ප්‍රථ­මා­ධාර හා මානු­ෂ­වාදී සේවා ක්ෂේත්‍රයේ වඩාත් වැද­ගත් දිනය | සිළුමිණ

ප්‍රථ­මා­ධාර හා මානු­ෂ­වාදී සේවා ක්ෂේත්‍රයේ වඩාත් වැද­ගත් දිනය

න්තර්ජා­තික රතු කුරුස හා රතු අඬ­සඳ සමාජ සම්මේ­ල­නය 2000දී හඳුන්වා දුන් ලෝක ප්‍රථ­මා­ධාර දිනය ‍සෑම වස­ර­කම සැප්තැ­ම්බර් මස දෙවැනි සෙන­සු­රාදා රට­වල් 190කට වැඩි ගණ­නක් ඉහ­ළින්ම සම­රයි. ඒ අනුව ඊයේ 14 වන දින යෙදී තිබුණු ලෝක ප්‍රථ­මා­ධාර දිනය ලොව කොතැ­නක හෝ සිදු වන හදිසි අන­තුරු හා රෝගී තත්ත්ව­ය­න්ගෙන් පීඩා විඳින තුවා­ල­ක­රු­වන්ට ඉතා ඉක්ම­නින් අව­ශ්‍යම මොහොතේ සහාය වෙමින් ජීවිත බේරා­ගැ­නී­මට දායක වන මානු­ෂ­වාදී ප්‍රථ­මා­ධා­ර­ක­රු­වන්ට, පුහු­ණු­ක­රු­වන්ට, මහ­ජ­න­තා­වට, රතු කුරුස හා රතු අඬ­සඳ සමා­ජ­යන් ඇතුළු සමස්ත ප්‍රථ­මා­ධාර හා මානු­ෂ­වාදී සේවා ක්ෂේත්‍රයේ සියලු දෙනා­ටම ඉතා වැද­ගත් දින­යක් ලෙස සැල­කිය හැකියි. මෙවර ලෝක ප්‍රථ­මා­ධාර දින තේමාව වන්නේ “බැහැර වූ පිරිස් ප්‍රථ­මා­ධා­ර­යෙන් පිළි­ග­නිමු” යන්නයි.

. ප්‍රථ­මා­ධාර ඉගෙ­නී­මට හෝ උගත් ප්‍රථ­මා­ධා­ර­යෙන් ජීවි­ත­යක් බේරා ගැනී­මට මුල් පිය­වර තැබී­මට අවශ්‍ය මූල බීජ ඔබ තුළ රෝප­ණය වන්නේ නම් එය මෙවර ලෝක ප්‍රථ­මා­ධාර දිනයේ අපේක්ෂා මුදුන් පත්වී­මකි.

ප්‍රථ­මා­ධාර පුහුණු වීමට විධි­මත් අධ්‍යා­පන සුදු­සු­කම් අවශ්‍ය නොවේ. ප්‍රථ­මා­ධාර ක්‍රම­ශිල්ප භාවි­තය නොදන්නේ නම්, ඔබ හදිසි අව­ස්ථා­ව­කදී යමෙ­කුට උදව් කිරී­මේදී එය සැබෑ උද­ව්වක් වන­වාට වඩා ඔහුගේ තත්ත්වය බර­ප­තළ වීමට ද ඉඩ­කඩ තිබේ. රිය අන­තු­රු­ව­ලට ලක් වන අයට ඇතැම් අය සත්භා­ව­යෙන් යුතුව කරන රෝගීන් වාහ­න­ව­ලින් ඇදීම, එක­වර එස­වීම, කිසි­වක් නොකර ත්‍රීරෝද රථ­වල ප්‍රවා­හ­නය කිරීම ආදී විවිධ නුසු­දුසු ක්‍රම­ශිල්ප නිසා අපගේ උදව්ව හානි­යක් බවට පත් වන අවස්ථා ද දක්නට ලැබේ.

