
තමන්ට හිමි කෝටි ගණනක් වටිනා ඉඩමක් ගහකොළ, සතා සිවුපාවා වෙනුවෙන් වනාන්තරයක් ලෙස වැවෙන්නට පරිත්‍යාග කළ පුද්ගලයකු හා එය ප්‍රදේශයේ තරුණ ජනතාව ප්‍රජා සංරක්ෂිත අභය භූමියක් ලෙස සුරැකීමෙන් පසු වනජීවී අභය භූමියක් බවට පත්කිරීම පිළිබඳව විරල තොරතුරක් අපි අද අනාවරණය කරමු.
ඒ වනජීවී අභයභූමිය වනාහී කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඔළබොඩුව උතුර ග්‍රාමසේවා වසමේ, කොළඹ හා කළුතර දිස්ත්‍රික් බෙදුම් රේඛාවේ පිහිටි කොඩිගහකන්ද වනපෙතයි. එය ජෛව විවිධත්වය හා සොබා සුන්දරත්වයෙන් පිරිපුන් අපූර්ව ස්වාභාවික සම්පතකි. මෙම වනපෙත හා ඒ ආශ්‍රිතව පැවති අක්කර 1000ක පමණ ඉඩම සොයිසා පරපුරට අයිතිව පැවතුනි. 1972 ඉඩම් ප්රතිසංස්කරණයත් සමඟ සියල්ල වෙනස් විය. කෙසේ වෙතත් එවකට වනයෙන් වැසී තිබුණු මෙම භූමිය එම පරපුරේ මී මුණුපුරෙකු වූ රොහාන් ද සොයිසා මහතා තම පෞද්ගලික ධනය යොදවා මිලට ගෙන ස්වභාව ධර්මයට පරිත්‍යාග කළේය. එහෙත් වනපෙත සඳහා නිසි ආරක්ෂාවක් නොවීය. මුළු වනපෙත ආරම්භයේ අක්කර 40ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර තිබුණි. මෙහි ඉහළම අක්කර 03ක කොටස රජයේ මිනිදෝරු දෙපාර්තමේන්තුවේ ත්‍රිකෝණමිතික ස්ථානයකි. දැනට වනපෙත අක්කර 35ක පමණ භූමියක පැතිර පවතී.
1986 වකවාණුවේ සරත් කොටගම මහතාගේ මූලිකත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ “සංරක්ෂණය සඳහා පානගමු” සංවිධානය මඟින් මෙහි ජෛව විවිධත්ව සමීක්ෂණයක් සිදුකර වාර්තාවක් එළිදක්වා ඇත. 1995 සිට පුරා වස 03ක පමණ කාලයක් වනජීවී භාරයේ හිටපු වැඩසටහන් නිලධාරී අභවප්‍රාප්ත ශ්‍රී ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් මේ භූමිය ගැන අංග සම්පූර්ණ සමීක්ෂණයක් සිදු කර පර්යේෂණ වාර්තාවක් වශයෙන් එළි දක්වා ඇත.
පසුව එය සුරැකීමට ඔලබොඩුව මිහිතල මිතුරෝ සංවිධානය 1994 සිට පෙරමුණ ගත්තේය. අවට පිහිටි ගල් කොරිවල අයිතිකරුවන්ගේ තර්ජන ගර්ජන මැද උද්ඝෝෂණ උපවාස කරමින් ඔවුහු මේ වන පියස සුරැකීමට දිවි පරදුවෙන් කටයුතු කළෝය. ඒ සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය හා පරිසර හිතකාමී ජනතාව පූර්ණ සහයෝගය දැක්වූහ.
