
“ආනන්දනීය සිංහල සිනමාව” යනු සිංහල සිනමාවට ළැදි කලාකාමි පිරිසක් සංවිධානය වී ආරම්භ කළ මුහුණුපොතේ පිටුවකි. විදේශගත වී සිටින ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු ද ඊට සම්බන්ධ වී සිටින්නේ ඔහු මෙරට සිංහල සිනමාව සමඟ සමීපව කටයුතු කිරීමෙන් ඔබ්බට ගොස් චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙන් ද කටයුතු කරන නිසා ය.
සිංහල සිනමාව සහ කලාකරුවන්ගේ වතගොත ගැන මුහුණුපොත ඔස්සේ කතාබහ කරන ඔවුන් සිංහල සිනමාවේ ප්‍රථම නිළි රැජන ලෙස විරුදාවලිය ලත් රුක්මණි දේවිය පිළිබඳ සංවාදයක යෙදුණේ ඒ අතරවාරයේදී ය. රුක්මණි දේවි හදිසි අනතුරකට ලක් වී මරණයට පත්වූ ආකාරය ගැන ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු විස්තර කරන විට නීල් ඉන්ද්‍රජිත් හේරත් නමැති මිතුරු සගයා “රුක්මණි දේවි හැප්පුණු තෙල් බවුසරය අපේ අයියා එළවලා තියෙනවා. ඒ පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියේ අයියා වැඩ කරන කාලේ” යනුවෙන් ක්ෂණිකව පැවසුවේ එහි වටිනාකම ගැන අවබෝධයකින් නම් නොවේ. එහෙත් ඔහු කටට ආ විගස පිට කළ එම වදන් ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දුට නම් ඉතා වටිනා පුවතක් විය.
මීගමුව බෝලවලානේ රුක්මණි දේවි විසූ නිෙවසට යාබදව පදිංචි වී සිටි ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු, රුක්මණි දේවි මිය යන තෙක් ඇසුරු කළේ පවුලේ ම කෙනකු මෙනි. ඈ තුළ තිබුණු ඉතා ළෙන්ගතු, නිහතමානි ගුණ නිසාම ගාමිණි ලක්ෂ්මන් ඇගේ “ස්වර්ණ ගී” ඒක පුද්ගල ගී ප්‍රසංගයේ සංවිධායක වශයෙන් ද කටයුතු කළේය. රුක්මණි දේවි ඉතා සමීපව ඇසුරු කළ ගාමිණි ලක්ෂ්මන්ට ඇයට මරු කැඳවූ තෙල් බවුසරය ගැන තොරතුරු සෙවීමට උනන්දුවක් ඇති වූයේ එකී සමීප සබඳතාව නිසා ම ය.
වෑන් රිය ගැටී ඇත්තේ නවතා තිබූ බවුසරයේ
ලංකාවට පැමිණි විටෙක ඔහු තෙල් බවුසරය තිබෙන පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිති කාර්යාලයට ගියේ නීල් ඉන්ද්‍රජිත්ගේ සොහොයුරාගේ උපකාරයෙනි. එහි සභාපති ඇතුළු නිලධාරින් හමුවී අවසර ලබාගැනීමෙන් පසුව ගාමිණි ලක්ෂ්මන් මෙකී තෙල් බවුසරය ඡායාරූපයට නැඟීය. එම ඡායාරූ මුහුණුපොතට එක් කළේය.
