
මෙරට ඉතිහාසය හැදෑරීමේ දී ක්‍රි. ව. හතරවන සියවස අග භාගයේ දී රචනා වී ඇති දීපවංසයෙන් සහ ක්‍රි. ව. පස්වන සියවස මුල දී රචනා වී ඇති මහාවංසයෙන් ලැබෙන පිටුබලය ඉමහත් වේ. එම පාලි වංශකථා ද්විත්වයේ මෙරට මුල් ජන සමාජවල වාසය කළ අපේ මුතුන්මිත්තන්ගේ සංඛ්‍යා භාවිතය හා ඔවුන් තුළ සංඛ්‍යා පිළිබඳ වූ නිරවුල් අවබෝධය වටහාගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද අන්තර්ගතව ඇති බව දන්නා පිරිස සීමිතය.
මහාවංස කතුවරයා මෙන් ම දීපවංස කතුවරයා ද ප්‍රමාණාත්මකව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ දී ප්‍රමුඛත්වය දී ඇත්තේ සංඛ්යාවලටය. කාල වකවානු පිළිබඳ අදහස් දැක්වීමේ දී මෙන්ම දිග, පළල, උස, ගැඹුර හා වපසරිය වැනි මිනුම් පිළිබඳ සඳහන් කිරීමේ දී ද කතුවරුන් දෙදෙනාගේම අවධානය යොමු වී ඇත්තේ සංඛ්‍යා කෙරෙහිය. බෞද්ධ සිවුවනක් පිරිවර ජනයා හා විවිධ රජවරුන් මෙරට බුදුසමය නඟා සිටුවීමට කළ අනේක වූ පුණ්යකර්ම, සෝවාන් ඵලයට හා රහත් ඵලයට පත් වූවන් ගැන ප්‍රමාණාත්මකව කරුණු ඉදිරිපත් කිරීමේ දී හා විවිධ පූජාභාණ්ඩ හා දානමානවල වටිනාකම් දැක්වීමේ දී ද වංශකථා රචකයන් වඩා විශ්වාසය තබා ඇත්තේ සංඛ්‍යා පිළිබඳය.
බිංදුවේ සිට අනන්තය දක්වා වූ සංඛ්‍යා පිළිබඳ එම වංශකථා ද්විත්වයේ ම රචකයන් තුළ පැහැදිලි අවබෝධයක් පැවැති බව එම වංශකථා පරිශීලනයේ දී හඳුනාගත හැකි වේ.
වංශකථාවල සඳහන් සියලු සංඛ්‍යා භාවිතයේ පූර්ව අරමුණු කෙරෙහි අවධානය යොමු කොට දෙකොටසකට බෙදා වෙන් කිරීම කළ හැකිය.
1. සත්‍ය සංඛ්‍යාත්මක අගයන් සන්නිවේදනය වන සංඛ්‍යා
2. විශාලත්වය පිළිබඳ සාපේක්ෂ අදහසක් සන්නිවේදනය වන සංඛ්‍යා
පැරණි සමාජය තුළ භාවිතයේ පැවැති සත්‍ය සංඛ්‍යාත්මක අගයන් සන්නිවේදනය කරන සංඛ්‍යා ප්‍රමාණයෙන් විශාල නොවේ. 1 - 100 දක්වා වූ සංඛ්‍යා සමුච්චය වංශකථාවල බොහෝ විට යොදා ඇත්තේ ඒවායේ සත්‍ය වටිනාකම පාඨකයාට සන්නිවේදනය කිරීමේ පූර්ව අභිමතාර්ථයෙන් යුතුව බව නිදසුන් සහිතව පෙන්වා දිය හැකි වේ. වෙළඳාම සමාජ ගාමක බලවේගයක් නොවූ ඒ යුගයේ සමාජයේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වූයේ සීමිත පරාසයක සංඛ්‍යා පමණි. අතිවිශාල වටිනාකමින් යුක්ත වන සංඛ්‍යා අවශ්‍ය වූයේ ආගමික අදහස් සන්නිවේදනයේදීය. එමෙන් ම එම වංශකථා ද්විත්වයේ සඳහන් සියලු සංඛ්‍යා අතරින් වැඩිම වාර ගණනක් යෙදී ඇත්තේ එකේ සිට දහය දක්වා වූ මුල සංඛ්‍යා සමූහයය.
