
ආහාරයක් වළඳන්ඩ කලින් ඒ ආහාරයෙ රසය නැති කරගන්න හැටි ඉන්දියාවෙ හුඟක් ආගම් අපිට කියල දෙනවා. ඒවට අදාළ ආගමික චාරිත්රත් තියෙනවා. ඒ අනුව බලනකොට ජෛන භික්ෂුවකට එක ගෙදරකට විතරක් පිඬු සිඟා වඩින්ඩ බෑ. එහෙම වැඩියොත් එකම පාත්තරේ රසකැවිලියි ලුණු ජාතියි කුළුබඩු දාල හදපු කෑමයි එකට පැටලෙනව. බතුත් තියනව.කඩල ජාතිත් තියනව. මේව සේරම මිශ්රවෙනවා.
ඉස්සරවෙලාම භික්ෂුව ගඟාවක් ළඟට යා යුතුයි. පාත්තරේ ගං දියේ පෙඟවිය යුතුයි . එවිට කෑම ජාති සේරම එකට මිශ්රවෙනවා. ඊට පස්සෙයි වළඳන්ඩ වෙන්නෙ. ඒක කොච්චර අපූරු ආහාර වේලක් වේවිද කියල ඔබම තීරණය කරල බලන්ඩ.
දවසක් ජෛන හාමුදුරු කෙනෙක් මේ විදිහට දානෙ වළඳන්ඩ ලෑස්ති වෙනකොට ඒ දිහෑ බලාගෙන මාත් ගං ඉවුරෙ හිටියා. මම ඒ හාමුදුරුවන්ව දන්නවා. ඔහු පිඬු සිඟාගෙන අපේ ගෙදරත් එනවා. ඔහු අපේ තාත්තගෙත් ගජ මිතුරෙක්. ඒ දෙන්න හොඳට කතාබහ කරකර ඉන්න වෙලාවලුත් තිබුණ. ඉතිං මේ හාමුදුරුවොත් අර අප්රසන්න වැඩේ, ඒ කියන්නෙ දානෙ පාත්තරේ දියේ ඔබපු වැඩේ කෙරුවේ.
‘ඔයා ඔය කෑම කන විදිහට කෑම කන්ඩ හරකෙක්වත් කැමති වෙන එකක් නෑ’ මං කිව්වා.
‘මොකක්?’ ඔහු මං දිහෑ ඔළුව උස්සල බැලුවා.
‘ඔව්. හරකෙක් තියා බූරුවෙක්වත් ඔහොම කන එකක් නෑ’ මම කිව්වා.
ඉන්දියාවෙදි බූරුවෙක්ව හොයා ගන්ඩ ඕනැ උණාම ගං ඉවුර පැත්තට යන්ඩ ඕනෑ. හේනෙ මාමාල රෙදි මුට්ටෙ ගඟ අයිනට ගේන්නෙ බූරුවෙකුගෙ පිටේ. කිසිකෙනෙක් ඒ බූරුව අල්ලන්නෙ නෑ. මොකද හේනෙ මාම කියන්නෙ ස්පර්ශ නොකළ යුතු කෙනෙක්නෙ. ඉතිං හේනෙ මාම රෙදි පටවන් ආපු බූරුවත් ස්පර්ශ නොකළ යුතු සතෙක්. හේනෙ මාම අර ගං ඉවුරෙ රෙදි අපුල්ලද්දි අපුල්ලපු රෙදි මුට්ටෙ ආපහු පිටේ පටවනකං බූරුව ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා. ඉන්පස්සෙ ඌ ආපහු ගමන පිටත් වෙනවා.
‘අන්න බූරුවෙක් ඉන්නවා. මට පොඞ්ඩකට ඔය පාත්තරේ දෙන්ඩ. බය වෙන්ඩ එපා! ඌ ඒක කාල දැම්මොත් මම ගෙදර දුවල ගිහිං පාත්තරයක් පුරෝල කෑම ජාති ගෙනත් දෙන්නං. ඌ කෑවෙ නැත්තං ඔයාට ඒක ආපහු කන්ඩ පුළුවන්නෙ’ මං භික්ෂුවට කිව්වා.
‘මං ඒ අභියෝගෙ භාර ගන්නව’ හාමුදුරුවො කිව්වා.
