
ගම්පහ ආශ්‍රිතව මෑත යුගයේ සිදු වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසකි.
ඒවායින් වැඩි කොටසක හිමිකාරිත්වය ඇත්තේ රජයට නොව පෞද්ගලික අංශයටය. එම ව්‍යාපෘතිවලින් ද වැඩිම ඉදිකිරීම් සිදු කර ඇති එක් ආයතනයක් වේ නම් ඒ “සණස”ය. එහෙත් සණස ආයතනය අද දවස වන විට ගම්පහ ප්‍රදේශයේ දැවැන්ත මූල්‍ය අවභාවිතාවක් කළ ආයතනයක් බවට චෝදනා ලැබ සිටී. ඒ එම ආයතනය සමඟ ගනුදෙනු කළ ගනුදෙනුකරුවන් රැසකට මේ මොහොත වන විටත් ඔවුන් සතුව තිබූ අති මහත් ඉතුරුම් මුදල් ප්‍රමාණයක් අහිමි කරදෙමිනි.
පසුගිය සතියේ ගම්පහ සණස ඉදිරිපිටට පැමිණි තැන්පත් කරුවෝ විශාල පිරිසක් විරෝධතාවයක නියැළුණහ. ඒ කෝටි තුන්සිය පනහකට වැඩි ස්වකීය තැන්පතු මුදල් ආපසු ලබාදීම දිගින් දිගටම සණස මඟින් පැහැර හරිමින් සිටින බවට චෝදනා කරමිනි. ඒ පිරිස අතර බාහිර තැන්පත්කරුවන් මෙන්ම සකසුරුවම් හා ණය දෙන සමුපකාර සමිතිවල මුදල්ද තැන්පත් කර තිබිණි. සුළු පරිමාණ තැන්පත් කරුවෝ විශාල පිරිසක් ද ඒ අතර වූහ.
රැස් වූ පිරිස කියා සිටියේ ගම්පහ සණස පසුගිය ජනවාරි මාසයේ සිටම තැන්පත්කරුවන්ගේ මුදල් හෝ පොලී මුදල් ගෙවා නැති බවය. ගම්පහ සණස සභාපතිවරයා විවිධ ප්‍රකාශ කරමින් තැන්පත්කරුවන් මඟහරිමින් සිටින බවය.
උද්ඝෝෂණය පැවති දා සාමාන්‍ය රාජකාරි දිනයක් වුව ද ගම්පහ සණස ඇතුළු කාර්යාල තාවකාලිකව වසා දැමීමට සණස බලධාරීහු කටයුතු කළහ. සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ රාජ්‍ය මුල්‍ය අණ පනත්වලට අවනතව පවත්වාගෙන යන ආයතනයක් ලෙස ජනගත කොට සණස කරගෙන ගොස් ඇත්තේ “වංචාවක්” ය යනුවෙන් විදී බැස සිටි තැන්පත්කරුවෝ කියා සිටියහ.
“ ගම්පහ සණස සමූපකාර දෙපාර්තමේන්තුවෙ අධීක්ෂණය යටතම පාලනය වෙන ආයතනයක්. ඒ හින්දා සංගමයේ මූල්‍ය කටයුතු විගණනය කරන්න සමුපකාර දෙපාර්තමේන්තුව නීතියෙන් බැඳිලා ඉන්නවා. ඒත් වර්ෂ 2017න් පස්සෙ එහෙම විගණනයක් සිදු වෙලා නෑ කියලා අපි දැනගත්තේ බොහොම කල් ගත වෙලා. ඒ අය මේක පවත්වාගෙන ගිහින් තිබෙන්නෙ සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දීලා. ඔබ විශ්වාස කරන්න. මෙහි සල්ලි තැන්පත් කළ ගොඩක් දෙනා සාමාන්‍ය මිනිස්සු. තමන්ගේ විශ්‍රාම පාරිතෝෂික, අර්ථ සාධක අරමුදල් තැන්පත් කළ මිනිස්සු ඉන්නවා. උදේ ඉඳන් බුලත්විට විකුණලා හවසට සොච්චම් ලාභය තැන්පත් කරපු අසරණයො ඉන්නවා. මරණාධාර සමිතිවල අරමුදල් තැන්පත් කරලා තියනවා. මේ මිනිස්සුන්ගේ මුදලයි මේ අනතුරේ වැටිලා තිබෙන්නෙ.. ”
තැන්පත්කරුවන්ට අනුව ගම්පහ සණස බිඳ වැටෙන්නේ එක්වර නොවේ. වසර ගණනාවක අත්තනෝමතික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසිනි. ගම්පහ සණස එලෙස මූල්‍ය අර්බූදයට පත් වන්නට පෙර දිවයින පුරා පිහිටි සණස සහ සමිති ගණනාවක ම මූල්‍ය වංචා සහ අක්‍රමිකතා හටගෙන තිබිණි. ඒ සියල්ල වූයේ එක් පැයක දී හෝ රැයක දී නම් නොවේ.
