අන්ත­ර්ජා­තික වාණිජ කට­යු­තු­ව­ලට පුරාණ අනු­රා­ධ­පු­රය සම්බන්ධ කර­මින් ජාතිය සමෘ­ද්ධි­මත් කළ අනු­රා­ධ­පුර යුගයේ ඓති­හා­සික මාර්ග පද්ධ­තිය | සිළුමිණ

අන්ත­ර්ජා­තික වාණිජ කට­යු­තු­ව­ලට පුරාණ අනු­රා­ධ­පු­රය සම්බන්ධ කර­මින් ජාතිය සමෘ­ද්ධි­මත් කළ අනු­රා­ධ­පුර යුගයේ ඓති­හා­සික මාර්ග පද්ධ­තිය

ඩී. තුසිත මැන්දිස් පුරා­විද්‍යා මහා­චාර්ය, අධ්‍ය­ය­නාංශ ප්‍රධාන,  පුරා­විද්‍යා සහ උරුම කළ­ම­නා­ක­රණ අධ්‍ය­ය­නාං­ශය,  ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය, පුරා­විද්‍යා අධ්‍යක්‍ෂ, අනු­රා­ධ­පුර තදා­ශ්‍රිත ප්‍රදේශ ව්‍යාපෘ­තිය, මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල

පුරාණ අනු­රා­ධ­පු­රය මධ්‍ය­ගත දකුණු ආසි­යාවේ පැවැති සැල­සු­ම්ගත නග­ර­යක් ලෙස ඉස්මතු වීමට රටේ සිව් දිශා­වෙන්ම අනු­රා­ධ­පු­රය හා එවක සම්බන්ධ වූ මාර්ග ජාලය වැද­ගත් වී තිබේ. පූර්ව හා මුල් ඓති­හා­සික අව­ධිය වන විට සිව් දෙසින්ම අනු­රා­ධ­පු­ර­යට සම්බන්‍ධ වූ මාර්ග ජාලය නිසා අනු­රා­ධ­පු­රය අන්ත­ර්ජා­තික වාණිජ නග­ර­යක් ලෙස ඉස්මතු වී තිබීම පිළි­බඳ තොර­තුරු රාශි­යක් සාහි­ත්‍යය සහ පුරා­විද්‍යා මූලාශ්‍ර හඳු­නා­ගත හැකි වේ.

මූලා­ශ්‍ර­ගත හා පුරා­වි­ද්‍යා­ත්මක තොර­තුරු අනුව අනු­රා­ධ­පුර නග­රය හා සම්බන්‍ධ වූ මාර්ග ජාලය පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීමේ දී නග­ර­යෙන් දකුණු දෙසට දිව­ගිය මාර්ගය පිළි­බඳ තොර­තුරු හඳු­නා­ගත හැකි වේ. අනු­රා­ධ­පුර නග­රයේ සිට දකුණු දෙසට දිව­ගිය මාර්ගය මහා මේඝ­ව­නයේ නැගෙ­න­හිර දොර­ටුව ඉදි­රි­ප­සින් තිසා­වැව, ඉසු­රු­මු­ණිය, වෙස්ස­ගි­රිය( පුරාණ ඉසු­රු­මු­ණිය) විහා­රයේ නැගෙ­න­හිර දෙසින් කඳු­ර­ටට දිව­ගොස් තිබේ (සද්ලං : 539). පූර්ව හා මුල් ඓති­හා­සික අව­ධියේ ආර්ථික හා දේශ­පා­ලන වශ­යෙන් සුවි­ශේෂ කාර්ය­භා­ර­යක් එම මාර්ගය ඔස්සේ සිදු වී ඇති බව අනු­රා­ධ­පු­රය හා කඳු­රට අතර පුරා­ණයේ සිදු වී ඇති ඛනිජ සම්පත් පරි­ව­හ­නය සම්බන්‍ධ තොර­තු­රු­ව­ලින් පැහැ­දිලි වේ.