මෙම කඳු මුදුනට පැමිණි අයෙකුගේ සිත්සතන් හාත්පස දිස්වන මනස්කාන්ත දර්ශනයෙන් වශීකෘතවීයයි. මුළු නිරිතදිග තැනිතලාවෙන් අති විශාල කොටසක් මධ්‍යම කඳුකරය තෙක් නැරඹිය හැකිය. බටහිරින් මහා සාගරයත්, කොළඹ නගරයේ උස් ගොඩනැඟිලි සමූහයත්, කළුතර බෝසමිඳුන් සමීපයේ පිහිටි චෛත්‍යයත්, බේරුවල ප්රදීපස්තම්භයත්, නිරීක්ෂණය කළ හැකිය. තවත් පසෙකින් ඔරුවල වානේ සංස්ථාව, සපුගස්කන්ද නොනිමෙන ගිනිසිළුව, පනාගොඩ හමුදා විහාරය දර්ශන පථයට හසුවේ. නැගෙනහිරින් මධ්‍යම කඳුකරය දිස්වේ.
සොයිසාවරුන්ගේ නිවාඩු නිකේතනය ලෙස හැදින්වූ මේ පරිශ්‍රයේ ඇති ගොඩනැගිලි ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. වසර 124ෙක් පැරණි උඩ බංගලාව ලෙස හඳුන්වන මෙය රාජකීයයන් ගේ මෙන්ම ප්රභූන්ගේ අවධානය ලක්වූ ස්ථානයකි. ලංකාවේ පැවති එකම පෞද්ගලික පක්ෂි කෞතුකාගාරය පැවතියේද ලංකාවේ ප්‍රථම සාහිත්‍ය සමමේලනය සර් ඩී.බී. ජයතිලක මහත්මාගේ මෙහෙයවීමෙන් පැවැත්වූයේද මෙම ස්ථානයේදීය.
අද වන විට මෙම වලව්ව ඵලදායි ලෙස යොදා ගැනීමක් සිදු නොවන අතර ගරා වැටෙමින් පවතී. වත්මන් ජපන් අධිරාජයා වූ අකිහිතෝ අධිරාජයා කුමාර කාලයේ (1958) මෙම ස්ථානයට පැමිණ සිටුවූ අසෝක ගසද මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිටුවූ කළුවර ගසද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති තුමා සිටුවූ ඇසළ ගසද සර් ජෝන් කොතලාවල මහතා සිටුවූ මැංගුස් ගසද තවමත් නිරුපද්රැතිව ඇත.
මෙම කඳුපන්තියේ ගලා හැලෙන දොළපහරවල් ගණනාවකි. උතුරු දිසාවට ගලා හැලෙන තැඹිලි දොළ නැගෙනහිරට ගලා බසින අඩන දොළ හෙවත් නාස් දොළ, දකුණට ගලා බසින දිග්ගල දොළ, නිරිත දෙසට ගලන පීලි දොළ බටහිරින් ටැංකි දොළ ඒ අතර වෙයි. ප්‍රදේශයේ ජල පෝෂක සහ දිය බෙත්මක් ලෙස මෙම වනපෙත ඉහළ මෙහෙවරක් ඉටු කරයි.
1995 - 1998 නවනජීවී සංරක්ෂණ භාරයේ වැඩසටහන් නිලධාරී ශ්‍රී ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ පර්යේෂණ වාර්තාව අපට මෙහි ඇති ජෛවවිවිධත්ව වටිනාකම් හෙළිදරව් කරනු ලබයි. එය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවද පසුව කළ පරිසර ගවේෂණ අනුව හෙළිවේ. එම පර්යේෂණයෙන් පසුව 2014 - 2015 වසර පුරා ප්‍රවීණ පරිසර පර්යේෂකයින් දෙදෙනෙකු වන සජීව චාමිකර සහ අජන්ත පලිහවඩන යන මහත්වරුන් විසින් මෙහි ජෛවවිවිධත්ව පර්යේෂණය සිදු කරන ලදී.
ශාක විවිධත්වය
1995 - 98 සමීක්ෂණයෙන් හෙළිවන තොරතුරුවලට අනුව මෙහි ශාක විශේෂ 131 හඳුනාගෙන ඇත. 2014 - 2015 පර්යේෂණ වාර්තාවට අනුව ශාක විශේෂ 150කට වැඩි ප්‍රමාණයක් වාර්තා කර ගෙන ඇත.
