
9/11 හෙවත් මනුෂ්‍යත්වයේ මළගම (1 කොටස)
2001 වසරේ සැප්තැම්බර් මස 11 දින ඇමරිකාවේ බොස්ටන්හි අන්තර්ජාතික ගුවන්තොටුපළින් උදෑසන 7.45ට ගුවන්ගත වූ ඇමරිකන් එයාර් ලයින් ගුවන් සමාගමේ බෝයිං 767-223 ER මඟී ගුවන් යානය ටිකින් ටික ඉහළ අහසට එසවෙමින් තිබිණි. මඟීන් 151 දෙනෙකුට ආසන පහසුකම් තුබූ එම යානයේ එදින ගමන් කළේ 81 දෙනෙකු පමණි. එම මඟීන් අතර එවකට ලොව භයානකම ත්‍රස්ත සංවිධානයක් වූ අල්කයිඩා සංවිධානයේ ආත්මඝාතක ත්රස්තවාදීහු පස් දෙනෙක් ද වූහ. ගුවන්යානයේ කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවෝ එකොළොස් දෙනෙක් ද යානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටියහ.
යානය ගුවන්ගත වී විනාඩි තිහකට පමණ පසු සිය අසුනින් නැඟී සිටි එක් ත්‍රස්තවාදියෙක් උස් හඬින් අරාබි භාෂාවෙන් යමක් ප්‍රකාශ කළේ ය. එසැණින් ඉදිරියට ආ තවත් ත්රස්තවාදීන් සිව් දෙනෙකු මඟීන් වෙත අවි අමෝරා නොසෙල්වී සිටින ලෙස අණ කළේ, ඉංග්‍රීසි භාෂාවෙනි. මඟීන් කලබල වූ අතර ඔවුන් පාලනය කරගැනීම සඳහා ත්රස්තවාදීහු වෙඩි තැබූහ. එහි දී එක් මඟියෙක් මරුමුවට පත් විය. තවත් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදු විය. ඒ අවස්ථාවේ දී යානයේ නියමු කුටියේ දොර කැඩූ එක් ත්‍රස්තයෙක් ඊට ඇතුළු විය. ඒ සියල්ල එසේ වෙද්දී යානයේ සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙක් තම ජංගම දුරකථන ඔස්සේ තමන් මුහුණ දී ඇති අවදානම ගැන ගුවන් සමාගමේ ප්‍රධාන කාර්යාලයට දන්වා සිටියහ.
ආයුධ පෙන්වා ගුවන් නියමුවන් බියවද්දා යානයේ පාලනය සියතට ගත් ත්‍රස්තවාදි ගුවන් නියමු මොහොමඩ් අක්තාර් ගුවන් යානය නිව්යෝක් නගරය වෙත පියාසර කරවීය. පොළොවේ සිට අඩි 5000 ක් පමණ ඉහළින් පියාසර කළ යානය දුටු බොහෝ දෙනකු තුළ කුකුසක් ඇති විය. ඒ එවැනි විශාල ගුවන් යානයක් මෙතරම් පහළින් කිසි විටක ගමන් නොකරන නිසා ය. පැයට සැතපුම් 465ක වේගයෙන් පදවාගෙන ආ යානය ත්‍රස්තවාදී ගුවන් නියමුවා එදින උදෑසන 8.46ට නිව්යෝක් නගරයේ පිහිටි ලෝක ආර්ථික මධ්‍යස්ථානයේ උතුරු කුලුන වෙත යොමු කළේ ය.
හෙණ හඬක් සමඟ මහා අග්නිජාලාවක් උත්පාදනය කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ 93 - 99 මහල් අතර ගැටුණු යානය පුපුරා ගියේ ය. යානයේ ගබඩා කොට තුබූ ලීටර් 35000ක් පමණ වූ ඉන්ධන පහළ මාලවලට කාන්දු වීම නිසා ගින්නේ ව්‍යාප්තිය ඉක්මන් විය. ගිනි නිවන හමුදාව හා පොලීසිය විනාඩි කිහිපයක දී එම ස්ථානයට පැමිණිය ද සිදුව ඇත්තේ කුමක් දැයි කළ යුත්තේ කුමක් දැයි වටහාගැනීමට ඔවුන්ට ද දුෂ්කර විය.
