
ඩී. තුසිත මැන්දිස් පුරාවිද්‍යා මහාචාර්ය, අධ්‍යයනාංශ ප්‍රධාන, පුරාවිද්‍යා සහ උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ, අනුරාධපුර තදාශ්රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල
පුරාණ අනුරාධපුරය මධ්‍යගත දකුණු ආසියාවේ පැවැති සැලසුම්ගත නගරයක් ලෙස ඉස්මතු වීමට රටේ සිව් දිශාවෙන්ම අනුරාධපුරය හා එවක සම්බන්ධ වූ මාර්ග ජාලය වැදගත් වී තිබේ. පූර්ව හා මුල් ඓතිහාසික අවධිය වන විට සිව් දෙසින්ම අනුරාධපුරයට සම්බන්ධ වූ මාර්ග ජාලය නිසා අනුරාධපුරය අන්තර්ජාතික වාණිජ නගරයක් ලෙස ඉස්මතු වී තිබීම පිළිබඳ තොරතුරු රාශියක් සාහිත්‍යය සහ පුරාවිද්‍යා මූලාශ්‍ර හඳුනාගත හැකි වේ.
මූලාශ්රගත හා පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව අනුරාධපුර නගරය හා සම්බන්ධ වූ මාර්ග ජාලය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී නගරයෙන් දකුණු දෙසට දිවගිය මාර්ගය පිළිබඳ තොරතුරු හඳුනාගත හැකි වේ. අනුරාධපුර නගරයේ සිට දකුණු දෙසට දිවගිය මාර්ගය මහා මේඝවනයේ නැගෙනහිර දොරටුව ඉදිරිපසින් තිසාවැව, ඉසුරුමුණිය, වෙස්සගිරිය( පුරාණ ඉසුරුමුණිය) විහාරයේ නැගෙනහිර දෙසින් කඳුරටට දිවගොස් තිබේ (සද්ලං : 539). පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ ආර්ථික හා දේශපාලන වශයෙන් සුවිශේෂ කාර්යභාරයක් එම මාර්ගය ඔස්සේ සිදු වී ඇති බව අනුරාධපුරය හා කඳුරට අතර පුරාණයේ සිදු වී ඇති ඛනිජ සම්පත් පරිවහනය සම්බන්ධ තොරතුරුවලින් පැහැදිලි වේ.
විශේෂයෙන් මුල් ඓතිහාසික අවධියට අයත් අභිලේඛන රාශියක් එම මාර්ගයට ආසන්නව රුසිගම, දෙමදඔය, දඹුල්ල, තෝනිගල ආදී ස්ථානවල පිහිටා තිබෙන බැවින් එම ප්‍රදේශ ඔස්සේ එම මාර්ගය මලය රට දක්වා ගමන් කර ඇති බව පැහැදිලි වේ (Ic. Vol. I. 1970 : Map. 01). නගරයට දකුණින් ස්ථානගත වූ මේ මාර්ගය ආසන්නයේ විවිධ නිෂ්පාදන කටයුතු සිදු වූ ග්‍රාම ස්ථානගත ව තිබූ බව මූලාශ්රයගත තොරතුරුවල ද සඳහන් වේ.