![]() |
රිය අනතුර සිදු වූ අවස්ථාවේ තෙල් බවුසරය සංරක්ෂිත ඡායාරූපය - නාරද නිශ්ශංක |
“මේ බවුසරය දැක්කාම මට ලොකු වේදනාවක් ඇති වුණා. රුක්මණි දේවි ගිලගන්න ආපු රාක්ෂයෙකු වගෙයි මට එය පෙනුණේ. මොකද රුක්මණිදේවි ජා-ඇළ තුඩැල්ලේ හදිසි අනතුරට ලක් වෙලා මිය ගිහින් විනාඩි 20ක් වගේ කෙටි කාලයක් ඇතුළත මම එතැනට ගිහිල්ලා ඒ බිහිසුණු ඛේදවාචකය මගේ ඇස් දෙකෙන් ම දැක ගත්තා.“
1978 ඔක්තෝබර් 29 වැනි ඉරිදා රුක්මණි දේවිගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තිබුණා. ඔක්තෝබර් 27 වැනි සිකුරාදා මාතර උයන්වත්තේ සංගීත ප්‍රසංගයකට ගිහින් එළිවෙන ජාමයේ තමයි ඇවිත් තියෙන්නේ. ඔක්තෝබර් 28 වැනි සෙනසුරාදා උදේම මම ඇගේ නිෙවසට ගිහින් ඈ එන තුරු බලාගෙන හිටියේ ඊට පහුවෙනිදා තිබෙන ප්‍රසංගය ගැන කතා කරන්න. එදා උදේ 6.30ට විතර පණිවිඩයක් ලැබුණා ඈ පැමිණි වෑන් රථය අනතුරකට ලක්වෙලා මිය ගිහින් කියලා. මම ඉක්මනට පාරට දුවගෙන ඇවිත් කොළඹ යන පොල් ලොරියක නැඟලා එතැනට ආවා.“
“අනේ, ඒ වෙලාවේ ඇගේ මළසිරුර පොල්අත්තකින් වහලා තිබුණා. මම තමයි වටපිට කට්ටියට කිව්වෙ මේ මැරිලා ඉන්නේ රුක්මණි දේවි කියලා. මම ඒ අයගෙන් සුදු රෙද්දක් ඉල්ලාගෙන ඉක්මනට ඇගේ මළ සිරුර වහලා දැම්මා. මට මේ බවුසරය දැක්කාම එදා රුක්මණි දේවි මහමඟ මිය ගොස් හිටපු හැටි මැවි මැවි පෙනෙන්න වුණා.” යනුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට විස්තර කළේ ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු ය.
රුක්මණි දේවි අනතුරට පත් වූ බවුසරය ඉසුසු වර්ගයට අයත් රථයකි. එදා 24 ශ්‍රී 0862 අංකය දැරූ එකී බවුසරය අද ශ්‍රී ඉවත් වී 24 - 0862 ලෙස අංකය දරනු ඇත. 1978 දී එම බවුසරය අයත් වී තිබුණේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ය. අද අයත් වී තිබෙන්නේ පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියට ය. වසර 41ක් තුළ කාලය විසින් බොහෝ දේ වෙනස් කර ඇත.
“මේ බවුසරය අපි අර ගත්තේ 1985 අගෝස්තු මාසයේ. අපි මිල දී ගෙන තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයිති වෙලා තිබිලා වෙන්දේසි කරන අවස්ථාවකදී. රුක්මණි දේවි අනතුරකට ලක්වෙලා මිය ගියේ මේ බවුසරයේ හැප්පිලා කියන කතාව අපි මුලින් දැනගෙන හිටියේ නැහැ. පස්සෙ තමයි අපිටත් ආරංචි වුණේ. මේ බවුසරය අදටත් වැඩ කරනවා.
පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ප්‍රාදේශික 26ක් තිබෙනවා. ඒ 26ට භූමිතෙල් බෙදා හරින්නේ මේ බවුසරයෙන්. මෙහි ලීටර් 5500ක ධාරිතාවක් තිබෙනවා. මෙහෙට ගත්තාට පස්සේ රියැදුරන් හතරදෙනෙකු පමණ මේ බවුසරයේ සේවය කර තිබෙනවා. දැන් මෙහි සේවය කරන්නේ ඊ.ඒම්. නයන කුමාර කියන රියදුරු. මේ බවුසරය පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියට අයිති වෙලා දැන් අවුරුදු 34ක්. මේ මුළු කාලයට ම අනතුරකට ලක්වෙලා නැහැ” යනුවෙන් පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති රංජිත් ධර්මසිරි විස්තර කළේ බවුසරයේ වර්තමාන තත්ත්වය පිළිබඳයි.
ඇත්ත වශයෙන් ම එදා රුක්මණි දේවියට මරු කැඳවූ මාරක රිය අනතුර සිදු වුණේ තෙල් බවුසරයේ රියැදුරුගේ වරදින් ද? නැතිනම් ඈ ගමන් කළ හයිඑස් වෑන්රිය පැදවූ රියැදුරුගේ වරදින් ද?
