
කේ. උදේනි අරුණසිරි සංවර්ධන නිලධාරි,ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය කොටුව, ගාල්ල.
දෙස් විදෙස් බෞද්ධයන් හා අන්‍යාගමික සෞන්දර්යවාදීන් අතර ඉතා ප්‍රචලිත අනුරාධපුරයේ පැරැණි නගරයේ වැඩහිඳින සුප්‍රසිද්ධ සමාධි පිළිමවහන්සේ මෙරට නිර්මාණය වූ පළමු බුද්ධ ප්‍රතිමාව බව බොහෝ බෞද්ධයෝ අදහති. විද්වතුන් අතරද ඒ පිළිබඳ සංවාදයක් පවතී.
ඒ අනුව සැබෑ ලෙසම එම පිළිමය වංශකථාවල සඳහන්, දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන්නට යෙදුණ “උරුසිලා පටිමාව” දැයි පුරාවිද්‍යාත්මක හා විද්වත් මත ඔස්සේ නව ප්රවේශයකින් විමසීම මේ ලිපියේ අරමුණ වේ.
උරුසිලා පටිමා
මෙරට නිර්මාණය කරන ලද පළමු බුදුපිළිමය වන දේවානම්පියතිස්ස රජතුමා විසින් (ක්‍රි.පූ. 250-210) විසින් කළා යැයි සඳහන් “උරුසිලා පටිමාව” පිළිබඳ මහාවංසය කතුවරයා විවිධ අවස්ථාවලදී වර්ණනාවට ලක් කරයි. මහාවංසය අනුව මහාවිහාරය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වූ උරුසිලා පටිමාව මහසෙන් රජුගේ (ක්‍රි.ව. 276-303) කාලයේදී අභයගිරි විහාරයට ගෙන ඒමත් සමඟ එය අභයගිරි විහාරික ප්‍රතිමාවක් ලෙස ඓතිහාසික වර්ණනාවකට ලක් වී තිබේ. අනුරාධපුර යුගයේ අග භාගය වන විට අභයගිරි විහාරය, මහා විහාරය හා ජේතවන විහාරය යන ප්‍රධාන නිකාය ත්‍රිත්වයට අයත් ආරාම තුනේම “සල පිළිමය” නමින් හැඳින්වූ ප්‍රධාන ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් පැවැති බව පෙනේ.
සිවු වැනි කස්සප රජු (ක්‍රි.ව. 898-914) තුන් නිකායට අයත් සල පිළිමවල රන්මුවා රැස් වළලු , කුඩය, සිළුමිණ යන කර්මාන්ත කරවා ඇත. (මහාවංසය 1963: පරි 52 ගාථා 12-13) පූජාවලියේදී කසුප් මහ රජු තුන් නිකායේ සල පිළිමයන්ට රන් සේසත් කරන ලද බව දක්වයි. (පූජාවලිය 1998:505) සිවු වැනි මහින්ද රජුගේ (ක්‍රි.ව.956-972) දඹේගොඩ ටැම් ලිපියේද තුන් නිකායේම පැවැති සල පිළිම පිළිබඳ සඳහන් වේ. (Ranawella 2004:265) ඔහුගේම රාජ්‍ය කාලයට අයත් අභයගිරි විහාර දෙවන පුවරු ලිපියේද “ තුන් නිකායේ සල පිළිම නන් රුවන් පිරිකුලූ” ලෙස සල බුදු පිළිම සඳහා කරන ලද නව කම් පිළිබඳ සඳහන් කරයි (එම:253). “තුන් නිකායේ සල පිළිම ගෙහි ඉසා ” යනුවෙන් එම ලිපියේ එන සඳහන අනුව තුන් නිකායේ පැවැති සල බුදු පිළිම සඳහා පිළිම ගෙවල්ද තිබූ බව අනාවරණය වේ ( එම:254).
