
යාපනය රෝහලේ වාට්ටුවකට වී තවමත් සුසුම් හෙළන ජයන්ති මාලාට කියා ගන්නට බොහෝ දේ ඇති බව ඇගේ මුහුණෙන්ම පිළිබිඹු වෙයි. අවසන් වරට ඇයව දැක ගන්නට ගිය යුද හමුදාවේ කපිතාන්වරයාව දුටු සැණින් ඇගේ දෑත් එකතු කොට ඔහුට ආචාර කරත්ම ජයන්තිමාලාගේ දෙනෙතින් කදුළු රූ රා වැටෙන්නට වූවාය. කපිතාන්වරයා වාට්ටූවෙන් නික්ම ගිය පසුවද ජයන්ති මාලා කල්පනාවේ නිමග්නව සිටියාය. ඇයට කියන්නට බොහෝ දේ ඇතිවා සේම සොයන්නටද බොහෝ දේ ඇත. එහෙත් ඇගේ රෝගී තත්ත්වය මත ඇයට වාට්ටුවේ ඇඳෙන් ඔබ්බට යෑමට අවසරයක් නොමැත.
ඇත්තෙන්ම මේ ජයන්ති මාලාටත් ඇගේ දරුවන් දෙන්නාටත් සිදුවූයේ කුමක්ද? ඔවුන්ට සිදු වී ඇත්තේ මහා විපත්තියකි. ඒ සා මහත් විපතක් සිදු වී ඔවුන්ට තවමත් ජීවත් වීමට වරම් ලැබී ඇත්තේ පූරුවේ කළ පිනකටය. ඒ විපත ඇසින් දුටු එකම පුද්ගලයා ජයන්ති මාලාගේ සැමියාය. ඔහු නමින් ඩී. තෙරුනාල් ඇලෝසියස්ය.
'එදා උදේම ජයන්ති කිව්වා අද ළමයිනුත් එක්ක කෝවිල් යන්න ඕනේ කියලා. දවල් පූජාවටත් ඉදලා කෝවිලෙන් දානේ කාලා එමු කිව්වා. මමත් ළමයින් තුන් දෙනාත් ජයන්තිත් ගමනට පිටත් වුණා. කෝවිලට ආවා. පූජාවට ඉඳලා අනෙක් කටයුතු සූදානම් වෙනකල් අපි ගිහින් නාන්නද කියලා ළමයි අැහුවා. මම කිව්වා තනියම යන්න එපා අපිත් එනකල් ඉන්න කියලා.
අපි ඔක්කොම වැවට ගියත් නාන්න ඕනේ වුණේ වැඩිමල් ළමයි දෙන්නට. බාලම පුතා නාන්න බැහැ කිව්වා. ලොකුම දරුවා වැවට පැනලා පීනන්න පටන් ගත්තා. එක පාරටම ලොකූම ළමයා පේන්නේ නැතුව ගියා. මම ගොඩ ඉඳලා කෝ අයියා කියලා අහනකොට දෙවනි පුතා අයියා නෑ අයියා නෑ කියලා කෑ ගැහුවා. දෙවනි පුතා කෑ ගහලා වතුරේ ඉඳන් කිව්වා අයියා මඩේ එරිලා ඉන්නවා මම ගොඩට ගන්නම් කියලා. ඒත් ටික වෙලාවකින් දෙවනි පුතාගෙනුත් සද්දයක් නැතුව ගියා. විනාඩියක්වත් ගියේ නෑ ජයන්ති අනේ මගේ ළමයි කියලා කෑ ගහගෙන මම වතුරට පනින්නත් ඉස්සර වෙලා එයා වතුරට පැන්නා. ළමයි ඉන්න දිහාවට එයා යනවා දැක්කා .ඊට පස්සේ ටික වෙලාවකින් ජයන්තිවත් පේන්නේ නැතුව ගියා. මමත් වතුරට පැන්නා. මම වතුරේ හෙව්වා හෙව්වා මට ඒ කවුරුවත් හම්බ වුණේ නෑ. මම කෑ ගහ ගහ ඒ අයව වතුරේ අතගගා හෙව්වා හොයා ගන්න බැරිවුණා. මේ අතරෙදි බාලම පුතා කෑ ගහගෙන කෝවිල පැත්තට දුවගෙන ගිහින්. එහෙම කෑ ගහගෙන යන අතරෙදි තමයි ආමි එකේ මහත්තුරු දෙන්නෙක් ඉන්නවා මෙයා දැකලා ඒ අයට කෑ ගහ ගහලා අතින් පයින් විස්තරේ කියලා තියනවා. ඒ අය ඇවිත් මේ වැවේ මඩේ එරිලා හිටිය එක එක්කෙනා ගොඩට අරන් ප්‍රථමාධාර දීලා ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒ අරන් ගියේ පුනරීන් ඉස්පිරිතාලෙටයි. ඒ වෙනකොට කිසිම කෙනෙකුට සිහිය තිබුණේ නැහැ. මම හිතුවා තුන් දෙනාම මැරිලා කියලා. වාහනේට දානකොට ජයන්ති විතරක් කෙඳිරි ගෑවා. ළමයි දෙන්නම මළ කඳන් වගේ හිටියා. පුනරීන් ඉස්පිරිතාලෙන් කිව්වේ මේ අයට ගොඩාක් අමාරුයි. බේර ගන්න පවා බැරි වෙයි. අපි එයාලව යාපනේ ඉස්පිරිතාලෙට ගෙනියනවා කියලයි. ඒ අයව ගිලන් රථයක දාගෙන යාපනේ ඉස්පිරිතාලෙට ගෙනිච්චා. 'තෙරුනාල් ඇලෝසියස් පවසයි.
