
ගස්වල පොතු, දලු, ගෙඩි, මුල්, මල් යනාදි ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගි කරගනිමින් සිදු කෙරෙන දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය අතුරු ආබාධ රහිත සාර්ථක වෙදකමක් බව බොහෝදෙනාගේ පිළිගැනීමය. දේශීය වෙදකම අද නවීකරණය වී තිබෙන්නේ වත්මනට ගැළපෙන පරිදිය. වෙදකමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේ දුෂ්කරතාව, බෙහෙත් තම්බා ගැනීමට, අඹරා ගැනීමට ඇති අපහසුව යනාදි කරුණු නිසා අද වන විට කුඩු, කරල්, පෙති වශයෙන් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ද වෙනස් වී ඇත.
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක් වැඩිදියුණු කර නව නිෂ්පාදනයක් හඳුන්වා දුන් ආයුර්වේද වෛද්‍යවරියක ලෙස මනෝරි අමරජීව හැඳින්විය හැකිය. ඇය හඳුන්වා දුන්නේ කල් ගත වූ තුවාලවලට ඖෂධ සංයෝග සහිත ඇලවිය හැකි වැස්මකි. වෛද්‍ය මනෝරි අමරජීව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කථිකාචාර්යවරියකි.
![]() |
වෛද්‍ය මනෝරි අමරජීව |
“දේශීය වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය ශාලාක්‍ය අංශය හෙවත් ශල්‍යවේදය පිළිබඳයි මම විශේෂ උපාධිය ලැබුවේ. ඊට පස්සේ මම පශ්චාත් උපාධිය හැදෑරුවෙත් ශල්‍යවේදය ගැන. ශල්‍ය ශාලාක්‍ය ගැන වැඩිදුර අධ්‍යාපනය ලබන්න මම ඉන්දියාවේ වරණාසි හින්දු විශ්වවිද්‍යාලය තෝරාගත්තේ ඒ විෂයය සම්බන්ධයෙන් වරණාසි විශ්වවිද්‍යාලය විශේෂත්වයක් දරන නිසයි. එහිදි මම කල් ගත වූ තුවාලවලට ප්‍රතිකාර කිරීම ගැන අධ්‍යයනය කළා. තුවාල සෝදන්න, තුවාලවල ගල්වන්න විවිධ ප්‍රතිකාර දේශීය වෙදකමේ තිබෙනවා. ඉතින් මම හිතුවා ඒ ප්‍රතිකාර ඇසුරෙන් තාක්ෂණය උපයෝගි කරගෙන වැඩිදියුණු ක්‍රමයක් සකස් කරන්න.
“දේශීය වෙදකමේ සඳහන් වෙනවා නුග, බෝ, අට්ටික්කා, ගම්සූරිය සහ ඇසතු කුලයේ ගස් වර්ගයක පොතු වර්ග 5ක් අරගෙන තුවාලවලට කරන ප්‍රතිකාර ක්‍රමයක්. එය හැඳින්වෙන්නේ පංච වල්කාල නමින්. එම ශාක පොතු තම්බාගත් වතුරෙන් තුවාල සේදීම අපේ පැරණි ක්‍රමයක්. ඒත් මම ස්ථානික ආලේපයක සාඵල්‍යතාව ගැන තමයි පරීක්ෂණ ආරම්භ කළේ.” යනුවෙන් වෛද්‍ය මනෝරි අමරජීව නව සොයාගැනීමට පිවිසි ආකාරය විස්තර කළාය.
ප්‍රථමයෙන් ඈ පංචවල්කාල යොදාගෙන දියරක් නිෂ්පාදනය කිරීමට උපදෙස් දුන්නාය. ඉන්පසුව ඖෂධීය ගුණ සහිත පැලැස්තරයක් වැනි වැස්මක් සකස් කිරීමට කටයුතු කළාය. මෙහිදි තුවාලයේ තෙතමනය උරාගැනීම මෙන් ම තුවාලයට අවශ්‍ය තෙතමනය රඳවාගැනීම සඳහා සුදුසු, ගෝස් වැනි රෙදිකඩක් යොදා ගැනිණි.
