කඩුවෙල වසන්ත සහ කරාටේ ධම්මිකගෙන් පසු කඩුවෙල කේන්ද්‍ර කරගනිමින් කැලණි මිටියාවතේ භීෂණය වැපිරූ ප්‍රධාන පාතාල කල්ලි නායකයෙකු වූයේ අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයංය. සමයං පාතාලයට හඳුන්වා දෙන්නේ කඩුවෙල රණාල පැත්ත හොල්ලාගෙන සිටි බටේපොළ නිශාන්තගෙනි. නේවි රුවන්, ගොත අසංක, වැලිවිට සුද්දා යැයි නම් කියැවෙන පාතාලයේ අපරාධකරුවන් රැසක්ම එකල සිටියේ බටේපොළ නිශාන්ත වටාය.
බටේපොළ නිශාන්තට කිට්ටු වන විට සමයං පාසල් යන වයසේ ශිෂ්‍යයෙකි. බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ඔහු උසස් පෙළට සුදුසුකම් ලබන්නේ විශිෂ්ට සම්මාන තුනක් සහ සාමාන්‍ය සම්මාන හතරක් සහිතවය. උසස් පෙළට මුහුණ දෙනවා වෙනුවට ඔහු වැටෙන්නේ වළපල්ලටය.
සමයංගේ නම ඉදිරියේ පළමු අපරාධය ලියැවෙන්නේ 2007 වසරේදීය. ඒ වැලිපිල්ලෑවේ සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනයට තැත් කිරීමක් ගැනය. සමයං සංජීවට වෙඩි තබන්නේ බටේපොළ නිශාන්තගේ කොන්ත්‍රාත්තුවකටය.
බටේපොළ නිශාන්ත සුදු වෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන්නේද එම වකවානුවේදීය. ඒ වන විට සමයං සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය. ඒ කාලයේ කඩුවෙල පාතාලයේ හැසිරවූ කරාටේ ධම්මිකගේ දකුණු අත බඳු මෝල් අසංකව බන්ධනාගාරයේදී දැනහඳුනාගැනීමට සමයංට අවස්ථාව උදා විය. 2008 වසරේදී රට වටේම අපරාධකරුවන් රැසක් සමඟ සම්බන්ධකම් ගොඩ නගාගෙන සමයං එළියට එන විට බටේපොළ නිශාන්තගේ තැන සිටයේ ඔහුගේම ගෝලයෙකු වන බටේපොළ චරාය. එළියට පැමිණි සමයං තමන්ගේම කල්ලියක් ගොඩ නඟාගෙන චරාගේ තැන ගැනීමට සැලසුම් කළත් එතරම් පහසු කටයුත්තතක් නොවිණි.
මෝල් අසංකගෙන් පාතාල කොන්ත්‍රාත්තුවක් සමයංට ලැබෙන්නේ මේ අතරතුරදීය. ඒ කොළඹ කෙසෙල්වත්තේ කිත්සිරි රාජපක්ෂ ඝාතනය කරන්නටය. එම ඝාතන කොන්ත්‍රාත්තුව මෝල් අසංකට ලැබෙන්නේ කෙසෙල්වත්ත හොල්ලාගෙන සිටි පාතාලයේ ප්රබලයෙකු වන දිනුකගෙනි. ඒ සිය පියාගේ ඝාතනයට පළි ගන්නටය. දිනුකගේ පියා නීල්ය. දේශපාලන හයියෙන් 90 දශකයේ මුළු කෙසෙල්වත්තම හොල්ලාගෙන සිටි නීල් ඝාතනය වන විට දිනුක සිටියේ දකුණේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබමිනි. උසස් අධ්‍යාපනයක් ලබා විශ්වවිද්‍යාලයට යෑමේ හැකියාවක් තිබුණු දිනුක ඒ සියල්ල අතහැර ගිනි අවිය අතටගත්තේය. කෙසෙල්වත්තේ දිනුක දැන් සිටින්නේ සිය බිරිය සහ දරුවන් සමඟ ඩුබායි හී ය.