![]() |
තුලාවෙල්ලිය ප්‍ර දේශයේ ගල්පාලම |
![]() |
මල්වතු ඔය හරහා ඉදිවූ පාලම |
![]() |
කනදරා ඔය හරහා ඉදිවූ පාලම |
පණ්ඩුකාභය රාජ යුගයේ දී පිහිටුවනු ලැබූ ද්වාරගාම (මව.X:88), මුල් ඓතිහාසික අවධියේ ඇති වන සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය මත වෙළඳපොළක් දක්වා වර්ධනය වන්නට ඇති බව උපකල්පනය කළ හැකි සාක්‍ෂි ගණනාවක් තිබේ. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී විශේෂයෙන්ම බාහිර දුරකතර ප්‍රදේශවලින් ඇදී එන භාණ්ඩ හුවමාරු කරගැනීමේ දී මුලින් ද්වාරගාම වශයෙන් නගරයේ සතර දිශාවේ පිහිට වූ එවැනි ගම් පසුව නිගම එසේත් නැතහොත් වෙළඳපොළ දක්වා වර්ධනය වූ බව ලබුඇටබැඳිගල ශිලා ලිපියේ, (Ez. Vol. III : 247 - 255) තෝනිගල ශිලා ලිපියේ (Paranavithana:1960) , වෙස්සගිරි පර්වත ලිපියේ (සේනානායක 2008 : 93) හා බසවක්කුලම පර්වත ලිපියේ (Paranavithana:1960) සඳහන් විස්තරවලින් පැහැදිලි වේ. දීපවංසයේ භාණ්ඩ හුවමාරු වන එවැනි ස්ථාන හඳුන්වා ඇත්තේ අන්තරාපන ලෙසය (දිව. සං ථ 36). නගරයෙන් දකුණු දෙසින් වූ භාණ්ඩ හුවමාරු කරගත යුතු වෙළඳපොළක් (නිගම) දකුණු ගමන් මාර්ගය හා සම්බන්‍ධ වී තිබුණේ නම් එවැනි සුදුසුම ස්ථානයක් ලෙස අපට අද හඳුනාගත හැක්කේ වත්මන් ජේතවන භූමිය හෝ අතුනගරයට දකුණු දෙසින් පිහිටි රථගාලක් ලෙස වර්ථමානයේ දැකිය හැකි හිස් භූමියයි.
මුල් ඓතිහාසික අවධියේ ජේතවන භූමිය හඳුන්වා ඇත්තේ නන්දන උයන ලෙසය (මව. xvv; දිව. xiii. 02;සපා. xxxiii:71). නන්දන උයන එවකට මාර්ගවලින් වට වූ භූමියක් ලෙසට පිහිටා තිබූ බව මූලාශ්‍රය තොරතුරුවලින් පැහැදිලි වේ. මහාවංසයේ එක් සඳහනක මල්වතුඔය බටහිර ඉවුරට සමාන්තරව දිවගිය මාර්ගයක් පිළිබඳ විස්තර කර ඇත. මහා සීමාව සලකුණු කරන විස්තරයේ ද එම මාර්ගය පිළිබඳ සඳහන් වේ (මව. xv : 209 - 211). එසේම නන්දන වනයේ දකුණු දිගින් පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ මහාමේඝ වනයේ නැගෙනහිර දොරටුවෙන් මහමෙව්නා උයනට ඇතුළු වී ඇත. (එම :03). නන්දන උයන වටා වූ මාර්ගය හා දකුණු දිග ප්‍රධාන මාර්ගය එකිනෙකට සම්බන්ධ වූ බව ඉන් පැහැදිලි වන අතර ඉන් පසුව එම මාර්ගය දුටුගැමුණු එළාර යුද්ධයේ දී ද භාවිත වූ බව මූලාශ්රයවල සඳහන් වේ (එම 68 - 70). නගරය හා සම්බන්ධ වූ දක්‍ෂිණ ප්‍රධාන මාර්ගය නන්දන උයන වටා වූ මල්වතුඔය බටහිර ඉවුර දිගේ ගිය මාර්ගයට සම්බන්ධව තිබූ බව සුමන සාමණේර හිමි දකුණු අකු ධාතුව රැගෙන ඒමට එම මාර්ගය භාවිත කිරීමෙන් ද පැහැදිලි වේ (එම xxv. 68 - 70).