ආර්ථික මධ්‍යස්ථානයේ උතුරු කුලුනේ ඉහළ මාල එකොළහක 1350ක පමණ පිරිසක් කොටු වී සිටි අතර විදුලිසෝපාන අකර්මණ්‍ය වීම නිසා ඔවුන් ගලවාගැනීමට ක්‍රමයක් නොවී ය. ගින්නත් සමඟ ඇති වූ ගන දුමාරය ආඝ්‍රාණය කළ පිරිස ද ටික වේලාවක දී අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්හ.
උදෑසන 9.06 පමණ ලෝක ආර්ථික මධ්‍යස්ථානයේ දකුණු කුලුන වෙතට වේගයෙන් හඹා එන තවත් මඟී ගුවන්යානයක් දැකගත හැකි විය. සිදු වන්නේ කුමක්දැයි වටහාගැනීමට පෙර පැයට සැතපුම් 500ක වේගයෙන් පැමිණි යුනයිටඩ් එයාර් ලයින් සමාගමට අයත් බෝයිං 757 - 222 මඟී ගුවන්යානය ආර්ථික මධ්‍යස්ථානයේ දකුණු කුලුනේ දකුණු පස ගැටිණි. ගොඩනැගිල්ල තුළට කිඳාගිය යානය එහි උතුරු මුහුණතින් එළියට පැමිණෙද් දී යානයේ පූර්ව කොටස පහළ වූ ගොඩනැගිලි මතට කඩා වැටිණි.
සංත්රාසයට පත්වූවෝ හිස් ලූ ලූ අත දිව ගියහ. එහිදී ඇති වූ තදබදය නිසා බොහෝ දෙනෙක් ආබාධිත තත්ත්වයට ද පත් වූහ. විනාඩි 56 කට ආසන්න කාලයක් ගිනිගෙන දැවුණු ලෝක ආර්ථික මධ්‍යස්ථානයේ දකුණු ගොඩනැගිල්ල උදෑසන 10ට පමණ වන විට කඩා වැටුණේ අවට පිහිටි තව බොහෝ ගොඩනැගිලි ද විනාශ කරමිනි. පැය 11/2ක අධිකට කාලයක් ගිනිගත් උතුරු ගොඩනැගිල්ල උදෑසන 10.28 ට මිහිමත පතිත වූයේ පෙර ගොඩනැගිල්ල මෙන්ම අවට පිහිටි වෙනත් ගොඩනැගිලි රාශියක් ද කඩා බිඳ දමමිනි.
ඒ සියල්ල එලෙස සිදු වෙද්දී උදෑසන 8.20ට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙත ගමන් කරමින් තුබූ ඇමරිකන් එයාර් ලයින් සමාගමේ තවත් ගුවන් යානයක් ද අල්-කයිඩා ත්රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබී ය. එම යානය උදෑසන 9.37ට වොෂින්ටන් නගරයේ පිහිටි පෙන්ටගනයේ (රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල) බටහිර ගොඩනැගිලී සංකීර්ණයේ ගැටීමට සැලැස්වීමට ත්රස්තවාදීහු ක්‍රියා කළහ. එම ගැටීම නිසා පෙන්ටගනයේ බටහිර ගොඩනැගිලි සංකීර්ණය සම්පූර්ණයෙන් ම විනාශ විය. යානාවේ ගමන්ගත් මඟීන් 57 දෙනා ද ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරීහු 125 දෙනෙක් ද එහි දී මරුමුවට පත් වූහ. තුවාල ලැබූවන්ගේ ප්‍රමාණය ද විශාල විය.
එදිනම අල් කයිඩා ත්රස්තවාදීන් නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවාක් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ තවත් මඟී ගුවන්යානයක් පැහැරගත්ත ද යානාවේ ගමන්ගත් මඟීන් හා කාර්යමණ්ඩලය ඔවුන් සමඟ ගැටීම නිසා ත්රස්තවාදීන්ට තමන්ගේ අපේක්ෂිත ඉලක්කය සපුරාගැනීමට නොහැකි විය. නිසි ලෙස පාලනය කරගැනීමට නොහැකි වූ යානය අවසානයේ දී පෙන්සිල්වේනියාවේ කෙත්යායකට කඩා වැටුණේය. යානයේ ගමන්ගත් මඟීහු සියලු දෙනාත් කාර්යමණ්ඩලය හා ත්රස්තවාදීහු සිව්දෙනාත් එහිදී ජීවිතක්ෂයට පත් වූහ.