කිත්සිරි රාජපක්ෂ 2011 වසරේ ජනවාරි 15 වැනිදා සමයං විසින් වෙඩි තබා ඝාතනය කරන්නේ ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවකටය. එදා සමයං සමඟ ඔහුගේ ගෝලයෙකු වූ රණාලේ චමින්ද ද එම ඝාතනයට එක් විය. එම ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට කොටු වූ ඔවුන් දෙදෙනාට කාලයක්ම බන්ධනාගාරයේ තපින්නට සිදු විය. ඒ කාලයේදී කරාටේ ධම්මික හා මෝල් අසංක සුදු වෑන් කල්ලියක් විසින් අතුරුදන් කරනු ලැබූහ. කරාටේ ධම්මිකගේ අතුරුදන්වීමත් සමඟ ඒ තැන ගත්තේ බටේපොළ චරාය.
කඩුවෙල පැත්තේ බහු ජාතික සමාගම් ඇතුළු හතර වටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් චරා ඔළුව උස්සන විට සමයං සැලසුම් කරන්නේ ඒ තැන ගන්නටය. ඒ අවස්ථාව සමයංට උදා වන්නේ 2014 වසරේදීය. හිරේ සිටි සමයං කඩුවෙල පැත්තේ බණ ගෙදරකදී චරාව ලක්ෂ 25 කොන්ත්‍රාත්තුවකට වෙඩි තබා මරා දැමුවේය.
සමයං මුළු කඩුවෙලම බලය ඇල්ලුවේය. දැවැන්ත සමාගම්වලින් පමණක් නොව, කඩුවෙල පැත්තේ බුලත් විට කඩෙන් පවා ඔහු ගෝලයන් යොදා කප්පම් ගත්තේය. සමයංගේ කප්පම් ආදායම මිලියන ගණනින් ඉහළ ගියේය. එහෙත් චරාව මරා දැමීම වෙනුවෙන් ගෙවිය යුතු කොන්ත්‍රාත් මුදල ගෙවීම පැහැර හැරියේය. ඔහු කළේ චරාව මරා දැමීමේ කොන්ත්‍රාත්තුව ඔහු විසින් ලබාදුන් දකුණේ පාතාල අපරාධකරුවෙකු වූ හර්ෂ යසස්ව ඝාතනය කිරීමට සැලසුම් කිරීමය.
දේශපාලන සම්බන්ධකම් සහිතව සිය පාතාල බලය අංගොඩ සහ අතුරුගිරිය දක්වා ව්‍යාප්ත කරන්නට අනතුරුව සමයං කටයුතු කළේය. ඒ වන විට අංගොඩ පැත්තේ දී අංගොඩ ලොක්කාත්, අතුරුගිරිය පැත්තේ බාල්දි ප්‍රියන්ත සහ ලඩියා ඇතුළු කණ්ඩායමත් බලය පතුරුවාගෙන සිටියේය. ඔවුහු හර්ෂ යසස් සමඟින්ද සම්බන්ධකම් පැවැත්වූහ. ඒ මාකඳුරේ මධුෂ් මඟිනි. හර්ෂ යසස් මාකඳුරේ මධුෂ්ගේ දකුණු අත බඳුය.
ඒ සියලු දෙනාම එක් වී කඩුවෙල අධිකරණ භූමියේදී සමයංට වෙඩි තබා මරා දමන්නට සැලසුම් කළහ. ඒ 2015 වසරේ සැත්තැම්බර් 23 වැනිදාය. එදින ඔහුව ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වුවද සමයංට අනතුරක් වූයේ නැත. වෙඩි ප්‍රහාරය එල්ල වන විට සමයං සමඟ චමින්ද හෙවත් චමියාද තව අයෙක් ද සිටියහ.
