
ඔබ අද මාධ්‍යයට කතා කරන්නෙ බොහෝ කාලයකට පසුව. ගත වූ කාලයේ ඔබේ ජීවිතය ගැන ආවර්ජනය කළොත්?
2013 අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළාට පසුව පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නේ එක් වරක් පමණයි. ඊට පසුව සිළුමිණට තමයි අද මුල් වරට කතා කරන්නේ.
2013 දෝෂාභියෝගයෙන් පසුව මට පුදුමාකාර ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වුණා. විවිධ අපහසුතාවන්ට ලක් වුණා. මට විරුද්ධව නඩු තුනක් පවරලා තිබුණා. අල්ලස් කොමිසම මගේ විදෙස් ගමන් පවා තහනම් කර තිබුණා. මට විවිධ රටවල විවිධ විශ්වවිද්‍යාලවලින් දේශන සඳහා ආරාධනා ලැබුණත් ඒවාටවත් සහභාගී වෙලා ළමයින්ට යමක් කියා දීලා හිත හදාගැනීමට හැකියාවක් ලැබුණේ නෑ.
අනෙක් අතට මට වැටුපක්වත් විශ්‍රාම වැටුපක්වත් ගන්න බැරි නිසා ආර්ථික වශයෙනුත් සිර කොට තිබුණා. එදා සිටි හිතවතුන් මිතුරන් නැදෑයන් ටිකෙන් ටික ඈත් වුණා. හරියට ගහෙන් වැටණු මිනිහාට ගොනා ඇන්නට පස්සේ සුුදු වෑන් එකකිනුත් අරන් ගියා වගෙයි. කොහොම නමුත් මම හොඳ දරාගැනීමේ ශක්තියක් තිබෙන කෙනෙක්. මේ සියල්ල මගේ පවුලේ සාමාජිකයන් සමඟ මම දරාගත්තා.
2015න් පසුව මා දෝෂාභියෝගයකින් ඉවත් කළ ක්‍රියාවලියේ පැවැති අනීතිකභාවය තහවුරු වීමෙන් පසු යළිත් ධුරයේ පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කළා. එහෙත් මම එක දවසක් විතරක් රාජකාරි කරලා පැය විසි හතරක් තුළ එම තනතුරෙන් විශ්‍රාම ගැනිීමට කටයුතු කළා.
ඇත්තටම ඔබතුමියට කියන්න පුළුවන්ද අගවිනිසුරු ධුරයෙන් පහ කිරීමට ආසන්නතම හේතුව වුණේ මොකක්ද කියල?
බොහෝ අය විවිධ අර්ථ නිරූපණ දෙනවා. සමහරුන් කියනවා මම දිවිනැඟුම සම්බන්ධයෙන් වුණු නඩුවේදී ලබාදුන් තීන්දුව මේකට ආසන්නතම හේතුව කියලා. ඒවා එකක්වත් මම කියන දේවල් නෙවෙයි. එක් එක් අයගේ විවිධ අර්ථ නිරූපණ. නමුත් ඒ සඳහා බලපෑ හේතු කාරණා බොහෝමයක් තිබෙනවා. පසුගියදා මා එළිදැක්වූ පොත කියෙව්වා නම් ඔබට තේරෙයි ඒ මොනවාද කියලා. මම ඒවා කෙටියෙන් එක් පිළිතුරකින් කියන්න කැමති නැහැ. ඒ සිදුවීම් දාමයක දෙයක් වෙන්න පුළුවන්.
මොකක්ද ඒ පොත?
බොහෝ අය මගෙන් ඉල්ලීමක් කළා. දෝෂාභියෝගයත් එක්ක වුණේ මොකක්ද කියල පොතක් ලියන්න කියල. නමුත් මම කාලයක් යන තුරු කළේ නැහැ; කල් ගත්තා. එහෙත් 2018 වසරේ අග භාගයේදී පොත ලියන්න ඕනෑ කියලා හිතුවා. ඒ, මේවා ඓතිහාසිකව කාට හරි වැදගත් වෙයි කියලා මට හිතුණා. අනෙක තමයි හැමෝටම තමන්ගේ කියලා කතාවක් තියෙනවා කියන්න. එහෙම කියන්න කතාවක් මටත් තියෙනවා. ඒ නිසයි මම මේ පොත ලිව්වේ.
මුලින්ම මම මේ පොත ඉංග්‍රීසියෙන් ලිව්වා. එය නම් කර තිබෙන්නේ Hold me in Contempt ලෙසින්. පස්සේ මේ පොතම මම සිංහලෙනුත් ලිව්වා. ඒ ‘උත්තරීතර‘ කියලා නම් කළා. ලිව්වා විතරක් නෙවෙයි ඒ පොත් දෙකම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ටයිප් කළෙත් මමමයි.
