
ඒ පරිසරය අද නිසොල්මන්ය. එදා මෙන් කිසිවෙකුගේ කතාබහක්, හඬක්, උද්ඝෝෂණයක් එහි නැත. ඒ අවටින් කිසිවෙකුගේ හඬක් ඇසේ නම් ඒ මීතොටමුල්ල කුණු කන්ද උද්‍යානයක් බවට පත් කරන්න වෙහෙසෙන සේවකයකුගේ පමණි. කුණු ටොන් ගණනක් අහස උසට දරාගෙන උද්‍යානයක් ලෙස කළ එළිබසින්නට සූදානම් වන මීතොටමුල්ල කුණු කන්ද කිසිවක් නොවූ ස්වරූපයෙන් අද හැඩ වෙමින් පවතියි. තව නොබෝ දිනකින් මේ මීතොටමුල්ල උද්‍යනයේ සුන්දරත්වය විඳ ගන්නට අවස්ථාව උදාවෙයි. මේ විසල් කුණු කන්ද උද්‍යානයක් ලෙසින් දිනෙන් දින හැඩවන අපූරුව මීතොටමුල්ලට ගොස් බලා කියා ගන්නට සිළුමිණ අපි කටයුතු කළෙමු.
එදා මේ කුණු කන්ද පිහිටි භූමිය පැරණි කුඹුරක් බව ප්‍රදේශවාසීහු පවසති. එය මීතොටමුල්ල කුණු කන්ද ලෙස හඳුන්වන්නට පෙරාතුව හඳුන්වා ඇත්තේ පොතුවිල් කුඹුර ලෙසය. 1989 වසරේ කොළඹ නගරයට ආ විශාල ගංවතුරෙන් මේ කුඹුරු යාය විනාශ තිබේ. ඒ වකවානුවේදී මුල්ලේරියාව නගර සභාව මේ කුඹුර ගොඩ කර කොලොන්නාව කොටිකාවත්ත මුල්ලේරියාව නගර සභා සහ ප්‍රාදේශීය සභා තුනට අදාළ කසළ බැහැර කිරීම ආරම්භ කර තිබේ. ආරම්භයේ අක්කර දෙකක් පමණ වූ මීතොටමුල්ල කුණු කන්ද අද වනවිට අක්කර විස්සක් පමණ දක්වා වූ භූමි ප්‍රදේශයක පැතිර තිබේ. එතැන් සිට වසර ගණනක් පුරාවට කුණු ටොන් ගනණින් පිරවුණු පොතුවිල් කුඹුර කල්යත්ම මීතොටමුල්ල කුණු කන්ද ලෙස හැදින්වූයේ නිතර නිතර මේ කුණු කන්ද සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව නැඟු විරෝධය නිසාය.
මේ කුණු කන්ද ලංකාවම මළ ගෙදරක් කරවන්නට හේතු වේවි යැයි එදා කිසිවෙකු නොසිතන්නට ඇත. අවාසනාවට එය එසේම සිදුවිණි. 2017 අප්‍රේල් 14 වැනිදා මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේය. ඒ හරියටම අලුත් අවුරුද්ද දවසේය. එදා මුළු මහත් ලංකාවම මළ ගෙදරක් වූයේ වසර 30ක් තිස්සේ අඩි 400ක් උසට ටොන් දසලක්ෂ 25ක් කුණුවලින් පිරුණු මේ කුණු කන්ද නාය යෑමෙන් ජීවිත 32ක් පමණ අහිමි වූ බැවිනි.
නව උද්‍යානයක්
අද ජීවිත රැසක් බිලිගත් කුණු කන්ද නවමානයක් කරා ගමන් අරඹමින් සිටියි. විවිධ හැඩතල මත උද්‍යානයක් ලෙස රටාවකට ගොඩ නැගෙන මීතොටමුල්ල කසළ කන්ද පාමුලින් අපගේ ගමන ඇරැඹීමු. එදා මෙන් දැඩි දුර්ගන්ධයක් අද නැත. ගහක් කොළක් නොපෙනී කසළවලින්ම පිරී තිබූ ඒ විසල් කුණු කන්ද මේ වන විට තණ නිල්ලෙන් පිරුණු ගහ කොළින් වටවූ සොඳුරු උද්‍යානයක් ලෙසට පරිවර්තනය වන්නට සැරසෙමින් සිටියි.
කන්දට වැළලී ගිය ගොඩ නොගත් මෘතශරීර දොළහක් පමණ තියෙනවා කියන්නේ ඇත්තද? මම කන්ද තරණය කරන අතරතුර එතැන සිටි සේවකයකුගෙන් විමසුවෙමි. 'එහෙම කියනවා නම් තමයි. ඒත් අපිට නම් මේවා හාරලා පිළිසකර කරත්දී එහෙම කිසිම දෙයක් හමු වුණේ නැහැ. නමුත් මේ අවට තිබුණු කන්දට යට වුණු ගෙවල්වල කොටස් නම් තවමත් හම්බ වෙනවා. ඔහු පවසයි.