විශේ­ෂ­යෙන් මුල් ඓති­හා­සික අව­ධි­යට අයත් අභි­ලේ­ඛන රාශි­යක් එම මාර්ග­යට ආස­න්නව රුසි­ගම, දෙම­ද­ඔය, දඹුල්ල, තෝනි­ගල ආදී ස්ථාන­වල පිහිටා තිබෙන බැවින් එම ප්‍රදේශ ඔස්සේ එම මාර්ගය මලය රට දක්වා ගමන් කර ඇති බව පැහැ­දිලි වේ (Ic. Vol. I. 1970 : Map. 01). නග­ර­යට දකු­ණින් ස්ථාන­ගත වූ මේ මාර්ගය ආස­න්නයේ විවිධ නිෂ්පා­දන කට­යුතු සිදු වූ ග්‍රාම ස්ථාන­ගත ව තිබූ බව මූලා­ශ්‍ර­ය­ගත තොර­තු­රු­වල ද සඳ­හන් වේ.

තුලාවෙල්ලිය ප්‍ර දේශයේ ගල්පාලම
මල්වතු ඔය හරහා ඉදිවූ පාලම
කනදරා ඔය හරහා ඉදිවූ පාලම

පණ්ඩු­කා­භය රාජ යුගයේ දී පිහි­ටු­වනු ලැබූ ද්වාර­ගාම (මව.X:88), මුල් ඓති­හා­සික අව­ධියේ ඇති වන සමාජ, ආර්ථික, දේශ­පා­ලන තත්ත්වය මත වෙළ­ඳ­පො­ළක් දක්වා වර්ධ­නය වන්නට ඇති බව උප­ක­ල්ප­නය කළ හැකි සාක්‍ෂි ගණ­නා­වක් තිබේ. ඒ පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීමේ දී විශේ­ෂ­යෙන්ම බාහිර දුර­ක­තර ප්‍රදේ­ශ­ව­ලින් ඇදී එන භාණ්ඩ හුව­මාරු කර­ගැ­නීමේ දී මුලින් ද්වාර­ගාම වශ­යෙන් නග­රයේ සතර දිශාවේ පිහිට වූ එවැනි ගම් පසුව නිගම එසේත් නැත­හොත් වෙළ­ඳ­පොළ දක්වා වර්ධ­නය වූ බව ලබු­ඇ­ට­බැ­ඳි­ගල ශිලා ලිපියේ, (Ez. Vol. III : 247 - 255) තෝනි­ගල ශිලා ලිපියේ (Paranavithana:1960) , වෙස්ස­ගිරි පර්වත ලිපියේ (සේනා­නා­යක 2008 : 93) හා බස­ව­ක්කු­ලම පර්වත ලිපියේ (Paranavithana:1960) සඳ­හන් විස්ත­ර­ව­ලින් පැහැ­දිලි වේ. දීප­වං­සයේ භාණ්ඩ හුව­මාරු වන එවැනි ස්ථාන හඳුන්වා ඇත්තේ අන්ත­රා­පන ලෙසය (දිව. සං ථ 36). නග­ර­යෙන් දකුණු දෙසින් වූ භාණ්ඩ හුව­මාරු කර­ගත යුතු වෙළ­ඳ­පො­ළක් (නිගම) දකුණු ගමන් මාර්ගය හා සම්බන්‍ධ වී තිබුණේ නම් එවැනි සුදු­සුම ස්ථාන­යක් ලෙස අපට අද හඳු­නා­ගත හැක්කේ වත්මන් ජේත­වන භූමිය හෝ අතු­න­ග­ර­යට දකුණු දෙසින් පිහිටි රථ­ගා­ලක් ලෙස වර්ථ­මා­නයේ දැකිය හැකි හිස් භූමි­යයි.

