
කැඳ ශ්‍රී ලංකාවට ආවේණික පෝෂණ ගුණයෙන් යුක්ත ඖෂධීය ආහාරයකි. පුරාණයේ රජවරුන් ද කැඳ පානය කළ අතර භික්ෂු භික්ෂුණීන්ට පවා කැඳ පුජා කළ බවට අතීත තොරතුරු දෙස් දෙයි. අනුරාධපුර යුගයේ කැඳ ඔරු පිළියෙල කළේ අතීතයේ විසූ ජනතාව කැඳ පානය කළ නිසාය.
සහල් මූලික කරගනිමින් පිළියෙල කරනු ලබන කැඳ, ඊට එකතු කරන ද්‍රව්‍ය අනුව වෙනස් වේ. කොළ කැඳ, බැදි හාල් කැඳ, ලුණු කැඳ, කිරි කැඳ ආදි වශයෙන් කැඳ වර්ග වෙනස් වන්නේ ඊට එකතු කරන ද්‍රව්‍ය අනුවය. කොළ කැඳ ද ඊට එක් කරන කොළ වර්ග අනුව, එනම් හාතවාරිය, පොල්පලා, ගොටුකොළ, වැල් පෙනෙල ඉරමුසු ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. පොල් කිරි සමඟ කැඳවලට යොදා ගන්නා මුං ඇට, කඩල, කුරහන්, කිතුල් පිටි, මෙනේරි වැනි ධාන්‍ය වර්ග අනුව ද කැඳ හැඳින්වෙන නම් වෙනස් වේ. කෙසේ වුවද කොළ වර්ග, සහල් හෝ ධාන්‍ය වර්ග සමඟ පොල්කිරි එකතු කර පිළියෙල කර ගන්නා කැඳ පෝෂණ ගුණයෙන් ඉහළය. දියවැඩියාව වැළැක්වීම, පිළිකා වැළැක්වීම, හෘදය රෝග පාලනය, කොලෙස්ටරෝල් පාලනය, ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම, ශරීරයේ විෂ ඉවත් කිරීම, වකුගඩු ආරක්ෂා කිරීම වැනි ගුණ රාශියක් කැඳ පානය කිරීමෙන් ලබා ගත හැකිය.
![]() |
වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම |
“කැඳ සකස් කර ගැනීමේදී ඊට එකතු කරන ද්‍රව්‍යවල ගුණාත්මකභාවය ඉතා වැදගත්. කොළ වර්ග ගන්නා විට නැවුම් කොළ ගන්න ඕනෑ. වේළුණු, මැලවුණු කොළ ගත්තොත් එහි ඖෂධීය ගුණය අඩු වෙනවා. සහල් යොදාගැනීමේදී පාරම්පරික සහල් යොදා ගන්නවා නම් ඉතා හොඳයි. ඊට හේතුව වන්නේ පාරම්පරික සහල්වල ඖෂධීය සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක සංයෝග ඉහළ අගයක් ගැනීම.“
“ඖෂධීය කැඳවල නියම ගුණය ලැබීමට නම් එය සකස් කළ යුතු ආකාරයට ම සකස් කළ යුතුයි. සටහනක එය සකස් කළ යුතු ආකාරය දැක්වෙනවා නම් එම සටහනටම අනුව එය සකස් කළ යුතුයි. අද සමාජයේ හෘදය රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ඉහළ යෑමේ ප්‍රවණතාවක් තිබෙනවා. එයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අද අප ගන්නා ආහාර. වර්තමානයේ එදිනෙදා ගන්නා ආහාරවල කෘෂි රසායන, කෘත්‍රිම රසකාරක, කෘත්‍රිම ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය වැනි ශරීරයට අහිතකර සංඝටක රාශියක් අඩංගු වී තිබෙනවා. ඒ නිසා අපි හිතුවා කාලීන අවශ්‍යතාවක් වෙනුවෙන් ඖෂධීය ගුණයෙන් සපිරි දේශීය කැඳ වර්ග සකස් කරන්න. මෙම කැඳ වර්ග සකස් කිරීම්දී පාරම්පරික සහල්, ඖෂධීය කුළුබඩු වර්ග , ඖෂධීය ශාක වර්ග, තෙල් වර්ග, ඇට වර්ග යොදා ගන්නවා.” යනුවෙන් ඖෂධීය ගුණයෙන් යුක්ත විශේෂිත කැඳ වර්ග පිළිබඳ පැහැදිලි කළේ වෛද්‍ය නිරෝෂ් සමරවික්රමය.