“වෑන් රථය හැඳල පල්ලියවත්තේ සිට මීගමුව දක්වා ගමන් කළා. හැඳලින් එඩී ජයමාන්න බස්සවා අපි රුක්මණි දේවිගේ නිෙවසට එන්න පිටත් වුණා. කැමරා ශිල්පි දයා පෙරේරා රිය පැදෙව්වා. මම ඔහු ළඟින් ඉදිරිපස අසුනේ වාඩි වී සිටියා. රුක්මණි දේවි පසුපස ආසනයේ වාඩි වී සිටියා. සෙනසුරාදා උදේ 6.35ට පමණ වෑන්රිය තුඩැල්ල දෙසට පැමිණෙන විට අපේ රියට ඉදිරියෙන් ඉතා වේගයෙන් බවුසරයක් එමින් තිබුණා. ඒ සමඟම ඒ බවුසරය වෑන් රථයේ හැප්පුණා. මට ක්ලාන්ත ගතියක් දැනුණා. දයා පෙරේරා සුක්කානම මත හිස තබාගෙන සිටිනවා මම දුටුවා. ඔහුට ලේ ගලන තුවාල තිබුණා. මිය ගිය රුක්මණි දේවිත් සිහිසන් නැතිව ලේ ගලන තුවාල සහිතව සිටියා.” (දිනමිණ පත්‍රය 1978.10.30) යනුවෙන් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දී තිබෙන්නේ දෙමටගොඩ කොළොන්නාවේ පාරේ පදිංචි වී සිටි ඩී. ලයනල් විජේසිරි නමැති කැමරා ශිල්පියා ය. එම රිය අනතුරින් රුක්මණි දේවියට අමතරව කැමරා ශිල්පි දයා පෙරේරා ද ජීවිතක්ෂයට පත් විය. විජේසිරිගේ සාක්ෂියට අනුව නම් තෙල් බවුසරය අධික වේගයෙන් පැමිණ තිබේ.
එහෙත් ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු පවසන්නේ ඊට ඉඳුරා වෙනස් කතාවකි.
“එදා මම අනතුර සිද්ධවුණ ස්ථානයට යන විට තෙල් බවුසරයේ රියැදුරු එහි සිටියා. ඔහු මැදිවියේ කෙනෙක්. ඔහුටත් රිය සහායකටත් තුවාල තිබුණා. මම රියදුරු සමඟ කතා කළා. ඔහු මට කිව්වෙ අනේ මහත්තයෝ, මගේ පැත්තට මේ වාහනේ එනවා මම දැක්කා. මම අයිනට කපන්න කපන්න මේ වෑන් එක ඇවිත් හැප්පුණා කියලා. රුක්මණි දේවිගේ මරණය අපිට ලොකු වේදනාවක් තමයි මට එය දැනෙන්නේ මගේ පවුලෙම කෙනෙක් නැති වුණා වගෙයි. එය එසේ වුවත් ඈ ගමන් කළ වාහනයේ රියැදුරුගේ අතින් වරදක් වුණා නම් එය පිළිගන්න වෙනවානේ. මට හිතෙන්නේ මාතර ඉඳලා එන ගමනනේ, දයා පෙරේරාට පොඩ්ඩක් ඇහැ පියවෙන්න ඇති. ඔය වගේ දෙයක් සිද්ධ වෙන්න තත්පරයක් ඇතිනේ.” යනුවෙන් ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු දුරකතනයෙන් විස්තර කළේය.
පඬුවස්නුවර සමූපෙ තෙල් අදටත් මේ බවුසරයෙන් බෙදනවා
කෙසේ හෝ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් එම තෙල් බවුසරයේ රියදුරු එම්.ඒ. ජිනදාස සහ රිය සහායක එම්.ජී. තෙපානිස් තුවාල ලබා කොළඹ මහරෝහලට ඇතුළත් කළ බව පුවත්පතේ වාර්තාවී තිබේ. මරණ පරීක්ෂණ මෙහෙය වූ නාගරික හදිසි මරණ පරීක්ෂක වෝල්ටර් ඩී. පෙරේරා බවුසරය පැදවූ තැනැත්තාව නොවැම්බර් 8වැනි දින කණුවන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කරන ලෙස ජා-ඇළ පොලිසියට නියෝග කර තිබෙන්නේ එමනිසාය. බවුසරයේ රියදුරු එම්.ඒ. ජිනදාස සමඟ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රියැදුරකු වශයෙන් එකට සේවය කර, දැනට විශ්‍රාමික සුවයෙන් පසුවන ඩී. ඇන්ටන් සිල්වා සොයා ගියේ මෙහි වැඩි තොරතුරු දැනගැනීමට ය. ඇන්ටන් සිල්වා 1965 - 2005 දක්වා එහි සේවය කළ අයෙකි.
