය ලැබුණා. කාලෝ ෆොන්සේකා ලංකා සම සමාජ පක්ෂයේ පූර්ණ කාලීන සාමාජියකයෙක් විදිහට කටයුතු කළා. පක්ෂයේ මධ්‍යම කමිටුවේත් ඡන්ද විමසීම් කමිටුවේත් සාමාජිකත්වය දැරුවා. ඔහු මිය යන තුරුම ලංකා සම සමාජ පක්ෂයට විශ්වාසවන්තව හිටියා. අනෙක් අය වගේ පක්ෂයෙන් පක්ෂයට පැන්නේ නෑ. තමන්ට මතයක් තිබුණා, ඒ මතයට ගරු කරලා කටයුතු කළා.
විජය කුමාරතුංග මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ එකතු වෙලා ශ්‍රී ලංකා මහජන පක්ෂය නිර්මාණය කළා. මමත් එහි සාමාජිකත්වය ගත්තා. විජය කුමාරතුංග මැතිතුමාගේ ඡන්ද රැස්වීම්වලත් කතා කරලා තියෙනවා අපි. හොඳට මතකයි මම කලෝයි මායි උතුරු මැද පළාතේ ඡන්ද රැස්වීමකට ගියා. මගේ කාර් එකේ ගියේ. අපි එහි ප්‍රචාරණ රැස්වීම්වලදී දේශන පැවැත්වුවා. ඡන්ද ගණන් කරන්න පටන් ගන්නකොට අපි ගෙදර එන්න පිටත් වුණා. අපි ගෙදර එනකොට අපි නියෝජනය කරපු පාර්ශ්වය පැරදිලා.
ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂයත් එක්ක අපේ ලොකු මිත්‍රත්වයක් තිබුණා. ඒ නිසා අපි ඒ අයගේ මීටින්වලට යනවා. එයාලා අපේ මීටින්වලට එනවා.
කාලෝගේ දේශපාලන කතාත් පුදුමයි. රැස්වීම්වල මගේ කතාව ඉවර වුණාම යන්තම් අත්පුඩියක් වැදෙනවා. කාලෝගේ කතාව ඉවර වුණාම මිනිස්සු හිනා වෙනවා. අත්පුඩි ගහනවා විනාඩි දෙකක් තුනක්. ඉතින් අපි දන්නවා කවුද හොඳටම කතා කළේ කියලා.
මත්ද්‍රව්‍ය හා දුම්වැටි පිළිබඳ ජාතික අධිකාරියෙහි පළමු වැනි සභාපතිවරයා ලෙස පත් වුණෙත් කාලෝ. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඔහු පත් කළේ. අපේ රටේ මත්පැන් පානය සහ දුම්පානය වැළැක්වීමට කාලෝ කැප වීමෙන් වැඩ කළා. සෞඛ්‍ය අමාත්‍යංශ මඟිනුත් කාලෝම පාසල්වලට යම් යම් ආයතනවලට ගිහින් දේශන පවත්වමින් විශාල සේවයක් කළා. ඒ වගේම විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ සාමාජිකයෙකු විදිහට අවුරුදු ගණනාවක් කටයුතු කළා.
දවස් 10ක් ගිනි පෑගුවේ විශ්වවිද්‍යාලයේදී
කාලෝ ඒබ්‍රහම් ටී. කෝවුර්ගේ යථාර්ථවාදී සංගමයේ (Rationalist Association of Sri Lanka) ප්රමුඛ සාමාජිකයෙක් වුණා. කාලෝ ෆොන්සේකා තමයි මාව යථාර්ථවාදීත්වය Rationalism කියන වචනයේ පරිසමාප්ත අර්ථය වෙත යොමු කළේ. ඒ කියනනේ යථාර්ථවාදී වීමේ වැදගත්කම කියලා දුන්නේ කාලෝ. යථාර්ථවාදී අදහසක් නැතුව කොයි තරම් වචන ප්‍රකාශ කරනවාද කියලා ඒ අදහස තේරුම් ගත්තාට පසුවයි මට තේරුණේ. ඒබ්‍රහම් කෝවුර්ගේ රැස්වීම් කිහිපයකටම මම කාලෝ එක්ක ගියා.
ගිනිපෑගීම හාස්කමක් නෙවෙයි කියලා පෙන්වන්න කටයුතු කළේ කොළඹ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශන ශාලාවේ. අපි එයට සහභාගී වුණා. කාලෝ කළේ ගිනිපෑගීමට පාවිච්චි කරන දර මොනවද කියලා හෙවීම. ඒ දරම මේ කටයුත්තට යොදා ගත්තා. හරක් මස් කාලා ගිනි පෑගීම කළ නොහැකි බවත් මැණික් ගඟෙන් නෑමෙන් පසුව මේ කටයුත්ත කළ යුතු බවත් විශ්වාසය වුණේ. ඒ වගේම මත්පැන් පානයත් ගිනිපෑගීම කරන අයට තහනම් වුණු දෙයක්.