එම තුන් නිකායේම සල බුදු පිළිම අතුරෙන් පැරැණිතම පිළිමය වූයේ දේවානම් පියතිස්ස රජු කරවූ, පසුව අභයගිරි විහාරයට ගෙනෙන ලද උරුසිලා පටිමාවයි. එම ප්‍රතිමාව උරුසිලා පටිමා, මහසිලා පටිමා, සිලාසත්ථු, සිලාසම්බුද්ධ හා සිලාමුනින්ද්ර යන නම්වලින්ද මහාවංසයේදී හඳුන්වා ඇත. උරුසිලා පටිමාව යනු සුප්‍රසිද්ධ සමාධි පිළිමය යැයි යන අදහස බොහෝ දෙනා ගෙන එන අතර ඒ සඳහා ඉදිරිපත් කරන එක් ඓතිහාසික සාධකයක් වන්නේ පාහියන් හිමිගේ දේශාටන වාර්තාවයි. ඒ අනුව පාහියන් හිමි අභයගිරියේදී දකින්නේ සුප්‍රසිද්ධ සමාධි ප්‍රතිමාව බවට මතයක් ඇත. මෙරටට පැමිණෙන පාහියන් හිමියන් අභයගිරියේදී දකින්නේ පිළිමගෙයක් සහිත පිළිමයකි (පාහියන් දේශාටන වාර්තාව 2006:93). ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ පාහියන් හිමි දුටු එම පිළිමගෙය ධාතුසේන රජු විසින් අභයගිරි විහාරයේ සල පිළිමයට කරන ලද පිළිම ගෙය විය හැකි බවය (Wickramasinghe 1912:230/ 1912 :230/ නිකලස් 1979:168).
පාහියන් හිමි මෙරටට පැමිණෙන ලද්දේ ක්‍රි.ව. 411දී වන අතර මහාවංසයට අනුව අභයගිරි විහාරයේ සල පිළිමයට ප්‍රථම වරට පිළිමගෙයක් ඉදිකරන්නේ ධාතුසේන (ක්‍රි.ව.459-477) රජුය. එනම් පාහියන් හිමි අභයගිරි විහාරයට පැමිණීමෙන් අඩ සියවසකට පමණ පසුවය. එබැවින් පාහියන් හිමි සඳහන් කරන්නේ සුප්‍රසිද්ධ සමාධි පිළිමය පිළිබඳ නොව අභයගිරි විහාරයේ වූ වෙනත් පිළිමයක් පිළිබඳ බව ඉන් මනාව පැහැදිලිය.
ක්‍රි.ව.9-10 සියවස්වලට අයත් ශිලාලේඛන රැසක් අභයගිරි විහාරයේ තිබූ සල පිළිමය පිළිබඳ සඳහන් කරයි. එහිදී හතර වැනි කස්සප රජුගේ (ක්‍රි.ව.898-914) පොලොන්නරු රජ මාලිගා ටැම් ලිපිය (“......අභාගිරි වෙහෙරැ මහ සල පිළිම බුදුන්....”), එම රජුගේම පොලොන්නරු බටහිර දොරටු ටැම් ලිපිය (“.....අභයගිරි වෙහෙරැ මහ සල පිළිම බුදුන් ....”), පස් වන කස්සප රජුගේ (ක්‍රි.ව.924-935) කුඹුක්වැව ටැම් ලිපිය (“....අබයගිරි වෙහෙර්හි මහ සල පිළිම බුදුන්ගේ....”), හතර වන මහින්ද රජුගේ (ක්‍රි.ව. 956-972) රඹෑව පුවරු ලිපිය (“....අභයගිරි වෙහෙර්හි මගුල් මහ සල පිළිම....”) වැදගත් වේ. සාහිත්‍ය මූලාශ්රවල හා ශිලාලේඛනයන්හි සඳහන් තොරතුරු අනුව අභයගිරි විහාරයේ සල බුදු පිළිමය හිටි පිළිමයක්ද නැතහොත් හිඳි බුදු පිළිමයක්ද යන්නවත් මනාව පැහැදිලි වන්නේ නැත. එවන් පසුබිමක ලක්දිව පළමු බුද්ධ ප්‍රතිමාව ලෙස වංශකථාවේ සඳහන් උරුසිලා පටිමාව යනු සුප්‍රසිද්ධ සමාධි ප්‍රතිමාව බව යැයි කරුණු දැක්වීම සුදුසු නොවේ.