එම මාර්ග පද්ධතියේ පිහිටීම අනුව අනුරාධපුර නගරයේ දක්ෂිණ දිග ප්‍රදේශය එක් පසෙකින් දකුණු ප්‍රධාන මාර්ගය සම්බන්‍ධ වූ අතර එම ප්‍රධාන මාර්ගය හා බද්ධ වූ අතුරු මාර්ග පද්ධතියක් තිබූ බව මූලාශ්‍රය කරුණු අනුව වටහාගත හැකිය. 1960 වර්ෂයේ දී ඇතුළුපුරයේ දකුණු ප්රාකාරයේ (වර්තමාන සංඝමිත්තා මාවතේ දකුණු ප්රවේශයේ) පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සිදු කළ කැණීමක දී අඩි 58ක් පළල උතුරු දකුණු දිශානුගතව දිවෙන මාර්ගයක් හඳුනාගෙන ඇත. (ASCAR. 1960 : 69). එම මාර්ගයේ විහිදීම දකුණු දොරටුවෙන් දකුණු දෙසට වන මාර්ගයක් බව හඳුනාගෙන තිබෙන අතර එම මාර්ගය රුවන්මැලි සෑය දෙසට ගමන් කරන බව වර්තමානයේ දක්නට ලැබෙන නටබුන් වූ මාර්ගය පිළිබඳ සාධකවලින් ද පැහැදිලි වේ. එම මාර්ගය පිළිබඳ වැඩිදුර සාධක දක්ෂිණ ස්තූපට නැඟෙනහිර ස්ථානයක සිදු කළ කැණීමක දී ද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හඳුනාගෙන තිබේ (ASCAR. 1978 : 07). එසේම මහාවංසයේ විස්තර වන ආකාරයට නගරයේ දකුණු දෙසට විහිදෙන මාර්ගය රජවීථිය වශයෙන් හඳුන්වා ඇත (මව. xx : 40 - 41). ආචාර්ය හේම රත්නායකගේ මතය වන්නේ ද මහාවංසයේ සඳහන් රජවීදිය 1960 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඇතුළු නගරයේ දකුණු දොරටුව ආසන්නයේ සිදු කළ කැණිමකින් අනාවරණය කරගත් මාර්ගය විය හැකි බවය (Ratnayake 1984(08).
මහාවංසයේ විස්තර වන ආකාරයට අනුරාධපුර නගරයට දකුණු දෙසින් සම්බන්ධ වූ මාර්ගය විවිධ කටයුතු සඳහා උපයෝගී කරගෙන ඇත. ඒ අතරින් දුටුගැමුණු රජු සාම්ප්‍රදායික ජල උත්සවයකට සහභාගි වීම සඳහා තිසාවැවට ගමන් කිරීමට ද එම මාර්ගය භාවිත කර තිබේ (මව. xxvi :7-8). මහාවංසයට පසුකාලීන මූලාශ්‍රයක් වන සද්ධර්මාලංකාරයේ ද අනුරාධපුර නගරයේ දකුණු ගමන් මාර්ගය තිසාවැව, ඉසුරුමුණිය හා වෙස්සගිරිය පසුකර මලය රට දක්වා ඇදී ගිය බව සඳහන් කර තිබේ (සද්ලං. 539). මූලාශ්රයවල සඳහන් එම මාර්ගය පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු කඳුකර කලාපයට ආසන්න කලාඔය හරහා ඉදි කර ඇති පාලම් මඟින් ද තහවුරු වේ. එම පාලම් අතර පාලන්කඩවල ගල් පාලම, කිරිබාව දැව පාලම, දෙහිල්ගමුව අසල ගල් පාලම, කටියාව අසල රඳා තොට පාලම, මහඉලුප්පල්ලම දැව පාලම, සියඹලන්ගමු ඔයේ මුදින්නේගම අසල ඇති ගල් පාලම දකුණු දිග ගමන් මාර්ගය මලය රට දක්වා විහිදී ගිය බවට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක ලෙස හඳුනාගත හැකි බව ආචාර්ය විදානපතිරණ පෙන්වා දී තිබේ (Vidanapathirana 2007:167).