දිවයින පුරා පිහිටි අටසීයකට අධික එම ආයතන ජාලය සතු සෑම ආයතනයක්ම මසකට වතාවක් අධීක්ෂණය කිරීම සණස මව් සංගමයට පැවරී තිබූ වගකීම් සහගත රාජකාරියකි. එම කාර්යය බලධාරීන් විසින් සැහැල්ලුවෙන් සැලකීමෙන් දූෂණයට හා වංචාවට ලද ඉඩ හසර තුළ උත්තුංග පරමාර්ථ ඇතිව නිර්මාණය වූ සණසේ සමහර ශාඛා අතිශය ඛේදනීය ලෙස මිනිසුන්ට වංචා කරන හොර ගුහා බවට පත් වූයේය. ඉතා විශ්වාසයෙන් ආයතනය සමඟ ගනුදෙනු කළ ජනතාවගේ මුදල් සමහර සණස ආයතනවල සභාපති වරුන් ඇතුළු නිලධාරීහු සාවද්‍ය ලෙස පරිහරණය කළහ. කිරීමට ඉඩ පහසුකම් සලසා දුන්නේ යැයි වින්දිතයෝ සණස බලධාරීන්ට චෝදනා කළහ. ගම්පහ සණස ගැන තැන්පත්කරුවන් කීවේ එවැනි කතාවකි.
ගම්පහ සණස කඩා වැටී ඇති බව කනින් කොනින් ඇසෙද්දී තැන්පත්කරුවන් පෙළ ගැසෙන්නේ තමන්ගේ මුදල් ආපසු ලබාගැනීමටය. එම කඩා වැටීම කලින්ම හඳුනාගත් ආයතන ප්‍රධානීන් ඒ මොහොතේ ක්‍රියාකර ඇති ආකාරය අසාධාරණ බව ගනු දෙනුකරුවන්ගේ මතයයි.
“එක්තරා දේශපාලනඥයෙක් තැන්පත් කරල තිබුණු කෝටි ගානක මුදලක් ආපසු අරගෙන තියෙනවා. ඔෆිස්එකේ වැඩ කරපු හැම කෙනෙකුගේම නෑදැයො, මිත්‍රයො, ගිණුම් අවසන් කරගෙන සල්ලි ආපහු ගත්තා. නිලධාරි මණ්ඩලේ හිටපු සමහර පිරිසකගේ අනියම් බිරින්දැවරුන්ට පවා තැන්පත් මුදල් ආපහු දුන්නා. එහෙම තමයි ඒ අය අපේ සල්ලිවලින් අන්තිම මොහොතෙත් ඥාති සංග්‍රහ පැවැත්තුවේ.”
“සණස වැටුණා කියලා දැනගත්තට පස්සේ පාතාලේ මිනිස්සු දාලා ආයුධ පෙන්නලා තැන්පත් මුදල් ගත්තු හැටි දැකපු අයත් ඉන්නවා. තම තමන්ගේ හිතවතුන් හැමදෙනාම ගොඩ දාලා මේ නිලධාරි හැමෝම එකතු වෙලා අපව අමාරුවේ දැම්මා. සණසෙන් කාලා සණසත් කාලා බබාලා වෙන්න හැදුවට ඔය නිලධාරි සියලු දෙනාම මේ වංචා කරපු මුදල්වලට වග කියන්න ඕනෑ”
ඔවුන්ට අනුව අවසාන මොහොතේ පවා ඉතිරිව තිබෙන මුදල් සම සේ තැන්පත්කරුවන් අතර බෙදාදීම වෙනුවට සිදු කර ඇත්තේ ආත්මාර්ථකාමී ලෙස ඥාති සංග්‍රහ ඉටු කිරීමය.