හදිසි අව­ස්ථා­ව­කදී තුවාල ලැබූ හෝ රෝගී වූවන් සඳහා අවට ඇති සුදුසු දේවල් උප­යෝගී කර­ගෙන ප්‍රථ­මා­ධාර පුහු­ණුව ලැබූ අයෙකු විසින් වෛද්‍යා­ධාර ලබා දෙන තෙක් දෙනු ලබන විධි­මත් ආධා­ර­යක් ප්‍රථ­මා­ධාර ලෙස හැඳි­න්විය හැකියි. එමෙන්ම එය විද්‍ය­නු­කූල තාක්ෂ­ණික ක්‍රම­ශිල්ප ඇතු­ළත් ජීවිත බේරා­ගැ­නීමේ හැකි­යාව ඇති විෂ­ය­යක් කිව­හොත් නිවැ­ර­දියි.

රිය අන­තුරු ඇතුළු විවිධ අන­තු­රු­ව­ලින් වර්ෂ­ය­කට 14000ක් මිය යති. එම මිය යන අය අත­රින් 10,000 ක් දෙනාම මිය යන්නේ රෝහ­ල්ග­ත­වී­මට පෙරා­තු­වය. හෘද­යා­බා­ධ­ව­ලින් 15000 ක්, දියේ ගිලීමේ අන­තු­රු­ව­ලින් 1300 ක් පමණ වටිනා මිනිස් ජීවිත වාර්ෂි­කව අහිමි වේ. 3000ක් දෙනා සිය දිවි නසා ගනිති. ගෘහස්ථ වස­වීම්, වෘත්තීය පාදක අන­තුරු, උගුරේ සිර­වීම්, පිලි­ස්සීම්, සර්ප දෂ්ටන, උළුක්කු සිදු­වීම්, ඇද­ගෙන වැටීම් හා විවිධ අන­තුරු නිසා තුවාල සිදු වීම්, අස්ථි භග්න සිදු වීම් වැනි විවිධ හේතු නිසා මිය යන හා රෝහ­ල්ගත වීමට සිදු වන ප්‍රමා­ණය දහස් ගණ­නකි.

මෙරට අන­තු­රක් හෝ රෝගී වීමක් නිසා ඇති වන හදිසි අව­ස්ථා­ව­කදී විධි­මත් වෛද්‍ය ප්‍රති­කාර ලබා­දී­මට රෝගියා රැගෙන යෑම සඳහා ගත වන කාලය විනාඩි 10 සිට පැය­ක­ටත් වැඩි කාල­යක් දක්වා විහිදේ. මේ කාලය තුළ රෝගි­යෙ­කුගේ ජීවි­තය බේරා ගැනී­මට ප්‍රථ­මා­ධා­ර­ක­රු­වෙ­කුට කළ හැකි දෑ ජීවි­ත­යත් මර­ණ­යත් අතර වෙනස කියා­පායි.

ජන­තාව තුළ ප්‍රථ­මා­ධාර දැනුම ඉතාම අඩු බව විවිධ සමී­ක්ෂ­ණ­ව­ලින් මෙන්ම එදි­නෙදා අන­තු­රු­ව­ලදී ප්‍රති­චාර දක්වන ආකා­ර­යෙන් පෙනී යයි. එම නිසා දියුණු රටක් ලෙස සියලු ජන­යාට ප්‍රථ­මා­ධාර ලැබී­මට ඇති අයි­තිය තහ­වුරු කිරීම සඳහා අප රට තුළ කළ හැකි ප්‍රධාන ක්‍රියා­මා­ර්ග­යන් කිහි­ප­යක් තිබේ. සෑම අයෙ­කුම ප්‍රථ­මා­ධාර පුහු­ණුව ලැබීම හා සූදා­නම්ව සිටීම, පාස­ල්වල ප්‍රථ­මා­ධාර අධ්‍යා­ප­නය අනි­වාර්ය කිරීම, නව රිය­දුරු බල­පත් ලබ­න්නන් හා දැනට බල­පත් ඇති අය ප්‍රථ­මා­ධාර පුහු­ණුව අනි­වා­ර්ය­යෙන් ලබා ගැනීම, සෑම ආය­ත­න­ය­කම ප්‍රථ­මා­ධාර පුහුණු ලබා දීම අනි­වාර්ය වන නීති සම්පා­ද­නය කිරීම, හා ප්‍රථ­මා­ධාර කරන මහ­ජ­න­යාට නීති­මය රැක­ව­ර­ණය ලැබෙන නීති පද්ධ­ති­යක් හඳුන්වා දීම ආදිය මෙහිදී ප්‍රමුඛ වේ.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ප්‍රථමාධාර උපදේශක

ජයබුද්ධි ඥානතිලක

Comments