'හමුදාවේ දෙන්නා ආවේ නැත්නම් වෙන කවුරු ආවත් මේ තුන් දෙනා බේරෙන්නේ නැහැ. මුළු කෝවිලේම හිටිය මිනිස්සු ටික මෙතෙන්ට ආවත් ඒ එක්කෙනෙක්වත් ඔවුන්ගේ ජීවිතේ ගැන හිතලා වතුරට පනින්නේ නෑ මහත්තයෝ. ඒ දෙන්නා ආවා. හිත හිතා හිටියේ නෑ. යුනිෆෝම් ගැලෙව්වා. වතුරට පැනලා මේ අයව බේර ගත්තා.'
ඒ වදන් පෙළ කියද්දී තෙරුනාල් ඇලෝසියස්ගේ හඬත් විලාශයත් මහා වීරත්වයකින් පිරුණා මෙන්ම දැඩි හැඟුම්බර ගතියක්ද ඔහු කෙරෙන් දැක ගන්න ලැබුණි.
මිනිසුන් තමන්ගේ ජීවිතයට වඩා ආදරය කරන වෙනත් ජීවිතයක් නොමැති තරම්ය. එසේ වූවත් තමන්ගේ ජීවිතයට වඩා අනුන්ගේ ජීවිතය අගය කරන මිනිසුන්ද අප අතර නැතුවාම නොවේ. කිලිනොච්චියේ පුනරීන් අරසපුරකුලම් වැවට පැන්නේද එවැනි දේවත්වයෙන් යුත් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනාගෙන් පළමු වැන්නා ලාන්ස් කෝප්රල් ජේ.පී. ආරියරත්නය. සේවය කරන්නේ කිළිනොච්චිය පස්වන ස්වේච්ඡා පාබළ රෙජිමේන්තු කඳවුරේය.
'අපි කඳවුරේ එළිය සීමාවේ ඉන්නකොට වැව පැත්තෙන් එක්වරම කෑ ගහන සද්දයක් අපිට ඇහුණා. ඇත්තෙන්ම ඒක ලොකූ විලාපයක් වුණා. 'සාමී...සාමී.. කියලයි කෑගැහුවේ. ඒ කියන්නේ දෙයියනේ දෙයියනේ කියන්නා වගෙයි.
අපි ඒ පැත්තට යනකොට තමයි පොඩි ළමයා කෑ ගහ ගහ එනවා දැක්කේ. ඒ කතාව අපිට තේරුණේ නැති වුණාට අපිට දැනුණා මෙතන මොකක් හරි කරදරයක් වෙලා තියනවා කියලා. මොකද මිනිස්සු වතුර නැති කාලෙට වතුර ගන්න මේ වැව මැද්දේ අඩි තිහක් විතර ගැඹුරට ලොකූ ළිඳක් වගේ වළක් කපලා තියනවා. ඒක මඩ වලින් වැහිලා තියෙන්නේ. අපිට එක පාරටම හිතුණා මේ වළේ කට්ටිය එරිලා තමයි මේ අය උදව් ඉල්ලන්නේ කියලා. මමත් ලාන්ස් කෝප්රල් අමරසිරිත් අපේ ඇඳුම් ගලවලා දාලා වතුරට පැන්නා.
හැබැයි මෙතනදි අපි දෙන්නටම ලොකූ බයක් ඇති වුණා. මොකද 'දියේ ගිළුණු මිනිහා පිදුරු ගහෙත් එල්ලේනවා' කියලා කියමනක් තියනවනේ. මට හිතුණා මේ අයව බේර ගන්න වතුරට පනිනකොටම ඒ අය අපේ බෙල්ලෙන්ම අල්ලගෙන එයාලා බේරෙන්න බලයි කියලා. ඒත් අවසානෙදි හිතුණා ලොකූ විපතක් නේ වෙලා තියෙන්නේ කියලා. අර පොඩි දරුවා කෑගහන හැටි දැක්කම අපි දෙන්නටම ඒ සේරම දේවල් අමතක වුණා. වැවට පැනලා අපි දෙන්නා කාන්තාවගේ ස්වාමි පුරුෂයවත් අරන් එයාගෙත් උදව් එක්ක අනිත් අය සේරම ගොඩට ගත්තා. ඒ අයව මඩේ එරිලා හිටිය නිසා ඒක ඒ තරම්ම ලේසි වුණේ නැහැ.
