
මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවී ගම්මානයේ කනපතිපිල්ලේ පද්මනාදන්ගේ පවුලේ දූදරුවන් හතර දෙනෙකි. මහා යුද සමයේදී පවා පද්මනාදන්ගේ ජීවන වෘත්තිය වූයේ ටැක්ටර් රස්සාවයි. ඔහු කළ මේ රස්සාව ඔහුගේම ටැක්ටරයෙන් කළ නිසා පවුලේ දූදරුවන් හතර දෙනාටත් පද්මනාදන්ගේ ඇඹෙණිය හා පද්මනාදන්ටත් මාසිකව ලබෙන මුදල ඔවුන්ට ජීවත් වීමට හොඳ හැටි ප්‍රමාණවත් විය.
මහා යුද සමයේ අවසන් කාලයේදී පද්මනාදන් සිය ටැක්ටරයත් රැගෙන මුලතිව් මුල්ලිවයික්කල් ප්‍රදේශයේ කුඹුරු යාය වෙත ගියේ ඔහුගේ සුපුරුදු රැකියාව සඳහාය. එදින ඔහුට පවරුණේ කුඹුරු අක්කර හතරක කොළ පාගා බැත පෑහීම සිදු කොට කුඹුර අයිතිකරුවාගේ වී ටික නිවසට ගෙන ගොස් දීමටය. කුඩා වැහි පොදක් එන්නට අහස ගුගුරන නිසා පද්මනාදන් අහස දෙස බලමින් ලහියේ බැත පාහින්නට වූයේ බැත කන්ද වර්ෂාවට හසු වුවහොත් ඒ වෙනුවෙන් කන්නට වෙන පරිප්පුව කන්නට වෙන්නේද ඔහුටම නිසාය.
'' මම ඉක්මනින් ඉක්මනින් කුල්ලට ගත් බැත ටැක්ටරේට හයි කරලා තියන හුළං පෙත්තට අල්ලලා බැත ගොඩ සුද්ද කරන්න වුණා. අහස ගොරවනවා. වැස්ස වහියි කියන බයට මම අහස දිහා බලාගෙන එහෙම කළා.
මම දන්නෙම නැතුව එක පාරටම මගේ සරම පැටලිලා හුළං පෙත්තට ගියා. සරම ගන්න කියලා හදනකොටම හුළං පෙත්තට ගියේ මගේ දකුණු අතයි. එක පාරටම කඩුවකින් කෙටුවා වගේ මට දැනුණා. මම ''අම්මෝ ... '' කියලා කෑගැහුවා. වටේ කුඹුරුවල හිටපු කට්ටියයි මම වැඩට ගිය කුඹුරේ කට්ටියයි එකතු වෙලා ට්‍රැක්ටරේ එන්ජිම නවත්වලා හුළං පෙත්ත ගලවලා මාව ඒ ට්‍රැක්ටරෙන්ම මල්ලාවී ඉස්පිරිතාලෙට අරන් ගියා.
මගේ අත මගේම සරමෙන් ඔතාගෙන තමයි ගියේ. හැබැයි අත වෙන් වෙලා තිබ්බේ නැහැ. ඒත් ඇටකටුව කැඩිලා අත හෙලවෙන දත වගේ කියලා කට්ටිය කිව්වා. මට ඒ මොනවත් දැනුණේ නැහැ. ටික වේලාවකින් මගේ අත හිරි වැටුණා. මල්ලාවී ඉස්පිරිතාලෙන් මාව ඉක්මනටම මුලතිව් ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඒ කාලේ මහා යුද්ධයේ අවසන් කාලය වෙලා තිබුණේ. ඉස්පිරිතාලේ දොස්තර මහත්තුරුන්ට මගේ අත කපලා බේත් දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම මාස එකහමාරක්ම ඉස්පිරිතාලේ හිටියා. අතේ තුවාලේ සනීප වුණාට පස්සේ තමයි මම ගෙදර ආවේ. මගේ මස්සිනා ටැක්ටරය අරන් ගිහින් ඒ රස්සාව කරලා අපේ පවුලටත් ජිවත් වෙන්න කීයක් හරි දුන්නා. ඒක නිසා ජීවත් වෙන එක ඒ තරම්ම ලොකූ ප්‍රශ්නයක් වුණේ නැහැ.