ගම්පහ සණස සිදු කර ඇති මිල දී ගැනීම්, ඉදිකිරීම්, අලෙවි කිරීම් සියල්ල ද අයථා ආකරයට සිදු වී ඇති බව තැන්පත්කරුවෝ පෙන්වා දෙති. ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය විසඳාගැනීමට සණස සතු දේපළ අලෙවි කිරීමට යෑමේ දී මතු වී තිබෙන අර්බුදය එම ගනුදෙනු සිදු වී ඇති ආකාරය නිරීක්ෂණය කරන්නට ඇති හොඳම නිර්නායකයයි. අලෙවි කිරීමට නියමිත ඉඩකඩම් කඩ සාප්පු ඇතුළු දේපළ බොහෝමයක් තක්සේරු මිල ගණන්වලට වඩා වැඩි මිලකට විකිණීමට සිදු වී තිබෙන්නේ එම දේපළ මිල දී ගැනීමේදී ඒ සඳහා වටිනාකමට වඩා වැඩි මිල ගණන්වලට මිල දී ගෙන තිබීමය. මුදල් තැන්පත් හිමි සාමාජික පිරිසගේ අවසරයකින් තොරව නිලධාරීන්ට කැමති පරිදි සිදුකර ඇති එම දේපළ බොහොමයක් විකුණා දැමීම මේ වන විට සිදු වෙමින් පවතී.
සණසට අයත් එම දේපළ විකුණා මුදල් බවට පත් කර තැන්පතු කරුවන්ට ඔවුන්ගේ තැන්පත් මුදල් කොටස් වශයෙන් ගෙවන්නට බලධාරීන් ලබාදී ඇති පොරොන්දුව තැන්පත්කරුවන්ට ඉතිරි වී ඇති එකම බලාපොරොත්තුවය.
සණස තුළ සිදු වන කිසිදු කටයුත්තක් විමර්ශනය කිරීමට බලයක් නැති බවත්, අවශ්‍ය නම් යම් උපදෙසක් දීමට හැකියාවක් තිබෙන නමුත් කිසිදු නියාමනයක් කිරීමට හෝ නියෝග ලබාදීමට සමූපකාර දෙපාර්තමේන්තුවට බලයක් නැති බව සමුපකාර නිලධාරිහු අවධාරණය කරති.
එසේ වුව ද සණස මවු සංගමය හා ගම්පහ සණස සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ය. එහෙත් සමුපකාර දෙපාර්තමේන්තුව තමන් යටතේ ලියාපදිංචි ගම්පහ සණස තුළ කෝටි තුන්සිය පනහකට අධික මුදල් අවභාවිතයක් සිදු වන තුරු ඒ පිළිබඳ සිදු කළ මැදිහත්වීම අපැහැදිලිය.
සණස, සමුපකාර මූල්‍ය ආයතන, ග්‍රාමීය බැංකු පාලනය වන්නේ මධ්‍යම රජය යටතේ නොව පළාත් සමූපාකාර කොමසාරිස්වරුන් මඟිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න ගත සණස මූල්‍ය ආයතන ගණනාවක්ම මේ වන විටත් පළාත් කොමසාරිස්වරියගේ අධීක්ෂණය යටතේ පවතී. බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්වරිය පසුගිය මාර්තු මස දී ගම්පහ සණස සමිති සංගමයේ පාලනය ඇය යටතට ගත්තාය. එහෙත් දෙමසකින් පසු ඇය යළිත් සමිතිය එහි සභාපති නීතිඥ ලලිත් ජයසූරිය වෙත පවරා තිබිණි.