බටහිර වෛද්‍යවරයකු ලෙස සේවය කරන නිරෝෂ් සමරවික්‍රම ඇතුළු පිරිසක් දේශීය හා පාරම්පරික ආහාරවල වටිනාකම හඳුනාගෙන ඒවා ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා සංවිධානගත වූයේ හෙට දවසට නිරෝගී පරපුරක් බිහි කිරීමේ පිවිතුරු චේතනාවෙනි. ‘හෙළ සුව’ ලෙස නම් කර ඇති එම සංවිධානය ආහාර සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරයි. “හෙළ සුව කැඳ”එහි එක් ප්රතිඵලයකි.
හෙළ සුව කැඳ වර්ග 4ක් තිබේ. මෙම කැඳවල පාරම්පරික සහල් වර්ග 5ක් අඩංගුය. එනම් කළු හීනටි, පච්චපෙරුමාල්, මඩතවාලු, බටපොලැල් සහ කුරුලු තුඩ වේ. කැඳවලට එක් කළ ඖෂධීය කුළුබඩු වන්නේ කොත්තමල්ලි, මාදුරු, සූදුරු, ගම්මිරිස් ඇට, කරපිංචා, සුදු ලුනූ, රම්පෙ, උළුහාල්, අබ, කරාබුනැටි, කුරුඳු ය. මුරුංගා කොළ, ගොටු කොළ, පොල්පලා, නීරමුල්ලිය, ගම්මිරිස් කොළ, වැල්පෙනෙල, රාබු කොළ, ඉරමුසු, ඉරිවේරිය, පැෂන් කොළ, මඤ්ඤොක්කා කොළ, කෝවක්කා කොළ, වරකා සිබිඩි, හීන් බෝවිටියා, තෙබු, කළු තල, සතකුප්ප, තල, උඳුපියලි, දෙහි, රණවරා මල්, බෙලි මල්, බෙලි කොළ, ඕලු හාල්, සව් සහ බාර්ලි යන ද්‍රව්‍ය ද එම කැඳවල අඩංගු කර ඇත. කැඳවලට එක් කරන තෙල් වර්ග වන්නේ පොල්තෙල්, එළඟි තෙල් සහ බටර්ය. මීට අමතරව මඩතවාලු පිටි, සහල් පිටි, කහවනු සහල් පිටි, මුං ඇට පිටි, කඩල පිටි සහ කිතුල් පිටි යන පිටි වර්ග ද රාබු, වට්ටක්කා, බණ්ඩක්කා, අළු කෙසෙල් යන එළවළු වර්ග ද මී පැණි ද මෙම කැඳවලට එකතු කර ඇත. මේ අනුව මෙම කැඳ වර්ග 4ම පානය කිරීමෙන් ඖෂධ වර්ග 60කට ආසන්න ප්‍රමාණයක් ශරීරයට එකතු වේ.
මෙම කැඳ වර්ග 4 සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදු කළේ විශේෂඥ වෛද්‍ය කේ. එස් දහනායක විසිනි. ඒ සඳහා ප්‍රියන්තා සේනානායක ඇතුළු ආයුර්වේද වෛද්‍යවරු රාශියක් සහ බටහිර වෛද්‍යවරු කීපදෙනෙක් එක් වී කටයුතු කළහ. සායනික කටයුතු සිදු කළේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම, වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ, වෛද්‍ය මාලින් බටගොඩ යන පිරිසය.