අනුරාධපුර නගරයට දකුණින් කඳුකර කලාපය දක්වා දිවගිය එම ගමන් මාර්ගය නිසා තදාශ්රිත ප්‍රදේශවල විවිධ කාර්යන් පෙරදැරි කරගත් නිෂ්පාදන ක්‍රියාවලි සිදු වී ඇති බව සාහිත්‍ය මූලාශ්‍රය හා පුරාවිද්‍යාත්මක සාධකවලින් හඳුනාගත හැකිය. මහාවංසයේ සඳහන් වන ආකාරයට නගරයට දකුණු දෙසින් දැකගත හැකි වූ මාර්ගය ආසන්නයේ කුම්භකාර ග්‍රාමය ස්ථානගතව තිබේ (MvT.48; ථූව :213). අනුරාධපුර නගරයේ දක්ෂිණ මාර්ගය ආසන්නයේ ක්‍රියාත්මක වූ කුම්භකාර ග්‍රාමය පිළිබඳ විස්තර දුට්ඨගාමිණී රාජ යුගයට අදාළ කතා පුවත්වල ද අන්තර්ගත වී තිබේ. එයින් එක් විස්තරයක දුටුගැමුණු රජුගේ වේළුසුමන යෝධයා මැටි බඳුනක් ලබාගැනීම සඳහා කුම්භකාර වීදිය දිගේ ගිය බව සඳහන් වේ (Mv. xxvii : 525).
එසේම දුටුගැමුණු එළාර යුද්ධයේ දී දුටුගැමුණු රජු විසින් එළාර රජු දක්ෂිණ ද්වාරයට ආසන්න ස්ථානයක දී අල්ලාගත් බව විස්තර කර ඇත (එම xxv : 68). එම ස්ථානය අනුරාධපුර දකුණුදිග භාගයේ කුම්බකාර ග්‍රාමයට බටහිර පසින් වූ එළාර සොහොනට (වත්මන් දක්ෂිණ ථූපයට) නැඟෙනහිරින් වූ ස්ථානයක් විය හැකිය (MvT : 487).
දුට්ඨගාමිණී රාජ්‍ය කාලය තුළ දකුණු දිග ගමන් මාර්ගය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ තොරතුරු අතර පුරයෙන් දකුණු දිග අට යොදුන් ගිය තැන වූ රිදීගම ලෙනක තිබූ රිදී ලබාගැනීම හා එම රිදී ගැල් මගින් අනුරාධපුරයට ප්‍රවාහනය කිරීම පිළිබඳ සඳහන් වේ (Mv. xxviii : 20 - 23). විශේෂයෙන්ම දකුණු මාර්ගය ඔස්සේ අනුරාධපුරයට ආයාත කළ වටිනා ඛනිජ ද්‍රව්‍යය හා ලෝහ වර්ග පිළිබඳ තොරතුරු ද හඳුනාගත හැකිය. ඒ අතර අම්බට්ඨකෝලයෙන් රිදී ලැබීමේ පුවත ඉතා වැදගත් වේ.
මූලාශ්‍රයන්හි අම්බට්ඨ කෝලය වශයෙන් හඳුන්වා ඇත්තේ වර්තමාන නාලන්ද ප්රදේශයයි. නාලන්ද ප්‍රදේශය ආශ්‍රිත ව ඉතා මෑත දී සිදු කරනු ලැබූ භූ සමීක්ෂණ මඟින් රිදී සහ රත්තරන් පවතින බව සොයාගෙන තිබීමෙන් පුරාණයේ සිට ඒ ප්‍රදේශය ලෝහ සම්පත් ලබාගැනීමට ආකර්ෂණය වූ ප්‍රදේශයක් වශයෙන් හඳුනාගෙන තිබේ (සෙනෙවිරත්න 1996:194). එම කරුණු සනාථ වන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය අතර බඹරගලින් ලැබෙන ක්‍රිස්තු පූර්ව යුගයේ බ්‍රහ්මී ලිපියක කොළගම පිළිබඳ සඳහන් වී තිබීම පෙන්වාදිය හැකිය (Ic. Vol. I :No. 815).
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට කොල් යන ද්‍රවිඩ වචනයෙන් ලෝහ කර්මාන්තයේ යෙදෙන ශිල්පීන් හඳුන්වා තිබේ. එබැවින් මුල් බ්‍රාහ්මී ශිලා ලිපිවල කොළගම පිළිබඳ සඳහන් වීමෙන් පෙන්නුම් කරන්නේ එය ලෝකුරුවන් නිවැසි ගමක් විය හැකි බවය. එවැනි ශිල්ප ගම්මාන ආශ්රයෙන් සිදු කර ඇති පුරාවිද්‍යා අධ්‍යයන අනුව ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදන ඔවුන් ප්‍රධාන වෙළඳ පොළ දක්වා පරිවහනය කර තිබෙන බව හඳුනාගෙන ඇත (සෙනෙවිරත්න 1996:195).