දේශන ශාලාවේ ගිනිපෑගීමේ වළ හැදුවා. එහි දර පිච්චුවා. උෂ්ණත්වය මැන්නා. ගිනි පෑගීමට සහභාගී වුණු අයට අරක්කු ටිකක් බොන්න දුන්නා. මස් කෑලි දෙක තුනක් කන්නත් දුන්නා. දැන් ඇවිදින්න කීවහම ඔවුන් ගිනි මත ඇවිද්දා. එක්කෙනෙකුවත් පිච්චුණේ නෑ. ගිනි පෑගීම දවස් දහයක් දිනපතාම කළා. ඒ දිනවල වෛද්‍ය පීඨයේ ප්‍රදර්ශනයක් තිබුණා. නරඹන්නන් ආවේ ප්‍රදර්ශනය බලන්න නෙවෙයි ගිනිපෑගීම බලනන්යි. මාධ්‍යයෙන් ඇවිත් හිටියා. බීබීසී එකෙන් වැඩසටහනක් කළා. නාලා ගිනිපෑගීම කරන්නේ. වතුර පිටින් යන්නේ. අනෙක ඇවිදින්නේ එක්තරා ක්‍රමයකට. විද්‍යාත්මක ඒ තත්ත්වය කාලෝ පෙන්නුවා. ගිනිපෑගීම පෙන්වීමට විරුද්ධව විශාල විරෝධයක් ආවා. දුරකතනයෙන් කාලෝට බැන්නා.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස වසර ගණනාවක් කටයුතු කළා. එදා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නීතිමය ගැටුම් තිබුණා. ඒ ගැටුම් සමථයකට පත් කළා. ප්‍රථම වරට ඒ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස පත්වීම් ලැබුවේ කාලෝ ෆොන්සේකා. ඒ කාලයේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව විශාල කලබලයත් තිබුණා. නමුත් කාලෝට පුළුවන් වුණා සාර්ථක විදිහට ඒ ගැටුම් විසඳන්න. කාගේවත් පැතිගන්නේ නැතුව සාධාරණ විදිහට කාලෝ ඒ ගැටුම විසඳුවේ.
මත ගැටුණු එකම තැන
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ කාලෝටවත් මටවත් කිසිසේතම සෑහීමකට පත් වෙන්න බැරි වුණේ ඒ කාලේදී වෛද්‍ය ශිෂ්‍යන්, වෛද්‍යවරුන්, විශාල පිරිසක් ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වුණා. සයිටම් ප්රශ්නය මතු වුණු කාලයේ මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙක් . සයිටම් එක ගැන කාලෝට තිබුණු අදහස් එක්ක මම එකඟ වුණේ නෑ. අපේම රටේ ළමයින් ගැනයි මම කතා කළේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් සියලු දෙනා ඉදිරියේ මම එය ප්‍රකාශ කළා. අපි දෙන්නාගේ අදහස්වල විරුද්ධතාවක් තිබුණේ සයිටම් ප්රශ්නයේදී පමණයි.
වෛද්‍ය සභාවේ තීන්දුව වුණේ සයිටම් අහෝසි කිරීමයි. දැන් සයිටම් ප්රශ්නය පිළිබඳ ගොනු කළ නඩු තුනෙන්ම තීන්දුවලින් පේන්නට තියෙන්නේ මම හිටපු මතය හරි කියලා.
මඟුල් ගෙදරක නැතුවම බැරි සිංදුව
කාලෝ සෞන්දර්යවාදියෙක්. කලාවට ළැදියි. ඔහු මතකයේ රැඳිලා තියෙන ගීත ලියලා තියෙන හැටි බලන්න. රත්තරං දුවේ ගීතය වාදනය නොවන අද සිංහල මඟුල් ගෙයක් නැති තරම්නේ. රුදුරු තුරු වදුලේ... වැනි කාලෝ ලියූ ගීත සියල්ලම හැඟීම්වලින් පිරිලා. ඔහු ඒ සඳහා පුහුණුව ලබලා නෑ.
කාලෝ තරම් බහුශ්‍රැතයෙකු මම වෙන දැකලා නෑ. ඔහුගේ මරණය අපේ රටට සිදු වුණු ලොකු අඩුපාඩුවක්. මරණය කාටත් පොදුයි. ඒක වළක්වන්න බෑ. ඒත් ශ්‍රී ලංකාවට සම්පතක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේ විවිධ විෂයන් පිළිබඳ පරිණත වුණු තවත් පුද්ගලයෙකුගේ නමක් මට මතක් වෙන්නේ නැති තරම්.
ඡායාරූප- චින්තක කුමාරසිංහ