ඒ ගමන්ම මම පාත්තරේ අරගෙන බූරුව ළඟට ගිහිං ඒක ඌ ඉස්සරහ තිබ්බා. බූරුව හෙමින්ම ලෙස්සල පැත්තකට ගියා. ඌ අහකට ගියේ හේතු දෙකක් හින්දයි. එකක් තමයි ඒකෙ තිබිච්ච කෑම බූරුවෙකුටවත් කන්ඩ බැරි එක. අනික තමයි මාව දකිනකොට හැම බූරුවම හොරෙන්ම ලෙස්සල අහකට යන එක. හාමුදුරුවො මේව දැනගෙන හිටියෙ නෑ. අපේ ටවුමෙ හිටිය හැම බූරුවම මට බයයි. එහෙම වුණේ මට අවස්ථාව ලැබුණු හැම වෙලාවෙම මං බූරුවෙකුගෙ පිටේ නැගල ගමේ ඇවිද ඇවිද ගම්මුන්ට කරදරයක් වෙච්ච හින්දයි. මම කඩමණ්ඩියට ගියෙත් ඒ බූරුවගෙ පිටේ නැගල.‘ඒකනං ඕනැවට වැඩියි’ ගමේ කවුරුත් කිව්වෙ එහෙමයි. ‘බූරුව කියන්නෙ දෙයියො මවපු සතෙක්. දෙයියො නරක සතෙක් මවන්නෙ නෑනෙ. මට නං උගෙ ඇති වැරැද්දක් පේන්නෙ නෑ. ඌ හරි අහිංසක සතා’ එතකොට මං කියනවා.
ඔය හින්ද හැම බූරුවම මං ගැන අගේට දැනගෙන හිටියා. මාව ඈත තියා දැක්කත් , රෑක දැක්කත් හෙමින්ම ලෙස්සල මාරුවෙන එක උන් පුරුද්දක් කරගෙන හිටියා. මේක නොදන්න හාමුදුරුවො එයාගෙ කෑම පාත්තරේට බූරුවෙක්වත් හොම්බ දාන්නෙ නෑ කියල ඔළුවට ගත්ත. ඒ අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන මං හාමුදුරුවන්ට මෙහෙම කිව්වා.
‘ඔයාලගෙ ආගම ඔයාලට උගන්නල තියෙන්නෙ මේකද? බූරුවන්ටත් පහළට වැටෙනව නේද? බූරුවෙකුට වුණත් තේරෙනව මේක හොම්බ තියන්ඩවත් වටින්නෙ නැති කෑම වේලක් කියල’
ජෛන හාමුදුරුවරුන්ට රෑට මොකවත් බොන එකත් අකැපයි. හැබැයි හාමුදුරුවරු කට්ටිය රෑ කොකාකෝල බිව්ව හැටි මං බලාගෙන. ඒක මං නොදැක කොහොමද? මමනෙ බෝතලේ ගෙනත් දුන්නෙ. පොඩිකාලෙ ඒ වගේ මගෝඩි වැඩ කරන්ඩත් මං හපනා.
ජෛන හාමුදුරුවරු වාඩිවෙන්නෙ මහ උස ආසනවල. ඒව අඩි පහක් හයක් උසයි. හිටගත්ත කෙනෙකුගෙ උළුවෙ ගෑවෙන නොගෑවෙන තරම් උසකින් තමයි ඒවයේ පාදම තියෙන්නෙ.
දවසක් මං තාත්තත් එක්ක ජෛන පන්සලට ගියාම උස් ආසන පහේ හාමුදුරුවරු හිටියෙ හතරදෙනයි . එක නමක් අසනීපවෙලයි හිටියෙ . ඉතිං මං කිසි කතාවක් නැතුව උස් ආසනේට නැගල ඉඳ ගත්ත. තාත්තට කතා කරගන්ඩ වචන නැති වුණා. හාමුදුරුවො වැටුණෙ හරි අමාරුවක.
‘මේ වැඩේ හරි නෑ. එයාව බස්ස ගන්ඩ’ එක නමක් අපේ තාත්තට කිව්ව. එතකොට මං හාමුදුරුවො පැත්තට හැරිල අර බෝතලේ මතක් කෙරුව. ඒ ගමන හාමුදුරුවරු කිව්ව ‘එයා හිටියට කමක් නෑ’ කියල. තාත්ත ඇහැව්ව මොන බෝතලයක්ද කියල. මං කිව්ව එයාලගෙන්ම අහගන්ඩ කියල.
පන්සලෙන් එළියට ආවම හුඟදෙනෙක් මාව වටකරගෙන බෝතලේ ගැන ඇහැව්වා. මං කිව්ව එක රහසක්. ඔයාල ගිහින් වඳින ඒ මෝඩයන්ව මං පාලනය කරන විදිහ තමයි ඒ කියලා. ඊළඟට මුළු ටවුමෙම මාතෘකාව වුණේ බෝතලේ. මොකක්ද ඒ රහස කියල හැමෝම මගෙන් අහන්ඩ තියාගත්ත.
‘ඒක ලොකු රහසක්. මං ඒක කියන්නෙ නෑ. ගිහින් හාමුදුරුවන්ගෙන්ම අහගන්ඩ. මාත් එන්නං. ඔයාල දැනගන්ඩ ඔයාල වඳින්නෙ මොන ජාතියෙ කට්ටියකටද කියල. එහෙව් කට්ටියක් තමයි ඔයාලගෙ මොළේ පාදන්නෙ’ මං කිව්වා.
ලබන සතියට