මුල් ඓති­හා­සික අව­ධියේ ජේත­වන භූමිය හඳුන්වා ඇත්තේ නන්දන උයන ලෙසය (මව. xvv; දිව. xiii. 02;සපා. xxxiii:71). නන්දන උයන එව­කට මාර්ග­ව­ලින් වට වූ භූමි­යක් ලෙසට පිහිටා තිබූ බව මූලා­ශ්‍රය තොර­තු­රු­ව­ලින් පැහැ­දිලි වේ. මහා­වං­සයේ එක් සඳ­හ­නක මල්ව­තු­ඔය බට­හිර ඉවු­රට සමා­න්ත­රව දිව­ගිය මාර්ග­යක් පිළි­බඳ විස්තර කර ඇත. මහා සීමාව සල­කුණු කරන විස්ත­රයේ ද එම මාර්ගය පිළි­බඳ සඳ­හන් වේ (මව. xv : 209 - 211). එසේම නන්දන වනයේ දකුණු දිගින් පැමිණි මිහිඳු මහ රහ­තන් වහන්සේ මහා­මේඝ වනයේ නැගෙ­න­හිර දොර­ටු­වෙන් මහ­මෙව්නා උය­නට ඇතුළු වී ඇත. (එම :03). නන්දන උයන වටා වූ මාර්ගය හා දකුණු දිග ප්‍රධාන මාර්ගය එකි­නෙ­කට සම්බන්‍ධ වූ බව ඉන් පැහැ­දිලි වන අතර ඉන් පසුව එම මාර්ගය දුටු­ගැ­මුණු එළාර යුද්ධයේ දී ද භාවිත වූ බව මූලා­ශ්‍ර­ය­වල සඳ­හන් වේ (එම 68 - 70). නග­රය හා සම්බන්ධ වූ දක්‍ෂිණ ප්‍රධාන මාර්ගය නන්දන උයන වටා වූ මල්ව­තු­ඔය බට­හිර ඉවුර දිගේ ගිය මාර්ග­යට සම්බ­න්‍ධව තිබූ බව සුමන සාම­ණේර හිමි දකුණු අකු ධාතුව රැගෙන ඒමට එම මාර්ගය භාවිත කිරී­මෙන් ද පැහැ­දිලි වේ (එම xxv. 68 - 70).

එම මාර්ග පද්ධ­තියේ පිහි­ටීම අනුව අනු­රා­ධ­පුර නග­රයේ දක්‍ෂිණ දිග ප්‍රදේ­ශය එක් පසෙ­කින් දකුණු ප්‍රධාන මාර්ගය සම්බන්‍ධ වූ අතර එම ප්‍රධාන මාර්ගය හා බද්ධ වූ අතුරු මාර්ග පද්ධ­ති­යක් තිබූ බව මූලා­ශ්‍රය කරුණු අනුව වට­හා­ගත හැකිය. 1960 වර්ෂයේ දී ඇතු­ළු­පු­රයේ දකුණු ප්‍රාකා­රයේ (වර්ත­මාන සංඝ­මිත්තා මාවතේ දකුණු ප්‍රවේ­ශයේ) පුරා­විද්‍යා දෙපා­ර්තු­මේ­න්තුව සිදු කළ කැණී­මක දී අඩි 58ක් පළල උතුරු දකුණු දිශා­නු­ග­තව දිවෙන මාර්ග­යක් හඳු­නා­ගෙන ඇත. (ASCAR. 1960 : 69). එම මාර්ගයේ විහි­දීම දකුණු දොර­ටු­වෙන් දකුණු දෙසට වන මාර්ග­යක් බව හඳු­නා­ගෙන තිබෙන අතර එම මාර්ගය රුව­න්මැලි සෑය දෙසට ගමන් කරන බව වර්ත­මා­නයේ දක්නට ලැබෙන නට­බුන් වූ මාර්ගය පිළි­බඳ සාධ­ක­ව­ලින් ද පැහැ­දිලි වේ. එම මාර්ගය පිළි­බඳ වැඩි­දුර සාධක දක්ෂිණ ස්තූපට නැඟෙ­න­හිර ස්ථාන­යක සිදු කළ කැණී­මක දී ද පුරා­විද්‍යා දෙපා­ර්තු­මේ­න්තුව හඳු­නා­ගෙන තිබේ (ASCAR. 1978 : 07). එසේම මහා­වං­සයේ විස්තර වන ආකා­ර­යට නග­රයේ දකුණු දෙසට විහි­දෙන මාර්ගය රජ­වී­ථිය වශ­යෙන් හඳුන්වා ඇත (මව. xx : 40 - 41). ආචාර්ය හේම රත්නා­ය­කගේ මතය වන්නේ ද මහා­වං­සයේ සඳ­හන් රජ­වී­දිය 1960 පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඇතුළු නග­රයේ දකුණු දොර­ටුව ආස­න්නයේ සිදු කළ කැණි­ම­කින් අනා­ව­ර­ණය කර­ගත් මාර්ගය විය හැකි බවය (Ratnayake 1984(08).