ඔබතුමිය 1996 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස ලැබූ පත් වීම පවා ඒ කාලයේ යම් කතාබහකට ලක් වුණා. පසුව බොහෝ දෙනෙක් කිවේ ඔබ අගවිනිසුරු කළේ යම් යම් අයගේ අවශ්‍යතා අධිකරණය හරහා ඉටු කරගන්න කියලා?
ඔව්. මා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වන කාලේ එල්ල වුණු ලොකුම විවේචනය තමයි මා උසාවි නොගිය නීතිඥවරියක ලෙස, විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක ලෙස වැඩ කරන අතරේ විනිශ්චයකාර තනතුරට පත් කිරීම ගැන. නීති ක්ෂේත්රයේ වෘත්තිකයන් පවා ඒ ගැන විවේචනය කළා. සමහරුන්ට මම ලවා අවශ්‍ය දේ කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. අධිකරණයේදී අපට කවුරුවත් කියන පළියට හෝ යමකුගේ අවශ්‍යතාවක් අනුව වැඩ කරන්න බැහැ. එහෙම කරනවා නම් කළ යුත්තේ නීතියට අනුකූලවයි.
අනෙක; ලංකාවේ තත්ත්වය තමයි ඉහළ මට්ටමෙන් පහළ මට්මේ ඉන්න ඕන කෙනකුට විවිධ තරාතිරමේ අයගෙන් බලපෑම් එනවා. ඒත් ඒවා තුළ අපට කටයුතු කිරීමේ සීමා තිබෙනවා.
දෝෂාභියෝගය අවස්ථාවේදී ඒ වෙනුවෙන් පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ හිටපු, ඔබෙන් ප්‍රශ්න අහපු මන්ත්‍රීවරුන් අද මොනවද කියන්නේ?
මම දැකලා තියෙනවා සමහර අය අද රූපවාහිනී සාකච්ඡාවලට ඇවිත් ඔවුන් අතින් වැරැද්දක් වුණා කියලා කියනවා. ඒ ගැන කනගාටුවෙන් කතා කරනවා. ඒත් ඒ එක්කෙනෙකුවත් මා පෞද්ගලිකව හමු වෙලා නෑ. හේතුව මා දේශපාලකයන් ඇසුරු කරන්නේ නෑ. ඔවුන් සමඟ මගේ සම්බන්ධයක් නෑ.
එහෙත් මට හමු වුණු සාමාන්‍ය ජනතාව නම් මා ගැන බොහෝ සෙයින් දුක් වුණු බව මට පෙනුණා. මේ ක්රියාවේ අසාධාරණය ඔවුන් දැඩි සේ හෙළා දැක්කා. එය අදටත් සිදු වෙනවා.
විජේරාම මාවතේ ඔබේ නිල නිවෙස අසල පිරිසක් එයින් ඉවත් වන තුරු උද්ඝෝෂණය කළා; එතැන රෑ දවල් නැතිව රැඳී සිටියා. ඔබට එය පීඩනයක් වුණේ නැද්ද?
නැහැ. මා එය ඒ තරම් තැකීමක් කළේ නෑ. පුදුමේ කියන්නේ එතැනට ආපු සමහරුන් තමන් ආවේ මොකටද, කවුද අග විනිසුරු, මොකක්ද මේ දෝෂාභියෝගේ කියලවත් දැනගෙන හිටියේ නෑ! ඒ අය ආවේ කාගේ හරි බලපෑමකට. සමහර නීතිඥවරුන් මට කිව්වා ඔවුන් දැකලා තිබුණලු යමෙක් ඇවිත් උද්ඝෝෂකයන්ට සල්ලි බෙදනවා.
එතැන සාමාන්‍ය කෙනකුට විනාඩියක්වත් ඉන්නවත්, කාර් එකක් නවත්වන්නවත් වෙනදට දෙන්නේ නෑ. එක අතකින් අග විනිසුරු නිල නිවෙස. ඊට එහා පැත්තේ පොලිස්පතිගේ නිල නිවෙස. තවත් රජයේ ඉහළ පෙළේ කිහිප දෙනකුම සිටි ආරක්ෂිත ප්‍රදේශයක්. ඒ වගේ තැනක ටෙන්ට් එකක් ගහලා එතැන බජව් දාලා කෑගහලා රතිඤ්ඤා පත්තු කරන්න තරම් මේ සාමාන්‍ය ජනතාවට හයියක් ලැබුණේ කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ. අන්තිමේදී මම යන කොට කිරිබත් හදලත් කෑවා. මේවා කාටද කියන්නේ? ඉතින් අපි ඒවා නිහඬව විඳ දරා ගත්තා.
ඔබ කාන්තාවක්. ඔබට එල්ල වුණු දැඩි පීඩනය හමුවේ නිවෙසේදීවත් හැඬුවේ නැද්ද? මෙය මහා දුකක් වුණේ නැද්ද?