මුල් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වූ කාලය
ලාංකේය සංස්කෘතියේ සංක්‍රාන්තිය ලෙස අප පිළිගන්නේ ක්‍රි.පූ. 3 වන සියවසේ මහින්දාගමනයත් සමඟ ඇති වූ ප්රබෝධය යි. ඒ අනුව භාරතීය ආභාසය යටතේ බුද්ධ ප්‍රතිමාවද මෙරට නිර්මාණය වන ආකාරය හඳුනාගත හැකිය. දේවානම්පියතිස්ස රජු සමය වන විට ඉන්දියාවේද බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වූ බවට පුරාවිද්‍යාත්මක සාධක නැත. නමුත් බුද්ධ සංකේත භාවිතයේ පැවැති බවට සාධක අපමණ ඇත. සාංචි හා භාරුත් කැටයම් ඒ අතර ප්‍රධාන කොට සැලකිය හැකිය.
භාරතීයයන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීමට පෙලඹෙන්නේ ක්‍රි.පූ. 1 වන සියවසේ අග හෝ ක්‍රි.ව. 1 වන සියවසේ මුලදී බව එරටින් ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක මත නිගමනය කළ හැකිය (ලගමුව 41). ඒ අනුව භාරතීය කලා ආභාසයෙන් පෝෂණය ලද ශ්‍රී ලංකාවේ කලා ශිල්පීන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නේ එම යුගයේදී හෝ ඊට ආසන්න අවධියකදී යැයි විශ්වාස කිරීම සුදුසුය.
මහාවංසයේ සඳහන් සමාධි පිළිමය
අභයගිරියේ තැන්පත් කර තිබූ මහාවංසයේ පුනා පුනා වර්ණනාවට ලක් කරන සමාධි පිළිමය යනු නූතන සුප්‍රසිද්ධ සමාධි පිළිමයද යන්න පිළිබඳ සෙවීමේදී පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ අවධානය යොමු කිරීම වටී. අභයගිරි විහාරයෙන් දැනට බෝධිඝර පහක නටඹුන් සොයාගෙන ඇත. පැරැණිතම බෝධිඝරය (ආචාර්ය සී. ඊ.ගොඩකුඹුර මහතා ආසනඝරය ලෙස හැඳින්වූ බෝධිඝරය), දෙවන සමාධිය යනුවෙන් ජනවහරේ දැක්වෙන බෝධිඝරය, සුප්‍රසිද්ධ සමාධි බුදු පිළිමය පිහිටි බෝධිඝරය, කුට්ටම් පොකුණට උතුරින් කපාරාරාමයේ ඇති විශේෂ හැඩයකින් යුතු බෝධිඝරය හා ලංකාරාම බෝධිඝරය ඒවා වේ (කුලතුංග 2014:231,232).
එහිදී 1962 වසරේදී ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර මහතා විසින් අභයගිරියේ ආසනඝරය යනුවෙන් හඳුන්වාදුන් එහි ඉපැරැණි බෝධිඝරය කැණීම් කිරීමේදී හිඳි පිළිමයක් ලැබී තිබේ. වර්තමානයේ එය අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ කොරිඩෝවේ 184 ලියාපදිංචි අංකය යටතේ තැන්පත් කර ඇත. එම පිළිමය සොයාගන්නා අවස්ථාවේදී ගල් ආසනයකට යට වී තිබී ඇත (වනරතන 1985:167). එම සමාධි පිළිමයේ ලක්ෂණ විග්රහ කරන නන්දදේව විජේසේකර මහතා එය මථුරා දේශයෙන් ගෙනෙන ලද්දක් බව අනුමාන කරයි (නන්දදේව 19970:20).
චන්ද්‍රා වික්රමගමගේ මහතා පෙන්වා දෙන්නේ එම පිළිමයේ මුහුණ හා ශරීරය මෞර්ය යුගයටත් පෙර සිට ඉන්දියාවේ පැවතෙන දේශීය කලාවේ යක්ෂ රූප මෙන් බවයි ( වික්රමගමගේ 2006:22). ඒ පිළිබඳව තවදුරටත් විග්රහ කරන ඔහු පවසන්නේ එම බුදු පිළිමය දේවානම්පියතිස්ස රජු දවස මෙරටට පැමිණි ඉන්දියානු දේශීය කලා සම්ප්‍රදායට අයත් ශිල්පීන් අතින් ලංකාවට උචිත පරිදි නිර්මාණය කරන ලද්දක් හෝ ඔවුන් විසින් පුහුණු කරනු ලැබූ මෙරට දේශීය ශිල්පීන් අතින් නිර්මාණය කරන ලද්දක් බවය (එම 23).
අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති එම ප්‍රතිමාව අභයගිරියේ පමණක් නොව ශ්‍රී ලංකාවේද ඇති අති පැරැණි ප්‍රතිමාව ලෙස මහාචාර්ය ටි.ජී. කුලතුංග මහතා සඳහන් කරයි. එම මහතා තම “පුරාණ අභයගිරි විහාරය” කෘතියේදී තවදුරටත් පෙන්වා දෙන්නේ එහි නේත්‍රා වටිනා ගල්වලින් සරසා තිබී ඇති බවය.
පුරාවිද්‍යාත්මක සාධක මත පදනම් වන එම විද්වතුන්ගේ විග්රයන්ට අනුව පෙනීයන්නේ උරුසිලා පටිමා නමින් වංශකථාවේ නම් කරන මෙරට පැරැණිතම ප්‍රතිමාව සුප්‍රසිද්ධ සමාධි ප්‍රතිමාව නොව අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ප්‍රතිමාව බවය.
මහාවංසයේ වරින් වර සඳහන් වන සමාධි පිළිමය කුමක්දැයි යන පැනයට පිළිතුරු සපයන විද්වතුන් අතර ඩී. ටී. දේවේන්ද්‍ර මහතා දැනට අභයගිරි විහාරයේ වටවන්දනා පාරේ අභයගිරි ස්තූපයත් කුට්ටම් පොකුණත් අතරේ ඇති සුප්‍රසිද්ධ සමාධි ප්‍රතිමාව එය බව පෙන්වාදෙයි. (Devendra 1957:40/දේවේන්ද්‍ර 1967/28) එයට සමාන අදහසක් දක්වන සිරි ගුණසිංහ මහතා මෙන්ම වල්පොළ රාහුල හිමියන් ද පෙන්වා දෙන්නේ බුද්ධ ප්‍රතිමාව පළමු වරට නිර්මාණය කළේ ලාංකිකයන් බවයි. (Gunasinghe 1969:59 වල්පොළ 1962:158)
එම අදහස් ඉදිරිපත් කර බොහෝ කලකට පසු සිදු කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් ලැබුණු සාධකද පදනම් කරගනිමින් විග්රහයක යෙදෙන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා තම “පුරාණ අනුරාධපුරය” ග්රන්ථයේදී පෙන්වා දෙන්නේ සුප්‍රසිද්ධ සමාධි ප්‍රතිමාව 4 වන සියවසට හෝ ඊට අඩු වශයෙන් සියවසකට හෝ පැරැණි කාලයකට අයත් වන බවයි (සෙනෙවිරත්න 2009:150). මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි විහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්යක්ෂවරයා ලෙස සේවය කරන මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා සිය පර්යේෂණ ග්‍රන්ථය වූ “ පුරාණ අභයගිරි විහාරය” කෘතියේදී පෙන්වා දෙන්නේ බොහෝදෙනා පවසන උරුසිලා පටිමාව යනු සුප්‍රසිද්ධ සමාධි පිළිමය නොවන බව හා එයට එම වටිනාකම හිමි වී ඇත්තේ එම ප්‍රතිමාවේ කලාත්මකභාවය නිසා බවය (කුලතංග 20014:321).
එම සමස්ත විග්‍රහයෙන් අනාවරණය වන්නේ සුප්‍රසිද්ධ සමාධි පිළිමය යනු මෙරට නිර්මාණයවූ පළමු බුද්ධ ප්‍රතිමාව වන උරුසිලා පටිමා නොවන බවය. එසේම එහි නිවැරැදි ඉතිහාසය මතු කිරීමටත් වර්තමාන ස්වරූපය පිළිබඳ කථිකාවක් ගොඩනැඟීමටත් සුදුසු කාලය එළඹ ඇති බවද පෙනේ.