එම ප්‍රහාර මාලාවෙන් 3000කට අධික ඇමරිකානු ජනතාවක් මියගිය අතර ඊට වඩා වැඩි පිරිසක් දරුණු තුවාලවලට ලක් වූහ. සිදු වූ සම්පත් විනාශය ඩොලර් බිලියන දහස් ගණනක් වූ අතර ඇමරිකානු ආර්ථිකය කෙටි කලකට බෙහෙවින් අකර්මණ්‍ය වූයේ ය. රක්ෂණ සමාගම්වලට වන්දිගෙවා ගැනීමට නොහැකි වූ අතර ගුවන් ගමන්වල යෙදීමට ඇමරිකානු ජනයා බිය වීම නිසා ගුවන් සමාගම් ද විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑවේ ය.
ඒ සියල්ලටම වඩා ඇමරිකාවේ යුද ශක්තිය පිළිබඳ ලෝකයේ අනෙකුත් රටවල තුබූ පිළිගැනීම බිඳවැටීම ඇමරිකාවට දරාගත නොහැකි විය. දින කිහිපයක් තුළ එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජොර්ජ් බුෂ් ත්රස්තවාදයට එරෙහිව ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේ, ඝාතනයට ලක් වූ ඇමරිකානු ජනයාට සාධාරණයක් ඉටුකරන බවට පොරොන්දු වෙමිනි. එම ක්‍රියාවට වගකිය යුත්තේ ඔසාමා බින් ලාඩන් සහ ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අල්-කයිඩා සංවිධානය බව ඇමරිකාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය.
බින් ලාඩන්
ඔසාමා බින් මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන් සවුදියේ රියාද් නුවර දී උපත ලැබුවේ 1957.05.10 දින ය. ඉතාම ධනවත් ව්‍යාපාරිකයකු වූ ඔසාමාගේ පියා යේමනයේ උපත ලැබූවෙකි. මව සිරියානු කාන්තාවක් වූවා ය. සවුදි රජ පවුල සමඟ පවා සමීප සබඳතා පැවැත්වූ බින් ලාඩන්ගේ පවුල වාර්ෂිකව තම ව්යාපාවරලින් අතිවිශාල ධනස්කන්ධයක් ඉපැයීය. “කිං අබ්දුල්ලාසිස්” පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ දී ඔසාමා මුස්ලිම් අන්තවාදී ආගමික චින්තනයට නැඹුරු විය. 1979 ඔසාමා මුජහිඩීන් විමුක්ති සංවිධානයට බැඳී ඇෆ්ගනිස්තානයෙන් සෝවියට් හමුදා පලවා හැරීමට සටන් කළේ ය. එම සටන් සඳහා ඇමරිකානු ආධාර මුජහිඩීන් සංවිධානයට හිමි විය.
මුජහිඩීන් සංවිධානය තුළ දී ඔසාමාගේ අදහස් ඉහළින් පිළිගත්තේය. තම සතුරු රටවල සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම සාධාරණීකරණය කළ ඔසාමා ඇමරිකාව වැනි ඉස්ලාම් විරෝධී රටවල ආර්ථිකය විනාශ කිරීම එම රටවලට විරුද්ධව සිදු කළ හැකි හොඳම සටන බව පැවසීය. 1988 දී අල්-කයිඩා සංවිධානය පිහිටුවා ගැනීම නිසා ඔසාමා බින් ලාඩන් සවුදියෙන් පිටුවහල් කළේ ය. එය ඇමරිකානු අවශ්‍යතා මත සිදු වූවක් බව විශ්වාස කළ ඔසාමා ඇමරිකාවට විරුද්ධව සටනට පිවිසියේ ය.
