
මෙරට ආර්ථිකය උදෙසා සියවස් දෙකකට අධික කාලයක් දහදිය, කඳුළු වැගිරූ වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය හා ආර්ථික තත්ත්වය වැඩි දියුණු කරමින් ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් ළඟා කර දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.
ඒ සඳහා ම වෙන් වූ කැබිනට් අමාත්‍යාංශයක් පිහිටුවා, පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දෙමින් මේ වනවිටත් ක්‍රියාවට නංවා තිබෙන සංවර්ධන කටයුතු රාශියකි.
මෙරට ඉන්දියානු දමිළ වතු කම්කරු ජනතාවගේ ඉතිහාසය හා මෙරට වතු ආර්ථිකයේ අතීතය පිළිබඳ සංක්ෂිප්තව කරුණු සඳහන් කිරීම මෙහිදී වැදගත් වනු ඇත. මහාචාර්ය චර්ල්ස් සර්වන්ට අනුව මුලින්ම ඉන්දියානු දෙමළ කම්කරුවන් පිරිසක් මෙරටට සංක්‍රමණය වී ඇත්තේ උඩරට ගිවිසුම අස්සන් කොට දෙවසරක් ගතවූ 1817 වසරේ ය. ඒ කොළඹ - නුවර මාර්ගය (ඉපැරණි කරත්ත මාර්ගය) ඉදිකිරීම පිණිස ය.
විශාල කණ්ඩායම් වශයෙන් ඉන්දියාවෙන් මෙරටට කම්කරුවන් ගෙන්වීම ආරම්භ වූයේ කෝපි වගාවේ ආරම්භයත් සමඟ ය. මෙරට වැවිලි ආර්ථිකය පොහොසත් කිරීම පිණිස මෙරට ප්‍රථම වතු කම්කරු පිරිස දකුණු ඉන්දියාවේ තිරුනෙල්වෙලි, තිරුචි, මදුරෙයි සහ තන්ජෝර් යන නගරවල සිට බෝට්ටු ආධාරයෙන් රැගෙනවිත් තලෙයිමන්නාරම වරාය ඔස්සේ කුරුණෑගල, මාතලේ ඔස්සේ මධ්‍යම කඳුකරයේ ඉතා අඩු පහසුකම්වලින් යුත් ලැයින් කාමරවල නවාතැන් සපයා දෙන ලදී.
1870 දශකයේදී දිලීර රෝගයක් හේතුවෙන් කෝපි වගාව විනාශයට පත්වීම ආරම්භ වීමත් සමඟ තේ වගාව ආරම්භ විය. ඒ කම්කරු ප්‍රජාවගේ අප්‍රතිහත වෙහෙස මහන්සියෙන් ‘තේ’ ලංකාවේ ප්‍රධාන අපනයන බෝගය බවටත්, වැඩිම විදේශ විනිමයක් ගෙන එන වගාව බවටත් පත් විය.
තේ වගාවෙන් නොනැවතී මේ පිරිස රබර් හා පොල් වගාවටත් යොදවනු ලැබූහ. ප්‍රථම වරට බ්‍රිතාන්‍ය රජය ඉන්දීය වතු ප්‍රජාවගේ ජන සංගණනයක් සිදුකරනු ලැබුවේ 1871 වසරේදීය. 1911 වසරේ කරන ලද සංගණනයට අනුව මෙරට වතු ප්‍රජාවගේ ජනගහනය 531,000 ක් විය. අද එය 842,323කි. එය ශ්‍රී ලංකාවේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.2 කි. එයින් වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන්නේ මධ්‍යම පළාතේ ය. එය සංඛ්‍යාවෙන් 484,429. දෙවැනි වැඩිම පිරිස 154,252 ඌව පළාතෙනි. තුන්වැනි වැඩිම පිරිස සබරගමු පළාතෙනි. (104,063).
දිගු කලක් මේ පිරිස මෙරට ආර්ථිකයට අපරිමිත මෙහෙයක් සිදු කරමින් ජීවත් වූයේ මූලික අයිතීන් පවා අහිමි ජන කොටසක් ලෙසිනි. ඒ පිරිසට ඡන්ද අයිතිය පවා ලබාදෙන ලද්දේ 1949 වසරේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ය. බ්‍රිතාන්‍ය පාලකයන් යටතේ ද ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළ මේ ප්‍රජාවගේ නිදහසින් පසුවද ජීවන තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් සිදු නොවිණි.