“ජිනදාසගේ බවුසරයට රුක්මණි දේවි ගමන් කළ වාහනය හැප්පිලා ඈ මිය ගිය සිද්ධිය මට හොඳට මතකයි. ජිනදාස එයාගේ වාහනය අයිනට කපද්දි මේ වෑන් රිය බවුසරය පැත්තට ම ආපු බව කිව්වා. ඊට පස්සේ ජිනදාස බවුසරය අයින් කරලා නවත්තාගෙන තිබෙනවා. නවත්තපු බවුසරයෙ තමයි වෑන් එක හැප්පිලා තිබුණේ. ඒ වෙලාවේ වෑන් රියේ රියදුරුට නින්ද යන්න ඇති. මේ අනතුර සිද්ධ වුණ වෙලාවේ අහල පහළ කට්ටිය ජිනදාසට ගහන්න ඇවිත් තිබුණා. කොහොම හරි ජිනදාස ජා-ඇළ පොලිසියට දුවලා ගිහින් තමයි බේරිලා තියෙන්නේ.;
මේ අනතුර නිසා ජිනදාසගේ වැඩ තහනම් කළා. අවසානයේ ජිනදාස අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වුණා. මොකද ජිනදාස වාහනය නවත්තාගෙන තියෙද්දිනේ වෑන් එක ඇවිත් හැප්පුණේ. ජිනදාස කැලණිය වනවාසල පැත්තේ හිටියේ. ඔය සිද්ධිය වෙලා ටික කාලයකින් ජිනදාස විශ්‍රාම ගියා. ඔය අනතුර වෙනකොටත් ජිනදාසට අවුරුදු 50ක් විතර ඇත.” දැන් 75 වැනි වියේ පසුවන ඩී. ඇන්ටන් සිල්වා සිය මතකය අවදි කළේ එසේ ය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ව තිබූ 24 ශ්‍රී 0862 අංකය දරන තෙල් බවුසරයේ රියැදුරු ලෙස සේවය කළ එම්.ඒ. ජිනදාස සහ සහායක එම්.ජී. තෙපානිස් පිළිබඳව තොරතුරු සොයා යෑමේදී මේ වන විට ඔවුන් ජීවතුන් අතර නැති බව අපට දැනුම් දුන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහකාර ලේකම් කේ.ජී. අනුරුද්ධ බණ්ඩාර ය. වසර 41කට එපිට යටගිය තොරතුරු පරීක්ෂා කරමින්, විශ්‍රාම ගිය නිලධාරින්ගෙන් විමසමින් ඔහු අපට ලබාදුන් සහයෝගය අගය කළ යුතුම ය.
කෙසේ හෝ මේ අභාග්‍ය සම්පන්න සිද්ධියෙන් පසුව ජිනදාසට “රුක්මණි” යනුවෙන් නමක් පටබැඳ තිබූ බවද අපට වාර්තා විය. රුක්මණි දේවි එදා ගමන් ගත් ටොයොටා හයිඑස් වාහන එතැන් පටන් “රුක්මණි මොඩල්” ලෙස හැඳින්වූ බව නම් අප්‍රකට කාරණාවක් නොවේ. එදා ජා-ඇළ තුඩැල්ලේ සිදු වූ එම මාරක රිය අනතුර පුවත්පතට වාර්තා කළ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස දිවයින පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාරද නිශ්ශංක හැඳින්විය හැකිය. එවකට ඔහු ටයිම්ස් මන්දිරයෙන් ප්‍රකාශයට පත් කළ ලංකාදීප පුවත්පතට වේයන්ගොඩ ප්‍රාදේශීය වාර්තාකරුවකු වශයෙන් ප්‍රවෘත්ති සැපයුවේ අ.පො.ස. උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබද්දී ය.
