
පෙරහරක් කියූ සැණින් සැමගේ ප්‍රශ්නාර්ථය අලි ඇතුන් කී දෙනෙක් සිටීද යන්නයි. එසේම පෙරහරේ සිටින අලි ඇතුන් ප්‍රමාණය පෙරහරේ දිග පළල ද තීන්දු කරයි. එසේ පෙරහරවලට අතීතයේ සිටම බද්ධ වී සිටින අලි ඇතුන් දැන් දැන් කඨින පින්කම් පෙරහරවලටද යොදා ගනිති.
මෑතක සිට පෙරහරවලදී අලි ඇතුන් කුලප්පු වීම් නැතහොත් නොසන්සුන්කාරි හැසිරීම් වාර්තා වීම සුලබ සිදුවීමකි. එම නිසා පසුගිය කාලයේ පැවැති පෙරහර සංස්කෘතික මංගල්‍යයන්හි මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය වී ඇති බවක් පෙනේ.
![]() |
පරිසරවේදී නයනක රන්වැල්ල |
එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය හත්වැනිදායි. ඒ, ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ 119 වැනි වාර්ෂික රන්දෝලි පෙරහරේදියි. හත්වැනිදා රාත්‍රී 8.56 ට එළැඹුණු සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කළ පෙරහර අලංකාර අන්දමින් පැවැත්වෙමින් තිබුණේ අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සමඟිනි. වීදි සංචාරය කරමින් පැවැති පෙරහරේ රාත්‍රී 10.40 ට පමණ එක්වරම අලියකු කුලප්පු වී තිබිණි. අලියා පිට සිටි ගජනායක නිලමේවරයාද බිම හෙළමින් අලියා රජමහා විහාර මාර්ගයේ ඉදිරියට දිව යන ආකාරය වීඩියෝ දසුන්වලින් ද දිස්විණි. පසුව මාර්ගය අසල ශාන්ත තෝමස් දේවස්ථානය අසලට ගිය එම අලියා නතර විය. ඒ සමඟම ඊට ඉදිරියෙන් ගිය තවත් අලියෙක්ද නොසන්සුන් වී ඇත්තේ පළමුවෙන් නොසන්සුන් වූ අලියාගේ කලබලය නිසාවෙනි.
විවිධ හේතු
අලි කුලප්පුවට විවිධ හේතු කියැවිණි. ගින්දර පෑගීම නිසා කුලප්පු වූ බව එක් තැනක වාර්තා විණි. එසේම අලින්ට අන්දවා තිබූ ඇඳුමේ යොදා තිබූ විදුලි බුබුළු දැල්වීමට සපයන විදුලිය කාන්දු වීම නිසා අලින් නොසන්සුන් වූ බවට ද අදහස් පළවිණි.
පෙරහරවලදී සිදුවන අලින්ගේ නොසන්සුන්තාව නිසා බොහෝ විට මිනිස්සුන්ට හානි සිදුවන්නේ කලබල වී සිසීකඩ දිවිම හා තෙරපීම නිසායි. එසේ නොමැතිව අලින්ගේ පහර දීම හෝ පැගීම නිසා සිදුවන අනතුරු අවමය. මෑත කාලයේ අලින්ගේ කුලප්පු වීම් හා නොසන්සුන් හැසිරීම් වැඩිවීමට හේතු මොනවාද යන්න අප විමසීමකදී මාධ්‍යවේදියෙකු මෙන්ම පරිසරවේදීයකු ද වන නයනක රන්වැල්ල මහතා පැවැසුවේ මෙවන් අදහසකි.
කෝට්ටේ සිදුවීම වුණු තැනට ගිහින් මං සොයා බැලුවා. හදිසියේම අලියට කරන්ට් වැදුණ කියලයි කියන්නෙ. ඒත් පොලිසියෙන් කියන්නෙ පිරිසක් එක්වරම පාරට පැන්න නිසා අලියා කලබල වුණා කියලා. එහෙත් මට අනාවරණය වුණේ ප්‍රධාන ලෙසම ඇත්ගොව්වා මත්වතුර පානය කර සිටි නිසා මේ දේ සිදුවුණේ කියලා. මං වගකීමෙන් කියන්නෙ එදා ඇත්ගොව්වන්ට මත්වතුර ගෙනත් දීපු අයත් මට මුණගැහුණා. කලබල වූ අලියගේ ඇත්ගොව්වා උදෙත් බීලා, දවලුත් බීල තමයි පෙරහරට සහභාගිවෙලා තියෙන්නෙ. එහෙම මත්වතුර පානය කරලා අසිහියෙන් යන ඇත්ගොවවන් අලින්ගෙ වැරැදි නිලවලට අනිනවා. එහෙම ප්‍රබල සංවේදී නිලවලට ඇන්නම අලියට දරාගන්න බැහැ. එතකොට දුවනවා. ඒ නිසා තමයි අලියා දුවලා තියෙන්නෙ. මුල් අලියගේ කලබලයට අනිත් අලියත් නොසන්සුන් වුණා“
ඇත්ගොව්වන්ගේ වැරුදි
රන්වැල්ල මහතා මෑත කාලයේ මෙසේ අලින් කලබල වීමට කරුණු කාරණා කිහිපයක්ම හේතු වන බවට විමර්ශන මඟින් අනාවරණය කරගෙන ඇත.
