උතුරුකරයේ පදිංචිකරුවෙකුට රුපියල් කෝටි දහයක ලොතරැයියක් ඇදුණොත් දකුණුකරයේ කෙනෙකුට එතරම් ගණනක් නැත. දකුණුකරයේ කෙනෙකුට එවැනි ලොතරැයියක් ඇදුණොත් උතුරුකරයේ අයට ද එතරම් ගණනක් නැත. ඒත් අල්ලපු ගෙදර මිනිහාට හෝ තමන්ගේ ම සහෝදරයාට එවැන්නක් ඇදුණොත් “අපොයි, මේ දිනුම මට ඇදුණේ නැහැනෙ” යි පපුවෙන් ඉරිසියාව මතුවෙයි.
ඈත දුර ප්‍රදේශයක ළමයෙකු උසස් පෙළ විභාගයෙන් “ඒ” සාමාර්ථ්‍ය නවයක් ගත්තාට ගණනක් නැත. එහෙත් තමන්ගේ දරුවා “ඒ” සාමාර්ථ්‍ය අටක් ගනිද්දී අල්ලපු ගෙදර සහෝදරයාගේ දරුවා “ඒ” සාමාර්ථ නවයක් ගත්තොත් සිත ඉරිසියාවෙන් පුපුරු ගසයි. ඒ පෘතග්ජනයාගේ සොබාවයයි. ඉරිසියාව මිනිස් සිත කිලිටි කරනවා මෙන් ම රුධිරය ද කිලිටි කරයි.
පලුගස්දමන පදිංචි සිරිසේන ගොඩ මඩ කුඹුරු අක්කර දහයක පහළොවක පමණ හිමිකාර ගොවියෙකි. හැත්තෑ හැවිරිදි ඔහුගේ බිරිය සුමනා හැට පස් හැවිරිදිය. පුතා විජේරත්නය. පුතාගේ දුව සේපාලිය. පුතාගේ පුතා ජානක ය.
දැනට වසර දෙකක පමණ කාලයක සිට මේ ගෙදර පස් දෙනා ම විවිධ රෝගාබාධවලින් පෙළෙන්නට වූහ. උනුනුන් නුරුස්නා ගතියෙන් නිතර අඬ දබර සිදුවෙන්නට විය. රෝගාබාධවලට බටහිර හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් ස්ථිර සුවයක් ලබාගත නොහැකි විය. ගෙදර ලෙඩෙක් නැති දවසක් නැත. මීට අමතරව ශාන්තිකර්ම වත්පිළිවෙත් කළත් ඒවායෙන් සහනයක් ද නොවීය.
සිරිසේනගේ ගෙදරට නුදුරෙහි ඇදුරෙක් පදිංචිව සිටියේය. මේ අවාසනාව ඔහු කරන ලද හූනියමක් නිසා සිදු වන දෙයකැයි සැක කළ පවුලේ අය ඔහු සමඟ රණ්ඩුසරුවල් කරන්නට වූහ. තමන් එවැනි හූනියමක් නොකළ බව ඇදුරා දිවුරා කීවත් ගෙදර අය එය පිළිගත්තේම නැත. මොවුන් ද රුපියල් ලක්ෂ ගණන් වැය කොට වෙනත් ඇදුරන් ලවා තොවිල් පවිල් කළත් අතේ තිබුණු දේ වියදම් කළා මිස ලැබුණු සහනයක් නැත.
ඒ සියලු කරදරවලට අමතරව ඔවුන්ගේ නිවසට කළු බළලෙක් පැමිණ ඇඟට පැන නිවැසියන් සූරන්නට විය. එසේ සූරනු ලැබූ පුද්ගලයාට රෝහල් ගත වන තුරු සුවයක් නොවීය. ඒ සීරීමෙන් උණ ගැනුණු අතර උණ බසින්නේ රෝහල් ගියාට පසුවය. එසේ සූරන්නට යෙදුණු කළු බළලා සීරීමෙන් පසුව ඒ ඉඩමේ ම මැරී වැටී සිටියේය. ගත වූ වසර දෙක තුළ එවැනි කළු බළලුන් දස දෙනෙකු වරින් වර පැමිණ නිවැසියෙකුගේ ඇඟට පැන සූරා ගෙදර වත්තේ ම මැරී සිටිනු දක්නට ලැබිණි. ඒ හැම අවස්ථාවකම ගමේ ඇදුරා සමඟ රණ්ඩු කළා මිස සහනයක් නොවීය.
මේ අතර “සිළුමිණ” පත්‍රය කියවන පාඨකයෙක් මෙම “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ සිරිසේනවත් විජේරත්නවත් දැනුවත් කළේය.
ඒ අනුව පවුලේ පස් දෙනා ම ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තම පවුලේ අයට එළඹ ඇති දුක් කරදර විස්තර කළහ.
ගවේෂකවරයා ඔවුන්ගේ රෝග පරීක්ෂාවේදී අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි නිගමනය කොට ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වා එන්නැයි නියම කොට ඊට අවශ්‍ය උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ ප්‍රතිකාර ආරම්භ කරන විට විජේරත්නගේ ශරීරයෙන් භූතාත්මයක් මතු වී කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ඇසීය.
“මම හේරත් හාමි” භූතයා කීවේය.