කෙසෙල්වත්තේදී කිත්සිරි රාජපක්ෂට වෙඩි තබන්නට සමයංට එක් වූයේ චමියාය. සමයං හා සිටි අනෙකා මාඹුලගේ දිනිත් මෙලාන් මාඹුල හෙවත් ඌරු ජුවාය. ඔහුට ඌරු ජුවා යැයි කියන්නේ සුළු දේටත් අධික ලෙස තරහා යන බැවිනි. ඌරු ජුවා යන නම ඔහුට පටබැඳෙන්නේ පාසල් සමයේදීය. ඌරු ජුවා ඒ වන විට බන්ධනාගරයේ සිටියේ 2015 වසරේ මැයි 06 වැනිදා නවගමුවේ හෝටලයක් තුළ වූ ඝාතනයකටය. එදින ඌරුජුවා ඇතුළු පිරිස කපා කොටා මරා දමන්නේ දිනේෂ් චාමර නැමැත්තෙකි. චාමරගේ සහෝදරයා මිථිලය. සහෝදරයා මරා දැමූවන්ගෙන් පළිගන්නට සිටි මිථිල කඩුවෙල උසාවියේදී එල්ල කෙරුණු මේ ප්‍රහාරය පිටුපසද සිටින බව සමයං හා ඌරු ජුවා විශ්වාස කළහ. වැඩි කල් යන්නට මත්තෙන් මිථිල දෙල්ගොඩ පැත්තේදී ඝාතනය විය.
කඩුවෙල උසාවියේ වෙඩිල්ලේට සමයං ප්‍රති උත්තර දෙන්නේ හර්ෂ යසස්ව රාජගිරිය ඕබේසේකරපුරදී මරා දමමිනි. වර්ෂ 2016 මාර්තු 03 වැනිදා හර්ෂ මරා දමන්නේ සිය පෙම්වතිය හමුවීමට පැමිණි අවස්ථාවේදීය.
හර්ෂගේ ඝාතනයත් සමඟ සමයංගේ පාතාල හයියද වර්ධනය විය. හිරේ සිටි ඔහුට ඒ සමඟම ලක්ෂ පහක තවත් ඝාතන කොන්ත්‍රාත්තුවක් ඩුබායි සිට ලැබෙයි. කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ කොහුවල පැත්තේ මෝටර් රථ අලෙවි ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු මඟිනි. ඉලක්කය අංකුඹුරේ පදිංචි මොහොමඩ් රූෆි නමැති තරුණයෙකි. එම තරුණයා මරා දැමීමට කොන්ත්‍රාත්තුව දෙන්නේ ප්රකෝටිපතියෙකි. ඒ සිය බිරිය සමඟ මුහුණු පොතෙන් එම තරුණයා ඇති කරගත් සම්බන්ධයක් හේතුවෙනි. එම ප්රකෝටිපතියාගේ බිරියත් ඒ වන විට සිටියේ ඩුබායිහීය.
එම ව්‍යාපාරිකයා ලංකාවේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහිඩ්ය. කලාවට අතහිත දෙන බව පෙන්වා චිත්‍රපට නිෂ්පාදනය කරමින්, පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන් හා රටේ ඉහළම ප්‍රභූවරුන් ඇසුරු කරමින්, මහ පරිමාණයේ ව්‍යාපරිකයෙකු ලෙස හැසිරුණු ඔහුට මලයාසියානු පුරවැසිභාවයද එරට රජයෙන් ලැබෙන ඉහලම ගෞරව සම්මානය වන දතෝ නාමයද ලැබී තිබිණි.
සිලෝන් ටී නමින් තේ පැකට්වල බහා අන්තර්ජාතික කුඩු ජාවාරමක නිරත වූ මේ ජාවාරම්කරුවාගේ ජාවාරම ගැන ඇමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට ලබාදුන් තොරතුරක් අනුව කන්ද උඩරට පැත්තේදී කොටු කරගනු ලැබීය. සිලෝන් ටී නමින් රට පටවන්න සූදානම් කරමින් තිබුණු හෙරොයින් තොගයක් තේ ඇසුරුම් සමඟ කන්ද උඩරට පැත්තෙන් අල්ලාගන්නා විට මුජහිඩ් සිටියේ මලයාසියාවේය. ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කරන විට ඔහු ඩුබායි පැන්නේය. ඔහු මේ වන විටත් ඩුබායි සිට මත්කුඩු ජාවාරමේය.
