
නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුද නාමයෙන් පුද ලද සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා වනාහි නිදහස් අධ්‍යාපනයෙන් පෝෂිත කිසිවකුටත් අමතක කළ නොහැකි උදාර ජාතික වීරයෙකි. පාසල් වියේ සියලු දරුවන්ට භේදයකින් තොරව,නොමිලයේ අධ්‍යාපනය ලැබීමේ වරම හිමිව තිබෙන අද මෙහි බැරෑරුම්කම ගැන අවබෝධයක් නැතත්; ධනපති පවුල්වල අයට පමණක් අකුරු උරුමව තුබූ යුගයක ඒ මහතා ගෙන ගිය අරගලය වික්‍රමයක්ය කීම අතිශයෝක්තියක් නොවේ.
බලපිටිය උසාවියේ පිස්කල් ඔපිසර වූ ජෝන් දානියෙල් විජේකෝන් කන්නන්ගර මහතාට දාව, එමලි විජේසිංහ මාතාවගේ කුසින් 1884 ඔක්තෝබර් 13 දා අම්බලන්ගොඩ රන්දොඹේ ග්‍රාමයේදී ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර දරුවා මෙලොව එළිය දුටුවේය. අම්බලන්ගොඩ වෙස්ලියන් පාසලේ මූලික අධ්‍යාපනය ලබන කල්හි දැක්වූ දක්ෂතාව හේතුවෙන් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේදී ද්විතීක අධ්‍යාපනය ලැබීමට හෙතෙම ශිෂ්‍යත්වයක් ලැබුවේය. 1901දී කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් දක්ෂතම ශිෂ්‍යයා සේ සමත්ව 1904දී රිච්මන්ඩ් විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස ගුරුසේවයට බැඳුණු තුරුණු කන්නන්ගර 1910දී ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය. 1923දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූ හෙතෙම 1930දී ලංකා ජාතික සංගමයේ සභාපති පදවියට පත් විය.
1931දී ඩොනමෝර් අණඩුක්රමය යටතේ මෙරට ප්‍රථම අධ්‍යාපන අමාත්‍යධුරය පිරිනැමුණු දා සිට 1947 දක්වා 16 වසර ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගය බවට පත් කිරීමට ඔහු කැප වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපනය පිළිබඳ විධායක කමිටුවේ ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කරමිනි. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල දක්වා නිදහස් අධ්‍යාපනය ලබාදීම, ප්‍රාථමික පාසල්වල මවු භාෂාව ඉගැන්වීම හා තුන්වන ශ්‍රේණියේ සිට සියලු පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම යනාදි බොහෝ වැදගත් යෝජනා ඉදිරිපත් කළේ මෙසමයේය.
එහි ප්‍රතිඵල ලෙස ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමය හා වැඩිහිටි අධ්‍යාපන ක්‍රමය ආරම්භ වූ අතර, එයට සමගාමිව පාසල් සෞඛ්‍ය සේවාව, ළමයින්ට දිවා ආහාරය සැපයීම, ප්‍රවාහන පහසුකම් සැලසීම, පාසල් ගුවන් විදුලි සේවාව බඳු අධ්‍යාපන උපයෝගි සේවාද ඇරඹිණි.