හොර, වල් දෙල්, කීන, කිතුල්, බෝ, ඉදි, ගිරිතිල්ල, වල් පිච්ච, රුක්අත්තන, විශේෂද වෙසක් මල්, ආවේණික දුර්ලභ බිම් උඩවැඩියාවක්, තවත් ආවේණික උඩවැඩියා මෙහි දක්නට ඇති බව ශ්‍රී ලාල් නිශාන්තගේ පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි.
1995 - 98 කොඩිගහකන්ද ආශ්‍රිතව කුල 07 සමනල විශේෂ 46 වාර්තා වේ. ඉන් 01 ලංකාවට ආවේණික වේ. ඒ අතර රතු දත්ත පොතේ වද වී යෑමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ද සිටිති. 2014 - 15 සමනල විශේෂ 69ක් වාර්තා වේ. ඉන් 3ක් ලංකාවට ආවේණික වේ.
මත්ස්‍ය විශේෂ 20ක්
1995 - 98 මෙහි දොළ පහරවල් ආශ්‍රිතව වාර්තා වූ මුළු මත්ස්‍ය විශේෂ ගණන 16 ක් වන අතර ඉන් විශේෂ 06ක් ලංකාවට අවේණිකය. එය සිංහරාජයෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ ගණනද ඉක්මවයි. රතු දත්ත විශේෂයක් වන කොළකනයා සහ ලේ තිත්තයා ආවේණික මත්ස්‍යයෝ වෙති.
2014 - 15 වාර්තා වූ මුළු මත්ස්‍ය විශේෂ ගණන 20ක් වන අතර ඉන් විශේෂ 05ක් ලංකාවට ආවේණිකය. ඉතා සුලබව නිරීක්ෂණය වූ ලේ තිත්තයා 2014 වන විට නිරීක්ෂණය නොවීය.
මෙහි උභය ජීවීන් විශේෂ 1995 - 98 හි 05 වාර්තා වේ. ඒ අතර පිහිඹුගස් මැඩියා, ලංකා බැදි මැඩියා, ගෙයි ගෙම්බා ඒ අතර වෙති. එහෙත් 2014 - 15 හි උභය ජීවීන් විශේෂ 8ක් වාර්තා වන අතර ඉන් 3ක් ආවේණිකය.
වන පෙත ආශ්‍රිතව 1995 - 98 හි උරග විශේෂ 18 වාර්තා වේ. ඉන් පලා පොළගා, කොට පිඹුරා, කබර රදනකයා ලංකාවට ආවේණික සර්පයෝ වෙති. මේ අතර අන්තර්ජාතික වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත විශේෂයක් වන පිඹුරා මෙහි වාර්තා වේ. කටුස්සන් විශේෂ 02ක් හා දිය නයි විශේෂයක් අධ්‍යනයන්ගෙන් හඳුනාගෙන ඇත.
2014 - 15 හි උරග විශේෂ 31 වාර්තා වේ. ඉන් 8ක් ආවේණිකය.
පක්ෂි විශේෂ 83ක්
පඳුරු වනාන්තරයක සාමාන්‍යයෙන් පක්ෂීන් දැකීමට ඇති හැකියාව වැඩිය. 1995 - 98 මෙහි කුල 31 අයත් පක්ෂීන් විශේෂ 71 දක්නට හැකි විය. ඒ අතර ගිරා මලිත්ත, මූකලනි කොට්ටෝරුවා, මල් කොට්ටෝරුවා, හිස කළු කොන්ඩයා ලංකාවට ආවේණික පක්ෂීහු වෙති.
2014 - 15 වන විට පක්ෂි විශේෂ 83ක් වාර්තා වේ. ඉන් 7ක් ආවේණිකය.
මෙහි 95 - 98 වාර්තා වන ක්ෂිරපායින් විශේෂ 16 කි. ඒ අතරින් රිළවා, කොළ වඳුරා ලංකාවට ආවේණිකය. මීට දශයකට පෙර වල් ඌරා ඉත්තෑවා, ඕලු මුවා, හඳුන් දිවියා සහ උණ හපුළුවා බහුලව වාර්තා වී ඇති අතර වර්තමානයේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වාර්තා වේ.
