
සුරාවට සූදුවට ඇබ්බැහි වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි අලුත් ආකාරයේ ඇබ්බැහි වීමක් වර්තමාන සමාජයේ දක්නට ලැබේ. ඒ අන්තර්ජාලයට ඇබ්බැහි වීමයි. අන්තර්ජාල ඇබ්බැහිය බහුලව දැක ගත හැකි වන්නේ නව යෞවනයන් අතරය. මානසික රෝග වර්ගීකරණයේදී ‘අන්තර්ජාල ඇබ්බැහිය’ නව රෝගයක්. එසේ පැවසුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මියයි.
අධ්‍යාපනික කටයුතු සහ තොරතුරු ගවේෂණය සඳහා දරුවන් ප්‍රථමයෙන්ම අන්තර්ජාල භාවිතය පටන් ගන්නා අතර ඉන්පසුව නොදැනීම දිගින් දිගටම නිරත වීමෙන් එයට ඇබ්බැහි වීම සිදු වේ. බොහෝ වැඩිහිටියන් ළදරුවන්ට ක්‍රීඩා කිරීම පිණිස සිය ජංගම දුරකතනය ලබා දෙන බව පැවසූ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන, දරුවන් මෙලොවට බිහි වන්නේ අන්තර්ජාලය සමඟ ක්‍රීඩා කිරීමට නොව අනෙක් ළමයි සමඟ දුව පැන සාමූහිකව ක්‍රීඩා කිරීමට බව අවධාරණය කළාය.
නව යොවුන් වියට එළඹෙන විට මෙම දරුවන්ට අන්තර්ජාලය අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වේ. අධ්‍යාපනය හා තොරතුරු ගවේෂණය පසෙකලා විවේකය ගත කිරීමටත් ජීවිතයේ ගැටලුවලට විසඳුම් සෙවීමටත් යම් යම් දේ මිල දී ගැනීමටත් ඔවුහු නැඹුරු වන්නේ අන්තර්ජාලයටය. කෙටියෙන්ම කිවහොත් පාරක් සොයාගැනීමට, ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට පවා ඔවුන් ක්ෂණිකව අත තබන්නේ අන්තර් ජාලයටය.
වර්තමානයේ විනෝද චාරිකාවකදී වුවද ගීත ගයමින් අවට සිරි නරඹමින් විනෝද වන්නේ මැදිවියේ අය මිස යෞවනයන් නොවේ. නව යොවුන් දරුවෝ ස්මාට් දුරකතනය ඔස්සේ අන්තර්ජාලයේ සැරිසරති. ඔවුන්ගේ සුන්දර ලෝකය තිබෙන්නේ අන්තර්ජාලය තුළ ය. ආහාර ගැනීමේදීත් නින්දට යෑමේදීත් අන්තර්ලජාලයේ සැරිසරන දරුවන් ඊට ඇබ්බැහි වන්නේ ඔවුන් නොදැනීමය. එම ඇබ්බැහි වීම නිසා ම මානසික පීඩනය, හිංසනය, නින්ද නැතිකම ඇති වී මානසික විශාදය දක්වාම වර්ධනය වන බව මෙහිදී ඈ පෙන්වා දුන්නාය. අන්තර්ජාලය නිසාම මානසික පීඩනයට ලක්වන ඔවුහු අන්තර්ජාලය අහිමි වීමෙන් ද දැඩි ලෙස මානසික පීඩාවට, ව්‍යාකූලත්වයට පත්වෙති.
අද යොවුන් වියේ පසුවන දරුවන් මුහුණුපොතට වැඩි කැමැත්තක් නැත. ඔවුන්ගේ වැඩි කැමැත්ත තිබෙන්නේ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ට්විටර් ගිණුම්වලට බව ද අනාවරණය වී ඇත.
“මේ ප්‍රශ්නයට ගොඩාක්ම හේතු වී තිබෙන්නේ අද වැඩිහිටියන්ට අන්තර්ජාලය පරිහරණය ගැන, ස්මාට් දුරකතන භාවිතය ගැන අවබෝධයක් නැතිකම. වැඩිහිටියන් ඔවුන්ගේ පරිගණක, ස්මාට් දුරකතන සකස් කර දෙන්න කියලා භාර දෙන්නේ දරුවන්ට. අඩු වශයෙන් අම්මලා තාත්තලාට තමුන්ගේ දරුවන්ගේ මුහුණුපොතේ ට්විටර් ගිණුමේ සාමාජිකයෙකු වෙන්න පුළුවන් නම් ඔවුන් මොනවාද කියන්නේ කරන්නේ කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්”. යනුවෙන් පැවසුවේ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගනය.