හෙළ සුව කැඳ පානය කිරීමෙන් දියවැඩියාව 90%කට වඩා සුව වූ බව සායනික පරීක්ෂණ වාර්තා මඟින් තහවුරු කර ඇත. කැඳ ආහාරයට ගත් අයගේ සති 6කට පසුව රුධිර සාම්පල් පරීක්ෂා කළ විට සීනි මට්ටම ඉතා හොඳින් පාලනය වී තිබූ බව ඔප්පු වී තිබේ. මෙට්ෆොමින්, ඩයනිල් හා ඉන්සියුලින් ඉහළ ප්‍රමාණයන්ගෙන් ගත් අයගේ ඒවා සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකි වූ බව වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම සඳහන් කළේ මෙම කැඳ වර්ගවල ඖෂධීය ගුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමිනි.
ගම්පහ රෝහලේ බටහිර ඖෂධ ගැනීමට අකමැති දියවැඩියාව ඇති ගැබිනි මවුවරුන් පිරිසකට දිනපතා එම කැඳ කෝප්ප 2ක් ලබා දෙනු ලැබීය. ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම සති 2කදී සාමාන්‍ය තත්ත්වයට පත් විය. මෙම කැඳ කෝප්ප 2 බැගින් ආහාරයට ගත් බොහෝ දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම සති 6ක් වැනි කෙටි කාලයකදී සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇත. එම කැඳ දියවැඩියාව පාලනය සඳහා ක්‍රියා කරනු ලබන්නේ මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා අග්න්‍යාශයේ නිසි පරිදි ඉන්සියුලින් නිපදවිමෙනි. එනම් තෙබු, කෝවක්කා කොළ වැනි ශාක සෘජුවම අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කරයි. ඇතැම් ශාක රෝගී වූ ඇතැම් සංඝටක පර්යන්ත ග්ලුකෝස් පරිවෘත්තීය වැඩි කරයි. එසේම කෝවක්කා ශාකයට ආහාර මාර්ගය තුළ දී a – Amylase නම් එන්සයිම නිෂේධනය කරමින් පිෂ්ටය ග්ලුකෝස් බවට පත් වීම ප්‍රමාද කරමින් දියවැඩියාව පාලනය කිරීමට හේතු වේ.
කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක වාර විභාගවලදී ඉතා අඩු මට්ටමේ ලකුණු ලබාගත් ළමයින් පිරිසක් එම කැඳ පානය කිරීමෙන් ලකුණු ඉහළ අගයක් ලැබූ බව පර්යේෂණ මඟින් සනාථ කර ඇත. ඊට හේතු වී තිබෙන්නේ ගොටුකොළවල ඇති ස්වාභාවික රසායනික සංඝටකය.
හෙළ සුව කැඳ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂිවට ලක් කර ඇත. එහිදී කැඳ මිලි ලීටර් 200ක ගුණ ඇගයීමට ලක් කරනු ලැබූ අතර දිනකට කැඳ මිලි ලීටර් 200ක් පානය කරන පුද්ගලයකුට පහත සඳහන් ගුණ ලැබෙන බව තහවුරු කර තිබේ.
1) විටමින් දෛනික අවශ්‍යතාවෙන් 10%ක් සපිරේ.
2) විටමින් B1තයමින් වැඩිය.
එය දෛනික අවශ්‍යතාවෙන් 30% කි.
3) විටමින් B2 රයිබොෆ්ලේවින් වැඩිය.
එය දෛනික අවශ්‍යතාවෙන් 100%කි.
4) විටමින් B3 නියැසින් වැඩිය.
එය දෛනික අවශ්‍යතාවෙන් 100% කි.
5) විටමින් B6 වැඩිය.
එය දෛනික අවශ්‍යතාවෙන් 100% කි.
6) විටමින් B12 වැඩිය.
එය දෛනික අවශ්‍යතාවෙන් 100% කි.