මුජහිඩ්ගේ කොන්ත්‍රාත්තුව ගෙන අංකුඹුරේ තරුණයා ඝාතනය කරන්නට සමයං යොදවන්නේ ඔහුගේ සමීපතම ගෝලයෙකු වන ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්රාවය. ඉන්ද්‍රා හමුදාවෙන් පැන ආ අයෙකි. ඔහු 2016 නොවැම්බර් 20 දා අංකුඹුරේ බැබිලිගොල්ල දේවස්ථානය ඉදිරිපිටදී එම තරුණයා වෙඩි තබා මරාදමයි.
සමයංගේ පාතාලයේ හයිය දිනෙන් දින වැවත්ම ඔහු සිය ගෝලයන් යොදා ඉවක් බවක් නැතිව මිනිස් ඝාතන කරමින් පාතාලයේ බලය පතුරුවන්නට විය. ඒ වන විට අංගොඩ පැත්තේ බලය අල්ලාගෙන සිටි අංගොඩ ලොක්කාය. ඔහුට එරෙහිව සමයං පළමු වෙඩිල්ල පත්තු කරන්නේ රත්තරන් නැමැත්තාව අංගොඩ කැලණිමුල්ලේදී ඝාතනය කරමිනි. ඒ 2017 වසරේ ජනවාරි 05 වැනිදාය. එම ඝාතනයට සමයං යොදවන්නේ ගොත අසංකය.
හිටපු හමුදා සෙබළෙකු වන ගොත අසංක ඒ වන විට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජින් කිහිප දෙනෙකු සමඟ මත්කුඩු ජාවාරමටද සම්බන්ධව සිටියේය. ගොත අසංක රත්තරන් ඝාතනය කරවන්නේ එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවෙකු යොදාගෙනය. එම වෙඩික්කරු මේ වන විට සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාස භාරයේය.
ඒ වනවිට අතුරුගිරියේ පාතාල බලය තිබුණේ ලඩියා සහ බණ්ඩා අතය. ඒ දෙන්නාටම ඉහළින් සිටි බාල්දි ප්‍රියන්ත ඒ වන විට සිටියේ රට අතහැර ගොස්ය. ලඩියා හා බණ්ඩා ඝාතනය කිරීමට සැලසුම් කරන සමයං ඒ කටයුත්තත් පවරන්නේ ගොත අසංකටය. සමයං කල්ලිය බණ්ඩාව ඝාතනය කරන්නේ අතුරුගිරියේ පිහිටි රූපලාවණ්‍යාගාරයක් තුළදීය. ඒ 2017 ජනවාරි 17 වෙනිදාය.
සමයංගේ ඉරණම කළුතරදී බන්ධනාගාර බස් රථයක් තුළදී ඉක්මනින්ම විසදෙන්නට මුල් වන්නේ බණ්ඩාගේ ඝාතනයයි. අංගොඩ ලොක්කා, ලඩියා මෙන්ම ඩුබායි සිටි මාකඳුරේ මධුෂ්ද සමයංගේ කතාව අවසන් කිරීමට එක්ව සිටියහ. පාතාලයේ කමාන්ඩෝ මෙහෙයුමකින් 2017 පෙබරවාරි 27 වැනිදා සමයං පමණක් නොව, සමයංගේ ගෝලබාලයන් පස් දෙනෙකුගේම කෙරුම් නිමාවට පත් විය. බන්ධනාගාර නිලධාරී දෙපළක් ද ඒ ඝාතකයෝ සිය ගොදුරු කරගත්හ.