“එදා සෙනසුරාදා දවසක්. මම මීගමුවෙ ඉඳලා ඇක්වයිනාස් එකේ පන්ති යන්න බස් එකේ ගියා. තුඩැල්ල ප්‍රදේශය කිට්ටු වෙනකොට රිය අනතුරක් වෙලා කියලා ආරංචි වුණා. මම ටක් ගාලා බස් එකෙන් බැහැලා අනතුර වුණු තැනට ගියා. හරියට ම තුඩැල්ල පල්ලිය ඉදිරිපිටට වෙන්න තමයි අනතුර සිද්ධ වෙලා තිබුණේ. මම කොහේ යතත් ඒ කාලේ තිබුණු බොක්ස් කැමරාව අරගෙන යන්නේ. මම එතැනට යන විට මළ සිරුරු රථයෙන් එළියට ගන්නවා. මම ෆොටෝ ගත්තා. හැබැයි මම දැනගෙන හිටියේ නැහැ මේ මැරිලා ඉන්නේ රුක්මණිදේවි කියලා.
කට්ටිය කියනවා ඇහුණා ඩේසි අක්කා මැරිලා, ඩේසි අක්කා මැරිලා කියලා. ඒත් ඩේසි අක්කා කියන්නේ රුක්මණි දේවිට කියලා ඒ දවස්වල මගේ ඔළුවෙ තිබුණේ නැහැ. මළසිරුරු වෑන් රියෙන් එළියට ගන්නා විට ගැහෙනවා වගේ මම දැක්කා. එතනට ලැඩී රණසිංහත් ඇවිත් හිටියා. මම ඡායාරූප අරං පන්ති යන එක පැත්තක දාලා ටයිම්ස් කාර්යාලයට ගිහින් මගේ ඡායරූප දුන්නා.
බවුසරය රුක්මණී දේවි කෞතුකාගාරයට යැවීමේ යෝජනාවක්
මම කාර්යාලයට යනකොට රුක්මණි දේවි තුඩැල්ලේ අනතුරකින් මැරිලා කියලා කොළඹ ඡායාරූප ශිල්පීනුත් කර්තෘ මාණ්ඩලිකයනුත් තුඩැල්ලට ඇවිත්. එතකොටයි මම දැනගත්තේ මම අරං තියෙන්නේ රුක්මණිදේවිගේ ෆොටෝ කියලා. කොහොමහරි එහෙ කට්ටිය සිද්ධිය ආවරණය කරන්න ගිය නිසා මගේ නම පත්තරේ වැටුණේ නැහැ. හැබැයි රුක්මණි දේවිගේ අනතුර ඇසින් දුටු හැටි කියලා විශේෂ ලිපියක් ලියන්න මට අවස්ථාව ලැබුණා. මගේ නම ඒ ලිපියෙ ගියා.“ යනුවෙන් එදා සිදු වූ රිය අනතුර වාර්තා කළ අයුරු විස්තර කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි නාරද නිශ්ශංක ය.
මීට වසර 41කට පෙර රුක්මණි දේවියට මරු කැඳවූ අංක 24 - 0862 දරන බවුසරය අද ද සුපුරුදු ආකාරයට ම තෙල් බෙදා හරිමින් සිටින්නේ සිත් පිත් නැති යකඩ ගොඩකට ඇගේ මරණය ගැන කිසිදු වගක් නැති නිසා ය. වසර 34කට නොවැඩි කාලයක් පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියේ සෙවණේ සිටින මේ බවුසරය ද අද වියපත් වී සිටියි. පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතිය බවුසරය වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙන්නේ එ් නිසාය. ඒ සඳහා පළාත් කොමසාරිස්ගෙන් අනුමැතිය ලැබෙන තුරු සිටින බව අපට පැවසුවේ සභාපති රංජිත් ධර්මසිරිය. එබැවින් මතු යම් දවසක මේ බවුසරයේ හිමිකාරත්වය වෙනත් අයකුට පැවරෙනු ඇත. එහෙත් ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දුගේ අදහස වන්නේ කෞතුක වටිනාකමක් ඇති මෙම බවුසරය තිබිය යුත්තේ මීගමුවේ පිහිටි රුක්මණි දේවි කෞතුකාගාරයේ බව යි.
ඡායාරූප - සරත් කුමාර (බිංගිරිය සමූහ)