අල් කයිඩා සංවිධානය ඇමරිකාවේ තානාපති කාර්යාල සහ අනෙකුත් වැදගත් රාජ්‍ය ආයතන අවස්ථා ගණනාවක දී ම බෝම්බ අටවා විනාශ කළේ ය. එහෙත් ලෝක ආර්ථික මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට ප්‍රහාර එල්ල කොට විනාශ කිරීමෙන් අනතුරුව එය තම සංවිධානයේ ක්‍රියාවක් බව ක්ෂණිකව පිළිගැනීමට ඔසාමා පසුබට විය. ඇමරිකාව මහා පරිමාණ අල්-කයිඩා විරෝධී සටනකට සැරසෙන බව වටහාගත් ඔසාමා තමා එතෙක් රැඳී සිටි ඇෆ්ගනිස්තානයෙන් ද ඉවත් වී පාකිස්තාන ඇෆ්ගනිස්තාන දේශසීමාවේ පාකිස්තානු දුරස්ථ ගම්වල අප්රකටව වාසය කිරීම ආරම්භ කළේ ය.
අවසානයේ දී ඔහු වාසය කළ ඇබොටාබාද් ගොඩනැගිල්ලට ස්ථිර පදිංචිය සඳහා පැමිණ ඇත්තේ 2004 වසරේ දී පමණ ය. සැප්.11 ප්‍රහාරයෙන් අවුරුදු පහකට පසුව 2006 වසරේ දී ඔසාමා බින් ලාඩන් 2001.09.11 දින ඇමරිකාවට ආත්මඝාතක ප්‍රහාර මාලාව එල්ළ කළේ තම සංවිධානය බව ප්‍රසිද්ධියේ පිළිගත්තේ ය.
එම ප්‍රකාශයෙන් අනතුරුව ඇමරිකානු ඔත්තුසේවා ඔසාමා සොයාගැනීම පිණිස එතෙක් සිදු කරමින් සිටි සියලු ව්‍යාපෘතී වේගවත් කළේ ය. ඔසාමා රැඳී සිටින තැන නිශ්චිතව පවසන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් ප්රදානය කරන බව ද දැන්වීය. ඇමරිකාව ආරම්භ කළ ගෝලීය ත්රස්තවාදයට එරෙහි සටනට ලෝකයේ බොහෝ රටවල් ඍජුව හෝ වක්‍රව හෝ තම සහාය පළ කළේ ය. ඒ නිසා කෙටි කාලයක දී ඇෆ්ගනිස්තානය පාලනය කළ තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය පන්නා දමා එරට තුළ යළිත් සිවිල් පාලනයක් ඇති කිරීමට ඇමරිකාව ක්‍රියා කළේ ය.
එහෙත් ඔසාමා බින් ලාඩන් සොයාගැනීම පහසු නොවී ය. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ දී පරාජය වීම ඔසාමාගේ අල්-කයිඩා සංවිධානයට වැදුණු මරුපහරක් විය. තලෙයිබාන් සංවිධානය හා අල්-කයිඩා සංවිධානය අතර දැඩි සබඳතාවක් පැවැතීම එයට හේතු විය.
පාපොච්චාරණය
ඇමරිකානු රහස් ඔත්තු සේවා එක් මිනිසෙක් සොයා මානව ශිෂ්ටාචාරයේ සිදු කළ විශාලම ක්‍රියාන්විතය ආරම්භ කොට වසර හතක් ගෙවී ගිය ද ඔසාමා සොයාගැනීම පහසු නොවී ය. ඇමරිකාව දිගින් දිගටම අති විශාල ධනයක් ඒ පරීක්ෂණ සඳහා වැය කළේ තම රටේ කීර්ති නාමය රැකගැනීම සඳහා ය. 2007 අවුරුද්දේ දී ඇෆ්ගනිස්ථානයේ දී අත්අඩංගුවට පත් වූ අල්-කයිඩා සංවිධානයේ ඉහළ පෙළේ ක්‍රියාකාරීන් කිහිපදෙනක්ම සිය පාපොච්චාරණවල දී ඔසාමා බින්ලාඩන් සමඟ කිට්ටු සබඳතා පවත්වන කුන්යා අබු අහමඩ් අල් කුවෙයිටි (Kunya Abu Ahamad Al Kuwaiti) නම් සාමාජිකයකු ගැන තොරතුරු හෙළි කළහ.
ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ ඇමරිකානු බුද්ධි අංශ එම පුද්ගලයා අල්-කයිඩා සංවිධානයේ ප්‍රබලයකු බව සොයාගත්ත ද ඔහු සිටින තැනක් ගැන කිසිදු හෝඩුවාවක් නොවී ය.