“කවුද මේ හේරත් හාමි.”
“මම සිරිසේනගෙ ලොකු මස්සිනා. මේ විජේරත්නගේ ලොකු නැන්දාගේ ස්වාමි පුරුෂයා.”
“ඔබ කොයි කාලෙද මැරුණේ?”
“දැන් අවුරුදු තුනක් විතර වෙනවා.”
“ඇයි ඔබට මෙහෙම වුණේ? දුගතිගාමී උපතක් ලැබුවේ?”
“ඉරිසියාව, ඉරිසියාව, මැරෙන වේලාවෙ මුන්ගේ ෙද්පළ ගැන හිත හිතායි මැරුණේ?”
“ඇයි එහෙම වුණේ?”
“මමත් මුන් වගේම දියුණු වෙන්න උත්සාහ කළා. දහදිය හෙළුවා. ඒත් මට දියුණු වෙන්න බැරි වුණා. සිරිසේනට ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. කලින්ට වඩා පහුවෙන කොට සල්ලිවලටත් ඉඩම් ගත්තා. මගේ වගාවත් සාර්ථක වුණේ නෑ. ඉතින් ඉරිසියා හිතෙන්නෙ නැද්ද මහත්තයා.”
“ඉතින් ඒ තමන්ගේ මස්සිනා නේද? දියුණු වුණේ.”
“උන්ට තිබුණට මට නැහැනෙ.”
“මොකක්ද මේ කළු බළල් කතාව.”
“ඔව් මම මුන්ට කරදර කරලා සතුටක් වින්දා.
මම ආවේ කළු බළලෙකුගේ ශරීරයට රිංගලා. ඇවිත් ගෙදර කෙනෙකුගේ ඇඟට පැනලා හූරනවා. ඊට පස්සෙ හූරපු කෙනා ලෙඩ වෙනවා. රෝහලට යනවා. වියදම් කරනවා. දුක් විඳිනවා. ඒවා බලා මම සතුටු වෙනවා.”
“ඔය තරම් කළු බළල්ලු හොයා ගත්තෙ කොහොමද?”
“ගමේ කළු බළල්ලු ඉන්න තැනකින් හොයා ගන්නවා. කළු බළලාගේ ඇඟට රිංගලා පළිගන්න චේතනාවෙන් ඇඟට පනිනවා. එතකොට තුවාල වෙනවා. මම වැහුණ කළු බළල්ලු එදා ම මැරෙනවා. දවසක් මම ශාන්තිගේ ඇඟට පැන්නා. ශාන්ති මළෙත් ඒකෙන්මයි.”
“කවුද ශාන්ති කියන්නේ?”
“ශාන්ති මේ විජේරත්නගෙ ගෑනි. ඒ ගෑනි ලස්සනයි. ප්‍රිය මනාපයි. ලස්සනට ජීවත් වෙනවා. ළමයි දෙන්නට හොඳට උගන්වනවා. ඒ ළමයි විභාග පාස් වෙනවා. මගේ දූලා පුතාලගේ ළමයින්ට වඩා හොඳට ඉගෙන ගන්නවා. මම බළලෙක්ගේ ඇඟට ගිහින් කාන්තිගේ ඇඟට පැනලා හීරුවා.
කාන්ති ඒකෙන්ම ලෙඩ වෙලා මැරුණා. අන්න දැන් සිරිසේනගේ වත්තෙ ළිඳ ළඟට වෙලා ඉන්නවා. එයාට ගෙදර එන්න තරම් ශක්තියක් නෑ. එතැනට වෙලා අඩ අඬා ඉන්නවා. එයාට එන්න බැහැ. මම එන්න දෙන්නෙත් නෑ” යි ප්‍රේතයා කීවේය.
“පෙර පින් මහිමයටත් උත්සාහයටත් මිනිස්සු දියුණු වෙනවා. ඒ අයට ඉරිසියා කර කරදර කර තමුන් පව් පුරවා ගන්නවා. කරුණාකර ඔය වැඩේ නතර කරලා ඉවත් වෙලා යන්න.”
“බැහැ... බැහැ... මම යන්නෙ නෑ. මුන්ව පාරටම බස්සලා මිසක් මම යන්නේ නෑ.”
ෙම් ඉතාම දරුණු මෝඩ ප්‍රේතයෙක් බව වටහාගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතයා පිච්චුවේය. ඉතා දුර්වල වන තුරුම දවා විජේරත්නගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේය.
ඊළඟට විජේරත්නගේ මිය ගිය බිරිය කාන්තිගේ භූතාත්මය ගෙන්නුවේය. ඇය ඉතා අහිංසක භූතාත්මයක් වූවාය.
පවුෙල් අය ලවා පන්සනට හීල් දානයක් පිරිනමා කාන්තිට පින් අනුමෝදන් කර නැවත ප්‍රතිකාර පිණිස ගෙන්වීය.
එදින කාන්තිගේ භූතාත්මයට කරුණු කාරණා කියා පැහැදිලි කැර දී පලතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය ඊට සම්බන්ධ කොට නවගමුවේ පත්තිනි දේවාල භූමියේ බෝධීන් වහන්සේ අසලට යැවීය.
නිවසේ දිනපතා ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් සිරිසේන ප්‍රධාන පස් දෙනාට නියම කළේය.