“අද ඇත්තටම ඇත්ගොව්වන්ට කිසිම නියාමනයක් නැහැ. ඕනෑම කෙනෙකුට ඇත්ගොව්වෙක් වෙන්න පුළුවන්. අතීතයේ එහෙම නෙවෙයි. ඇත්ගොව්වන් පැවැත එන්නෙ පාරම්පරිකවයි. මුලින් ගෝල රාජකාරිය කරලා ලොකු දැනුමක් ලබන්න ඕනෑ. ඒත් අද එහෙම නෑ. ඒ වගේම ඇත්ගොව්වන් අධික ලෙස මත්වතුරට ඇබ්බැහි වීම. ඇතැම් අලි මත්වතුර ගඳ වැනි නොයෙක් ආකාරයේ ගඳ-සුවඳට කැමැති නෑ. අනෙක් කාරණය අද අලින් සිටින්නෙ පුදුම ආතතියකින්. නිසි වෙලාවට කෑම නෑ. දැඩි අව් රශ්මියේ තාර පාරවල පයින් ගමන් කරවනවා. මං එදා දැක්කා රෑ තිස්සෙ පෙරහරේ ගිය දකුණේ ප්‍රසිද්ධ ඇතෙක් පහුවදා මහ දවල්ම රැගෙන යනවා. පෙරහර අවසන් වූ සැණින් එතරම් දුරක් යෑම ඒ ඇතාට ලොකු පීඩනයක්.“
අලි හරිහැර
නිසි වෘත්තිය මට්ටමේ ඇත්ගොව්වන් නොමැතිකම, ආතතියෙන් සිටින අලින් වගේම වර්තමානයේ පෙරහර මංගල්‍යයන් නැරැඹීමට පැමිණෙන ඇතැම් දෙනාගේ නොමනා හැසිරීම්ද අලි කුලප්පු වීමට හේතුවක් ලෙස ඔහු පෙන්ව දේ.
“වර්තමානයේ පෙරහර නැරැඹීමට එන ඇතැමෙක් කිසිම ශීලාචාර බවක් නෑ. එදා පෙරහර නැරැඹුවේ බොහෝම ගෞරවයෙන්. ඒත් අද විශාල ශබ්ද නැඟෙන නළා පිඹිනවා. කෑගහනවා. එවැනි දේ මේ අලි ඇතුන්ට දැඩි අපහසුතාවක් ගෙන දෙනවා. ඒ වගේම අලින්ට ළංවෙලා ඇතැම් දෙනා අලි කෙඳි ගලවන්න, අල්ලන්න යනවා. ඒවා ඒ සත්තුන්ට කරදරකාරි හැසිරීම්.“
මේ සියලු කරුණුවල සම්මිශ්‍රණයන් පෙරහරවලදී අලින්ගේ කුලප්පු වීමට මෑත කාලයේ බොහෝ සෙයින්ම හේතු වී ඇති බව සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇති බවද පරිසරවේදී නයනක මහතා අනාවරණය කළේය. එම නිසා පෙරහර මංගල්‍යයට අලි ඇතුන්ගේ සහභාගිත්වය ඉදිරියේදී දැඩි ප්රශ්නකාරි බවක් ගෙන දීමට ඉඩ තිබේ. එසේම අලින්ගේ කුලප්පු වීම නිසා ජනයාද පෙරහර මංගල්‍යයන් නැරැඹීමට යෑමේදී දෙවරක් සිතන තත්ත්වයක්ද උදාවෙමින් තිබේ.
1959 දළදා පෙරහරේ අලි කුලප්පුව නිසා ඇතිවූ ව්‍යසනය නැවත සිදු නොවන්නට වග බලා ගනිමින් දිගින් දිගටම පෙරහරවලදී සිදුවන අලි කුලප්පුව නතර කිරීමට වගකිවයුතු සියලු පාර්ශ්වවල ඇස් ඇරිය යුතු කාලය එළැඹ තිබේ. අලි හිමිකරුවන් පෙරහරවලට අලි ඇතුන් පිරිනමා ලක්ෂ ගණනින් මුදල් උපයනවා සේම, පෙරහර රාජකාරී ඉටු කිරීමේදි අලි ඇතුන්ගේ සිට ඇත්ගොව්වන් දක්වා සෑම දෙනෙක් ගැනම මීට වඩා සැලැකිලිමත්ව සොයා බැලිය යුතු ව ඇත.