පාකිස්තාන බුද්ධි අංශ සැපැයූ තොරතුරුවලට අනුව එම පුද්ගලයාගේ නියම නම ඊබ්‍රහිම් ෂෙයිඩ් අහමඩ් විය. පසුව සොයාගත් පරිදි ඔහු සතුව පැවැති පාකිස්තානු හැඳුනුම්පත ද ව්‍යාජ නිර්මාණයක් බව හෙළි විය. මේ අතර ඇමරිකානු ඔත්තු සේවාවලට 2010 වසරේ දී අහම්බෙන් එම පුද්ගලයා තම මිතුරකු සමඟ කළ දුරකතන සංවාදයකට සවන්දීමට හැකි විය. ඉන් පසුව එම වැදගත් අල්කයිඩා සාමාජිකයා පිළිබඳ බොහෝ තොරතුරු සපයාගැනීම ඇමරිකානු බුද්ධි අංශවලට දුෂ්කර නොවී ය.
එම පුද්ගලයාගේ ගමන් බිමන් ගැන දීර්ඝ වශයෙන් සිදු කළ අධ්‍යයනවල දී ඔහු පාකිස්තානයේ ඇබොටාබාද් නගර මධ්‍යයට කි. මී. 2.5 ක් ඊසාන දෙසින් වූ තෙමහල් නිවසකට නිරතුරුව යන එන බව අනාවරණය වූයේ ය. එම නිෙවසට යා යුතු වූ මාර්ගය වැටී තිබුණේ බෙහෙවින් අපවිත්‍ර වූ බිම් පෙදෙසක් මධ්‍යයෙනි. අවට වූ අනෙක් නිවෙස සමඟ සැසඳීමේ දී මෙහි මතුව පෙනෙන විශේෂතා රාශියක් ද වූයේ ය. තෙමහල් නිවස සාදා තිබූ භූමිය, අවට අනෙක් නිවාස සාදා තුබූ භූමි සමඟ සැසඳීමේ දී අටගුණයක් විශාල විය. ගෙවත්ත වටා වූ කොන්ක්‍රීට් තාප්පය අඩි 12 - 18ක් පමණ උස් විය.
ඒ මත කටුකම්බි වැටක් ද ඉදි කොට තුබූ අතර එහි උස අඩි 3ක් පමණ විය. තාප්පයට සම්බන්ධ වූ ගෙට්ටු දෙක කිසිම අවස්ථාවක විවෘතව තිබෙනු දුටු අසල්වැසියෙක් නොවී ය. එම නිසා මෙහි වාසය කරන්නේ කවුරුන්දැයි ඔවුහු නොදැන සිටියහ. තුන්වන මහල වටා වූ බැල්කනියද මීටර් දෙකකට වඩා උස් වූ ආවරණ බිත්තියකින් වට වී තිබීම නිසා එහි වෙසෙන්නන් අසල්වාසීන්ට දැකගැනීමට කිසිදු අවස්ථාවක් නොවී ය.
දුරකතන පහසුකම් හෝ ඉන්ටර්නෙට් පහසුකම් හෝ එම නිෙවසට ලබාගෙන නොතිබිණි. 1999 වසරේ දී බින් ලාඩන්ගේ ජංගම දුරකතනය ඔස්සේ ඔහු සිටි ස්ථානය තහවුරු කොට ගෙන ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ ඔහු රැඳී සිටි ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ ය. එදින ඔහුගේ ජීවිතය බේරුණ ද සිදු වූ හානිය විශාල වූයේ ය. එනිසා එදින සිට බින් ලාඩන් කිසිම අවස්ථාවක දුරකතන පාවිච්චි නොකළේ ය.
ඇමරිකානු බුද්ධි අංශ චන්ද්‍රිකා ඡායාරූප ආශ්රයෙන් ද එම නිෙවස පිළිබඳ දීර්ඝ විශ්ලේෂණයක් සිදු කළ අතර එහි දී සෑම දිනකම උදෑසන ගෙවත්තේ වූ එළවළු පාත්ති වටා ඇවිදින සිහින් උස් සිරුරැති පිරිමියකු දැකගත හැකි වුව ද ඔහුගේ මුහුණ පැහැදිලිව හඳුනාගැනීම දුෂ්කර වීය. පසුව ඩ්‍රෝන යානා යොදාගෙන කළ පරීක්ෂණවලින් එම නිෙවසේ රැඳී සිටින්නේ බින් ලාඩන් බව බුද්ධි අංශ විසින් තහවුරු කොට ගන්නා ලද්දේ ය.