2014 - 15 හි වාර්තා වූ ක්ෂීරපායින් විශේෂ ගණන 24 කි. ඉන් 4 ක් ආවේණිකය.
මෙම වනපෙත හුදකලාව පැවතියත් ප්‍රදේශයකට විශාල සේවාවක් සිදු කරයි. පහත් ප්‍රදේශ වල ජල සංචිතයන් ජල පෝෂක ප්‍රදේශයන් ලෙසද මෙහි ගලා බසින දිය පහරවල් ක්‍රියා කරයි.
අවට ගම් වැසියන්ගේ දර සහ ඖෂධ ශාක අවශ්‍යතා මෙම වනය තුළින් ඉටු කරයි.
තර්ජන රැසක්
අද වන විට වනාන්තරය ආශ්‍රිතව ගල් කොරි 53ක් පමණ පවතී. මේ අතුරින් සමහරක් මහා පරිමාණ ඒවා වෙයි. විශේෂයෙන් බටහිර බෑවුමෙහි මහා පරිමාණයෙන් සිදුවන ගල් කැඩීම නිසා වනාන්තරයේ ජෛව විවිධත්වයට පමණක් නොව සමස්ත පරිසර පද්ධතියටම සිදුවන බලපෑම අති මහත්ය. මතුපිට පස් ස්ථරය ඉවත් කරමින් වනාන්තරයේ ගස් කොළන් උදුරා දමමින් සිදු කරන විනාශය සංවේදී හදවත් කම්පනය කරවයි. මහා පිපිරීම් නිසා ඇතිවන කම්පනයෙන් කිලෝමීටරයකටත් එහා පිහිටි නිවෙස් පවා දෙදරා යයි. ඉරී තැලී පුපුරා නොගිය නිවසක් සොයා ගත නොහැකිය. භූගත ජල මට්ටම පහත බසිමින් ප්‍රදේශය වියළි ස්වභාවයක් පෙන්නුම් කරයි. වර්ෂාව නොමැතිව සතියක පමණ කාලයක් ඉක්මයන විට ඔළබොඩුවවත්ත ජනපදයේ ජනයා දැඩි ලස පානීය ජල හිඟයකට මුහුණ පායි. නිතරම සිදුවන ගල් බෝර දැමීම හා ගල් කෂර් යන්ත්‍රවල කන්දොස්කිරියාව මිනිසුන්ගේ ජීවිතවලට මහා ව්‍යසනයක් වී ඇත. ගල් පටවාගෙන යන ටිපර් රථ නිසා ප්‍රදේශයේ මාර්ග පද්ධතියද අබලන්ව ඇත.
එහෙත් ධන තණ්හාවෙන් ඉහවහා ගිය අවට ඉඩම්වල අයිතිකරුවන් ගල් කැඩීම නවත්වා නැත. සිත් පිත් නැත්තවුන්සේ සොබාදහම් මාතාව වනසා දමයි. පවස නිවස දිය උපදවන මහා කන්දත් වනාන්තරයත් වනසමින් කුරුළු කෙවිල්ලන්ගේ සතා සීපාවාගේ නිවස්න වනසා දමයි. මිනිසාට ජීවත්වීමට අවැසි පරිසරය වනසා දමන මේ නොමිනිසුන්ගේ ක්‍රියාකාරකම් පාලනය කරන්නට බලවතුන් මැලි වෙයි. ඒ නිසා වැනසෙන්නේ අනාගත පරපුරේ උරුමයයි. ඔවුන්ගේ ජීවිතයයි.