සිය දරුවන්ගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම දමන්නේ දෙමවුපියන්ය. අ, ආ, ඇ, ඈ කියා දෙන්නේ මවුපියන්ය. දරුවන්ට බයිසිකල් පදින්නට කියා දෙන්නේ පියා ය. මැහුම්- ගෙතුම්, ඉවුම් - පිහුම් කියා දෙන්නේ මවය. නොවැටී ගස් නඟින්න, වහලයට නඟින්න පුරුදු කරන්නේ පියාය. එහෙත් අමාරුවේ නොවැටී අන්තර්ජාලය පරිහරණය කිරීමට උපදෙස් දීමට කෙනකු නැත . අන්තර්ජාලය නිසා යොවුන් දරුවන් මානසික රෝගීන් බවට පත්වන්නේ එබැවිනි. ආසියාවේ අන්තර්ජාල ඇබ්බැහි වීමේ ව්‍යාප්තිය සලකා බැලීමේදී චීනයේ 10.2%ක් වශයෙන් ද දකුණු කොරියාවේ 20.7%ක් වශයෙන්ද ජපානයේ 9.2%ක් වශයෙන් ද දැක්විය හැකිය.
නව යොවුන් අවධිය ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 10-19ත් අතර කාල පරාසයයි. වයස අවුරදු 6 සිට 9 දක්වා අවධිය ළමා කාලයට අයත් වන අතර වයස අවුරුදු 15-24ත් අතර කාලය තරුණ අවධිය හෙවත් යොවුන් අවධිය ලෙස සැලකේ. මේ අනුව නව යොවුන් අවධිය යනු ළමා කාලයත් තරුණ (යොවුන්) කාලයත් අතර පවතින සංක්‍රාන්තික අවධියක් ලෙස සැලකිය හැකිය. මෙම නව යොවුන් අවධියේදී සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා කායික සහ මානසික වශයෙන් වෙනස්කම් සිදු වේ. ඉක්මනින්ම හැමදෙයක්ම ග්‍රහණය කර ගැනීමට පෙලඹෙන නව යෞවනයෝ, දඩබ්බර, කලබලකාරි ස්වරූපයක් උසුලති. දෙමවුපියන්ට වැඩිහිටියන්ට වඩා මිතුරු ඇසුරට ප්‍රිය කරති. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය ඇති වේ.
“නව යොවුන් වියට පිවිසෙන දරුවන් තුළ මෙවැනි ලක්ෂණ ඇති වීමට බලපාන්නේ ඔවුන්ගේ ශරීර තුළ සිදු වන හෝමෝන ක්‍රියාකාරිත්වය. මේ වයසේ දරුවන්ගේ මොළයේ පිටුපස ඇති ආවේග පිළිබඳ මධ්‍යස්ථානය වයස අවුරුදු 15 වන විට හොඳින් වර්ධනය වෙනවා. ඒත් මොළයේ ඉදිරිපස ඇති තීරණ ගැනීම පිළිබඳ මධ්‍යස්ථානය ඔවුන්ගේ වර්ධනය වෙමින් තිබෙන්නේ. ඒ නිසා ඔවුන් අවදානම ගැන හිතන්නේ නැහැ. යොවුන් වියේදීත් මොළයේ පිටුපස සිට ඉදිරිපස දක්වා සෛලවල මයලීන් තැන්පත් වීම සිදු වෙනවා. මොළය සම්පූර්ණයෙන්ම වර්ධනය වෙන්නේ වයස අවුරුදු 25දී. ඒ නිසා නව යොවුන් දරුවන්ට හැඟීම් පාලනය කරගන්න අමාරුයි. අපි ඔවුන්ගේ සැබෑ තත්ත්වය ජීව විද්‍යාත්මකව හඳුනාගෙන ඔවුන් ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි.” යනුවෙන් පැහැදිලි කළේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ චිරන්තිකා විතානය.