නැහැ. ඔබත් ඒ කාලයේ මාධ්‍යවේදියෙක් ලෙස උනන්දුවෙන් ඉන්න ඇතිනේ. මම එක අවස්ථාවකවත් අඬනවා දැකලා තියෙනවාද? මට එය දරාගන්න තරම් හිත ශක්තිමත් වුණා.
ඔබ තනතුරෙන් ගියාට පස්සේ කොහොමද ජීවිතය ගත කළේ?
මම ගොඩක් පොත් කියෙව්වා. ජීවිතයේ යථාර්ථය ගැන මෙනෙහි කළා. මට බලය තිබෙන වේලාවෙ හිටිය අය ටිකෙන් ටික ඈත් වෙන එක මම අත්වින්දා. බලය තියෙන කොට තිබෙන පසුබිමයි එය නැති වුණාම අපට ලැබෙන ප්‍රතිචාරයේ වෙනසයි මම හිතින් මෙනෙහි කළා. අනාගතයේදී නඩුවලට මුහුණ දෙන්න වෙනකොට මාත් එක්ක ඉන්නේ කවුද? මගේ සැමියාගේ නඩුව උසාවියේ අහන කොට මටයි මගේ එකම පුතාටයි තනියම උසාවියේ බංකුවක ඉඳගෙන ඉන්න වෙන විදිහ... මේ සේරම මෙනෙහි කළා. එය හරියට භාවනාවක් වගේ. ඒ තුළ මා අත්හැරීම ප්‍රගුණ කළා. මල් වට්ටි අරන් පන්සල් නොගියට, හැම පෝයටම සිල් නොගත්තට මට මේ ලෝකයේ යථාර්ථය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා.
ඔබට ඇත්තටමත් මේ මෙනෙහි කළ දේවල් අත්දකින්න සිදු වුණාද?
ඔව්. ඒක ඕනෑම කෙනකු බලාපොරොත්තු විය යුුතු දෙයක්. බලය කියෙන කොට එක විදිහක් නැති කොට තව විදිහක්. මටත් ඒ දේ එහෙමමයි. බලයට කෑදර බොහෝ එය බොහොම තාවකාලික දෙයක් කියල කල්පනා කරන්නේ නෑ.
මේ දුෂ්කර කාලේ ඔබත් එක්ක හිටියේ කවුද?
ඇත්තටම මගේ සැමියා, එකම පුතා, එයාගේ පෙම්වතිය හැරෙන්න මට හිටියේ මගේ පවුලේ සහෝදරිය, ඇයගේ සැමියා ඇතුළු කිහිප දෙනෙක් පමණයි. සමහර නෑදෑයන්ට තමන්ගේ මඟුල්තුලා කටයුතුවලදී පවා ඒකට දේශපාලකයන් එනවා නම් අපට කියන්න අමතක වෙන තත්ත්වයක් තමයි තිබුණේ. ඒ කියන්නේ සමහර නැදෑයොත් අපිට පිටුපෑවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
පසුගිය කාලේ ඇමෙරිකාවේ හාවඩ් සරසවිය ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවකින් අධ්‍යයන කටයුතු සඳහා ආරාධනා ලැබුණා. ඒත් මම හිතුවා ඉදිරි කාලය අපේ රටේම ගත කරන්න ඕනෑ කියලා... මේ රටේ ජනතාවට යමක් කරන්න ඕනෑ කියලා. ඒත් ඇත්තටම මට දැන් වයස අවුරුදු 61ක්. මට විශ්‍රාම යන්න නියමිතව තිබුණේ 2023දී, වයස අවුරුදු 65 පිරෙනකොට. ඒත් අැති වුණු තත්ත්වයන් එක්ක මම 2015දී විශ්‍රාම ගත්තා.
පසුගිය කාලේ සිදු වුණු දේවල් මම කිසිදු ආකාරයකින් අපේක්ෂා කළ දේවල් නෙවෙයි; ඒවා දෛවය දුන්නු දේවල්. අපට මොන සැලසුම් තිබුණත් ජීවිතේ එන ඕනෑම දෙයක් දරාගන්න වෙනවා. ඒ තමයි ස්වභාවය. හැම දේම එහෙමයි. පසුගියදා එළිදුටු මගේ පොත පවා ලිව්වේ කිසිදු පූර්ව සැලසුමක් නැතිව. ඉදිරි කාලය ගැනත් එහෙම ලොකු සැලසුමක් නෑ.
සමහර අය අතර කතාවක් තිබෙනවා ඔබ එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තිබෙනවා කියලා?
මගේ අදහසක් නෑ. ඒත් මට ආරාධනා එනවා. පාර්ශ්ව කිහිපයක්ම මට එ් සඳහා ආරාධනා කළා. එහෙත් මම ඒ අයට කිව්වේ බැහැ කියලා තමයි. එහෙම කිව්වත් තවමත් මට ආරාධනා නම් එනවා.
ඡායාරූපය - ගයාන් පුෂ්පික