7) විටමින් D ඇත. විටමින් E වැඩිය. එය දෛනික අවශ්‍යතාවෙන් 30%කි.
8) පොස්පරස් වැඩිය.
එය දෛනික අවශ්‍යතාවෙන් 100% කි.
9) ප්‍රෝටීන් ප්‍රමාණය ඉතා ඉහළය.
12%ක් සැපයේ.
10) තන්තු දෛනික අවශ්‍යතාවෙන් 25% කි
11) යකඩ දෛනික අවශ්‍යතාවෙන් 10%ක් සැපයේ.
මෙවැනි ඉහළ ඖෂධීය ගුණයෙන් හෙළ සුව කැඳ පානය කිරීමෙන් ලැබෙන්නේ එහි අඩංගු ද්‍රව්‍ය නිසාය. මෙහිදී එම අඩංගු ද්‍රව්‍යවල ඖෂධීය ගුණ විමසා බැලීම වටී.
කොත්තමල්ලි - Coriandrine, Dihydro Coriandrine නම් සංයෝගය අඩංගු වීමෙන් ඖෂධීය ගුණ ඉහළය. Linoleic Acid; poly phenol සහ අත්‍යවශ්‍ය අම්ල ඉතා වැඩිය. විටමින්B1,B2;B3;B5;B6 අඩංගුය. ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළය විටමින් A; Carotine; මිටමින් B සංයෝග සහ කැල්සියම් අධික වශයෙන් අඩංගුය.
කෝවක්කා - කෝවක්කා ශාකයේ Heptacosane; Cephalandrol; Alkaloids; Cephalandrin A; Cephalandrin B වැනි සංයෝග අඩංගුය. මෙහි අඩංගු Ascorbic acid Niyacin; Beta Sitosterolවල දියවැඩියා මර්දන ගුණ ඇත. එසේම කෝවක්කා ශාකයේ ඇති Terphenoid;phenol; Flavonoid ද දියවැඩියා පාලනය කිරීමට හේතු වේ.
කරපිංචා - කරපිංචාවල phe llandrene; Caryophyllene; D-sabinene; D-alfapinene; Mahanimbine; GirinimbineKoenimbine; Isomahanine; Mahanine යන සංයෝගය අඩංගු වේ. මෙම සංයෝග බලපෑමෙන් පිළිකා නාශක ගුණ, කොලෙස්ටරෝල් අඩු කිරීමේ ගුණ සහ දියවැඩියාව මර්දනය කිරීමේ ගුණ ඇති වේ.
ගොටුකොළ - ගොටුකොළවල ක්ෂුද්‍ර ඛනිජ අයන වන ක්‍රෝමියම්, කොපර්, සින්ක්, කොබෝල්ට්, මැංගනීස්, සෙලිනියම්, සෝඩියම් බහුලය. බීටා කැරොටින් මයික්රොග්රෑම් 3600 ක් අඩංගුය. විටමින් C ඉතා ඉහළය. ඇමයිනෝ අම්ලය ඉතා වැඩිය. ගොටුකොළවල ඇති Glycosides වන Asiaticoside - A, Brahmoside; Madecassoside සහ Brahminoside මඟින් මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.
සුදු ලූනු - සුදු ලූනු Allicine; Ajoene; Diallyl Poly sulfides; Vinyldithiin; S-Allyl cystein යන සල්ෆර් අඩංගු සංයෝග සහ Enzymes; saponines; Flavonoids; Mailard prodact යන සල්ෆර් නොවන සංයෝග ද අඩංගු වී ඇත. මේ සියල්ල පිළිකා සහ හෘදයාබාධ වළක්වයි.