මහා­වං­සයේ විස්තර වන ආකා­ර­යට අනු­රා­ධ­පුර නග­ර­යට දකුණු දෙසින් සම්බන්ධ වූ මාර්ගය විවිධ කට­යුතු සඳහා උප­යෝගී කර­ගෙන ඇත. ඒ අත­රින් දුටු­ගැ­මුණු රජු සාම්ප්‍ර­දා­යික ජල උත්ස­ව­ය­කට සහ­භාගි වීම සඳහා තිසා­වැ­වට ගමන් කිරී­මට ද එම මාර්ගය භාවිත කර තිබේ (මව. xxvi :7-8). මහා­වං­ස­යට පසු­කා­ලීන මූලා­ශ්‍ර­යක් වන සද්ධ­ර්මා­ලං­කා­රයේ ද අනු­රා­ධ­පුර නග­රයේ දකුණු ගමන් මාර්ගය තිසා­වැව, ඉසු­රු­මු­ණිය හා වෙස්ස­ගි­රිය පසු­කර මලය රට දක්වා ඇදී ගිය බව සඳ­හන් කර තිබේ (සද්ලං. 539). මූලා­ශ්‍ර­ය­වල සඳ­හන් එම මාර්ගය පිළි­බඳ පුරා­වි­ද්‍යා­ත්මක තොර­තුරු කඳු­කර කලා­ප­යට ආසන්න කලා­ඔය හරහා ඉදි කර ඇති පාලම් මඟින් ද තහ­වුරු වේ. එම පාලම් අතර පාල­න්ක­ඩ­වල ගල් පාලම, කිරි­බාව දැව පාලම, දෙහි­ල්ග­මුව අසල ගල් පාලම, කටි­යාව අසල රඳා තොට පාලම, මහ­ඉ­ලු­ප්ප­ල්ලම දැව පාලම, සිය­ඹ­ල­න්ගමු ඔයේ මුදි­න්නේ­ගම අසල ඇති ගල් පාලම දකුණු දිග ගමන් මාර්ගය මලය රට දක්වා විහිදී ගිය බවට ලැබෙන පුරා­වි­ද්‍යා­ත්මක සාධක ලෙස හඳු­නා­ගත හැකි බව ආචාර්ය විදා­න­ප­ති­රණ පෙන්වා දී තිබේ (Vidanapathirana 2007:167).

අනු­රා­ධ­පුර නග­ර­යට දකු­ණින් කඳු­කර කලා­පය දක්වා දිව­ගිය එම ගමන් මාර්ගය නිසා තදා­ශ්‍රිත ප්‍රදේ­ශ­වල විවිධ කාර්යන් පෙර­දැරි කර­ගත් නිෂ්පා­දන ක්‍රියා­වලි සිදු වී ඇති බව සාහිත්‍ය මූලා­ශ්‍රය හා පුරා­වි­ද්‍යා­ත්මක සාධ­ක­ව­ලින් හඳු­නා­ගත හැකිය. මහා­වං­සයේ සඳ­හන් වන ආකා­ර­යට නග­ර­යට දකුණු දෙසින් දැක­ගත හැකි වූ මාර්ගය ආස­න්නයේ කුම්භ­කාර ග්‍රාමය ස්ථාන­ග­තව තිබේ (MvT.48; ථූව :213). අනු­රා­ධ­පුර නග­රයේ දක්‍ෂිණ මාර්ගය ආස­න්නයේ ක්‍රියා­ත්මක වූ කුම්භ­කාර ග්‍රාමය පිළි­බඳ විස්තර දුට්ඨ­ගා­මිණී රාජ යුග­යට අදාළ කතා පුව­ත්වල ද අන්ත­ර්ගත වී තිබේ. එයින් එක් විස්ත­ර­යක දුටු­ගැ­මුණු රජුගේ වේළු­සු­මන යෝධයා මැටි බඳු­නක් ලබා­ගැ­නීම සඳහා කුම්භ­කාර වීදිය දිගේ ගිය බව සඳ­හන් වේ (Mv. xxvii : 525).

එසේම දුටු­ගැ­මුණු එළාර යුද්ධයේ දී දුටු­ගැ­මුණු රජු විසින් එළාර රජු දක්‍ෂිණ ද්වාර­යට ආසන්න ස්ථාන­යක දී අල්ලා­ගත් බව විස්තර කර ඇත (එම xxv : 68). එම ස්ථානය අනු­රා­ධ­පුර දකු­ණු­දිග භාගයේ කුම්බ­කාර ග්‍රාම­යට බට­හිර පසින් වූ එළාර සොහො­නට (වත්මන් දක්‍ෂිණ ථූප­යට) නැඟෙ­න­හි­රින් වූ ස්ථාන­යක් විය හැකිය (MvT : 487).