ඒ ප්‍රශ්නය ඉතා සංවේදී මනසින් වටහාගත් රනිල් වික්‍රමසිංහ මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන කැබිනට් අමාත්‍යාංශය පිහිටුවමින් එහි වගකීම පලනි දිගම්බරම් ඇමතිවරයාට පැවරුවේය.
වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ ප්‍රධාන අංශය ලෙස සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය, මුල් ළමා විය සංවර්ධනය, නිපුණතා සංවර්ධනය, වෘත්තීය පුහුණුව, කාන්තාවන් හා තරුණයන් සවිබල ගැන්වීම, නිවාස, පානීය ජලය, සනීපාරක්ෂණය හඳුනාගෙන තිබෙන අතර ඒ ක්ෂේත්රයන්ගේ සංවර්ධනය මේ සුවිශේෂ පස් අවුරුදු සැලැස්මට අන්තර්ගත වේ.
‘අපටම අයිති ඉඩමක් - අපටම අයිති නිවසක්’ යන තේමාව යටතේ ලයින් කාමරවල ජීවත්වන පවුල් 172,700කට නව නිවාස ඉදිකර දීමට කටයුතු කෙරේ. මේ වනවිට ඉන් නිවාස 8133ක් ඉදිකර අවසන්ය.
‘අපටම අයිති ඉඩමක් - අපටම අයිති ගම්මානයක්’ යන සංකල්පය පෙරදැරිව නිවෙස් හා නව ගම්මාන ඉදිකිරීම සිදු කෙරේ. මේ අනුව වර්ග අඩි 550 කින් සමන්විත, කාමර දෙකින්, මුළුතැන්ගෙයින්, විසිත්ත කාමරයකින් හා වැසිකිළියකින් සමන්විත අලංකාර කුඩා නිවසක් ඉදිකෙරේ. එම ව්‍යාපෘතිය ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භවී, මහනුවර, රත්නපුර, කෑගල්ල, මාතලේ, බදුල්ල, මොනරාගල, කුරුණෑගල, කළුතර, මාතර, ගාල්ල, කොළඹ යන දිස්ත්‍රික්කවල ද මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඉන්දියා රජයේ ආධාර ඇතිව වැවිලි ප්‍රජාව වෙනුවෙන් නව නිවාස 14,000 ක් ඉදිකෙරේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ තවත් නිවාස 10,000 ක් ඉදිකිරීම සඳහා ආධාර ලබාදෙන බවය. එහි පළමු නිවාස 4000 දැනටමත් ඉදිකර අවසන්ය. පර්චස් හතක භූමි භාගයක ඉදිකෙරෙන මේ නව නිවාස සඳහා නිරවුල් හිමිකම් ඔප්පු ලබාදීම ද සිදු කරයි. වසර දෙසීයක දිගු ඉතිහාසයක් සතු මෙරට වතු ප්‍රජාවට ඉඩමක හා නිවසක නීත්‍යනුකූල හිමිකම ලැබෙන්නේ ප්‍රථම වතාවටය.
වතුකරයේ වයස අවුරුදු 3 - 5 අතර, දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කර ඇති පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන් රැසකි. ඒ පස් අවුරුදු සැලැස්ම සඳහා සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 10කි. මේ අනුව හා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 140ක් ස්ථාපිත කිරීමට නියමිතය. නව ක්‍රීඩා පිටි 175ක් ඉදිවෙන අතර, නවීකරණය කරන ක්‍රීඩා පිටි සංඛ්‍යාව 210කි. ළමයින්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ‘ටිකිරි ශක්ති’ නමින් වැඩසටහනක් ද අරඹා තිබේ. ඒ යටතේ ළමයින් සඳහා අධිපෝෂණ බිස්කට් ලබා දෙයි.
වැවිලි ප්‍රජාවට පිරිසුදු පානීය ජලය ලබාදීම සඳහා පවුල් 15,800ක් ඉලක්ක කර ගනිමින් ජල සම්පාදන ව්‍යාපෘති 130ක් ක්‍රියාත්මක අතර ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 1500කි.
වැවිලි ප්‍රජාවගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සනීපාරක්ෂක වැසිකිළි 7300ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර 2020 වන විට නව වැසිකිළි 10,000 ක් ඉදිකිරීමට නියමිතය. ඒ සඳහා ආයෝජනය කරන මුදල මිලින 240කි.
මේ අතර, වතුකරයේ මාර්ග සංවර්ධනය කිරීමට ද දැවැන්ත වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වතුකර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා පලනි දිගම්බරම් ඇමතිවරයා සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ඉටුකරන කැපකිරීම් ප්‍රශංසනීය ය.