මේ අවුරුදු දහයම ඔය විදිහට ගෙවිලා ගියා. මම අතක් නැති මිනිහෙක් විදිහට ජීවත් වුණා. අත නැති කෙනාගේ ගෙදර අය කියලා තමයි ගමේ අය අපේ පවුලේ අය හඳුන්වලා දුන්නේ. ඉස්කෝලේ ගිය මගේ පුතාටත් අපිව දන්න අය කිව්වේ අත නැති පද්මනාදන්ගේ පුතා කියලයි. ඒක මට මගේ අත නැති වුණාට වඩා ලොකු වේදනාවක් වුණා. ඒත් මොනවා කරන්නද මේ අපේ දෛවය තමයි කියලා හිත හදාගත්තා.
පුතා විශ්වවිද්‍යාලයටත් තේරුණා. ඒක අපේ පවුලට ලොකූ සතුටක් හයියක් වුණාට මම හිත යටින් ඒකට ගොඩාක් දුක් වුණා. මොකද විශ්වවිද්‍යාලය කියන තැන ඉන්න ළමයි ඔයිට වඩා මගේ ළමයට මගේ අත නැති එක ගැන කියලා සමච්චල් කරයි කියන බය මගේ හිතට ආවා. ඒ දුක මගේ හිතේ තිබුණා. පුතා ගෙදර ඇවිත් විශ්වවිද්‍යාලේ ගැන කියන තොරතුරු මම හොඳින් අහගෙන හිටියා.
'' මම තාත්තට කොහොම හරි බොරු අතක් නෙමෙයි වැඩ කරන්න පුළුවන් අතක් අරන් දෙනවා කියලා''
මම හිතුවා පුතා ඉගෙනගෙන ඉවර වෙලා කවදා හරි රස්සාවක් කරලා සල්ලි එකතු කරලා මට අතක් අරන් දෙන්නයි මේ හදන්නේ කියලා. දවසක් පුතත් එක්ක තවත් ළමයි දෙන්නෙක් ආවා. ඒ අය මගේ අත මැන්නා. ෆොටෝ ගැහුවා. මට අත නවන්න බැහැනේ. ඒ අයම ඒක එහාට මෙහාට කරන ගමන් කාඩ් බෝඩ් කොළ වගයක් අත වටේ එතුවා. නිකන් පුනීලයක් වගේ එකක් කාඩ්බෝඩ්වලින් හදලා අරන් ගියා.
ඒ අය නිතරම ගෙදරට එන්න ගත්තා. ඒ එන හැම දිනකම කාඩ්බෝඩ්වලින් අත වටේ ඔතලා අර පුනීලේ වගේ එක අරගෙන යනවා. ඔහොම ගිහින් කාලෙකට පස්සේ කාඩ්බෝඩ් පෙට්ටියක දාගෙන ඒ ළමයි අතක් අරන් ආවා. අතක් කියලා කිව්වට ඒක අතක් කියලා කියන්නත් බැහැ. යකඩ සහ රබර් ගොඩාක් තිබෙන සැකිලි අතක්. කොහොම හරි පුතයි යාළුවන් දෙන්නයි එකතු වෙලා මට අත හයි කළා. ඊට පස්සේ අතෙන් වැඩ කරන්න කිව්වා. මොන වැඩද? ඒක උස්ස ගන්නවත් බෑ.