ගම්මිරිස් සහ ගම්මිරිස් කොළ - ගම්මිරිස්වල අඩංගු Piperine සංයෝගයේ ඖෂධීය ගුණ ගණනාවක් ඇත. එනම් ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණ, ප්‍රතිප්‍රදාහ ගුණ, ප්‍රතිශක්තිය වැඩි කිරීම යන ගුණ මෙහි ගැබ් වී ඇත. එසේම ආහාර මාර්ගයෙන් Selinium; Vitamin B12 ;Beta Carotineඅවශෝෂණය වැඩි කිරීමේ හැකියාවක් ද මෙම piperineවල තිබේ. මෙයින් ආහාර සහ ඖෂධවල ක්‍රියාකාරි බව වැඩි කරයි. ඖෂධ රුධිරය තුළ පවතින කාලය වැඩි කරයි. ඖෂධවල ගුණ නොවෙනස්ව තබයි. ඖෂධවල රසායනික සංයුතිය ආරක්ෂා කරයි. අක්මාවේ සහ අග්න්‍යාශයේ යුෂ ශ්‍රාවය පාලනය කරයි. ආහාර ජීරණය එයින් පහසු කරයි.
තෙබු - තෙබුවල අඩංගු Disogenine වල දියවැඩියාව මර්දනය කිරීමේ ගුණ ඉහළය. තෙබු පත්‍රවල Flavonoids; Isoflavons; Anthroquinone; proanthocyanine වැනි සංයෝග බහුල වීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
මුරුංගා කොළ - අධික විෂනාශක ගුණ සහිතයි. විටමින් A; විටමින් C; කැල්සියම්, මැග්නීසියම්, යකඩ බහුලව ඇත.
මේසා ඖෂධීය ගුණ විශාල ප්‍රමාණයක් අඩංගු වන හෙළ සුව කැඳ පානය කිරීමෙන් අත් වන ප්‍රතිඵල රැසකි.
හෙළ සුව කැඳ පානය කිරීමෙන් ලැබෙන ගුණ
1) ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු වීමෙන්
ශරීරයේ සෑම අවයවයක්ම එම ඉන්ද්රීයයන්වල නියමිත වූ කාර්යයන් ඉටු කිරීම
2) පිළිකා නාශක ගුණය
3) ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම
4) ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව
5)ශරීරයේ හෝමෝන සමතුලිතතාව ඇති කිරීම
6) දියවැඩියාව පාලනය කිරීමේ හැකියාව
7) කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව
8) වකුගඩුවල ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම
9) ස්ථුලතාව අඩු කිරීම
10) හන්දිපත් ආබාධ සුව කිරීම
11) මන්දපෝෂණය දුරු කිරීම
12) තන්තු ප්‍රමාණය වැඩි බැවින් ක්ෂුද්රජීවින් ක්‍රියා කර ශරීරයට හිතකර කෙටිදාම මේද අම්ල (Short chain Fatty Acids) නිපදවීම
කැඳ සකස් කිරීමේදී පොල්කිරි කොටා මිරිකා ගත් පොල්කිරි විය යුතුය. කිසි සේත් පිටි කළ පොල්කිරි කැඳ සඳහා යොදා ගැනීම හිතකර නැත. මක්නිසාද මේවා ඉහළ උෂ්ණත්වයේදී පිටි බවට පත්වන විට පොල්කිරිවල ඖෂධීය සංඝටක විනාශ වන නිසාය. එමෙන්ම පිටි කළ පොල්කිරිවලට කෘත්‍රිම රසකාරක යොදන බැවින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ. පොල් මිරිකීමේදී බ්ලෙන්ඩරයෙන් පොල් මිරිකීමෙන් වැඩි තන්තු ප්‍රමාණයක් ආහාරයට එක් නොවේ. පොල්කුඩු සමඟ වැඩි තන්තු ප්‍රමාණයක් ඉවත් වේ. නමුත් පොල් අඹරා ගැනීමේදී වැඩි තන්තු ප්‍රමාණයක් ආහාරයට එක් කර ගත හැකිය.
නිසි පිළිවෙළට සටහනේ ඇති ආකාරයට හෙළසුව කැඳ පිළියෙල කර ගැනීමෙන් ඖෂධීය ගුණ රාශියක් අත් විඳ ගත හැකි වන අතර නිරෝගී දිවියකට උරුමකම් කිව හැකිය.