ගම්පහ සණස තුළ මේ සිදු වෙමින් ඇති අර්බුදය ගැන විමසීමට බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්තුමිය හා ගම්පහ සණස සභාපති නීතිඥ ලලිත් ජයසූරිය සම්බන්ධ කරගැනීමට ගත් සෑම ප්රයත්නයක්ම ව්‍යර්ථ විය.
අවසානයේ අපි ගම්පහ සණස මුදල් තැන්පත්කරුවන්ගේ එකමුතුවේ ලේකම් ජගත් සිරිවර්ධන ඇමතීමු. ඔහු කීවේ මෙවැනි කතාවකි.
“අපට එළියට බැහැලා කෑ ගහලා අපේ ප්රශ්නය රටට ඇහෙන්න කියන්න සිද්ධ වෙලා තියනවා. ගම්පහ සණසෙ මුදල් තැන්පත් කළ අපට කළමනාකාරිත්වය පොරොන්දු වුණා අගෝස්තු මාසේ පහළොව වන විට තැන්පත්කරුවන්ගේ අවසාන ශේෂයෙන් සියයට තිහක් දෙනවා කියලා. නමුත් ඒ අදාළ දිනයට තියා මේ වනතුරු ඔවුන් ඒ මුදල් ලබාදුන්නේ නැහැ. ඉන් පස්සේ කිව්වා සියයට දෙක දක්වා අඩු කරලා තැන්පත්කරුවන්ගෙන් කොටසකට මුදල් ලබාදී තිබෙනවා කියලා. නිතර නිතර ඇවිල්ලා කරදර කරන අයගේ ලැයිස්තුවක් හදලා තමයි එහෙම කරලා තියෙන්නේ. ඔවුන් අපට ඒ නම් ලැයිස්තුව ලබාදෙන්නෙත් නැහැ.
සල්ලිකාරයෝ සණසේ සල්ලි තැන්පත් කරන්න ගියේ නැහැ. බොහෝම අමාරුවෙන් රස්සාවල් කරලා ලැබුණ අර්ථසාධක මුදල් තමයි මේවයෙ තැන්පත් කරලා තියෙන්නේ. සණසේ මුදල් තැන්පත් කළේ වැඩි පොලියක් ලැබෙන නිසා. සමහරු ජීවත් වුණේ ඒ ලැබුණ පොලියෙන්.
තැන්පත් මුදල් හිලව්වට ඒ අය දේපළ දෙන්න පොරොන්දු වුණා. සමහරුන්ට ඉඩම් ලැබුණා. නමුත් ඔවුන් ඔවුන්ගේ දේපළ උගස් කරලා තියෙන්න. දැන් ඒ දේපළ ගත්ත අයට ඒවායේ අයිතියත් නැහැ. මිනිස්සු දැන් කබලෙන් ළිපට වැටිලා තියෙන්නේ. සණස කියන නමට අපි රැවටුණා. නමුත් මේ අපි සල්ලි දාලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් සකසුරුවම් සහ ණයදෙන සමිති සංගමයට. මෙය සමුපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන්නේ සණස කියන ලේබලය අලවාගෙන. ඇත්තම කිව්වොත් අපි සණස කියන නමට රැවටුණා.
මෙහි ආයෝජනකරුවෝ බහුතරයක් දුප්පත් අය. එක් කාන්තාවක් ඇවිල්ලා ඇඬුවා තමන්ගේ සැමියා පණ අදිනවා මිනිපෙට්ටිය ගන්න සල්ලි දෙන්න කියලා. මේ අය අපට මුලින් කිව්වා ඔවුන්ගේ වත්කම් විකුණලා අපේ මුදල් අපට දෙන්නම් කියලා. නමුත් ඒ දේපළත් උගස් තියලා. අපට කවද්ද සාධාරණයක් වෙන්නේ.
ප්‍රකෝටි ගණනින් සිදුවූ වංචා ගැන කතා වෙන රටක වංචාව සාමාන්‍යකරණය වූ සමාජයකට මේ මිනිසුන්ගේ අඳෝනාව ඇසෙන්නේ නැත. පුදුමාකාර කරුමයක් වන්නේ එයය.