අඩි තිහක් විතර තිබුණු වළේ අඩි පහළොවකට වඩා මඩ පිරිලා තිබුණා. ඒ අය අඩි තුනක් විතර මඩේ එරිලයි හිටියේ. මගේ එක කකුලක් අඩි හතරක් විතර මඩේ එරුණා. අනිත් කකුල වළේ ගැට්ටේ තියාගෙන තමයි මම එක එක්කෙනා ඇදලා ගත්තේ. කෝපල් අමරසිරිත් කළේ ඒ විදිහටමයි. ඒ අයගේ ඉණ කොටස වෙනකල්ම මඩේ එරිලා තිබුණේ. ඒත් වතුර බොර වෙලා මඩත් එක්ක කලවම් වෙලා නිසා ඒ අයව අපිට පෙනුණේ නැහැ. එහාට මෙහාට අත ගාලා කකුල් එහාට මෙහාට දාලා එව්වගේ වදිනකොට තමයි අපි එයාලව හොයා ගත්තේ. අනික අපිත් වතුර යට ඉදගෙනයි මේක කළේ. ඒ අයව ගොඩට ගන්න කොට කිසිම කෙනෙක්ට සිහිය නැහැ. වතුර පෙවිලා. බඩවල් ගොඩාක් ලොකු වෙලා. ඇගේ හැම තැනකම මඩ ගෑවිලා. අපි ඒ අයට ප්‍රථමාධාර දෙන ගමන් අපේ කඳවුරට මේ බව දැනුම් දුන්නා. ගොඩාක් දෙනෙක් දුවගෙන ආවා. අපි සේරම එකතු වෙලා වාහනයක දාලා තුන් දෙනාම පුනරීන් රෝහලට රැගෙන ගියා.’’
ලාන්ස් කෝප්රල් ටී.ජී.ජේ.පී. ආරියරත්නත් ඔහු සමග සිටි අනෙක් ලාන්ස් කෝප්රල් ඩී.ජී.එස්. අමරසිරිත් ඉපදුණේ එකම ගම්මානයකය. ඒ හසළක රන්දෙණිගල පාරේ පිහිටි අඹගහපැලැස්ස ගම්මානයේය. මේ අඹ යහළුවන් දෙදෙනා මේ වනවිට සේවය කරන්නේද කිලිනොච්චියේ එකම හමුදා කදවුරකය. යුද හමුදාවට සේවය කරන අතරතුර මේ සගයින් දෙදෙනා මුලු කිලිනොච්චියටම විශාල සේවයක්ද කොට තිබේ. ඩී.ජී.එස්. අමරසිරි ලාන්ස් කෝප්‍රල්වරයා මේ සිද්ධිය ගැන කියා සිටියේ විශාල පින්කමකට ඔවුන් දෙදෙනාත් කඳවුරේ පිරිසත් අතගැසූ බවය.
'අම්මා කෙනෙකුයි දරු දෙදෙනෙකුයි මරණයෙන් බේරා ගත්තා කියන්නේ ලෙහෙසි පිනක් නෙමෙයි. ඒ අය දෙමළ පවුලක් කියලා අපි මැරෙන්න ඇරියේ නැහැ' ජීවිතය ගැන නොතකා වැවට පැන්න ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනා ඔවුන්ගේ කඳවුරේ රාජකාරිය කරගෙන සිටියේ නම් අද ඇලෝසියස්ගේ මුළු පවුලම මේ මහ පොළොවට මිහිදන් වී හමාරය.
ඔවුන් දෙදෙනාගේ මේ ක්‍රියාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ කිලිනොච්චිය හැට හයවැනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර මහතාත් 661 වෙනි බළ සේනාවේ බළසේනාධිපති කර්නල් මධුර වික්‍රමරත්න මහතාත් 5 වන යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී මේජර් ධනංජය වන්නිආරච්චි මහතාත් එම රෙජිමේන්තුවේ තවත් නිලධාරීන් කීප දෙනෙකුත් දැක්වූ දායකත්වය අමතක කළ හැකි නොවේ. දිවි පරදුවට තබා මේ වික්‍රමය කළ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනා මෙහෙයවන ලද්දේ ඒ නිලධාරීන් විසින්ය. ඔවුන්ගේ මේ ක්‍රියාව මුළු රටේම කීර්තියටත් යුද හමුදාවේ කීර්තියටත් විශාල දායකත්වයක් ලැබූ නිසා ඔවුන් වෙනුවෙන්ද යම් ඇගයීමක් රටේ ඉහළ තැන්වලින් අවශ්‍යව ඇත.