මේ උද්‍යානය සැකැස්ම පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියෙන්ද විමසා බලන්නට අපි කටයුතු කළෙමු.
ප්‍රථම වතාව
“ලංකාවේ පළමුවරට තමයි මේ විදිහට කුණු කන්දක් උද්‍යානයක් බවට පත් වන්නේ. එය විශේෂ දෙයක්. මේ කුණු කන්දෙ තිබුණු අනතුරුදායක තත්ත්වය එහෙමත් නැතිනම් ස්වභාවය අනුව මෙය පිළිසකර කරන්න මුලින් ම පටන් ගත්තේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. ඉන්පසුව පසුගිය වසරේදී තමයි මෙය උද්‍යානයක් ලෙස පිළිසකර කරන්න කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය ඇරැඹුවේ. එතැනදී මුලින් ම සිදු කළේ මෙම කුණු කන්දේ දළ සැලැස්මක් අනුව එය පිළිසකර කළ යුතු ආකාරය පිළිබඳ හැදෑරීමක් සිදු කිරීම. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මත මෙය නිර්මාණය කළ යුතු ක්‍රම පිළිවෙළ සකසා ගත්තා. මුලින් ම පරීක්ෂණ කිහිපයක් ම කරමින් මේ ගැන අධ්‍යයනය කළා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් මේ කසළ කන්ද පිළිසකර කිරීමේ කටයුතු ඇරඹුණා.” කසල කන්ද පිළිසකර කිරීම පිළිබඳ මූලික අඩිතාලම විස්තර කරමින් නාගරික සංවර්ධන අධිකාරියෙන් පැවැසුවේ එවැන්නකි. ඒ අනුව මෙම කසල කන්ද උද්‍යානයක් කිරීම ආරම්භ වන්නේ 2018 වසරේ මුල් භාගයේදී ය.
“මෙහි පළමු අදියර වශයෙන් මුලින් ම සිදු කළේ උද්‍යානයකට සරිලන අන්දමට කසළ කන්දේ හැඩය නිර්මාණය කිරීමයි. ඒ අනුව කසළ කන්ද විවිධ හැඩතලයනට අනුව උද්‍යානයකට සරිලන ලෙස ගොඩනැගීම සිදුවෙනවා. මේ වනවිට එහි සියයට පනහක වගේ ප්‍රමාණයක් අවසන්. මීතොටමුල්ල ප්රතිසංවිධාන ව්‍යාපෘතියේ අධ්යක්ෂ සහ නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතාගේ සංකල්පයක් හා ඔහුගේ නිර්මාණශීලීත්වය තමයි මෙයට පසුබිම වුණේ. ඒ වගේ ම නියෝජ්‍ය අධ්යක්ෂතුමා අනුර ප්රසන්නත් මේ සඳහා මඟ පෙන්වීම සිදු කරනවා. ඒ අනුව මේ කසළ කන්දේ පවත්නා කුණු සියල්ලම කළමනාකරණය කරගෙන උද්‍යානය නිර්මාණය කිරීමේ කටයුතු ඇරැඹුණා” නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
විවිධ හැඩතල
2018 වසරේ අගෝස්තු මාසය වන විට කසළ කන්දේ හැඩතල නිර්මාණය කරගැනීමේ අදියර අවසන් ව ඇති අතර මේ වනවිට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මත කසළ කන්දෙන් පිටවන ගෑස් හා අප ජලය බැහැර කිරීම සඳහා අවශ්‍ය නළ එළීම් සිදු වේ. කසළ කන්ද වටේටම මෙම නළ එළීම ඔස්සේ මෙම ගෑස් සහ අප ජලය බැහැර කිරීම කළ යුතුව ඇත.
“මේ කන්ද උද්‍යානයක් බවට පත් කරන්න පටන් ගන්නා විට මේ කන්ද මීටර් 42ක් පමණ උසකින් යුක්ත වුණා. එය මීටර් 33කට පමණ අපි උසින් අඩු කිරීම සිදු කළා. ඒ අනුව මීටර් 9ක් පහළට අඩු කළා. ඒ අනුව කන්ද තව තවත් පහළ යෑම සිදු වුණා” ඔවුන් වැඩිදුරටත් පවසයි.
කන්ද මුදුනටම ගිය විට දක්නට ලැබෙන්නේ තණ තීරුවලින් යුතුව කුඩා ගල්කැට දමා මනා සේ සකසා අලංකාර කළ සමතලා බිම් තීරුවකි. එතැනට මුළු කොළඹ හා අවට නගර ඉතා අසිරිමත්ව දිස්වෙන අපූරුව අපි විඳගතිමු. එම බීම් තීරුව ගෙන එන්නේ අපූර්වත්වයකි.