අභිලේඛන හා සාහිත්‍ය මූලාශ්රයවලින් පැහැදිලි වන ආකාරයට අනුරාධපුර නගරයෙන් දකුණු ප්‍රදේශයේ පිහිටි ඛනිජ හා ලෝහ සම්පත් පරිහරණය සඳහා දකුණු ගමන් මාර්ගය වැදගත් වී තිබෙන බව පෙනේ. 2000 වර්ෂයෙන් පසු ජේතවන භූමියේ ස්ථරායනය අධ්‍යයනය සඳහා සිදු කරනු ලැබූ පර්යේෂණ කැණීම් රාශියක දී මුල් ඓතිහාසික අවධියට සම්බන්ධ ජනාවාස ස්ථරවල ලෝහ හා කඳුකර කලාපයේ සම්භවය ඛනිජ පාෂාණ හා ඛනිජ පාෂාණ ආශ්‍රිත නිෂ්පාදන සාධක රාශියන් හඳුනාගෙන තිබේ (මැන්දිස් 2009:19 - 21). එම පුරාවිද්‍යා සාධකවලට අනුව ජේතවන භූමිය ඇසුරින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් එසමයෙහි සිදු වී ඇති බවත්, එම සම්පත් අනුරාධපුරය දක්වා පරිවහනය වීමට දක්‍ෂිණ ගමන් මාර්ගය වැදගත් වී ඇති බව පෙන්වාදිය හැකිය.
මලය රට සමඟ මුල් ඓතිහාසික අවධියේ දී අනුරාධපුර නගරය සිදු කරනු ලැබූ ගනුදෙනු හා හුවමාරු ක්‍රියාවලියේ දී ඛනිජ හා ලෝහ සම්පත් පමණක් නොව කුළුබඩු ආශ්‍රිත ක්‍රියාවලිය සිදු වූ බව ද හඳුනාගත හැකිය. ඇතුළුපුරයේ දකුණු දොරටුව ආසන්නයේ සිදු කරනු ලැබූ පුරාවිද්‍යාත්මක කැණීමක දී එම දොරටුව ආශ්‍රිතව තිබූ වෙළඳ සල්පිල් වශයෙන් අනුමාන කළ හැකි ස්ථානවලින් පුවක්, කොත්තමල්ලි, ගම්මිරිස් යන පාෂාණිභූත වූ කුළුබඩු වර්ග හඳුනාගෙන තිබේ (Ratnayake 1984 : 05).
ආචාර්ය හේම රත්නායක ප්‍රකාශ කර ඇති ආකාරයට එම කුළුබඩු වර්ග අනුරාධපුර දකුණු මාර්ගය ඔස්සේ පැමිණි ද්‍රව්‍යය වන බව පැහැදිලි කර තිබේ (එම). අනුරාධපුර නගරයේ සිව් දිසාවේ පැවති වෙළඳපොළ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රි.ව. දස වැනි සියවස දක්වාම අඛණ්ඩ වෙළඳ කටයුතු සිදු වූ ස්ථානයක් බව දෙ වැනි උදය (ක්‍රි.ව.952) රජුගේ ශිලා ලිපියක සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට නැඟෙනහිර වෙළඳපොළේ ආදායම මැදිරිගිරිය රෝහලට ලබා දී තිබේ (Ez.Vol. V : 327).
එම කාරණා දෙස විමර්ශනාත්මකව බැලීමේ දී නගරයේ දකුණින් වූ එම ප්‍රධාන ගමන් මාර්ගය හා සම්බන්ධ වූ අතුරු මාර්ග රාශියක් ද තිබී ඇති අතර ඒ ඔස්සේ නගරයේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව මුල් හා මධ්‍ය ඓතිහාසික අවධියේ දී සක්‍රීය දායකත්වයක් සපයා ඇති බව හඳුනාගැනීමට අවකාශ සැලසේ.
මතු සම්බන්ධයි