නව යොවුන් වියේ පසුවන දරුවන් මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි සඳහා යොමු වන්නේද මෙම තත්ත්වය නිසාය. මෙම දරුවෝ අත්හදා බැලීම් සඳහා පෙලඹෙති. ඒ නිසාම ඇතැම් විට ඔවුහු ලිංගික අත්දැකීම් ලබාගැනීමට පවා ප්‍රිය කරති. යොවුන් වියේ ගැබ් ගැනීම් සහ අනාරක්ෂිත ගබ්සාවන් මෙම දරුවන් අතර දක්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙහි ඇති තවත් භයානක තත්ත්වයක් වන්නේ නව යෞවනයන් එච්.අයි.වී. වැනි සමාජරෝගවලට පවා ගොදුරු වීමය. යොවුන් වියේ ගැබ් ගැනීම්, අනාරක්ෂිත ගබ්සාවන් ඇතුළු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැටලුවලට ඔබේ යොවුන් දරුදැරියන් භාජනය විය හැකි බව වැඩිහිටියන් අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.
“අද දෙමවුපියන් හිතන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන විතරයි. ළමයින්ට සෙල්ලම් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ගෙදර අය එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. ඉස්කෝලේ යනවා, ටියුෂන් යනවා තමයි. දෙමවුපියන් දරුවන්ට දෙන මෙම පීඩනය නිසාම අද දරුවන්ගේ 48% කට පමණ මානසික ආතතිය. දරුවන්ට අභියෝගයක් දිය යුත්තේ ඔවුන්ගේ දක්ෂතා අනුව. පන්තියේ අන්තිමයා වෙන ළමයාව පළමුවැනියා කරන්න කියලා ළමයාට ලොකු බරක් පටවන එක වැරදියි. ඒ දරුවාගේ දක්ෂතා හඳුනාගෙන ඒ අංශයෙන් යැවීම ඉතාමත් වැදගත්. අද දෙමවුපියන් දරුවන්ගේ සෞඛ්‍යය ගැනවත් හිතන්නේ නැහැ. ක්ෂණික ආහාර, කෙටිකෑම මොනවා හරි දිලා බඩ පුරවලා ටියුෂන් යවන්න තමයි බලන්නේ. දෙමවුපියන්ගේ මේ වැරදිවලින් මොකද වෙන්නේ.? දරුවන්ට පාසල සහ නිවස කරදරකාරි තැනක් වෙනවා. ඒ වගේම දියවැඩියාව, ස්ථුලතාව, රක්ත හීනතාව, අධිරුධිර පීඩනය වැනි රෝගවලට යොවුන් දරුවන් ගොදුරු වෙනවා. දරුවන් රෝගීන් වෙනවා.
නව යොවුන් දරුවන් කෙරෙහි වැඩිහිටියන් මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. එය යහපත් සමාජයක් බිහි කිරීමටත් නිරෝගී පරපුරක් ඇති කිරීමටත් හේතු වනු ඇත. වෛද්‍ය අපේක්ෂා හේවාගීගන අවධාරණය කරන්නේ පවුල තුළ මාධ්‍ය සැලසුමක් ඇති කිරීමෙන් නව යොවුන් දරුවන් ගොදුරු වන උවදුරුවලින් ඔවුන් ගලවා ගත හැකි බවය. එනම් කෑම කන වේලාවේදී රූපවාහිනිය සහ ජංගම දුරකතනයට නිවාඩු දී පවුලක් වශයෙන් සාමාජිකයන් සියලු දෙනා එකතු වී ආහාර ගැනීම ඉතා වැදගත් බවය. එයින් දරුවන් සහ දෙමවුපියන් අතර සම්බන්ධතා ඇති වේ. ඔවුන්ගේ ප්‍රශ්න හඳුනා ගත හැකි වේ. ඔවුන්ට දෙමවුපියන්ගේ ආදරය සහ රැකවරණය හිමි වන බවට විශ්වාසයක් ඇති වේ. නව තාක්ෂණය සමඟ ඉදිරියට යන යොවුන් දරුදැරියන් යහපත් ආකාරයට සමාජගත කිරීමේ වගකීම වැඩිහිටියන් විසින් බුද්ධිමත්ව තේරුම් ගැනීමේ කාලය දැන් එළැඹී තිබේ.