ඒ වන විට රෝගී තත්ත්වයෙන් පසු වූ බින්ලාඩන්ට මාසිකව සවු අරාබියේ රහස් සංවිධානයකින් විශාල මුදල් ප්‍රමාණයක් ද ලැබිණි. අල්කුවේටි නමින් හැඳින්වූ බින් ලාඩන්ගේ සමීපතමයා සහ ඔහුගේ සොහොයුරා ද එම නිෙවසේ ම රැඳී සිටින බව පසුව බුද්ධි අංශ සොයාගත්තේය. අසල්වැසියන් සමඟ සුළුවෙන් හෝ සම්බන්ධතා පවත්වා තුබුණේ එම දෙදෙනා පමණි. තමන් සතු සියලු තොරතුරු දීර්ඝ ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසුව 2010 වසරේ අගභාගයේ දී බින් ලාඩන් පිළිබඳ අවසන් බුද්ධි වාර්තාව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාට එරට ආරක්ෂක අංශ විසින් පිළිගන්වනු ලැබී ය.
ක්‍රියාන්විත සැලසුම
ඇමරිකානු ජනාධිපතිවරයාට අවසාන බුද්ධි වාර්තාව ලැබීමෙන් පසු අවස්ථා ගණනාවක දී ම හෙතෙම තම උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීය. නම් සාකච්ඡාවල දී ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ අවධානයට ලක් වූ ප්‍රධාන ගැටලුවක් විය. ඒ, බින් ලාඩන් අල්ලාගැනීමේ හෝ මරාදැමීමේ හෝ මෙහෙයුමට පාකිස්තානු හමුදා සහාය කොට ගත යුතු ද යන්නයි. උපදේශක හා ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් බහුතරයකගේ අදහස වූයේ පාකිස්තානු හමුදා එම ක්‍රියාන්විතයට යොදා නොගත යුතු බවයි.
ඉන් පසුව ඔසාමා අල්ලාගැනීම හෝ මරාදැමීම හෝ සිදු කළ හැකි ආකාරය ගැන ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් විමසා සිටියේ ය. එහි දී ආරක්ෂක මණ්ඩලය විසින් ප්‍රධාන යෝජනා තුනක් ඉදිරිපත් කරනු ලැබී ය. බෝම්බ හෝ මිසයිල හෝ පාවිච්චි කොට මුළු නිෙවසම විනාශ කිරීම අඩුම අවදානමක් සහිත ක්‍රියාව ලෙස ආරක්ෂක මණ්ඩලය හඳුනාගෙන තිබිණි. එහෙත් එම ප්‍රහාරයේ දී ආසන්නයේ ඇති නිවෙස්වලට ද යම් හානියක් සිදු විය හැකි නිසාත් බින් ලාඩන් සත්‍යවශයෙන් ම මිය ගියා ද යන්න තහවුරු කොට ගැනීමට ක්‍රමයක් නැති නිසාත් එම යෝජනාව ආරම්භයේ දී ම ජනාධිපතිවරයා විසින් ඉවත දමනු ලැබී ය.
දෙවන යෝජනාව වූ ඩ්‍රෝන යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ල කිරීම අඩු අවදානම් සහිත වුවත් ඉලක්කය වැරදී ගියහොත් බින් ලාඩන් සොයාගැනීමට නැවතත් දීර්ඝ කාලයක් ගත කිරීමට සිදු විය හැකි බව ඔබාමාගේ තර්කය විය. මෙහි දී ඉතිරිව තුබූ අවසන් උපක්‍රමය වූයේ විශේෂ ක්‍රියාන්විතයක් මඟින් ඔසාමා අල්ලාගැනීම හෝ මරාදැමීමය. දීර්ඝ කාලයක් ගැඹුරින් සියලු කරුණු සලකා බැලීමෙන් පසුව විශේෂ ක්‍රියාන්විතයකින් ඔබාමා අල්ලා ගැනීමට හෝ විනාශ කිරීමට හෝ අවශ්‍ය අනුමැතිය ආරක්ෂක අංශ වෙත ලබාදීමට ඔබාමා කටයුතු කළේ ය. ඒ 2011 වසරේ මාර්තු මාසයේ දී ය.