දුට්ඨ­ගා­මිණී රාජ්‍ය කාලය තුළ දකුණු දිග ගමන් මාර්ගය හා ඒ ආශ්‍රිත නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය සම්බන්ධ තොර­තුරු අතර පුර­යෙන් දකුණු දිග අට යොදුන් ගිය තැන වූ රිදී­ගම ලෙනක තිබූ රිදී ලබා­ගැ­නීම හා එම රිදී ගැල් මගින් අනු­රා­ධ­පු­ර­යට ප්‍රවා­හ­නය කිරීම පිළි­බඳ සඳ­හන් වේ (Mv. xxviii : 20 - 23). විශේ­ෂ­යෙන්ම දකුණු මාර්ගය ඔස්සේ අනු­රා­ධ­පු­ර­යට ආයාත කළ වටිනා ඛනිජ ද්‍රව්‍යය හා ලෝහ වර්ග පිළි­බඳ තොර­තුරු ද හඳු­නා­ගත හැකිය. ඒ අතර අම්බ­ට්ඨ­කෝ­ල­යෙන් රිදී ලැබීමේ පුවත ඉතා වැද­ගත් වේ.

මූලා­ශ්‍ර­යන්හි අම්බට්ඨ කෝලය වශ­යෙන් හඳුන්වා ඇත්තේ වර්ත­මාන නාලන්ද ප්‍රදේ­ශ­යයි. නාලන්ද ප්‍රදේ­ශය ආශ්‍රිත ව ඉතා මෑත දී සිදු කරනු ලැබූ භූ සමී­ක්‍ෂණ මඟින් රිදී සහ රත්ත­රන් පව­තින බව සොයා­ගෙන තිබී­මෙන් පුරා­ණයේ සිට ඒ ප්‍රදේ­ශය ලෝහ සම්පත් ලබා­ගැ­නී­මට ආක­ර්ෂ­ණය වූ ප්‍රදේ­ශ­යක් වශ­යෙන් හඳු­නා­ගෙන තිබේ (සෙනෙ­වි­රත්න 1996:194). එම කරුණු සනාථ වන පුරා­වි­ද්‍යා­ත්මක මූලා­ශ්‍රය අතර බඹ­ර­ග­ලින් ලැබෙන ක්‍රිස්තු පූර්ව යුගයේ බ්‍රහ්මී ලිපි­යක කොළ­ගම පිළි­බඳ සඳ­හන් වී තිබීම පෙන්වා­දිය හැකිය (Ic. Vol. I :No. 815).

මහා­චාර්ය සුද­ර්ශන් සෙනෙ­වි­රත්න පෙන්වා දී ඇති ආකා­ර­යට කොල් යන ද්‍රවිඩ වච­න­යෙන් ලෝහ කර්මා­න්තයේ යෙදෙන ශිල්පීන් හඳුන්වා තිබේ. එබැ­වින් මුල් බ්‍රාහ්මී ශිලා ලිපි­වල කොළ­ගම පිළි­බඳ සඳ­හන් වීමෙන් පෙන්නුම් කරන්නේ එය ලෝකු­රු­වන් නිවැසි ගමක් විය හැකි බවය. එවැනි ශිල්ප ගම්මාන ආශ්‍ර­යෙන් සිදු කර ඇති පුරා­විද්‍යා අධ්‍ය­යන අනුව ග්‍රාමීය මට්ටමේ නිෂ්පා­දන ඔවුන් ප්‍රධාන වෙළඳ පොළ දක්වා පරි­ව­හ­නය කර තිබෙන බව හඳු­නා­ගෙන ඇත (සෙනෙ­වි­රත්න 1996:195).