“මේ වන භූමිය සුරැකීම සඳහා අපිට හැකි අයුරුන් සංරක්ෂණ ක්‍රියාමාර්ග හා දැනුම්වත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කළා. ප්‍රදේශයේ තරුණ තරුණියන් හා වැඩිහිටි ජනතාවත් අවට ජීවත්වන විද්වතුන් හා පරිසරවේදීන් අපට අවවාද උපදෙස් සමඟ පූර්ණ සහය ලබා දුන්නා. වසර 25කට අධික කාලයක් එලෙසින් මෙම වන පියස සුරැකීමේ ප්‍රතිඵලයක් ලෙස අද කොඩිගහකන්ද රක්ෂිතය වනජීවී අභය භූමියක් ලෙස ගැසට් කරන්නට අපට හැකි වුණා. එය අපට ලොකු සතුටක්.” මිහිතල මිතුරෝ සභාපති කරුණාදාස මුණගම මහතා පවසයි.
සංරක්ෂණ ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සත්ත්ව විශේෂ බොහොමයකට වාසස්ථානයක්ව පවතින හා ජල පෝෂක ප්‍රදේශයක් වන කොඩිගහකන්ද, සංරක්ෂණය කිරීමේ අරමුණින් මිහිතල මිතුරෝ සංවිධානය විවිධ සංරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවමින් පවතියි. මිහිතල මිතුරෝ සංවිධානය අද (22දා) සිය 25 වැනි සමරුව පවත්වයි.
අවට ප්‍රජාවගේ ද දායකත්වය සහිතව මිහිතල මිතුරෝ විසින් කොඩිගහකන්ද රක්ෂිතය ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ප්‍රජා සංරක්ෂිත අභයභූමිය ලෙස සංරක්ෂණය කරන ලදී. මෙම වනාන්තරයට ශ්‍රී ලංකා රජයේ නීතිමය රැකවරණය ලබාදමේ අරමුණෙන් අවට ප්‍රජාවගේ ද සහයෝගය ඇතිව 2017 ඔක්තෝබර් 02 දින ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍රයක් මඟින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම හා එකම වනජීවී අභයභූමිය ලෙස ප්‍රකාශයට පත්කරවා ගැනීමට මිහිතල මිතුරෝ සංවිධානය සමත්වීමු.
මෙම කොඩිගහකන්ද අභය භූමියට කොළඹ 120 මාර්ගයේ පැමිණ කෝරළඉම මංසන්ධියෙන් සොයිසා විදුහල මාවත ඔස්සේ ගමන් කළ හැකිය. ඊට අමතරව හෝමාගමින් හා මහරගමින් 128 හෝ 280 මාර්ගයේ පැමිණෙන අයට කිරිවත්තුඩුව අඹගස්හන්දියෙන් දකුණට ඇති ගල්කන්ද පාර දිගේ පැමිණිය හැකිය.
කොඩිගහකන්ද සංරක්ෂණයේ තවත් ජයග්‍රහණයක් ලබමින් 2007 දී ජෛවවිවිධත්ව මධ්‍යස්ථානය ඉදිකරන ලදී. 2014 දී එයට තවත් පරිපාලන ගොඩනැගිල්ලක් එකතු කර ගැනීමට ද සමත් වීමු. පාසල්වල පරිසර නියමුවන්, බාලදක්ෂයින්, පරිසර සංවිධාන, විශ්ව විද්‍යාල සිසුන් හා පරිසරයට ආදරය කරන බොහෝ දෙස් විදෙස් පිරිස් සංචාරයට හා කඳවුරු බැඳීමට මෙම ස්ථානයට පැමිණේ.
මේ ජයග්‍රහණ මිහිතල මිතුරෝ සංවිධානය 25 වැනි රජත ජයන්තිය සමරන මේ මොහොතේ එහි සාමාජිකයන්ට සතුටකි.
කළුතර දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු රටටම ආදර්ශයක් දෙමින් තමන්ට හිමි ඉඩම වනාන්තරයකට පරිත්‍යාග කළ රොහාන් ද සොයිසා මහතා එය අපේ රටේ ප්‍රථම හා එකම ප්‍රජා සංරක්ෂණ අභය භූමිය ලෙස නිර්මාණය කළ මිහිතල මිතුරෝ සංවිධානයටත් රටේ පරිසරවේදීන්ගේ ප්‍රණාමය පිරිනැමිය යුතුව ඇත.