“මෙතැනට එන සුළං පාර තරමක් සැරයි. එනිසා ගස් සිටුවීම තරමක් අපහසු වී තිබෙනවා. නමුත් මේ වනවිටත් විවිධ ස්ථානයන්හි ගස් සිටුවීමට අපි කටයුතු කර තිබෙනවා.“ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මෙය වසර 2020 වන විට නිර්මාණය කර අවසන් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
“පවතින කාලගුණික තත්ත්වය මේ උද්‍යානය නිර්මාණය කිරීමේදී මූලික වශයෙන් ම බලපානවා” ඒ ඔවුන්ගේ අදහසයි.
එලෙසම මේ කසළ කන්ද උද්‍යානයක් බවට පත්වීම ගැන ප්‍රදේශවාසීන් ගේ ප්‍රතිචාර ද යහපත් බව එතැන සේවය කරමින් සිටින කිහිප දෙනෙක් ම අප සමඟ පැවැසිය.
අවට පිරිස් සතුටින්
“මුල් දවස්වල අපි වැඩ කරන විට කන්දේ පැවැතුණේ ඉවසන්න බැරි දුර්ගන්ධයක්. හුඟ දෙනෙකුට වමනය යනවා. ඒත් මේ පිළිසකර කිරීමත් සමඟ ඒ තත්ත්වය දුරුවෙලා තිබෙනවා” ඔවුන් පවසයි. කසළ කන්දේ පිළිසකර කටයුතුවලට දායක වෙන නම හෙළි කිරීමට අකැමැති සේවකයකු පවසා සිටියේ මෙය උද්‍යානයක් ලෙස සකස් කිරීමේදී කසළ කන්ද හාරා නිසි පිළිවෙළට සකස් කිරීම කළ බවත් එහිදී වැළලී ගිය ත්‍රීරෝද රථයක් මෙන් ම කසළ කන්දට යටවූ සහ ගසාගෙන ගිය නිවෙස්වල උළුවහු ඇතුළු කොටස් ද වෑන් රථයක දොරක කොටසක් ද හමුවූ බවයි. ප්‍රදේශයේ සිදුවෙමින් පවතින මේ නව වෙනස හා යළි පිබිදීම පිළිබඳ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් ද අදහස් ද විමසා බලන්නට අපි අමතක නොකළෙමු. එහිදී අදහස් දක්වමින් ප්‍ර දේශවාසියකු වන ලක්ෂ්මන් මහතා අප සමඟ පවසා සිටියේ, මෙලෙස කුණු කන්ද උද්‍යානයක් ලෙස සකස් වීම හොඳ දෙයක් බවයි.
''මේ ප්‍රදේශයට ඉස්සර කිව්වේ පුංචි කුරුඳුවත්ත කියලා. ඒ තරමටම සශ්‍රික කිසිම කරදරයකින් තොර ප්‍රදේශයක් තමයි තිබුණේ. පස්සෙ කාලයක දී මිනිස්සු සෑහෙන්න මේ ප්‍රදේශයේ පදිංචිව සිටියා. හිටපු ගමන්ම වෙලට කුණු දාන්න පටන් ගත්තා. මේක වැඩි වුණා. කොහොමහරි කුණු කන්ද දවසින් දවස විශාල වුණා. දැන් හුඟ දෙනෙක් ගෙවල් විකුණගෙන ගිහින්. අපේ ගමේ මිනිස්සු තමයි මියගියේ. සමහර බොරු කතාත් හරියට ප්‍රචාරය වුණා. වෑන් පිටින් වැළලුණා කිව්වා. ඒක බොරු කතාවක්.
ඒත් මේ වගේ උද්‍යානයක් හදන එක මට නම් හිතෙන්නේ හොඳ දෙයක්. ඒක හරියට කරන්න ඕන. නැති නම් එය බොරු වැඩක් වෙනවා විතරයි.'' එලෙස පැවැසුවේ තරුෂියි.
''මේ කුණුගොඩ මුල ඉඳන්ම හරියට නඩත්තු කළේ නැහැ. මේ කුණු කන්දෙන් අවට ගෙවල්වල මිනිස්සු නොසෑහෙන දුකක් වින්දා. මේකට ගෙන එන කුණු කපුටන්, බල්ලන් ඇදගෙන ඇවිත් ගෙවල්වලට දානවා. ඒ වගෙම පළාතෙ ඉන්න බැරි කුණු ගඳකින් පීඩා වින්දා. සති ගනන් ගියත් ඒ කුණු ගඳ ඉවත් වෙන්නේ නැහැ. දැන් නම් මේ කන්ද පිළිසකර වෙන නිසා ඒ ගඳ නැහැ. මෙහි උද්යනයක් හඳන එක හොඳයි. ඒත් එයත් ආවට ගියාට නැතිව ක්‍රමවත්ව සිදුවිය යුතුයි. අනෙක පොලිතින් විශාල ප්‍රමාණයක් මෙහි තියෙනවා. ඒ නිසා ගස් වැවීම නම් පහසු වෙන්නේ නැහැ. එනිසා ක්‍රමවත්ව සිදු විය යුතුයි. ප්‍රදේශවාසීන් ලෙස අපිට සතුටුයි.'' ලයනල් මහතා පවසා සිටියේ එලෙසිනි.
සේයාරු - රංජිත් අසංක