අභි­ලේ­ඛන හා සාහිත්‍ය මූලා­ශ්‍ර­ය­ව­ලින් පැහැ­දිලි වන ආකා­ර­යට අනු­රා­ධ­පුර නග­ර­යෙන් දකුණු ප්‍රදේ­ශයේ පිහිටි ඛනිජ හා ලෝහ සම්පත් පරි­හ­ර­ණය සඳහා දකුණු ගමන් මාර්ගය වැද­ගත් වී තිබෙන බව පෙනේ. 2000 වර්ෂ­යෙන් පසු ජේත­වන භූමියේ ස්ථරා­ය­නය අධ්‍ය­ය­නය සඳහා සිදු කරනු ලැබූ පර්යේ­ෂණ කැණීම් රාශි­යක දී මුල් ඓති­හා­සික අව­ධි­යට සම්බන්‍ධ ජනා­වාස ස්ථර­වල ලෝහ හා කඳු­කර කලා­පයේ සම්භ­වය ඛනිජ පාෂාණ හා ඛනිජ පාෂාණ ආශ්‍රිත නිෂ්පා­දන සාධක රාශි­යන් හඳු­නා­ගෙන තිබේ (මැන්දිස් 2009:19 - 21). එම පුරා­විද්‍යා සාධ­ක­ව­ලට අනුව ජේත­වන භූමිය ඇසු­රින් යම් නිෂ්පා­දන ක්‍රියා­ව­ලි­යක් එස­ම­යෙහි සිදු වී ඇති බවත්, එම සම්පත් අනු­රා­ධ­පු­රය දක්වා පරි­ව­හ­නය වීමට දක්‍ෂිණ ගමන් මාර්ගය වැද­ගත් වී ඇති බව පෙන්වා­දිය හැකිය.

මලය රට සමඟ මුල් ඓති­හා­සික අව­ධියේ දී අනු­රා­ධ­පුර නග­රය සිදු කරනු ලැබූ ගනු­දෙනු හා හුව­මාරු ක්‍රියා­ව­ලියේ දී ඛනිජ හා ලෝහ සම්පත් පම­ණක් නොව කුළු­බඩු ආශ්‍රිත ක්‍රියා­ව­ලිය සිදු වූ බව ද හඳු­නා­ගත හැකිය. ඇතු­ළු­පු­රයේ දකුණු දොර­ටුව ආස­න්නයේ සිදු කරනු ලැබූ පුරා­වි­ද්‍යා­ත්මක කැණී­මක දී එම දොර­ටුව ආශ්‍රි­තව තිබූ වෙළඳ සල්පිල් වශ­යෙන් අනු­මාන කළ හැකි ස්ථාන­ව­ලින් පුවක්, කොත්ත­මල්ලි, ගම්මි­රිස් යන පාෂා­ණි­භූත වූ කුළු­බඩු වර්ග හඳු­නා­ගෙන තිබේ (Ratnayake 1984 : 05).

ආචාර්ය හේම රත්නා­යක ප්‍රකාශ කර ඇති ආකා­ර­යට එම කුළු­බඩු වර්ග අනු­රා­ධ­පුර දකුණු මාර්ගය ඔස්සේ පැමිණි ද්‍රව්‍යය වන බව පැහැ­දිලි කර තිබේ (එම). අනු­රා­ධ­පුර නග­රයේ සිව් දිසාවේ පැවති වෙළ­ඳ­පොළ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රි.ව. දස වැනි සිය­වස දක්වාම අඛණ්ඩ වෙළඳ කට­යුතු සිදු වූ ස්ථාන­යක් බව දෙ වැනි උදය (ක්‍රි.ව.952) රජුගේ ශිලා ලිපි­යක සඳ­හන් වේ. එහි සඳ­හන් වන ආකා­ර­යට නැඟෙ­න­හිර වෙළ­ඳ­පොළේ ආදා­යම මැදි­රි­ගි­රිය රෝහ­ලට ලබා දී තිබේ (Ez.Vol. V : 327).

එම කාරණා දෙස විම­ර්ශ­නා­ත්ම­කව බැලීමේ දී නග­රයේ දකු­ණින් වූ එම ප්‍රධාන ගමන් මාර්ගය හා සම්බන්ධ වූ අතුරු මාර්ග රාශි­යක් ද තිබී ඇති අතර ඒ ඔස්සේ නග­රයේ නිෂ්පා­දන ක්‍රියා­ව­ලි­යට අදා­ළව මුල් හා මධ්‍ය ඓති­හා­සික අව­ධියේ දී සක්‍රීය දාය­ක­ත්ව­යක් සපයා ඇති බව හඳු­නා­ගැ­නී­මට අව­කාශ සැලසේ.

මතු සම්බ­න්ධයි

Comments