“තුවාලයක් වේළෙන්න තෙතමනය නැති කරගන්න ඕනෑ. ඒ වුණත් තුවාලයේ සෛල වර්ධනයටත් ආර්ද්‍රතාව යම් පමණකට අවශ්‍ය වෙනවා. ඒ නිසයි මම කිව්වේ ගෝස් වගේ සිදුරු සහිත රෙදිකඩක් එම වැස්මට පාවිච්චි කළ යුතු බව. වැස්ම දමන්නේ තුවාලය හොඳින් පිරිසුදු කරලා. තුවාලය ආසාදනය වී තිබියදී මෙය දමන්නේ නැහැ. තුවාල පිරිසුදු කරන්න පංචවල්කාල දියරය යොදා ගන්නවා. ක්ෂුද්රජීවීන් රහිත පිරිසුදු තුවාලවලටයි මේ වැස්ම යෙදුවේ.” යනුවෙන් තවදුරටත් පැහැදිලි කළේ වෛද්‍ය මනෝරි අමරජීවයි.
පංචවල්කාල සඳහා භාවිත වන ශාකමය පොතුවල ඇති ගුණ පිළිබඳ පරීක්ෂා කිරීමේදී Ficus religiosa Linn විද්‍යාත්මක නාමය සහිත බෝ ශාකයේ ප්‍රතිප්‍රදාහ ගුණ සහ වේදනා නාශක ගුණ තිබෙන බව තහවුරු කරගෙන තිබේ. Ficus glomerata Roxb විද්‍යාත්මක නාමයෙන් යුක්ත අට්ටික්කා ශාකයේ පරණ තුවාලවල වර්ධන සාධක ශීඝ්‍රයෙන් ඉහළ නංවන ගුණය සහ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව පවතී, Ficus bengalensis Linn (නුග), Thespesia populnea Soland (ගන්සූරිය) සහ Ficus lecor Buch Ham (කිරිපල්ල) යන ශාක පොතුවලද රුධිර වහනය නතර කිරීමේ හැකියාව, ප්‍රතිප්‍රදාහ ගුණ අඩංගු වී තිබේ.
එම ශාක වර්ග පහේම ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතා ඉහළ බව ද අනාවරණය වී ඇත. පුරාණයේ සිට තුවාල සඳහා ප්‍රතිකාර වශයෙන් එම ශාක කොටස් භාවිත කළේ එබැවිනි.
වෛද්‍ය මනෝරි අමරජීව සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ මීයන් යොදාගනිමිනි. මෙහිදි මීයන් සිහි විසංඥ කොට තුවාල කරනු ලැබුවේ සත්ව ආචාරධර්මවලට යටත්ව ය. ඇගේ පරීක්ෂණ සඳහා මීයන් 24ක් යොදා ගත් අතර මීයන් 6 බැගින් කණ්ඩායම් 4කට බෙදා වෙන් කළේ ඉදිරි කටයුතුවල පහසුව සඳහාය. එයින් එක් කණ්ඩායමකට සකස් කරගත් පංචවල්කාල දියරය ගෝස් කැබැල්ලක ගල්වා තුවාලවල ගල්වන ලදී. 2 වැනි කණ්ඩායමට සකස් කළ ඖෂධීය ගුණ සංයෝග සහිත තුවාල වැස්ම ගල්වනු ලැබීය.