තමාට අහම්බෙන් මෙන් ලැබුණු උසස් විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමේ වරය සමස්ත ශ්‍රී ලාංකික දරු පරපුරටම හිමි කර දීමට 5 ශිෂ්‍යත්වය හඳුන්වා දුන්නේද කන්නන්ගර මහතා විසිනි. නැඟෙනහිර කාත්තන්කුඩි, මන්නාරම් තුඩුවේ එරුක්කලම්පිඩ්ඩි, පේදුරු තුඩුවේ නෙල්ලිඅඩි, යාපනයේ වාසවිලාන්, දකුණේ දික්වැල්ල, උතුරුමැද අනුරාධපුර හා කැකිරාව, මධ්‍යම කඳුකරයේ හැදුණුවැව, වලල, පොරමඬුල්ල, ගිනිගත්හේන ආදි වශයෙන් දිවයින පුරා මධ්‍ය විද්‍යාල 54ක් අරඹනු ලැබූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කොළඹ උසස් පාසල්වල සියලු පහසුකම් මේ ප්‍රාදේශීය මැදිවිදුහල්වලටද හිමි වූ අතර, වැඩි කලක් යන්න පෙර විශ්වවිද්‍යාලය ප්රවේශයේදී ඉහළම දස්කම් පෙන්වමින් ඉදිරියට ආ ඒවායේ සිසුහු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු බබළවන්නට වූහ.
මෙවන් උත්තුංග මෙහෙවරක් සලසන අතරේ කන්නන්ගර මහතා දේශපාලනයේ යෙදුණු කාලයේ නොකඩවා පාර්ලිමේන්තු සභා වාරවලට පැමිණීමෙන්ද, සභාවාර අවසන තෙක් සභාගැබේ රැඳීමෙන්ද වත්මන් දේශපාලකයන්ටද ආදර්ශයක් වූයේය. අද ඇතැම් මන්ත්‍රීන් පාර්ලිමේන්තුවට එන්නේ කලාතුරකිනි. පැමිණියත් නම ලකුණු කරගෙන, පැමිණීමේ දීමනාව තහවුරු කරගත් සැණින්, ආපසු යන තත්ත්වයකට ඇතැමෙක් පත්ව සිටිති.
වර්තමානයේ ධනය ඉපයීමටම දේශපාලනයට පිවිසෙන්නන් සුලබව සිටියදී; එදා යහමින් මුදල් ඉපයිය හැකි නීතිඥ වෘත්තිය පවා අත්හැර දේශපාලනයට පැමිණි කන්නන්ගර මහතාට දේශපාලනයෙන් ඉවත් වූ පසු ජීවත් වීමට ආදායම් මාර්ගයක් තිබුණේ නැත. පසු කලෙක තමාට බේත්-හේත් ගන්නට පවා මුදලක් නැති බැවින් විශ්‍රාම වැටුපක් දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ කථානායකතුමාට ලිපියක් යැවීමට ඔහුට සිදු වූයේ එබැවිනි.
1961 ඔක්තෝබර් 26 දින හෙතෙම තම අභියාචනය එවකට කථානායක ආර්.එස්. පැල්පොල මහතාට යොමු කළ අතර, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1963දී පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරගෙන, රු. 10,000ක පාරිතෝෂික මුදලක් ගෙවා, මසකට රු. 500 බැගින් විශ්‍රාම වැටුපක්ද ලැබීමට සැලැසූවාය.
මෙරට අධ්‍යාපනයේ දැවැන්ත විප්ලවයක් කොට, දුප්පතුන්ගේ දරුවන් පොහොසතුන් බවට පත් කළ කන්නන්ගර මහතා අතිශය සරල ජීවිතයක් ගත කර, 1969 සැප්තැම්බර් 23 දා දැයෙන් සමු ගත්තේ දේශපාලනය මුදල් ඉපයීමට නොව, ජනතා සේවයට කැප කළ යුතු උත්තරීතර මෙහෙවරක් පමණක්ම බවට තම ජීවිතයම පරමාදර්ශයක් කරමිනි.
එතුමන් කළ මේ අනුපම මෙහෙවර නොකඩවා සමරනු වස්, සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදිශිෂ්‍ය සංගමය ඔහු දිවංගත වූ දින මැදි විදුහල් 54න් එකකදී ගුණසමරුවක් පැවැත්වීම වාර්ෂිකව සිදු කරගෙන එන අතර, මෙවර සමරුව හෙට (23) පෙ.ව. 9.00ට තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
ජේ.එම්.යූ.බී. ජයසේකර