ඉතින් මම අනෙක් වම් අතින් හදපු අත අල්ලගෙන එහාට මෙහාට කරන්න පටන් ගත්තේ. දවසක් විතර ගියාම මට ඒකේ ලොකූ බරක් දැනුණේ නෑ. දැන් නම් ගානක් නෑ. නියම අත වගේ නොවුණට මේ අතින් මොනව මොනවා හරි මට කරගන්න පුළුවනි. ඉස්සරහට යනකොට මේ අත මට හුරුවෙයි. එතකොට ඕනෙම වැඩක් මට කරන්න පුළුවන් වෙනවා කියලා පුතයි අර ළමයි දෙන්නයි කිව්වා. මට අත හයි කරලා අර ආව ළමයි මගේ ගෙදරින් බිස්කට් කාලා තේ බීලා කතා කරන ගමන් කිව්වේ මේ අත හැදුවේ පුතා තමයි කියලා. මට ඒ වේලාවෙ ඉකි ගැහිලා ඇඬුණා. මම රෑ තිස්සේමත් ඇඬුවා. බිරිඳ ළඟ ඉඳන් මට කිව්වේ සතුටු වෙන්න පුතා කොච්චර දෙයක්ද කළේ කියලා.
ඉතින් මට හිතුණා මගේ පුතා මට කොහොම හරි වැඩ කරන අතක් අරන් දෙනවා කියලා කිව්වේ මේ නිසාම තමයි කියලා. පළමු වැනි කාරණය තමයි මේ අත මගේම පුතාගේ අතින් හදපු එක. අනෙක් කාරණේ තමයි ආයෙ අපේ පවුලේ අයව හඳුන්වන්න කවුරුවත් මීට පස්සේ අතක් නැති පද්මනාදන්ගේ ගෙදර.....ඒ අත නැති පද්මනාදන්ගේ ළමයි කියලා කියන්නේ නැති වෙයි. වැඩ කරන්න පුළුවන් අතක් හදපු මුලතිව් එකම එක කොල්ලගේ ගෙදර කියලා දැන් හැමෝම කියයි. මේක අපි සේරටම ලොකූ ආඩම්බරයක්.''
පද්මනාදන්ගේ අත අහිමි වන විට ඔහුගේ පුතා වූ පද්මනාදන් දුෂ්‍යන්තන් ළාබාල වියේ පසුවූයේය. සිය පියා අත නැති වීමෙන් පීඩා විඳින ආකාරය දකිමින් ලොකු මහත් වූ මේ තරුණයා තවමත් මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපාධිය හදාරමින් සිටියි.
'' අපේ තාත්තගේ අත නැති වුණු දවසේ ඉඳලා අම්මා තාත්තාට අතක් හොයලා දෙන්න පුදුම දුකක් වින්ඳේ. අත නැතුව තාත්තා එක එක දේවල් කරන කොට ඒවා තාත්තා කරගන්න බැරුව දඟලලා අසරණ වෙන කොට අපේ අම්මා කළේ තාත්තට නොපෙනෙන්න අඬපු එකයි. මාව තුරුල් කරන් අම්මා අඬපු වාර ගාන අනන්තයි.
මම එදා හිතාගත්තා කවදා හෝ කොහොම හරි අම්මයි තාත්තවයි දෙන්නම හිනස්සවනවා කියලා. මගේ අතින් අතක් හදලා ඒ අත තාත්තට දීලා අපේ පවුලටම ආයෙත් සතුට ගේන්න මට පුළුවන් වෙයි කියලා හිතපු හීනය මං සැබෑ කර ගත්තා.
විශ්වවිද්‍යාලෙට ආවට පස්සේ මම නිතරම මේ කෘතිම අවයව හදන අයව හෙව්වා. නිකන් බොරු ඒවා නෙමෙයි, යම් වැඩක් කරන්න පුළුවන් අවයව හදන තැන්. මෙහෙම යන කොට මට හම්බ වුණා මේ කෘත්‍රිම අවයව හදන රාජ්‍ය නොවන සංවිධානයක්.
මගේ යාළුවන් දෙන්නෙකුත් මට උදව් කළා. ඒ අයගේ උදව්වත් අරගෙන සංවිධානේ අයගේ මඟ පෙන්වීම යටතේ මට පුළුවන් වුණා සාමාන්‍යයෙන් දකින්න පුළුවන් බොරු අතක් නෙමෙයි, මොනව හරි දෙයක් කරගන්න පුළුවන් විදිහේ අර්ධ ස්වයංක්‍රීය අතක් නිර්මාණය කරන්න. ඒක සාර්ථක වුණා.