තෙවැනි කණ්ඩායමට තෙතමනය මුළුමනින්ම නැති වන ආකාරයේ ඖෂධීය වැස්මක් දැමූ අතර සිවු වැනි කණ්ඩායමට පාලක පර්යේෂණය ලෙස සේලයින් වතුරෙන් තුවාල සෝදා ගෝස් කැබලිවලින් තුවාල ආවරණය කරනු ලැබීය. එම පර්යේෂණයේදී තාක්ෂණය උපයෝගි කරගෙන වැඩිදියුණු ආකාරයට සකස් කළ ඖෂධීය වැස්ම (Scaffold) යෙදූ 2 වැනි කණ්ඩායමේ තුවාල ඉතා වේගයෙන් සුව වන බව පෙනිණි. මෙය ව්‍යාධිවේද (pathology) පරීක්ෂණ මඟින් විද්‍යාත්මකව තහවුරු විය. මීයන් සඳහා එම පරීක්ෂණය සිදු කිරීමට මාස 3ක කාලයක් ගත විය. ඉන්පසුව වෛද්‍ය මනෝරි අමරජීව සායනික පරීක්ෂණ සඳහා යොමු වූවාය. ඉන්දියාවේ වරණාසි හින්දු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සායනවලට පැමිණෙන රෝගින් අතරින් සුව නොවූ පරණ තුවාල සහ දද කුෂ්ට තිබෙන රෝගීහු 20 දෙනෙක් තෝරා ගැනිණි. ඔවුන්ගේ තුවාල පංච වල්කාල යොදා සකස් කළ දියරයෙන් ශුද්ධ පවිත්‍ර කර තුවාල වැස්ම (scaffold) යෙදූ විට ඉතා වේගයෙන් තුවාල සුවපත් වන බව ප්‍රත්‍යක්ෂ විය. මේ බව ක්ෂුද්රජීවී පරීක්ෂණ මඟින් ද තහවුරු කෙරිණි. මේ තුවාල වැස්ම රෝගින්ට දමමින් පරීක්ෂණ සඳහා ඈ ගත කළ කාලය අවුරුදු එක හමාරකි. මහාචාර්ය මනෝරංජන් සාහුගේ උපදේශකත්වය යටතේ සිදු කළ ඇගේ පර්යේෂණයට වෛද්‍ය අර්පන් බිස්වාන්ගේ සහය ඇයට ඉතා වැදගත් විය.
![]() |
සැකසූ තුවාල වැස්ම |
“සාමාන්‍යයෙන් තුවාලයකට ප්‍රතිකාර කිරීමේදී දවසක් හැර දවසක් තුවාලයට බෙහෙත් දැමිය යුතු වෙනවා. ඒත් අපි තාක්ෂණයෙන් වැඩි දියණු කරලා සකස් කළ තුවාල වැස්ම එක දිගට දින 4ක් තබාගන්න පුළුවන්. එය ප්‍රායෝගිකව ඔප්පු වී තිබෙනවා.” යනුවෙන් පැවසුවේ වෛද්‍ය මනෝරි අමරජීව ය.
ඇෙග් මේ නව සොයා ගැනීම Nano Medicine සඟරාවේ 2018 දී පළ කර තිබේ.
තාක්ෂණය උපයෝගි කරගෙන ඖෂධ සංයෝග කර වැඩිදියුණු අන්දමින් සකස් කළ මෙම තුවාල වැස්ම (scaffold) සහ දියරය නිෂ්පාදනය කළේ ඉන්දියාවේ වරණාසි විශ්වවිද්‍යාලයේම තාක්ෂණ ආයතනයයි (IIT). එහි සිටින මහාචාර්ය ප්‍රලේ මයිති ඊට උපදේශකත්වය සපයා තිබිණි. සෛල විද්‍යාත්මක ආකාරයට ඇගේ පර්යේෂණයට සහය වූයේ ව්‍යාධිවේද අංශයේ මහාචාර්ය මොහාන් කුමාර් ය.
ඈ සිදු කළ මේ පර්යේෂණයේ පේටන්ට් අයිතිය තිබෙන්නේ ඉන්දියාවේ වරණාසි විශ්වවිද්‍යාලයට ය. ඈ සොයා ගත් නව නිපැයුමේ ඇගේ නම තිබුණද එය ඇයට අයිති නැත. මෙම පර්යේෂණය ලංකාවේ තිබෙන ශාක පොතු යොදා ගනිමින් තවදුරටත් වැඩිදියුණු කර ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට ඈ මේ දිනවල වෙහෙස වන්නේ එබැවිනි.