මහාවංසය රචනා කිරීමේ දී මහානාම හිමියන් අවස්ථා 684ක දී සංඛ්‍යා උපයෝගී කොටගෙන ඇති අතර එයින් අවස්ථා 263කදීම එකේ සිට දහය දක්වා වූ මුල සංඛ්‍යා භාවිතා කිරීම ඉස්මතු වී පෙනේ. මහාවංස කතුවරයා දේවානම්පියතිස්ස මහරජතුමා රජ වූ අවස්ථාවේ දී මෙරට වෙරළින් වර්ග අටක මුතු මතු වූ බව සඳහන් කොට එම මුතු වර්ග අටේ නම් ද වෙන් වෙන් වශයෙන් දක්වා සිටී. “හයමුතුය, ගජමුතුය, ආමලක්කමුතුය, වළලුමුතුය, අඟුලිවෙඪකමුතුය, කකුධළුලමුතුය, ප්රකෘතිමුතුය. ඒ අටජාති ඇති මුක්තාවෝ මුහුදින් නැඟී වෙරළේ වැටියක් සේ සිටගත්තාහ.” දේවානම්පියතිස්ස රජතුමා දඹදිව ධර්මාශෝක රජු වෙත යවනු ලැබූ දූතයන් හතරදෙනා ගැන සඳහන් වන අවස්ථාවේ දී ද එම දූතයන් සිව්දෙනා කවුරුන්දැයි නාමිකව සඳහන් කොට තිබේ.
මහානම හිමියන් මුල සංඛ්‍යා අතරින් ද වැඩිම වාර ගණනක් යොදාගෙන ඇත්තේ හත සංඛ්‍යාවයි. ඒ මෙකල ලේඛකයන් භාවිත කරන සතිය යන කාල සීමාව පිළිබඳ අදහස් දැක්වීමට ය. (පිරිනිවීමෙන් සත් දිනකින් / ඔටුනු පලන් සත් වන දවස් / සත් දිනක් පූජා උපහාර පවත්වා / සේසත් ඔසවා සත් දවසකින්)
සමස්තයක් ලෙස ගත් කල මහාවංසයට සාපේක්ෂව දීපවංසයේ සංඛ්‍යා භාවිතය අඩු වුව ද එකේ සිට දහය දක්වා වූ මුල සංඛ්‍යා භාවිතය මහාවංසයට වඩා දීපවංසයේ වැඩි වේ. දීපවංස කතුවරයාගේ ප්‍රියතම මූල සංඛ්‍යාව වී ඇත්තේ හතර ය. චතුරාර්ය සත්‍යය, සිව්දිශා, සතරවරම් දෙවියෝ, සිව්රඟ සේනා වැනි අදහස් සන්නිවේදනයේ දී සංඛ්යාමූල නාමපද භාවිතය දීපවංසයේ මතුව පෙනෙන ප්රවණතාවකි.
දීපවංස හා මහාවංස කතුවරුන් දෙදෙනා ම වැඩිම වාර ගණනක් යොදා ඇති මූල සංඛ්‍යා හතරක් වේ. ඒ 3, 4, 7 සහ 8 යන සංඛ්‍යා ය. එක සංඛ්‍යාව භාවිත කිරීමට කතුවරුන් දෙදෙනාම වැඩි අවධානයක් යොමු කොට නැත. මුල සංඛ්‍යා දහයට අමතරව 11 - 100 දක්වා වූ සංඛ්‍යා සමූහය ද වංශකථා රචකයන්ගේ නිරතුරු අවධානයට පාත්‍රව ඇත. එම සංඛ්‍යා ශ්‍රේණියට අයත් 16, 17, 18, 24, 32, 60, 80 සහ 100 යන සංඛ්‍යා සමූහය මහාවංසයේ හා දීපවංසයේ වැඩි ම වාර ගණනක් භාවිතව ඇති සංඛ්‍යා ලෙස හඳුනාගැනීම අපහසු නොවේ.
එකේ සිට සියය දක්වා ඇති සංඛ්‍යා සියය අතුරින් මතු දැක්වෙන සංඛ්‍යා 54 කිසිදු අවස්ථාවක මහාවංස කතුවරයා හෝ දීපවංස කතුවරයා විසින් හෝ තම නිර්මාණ කටයුතුවල දී භාවිත කොට නොතිබීම ද සුවිශේෂ කරුණක් ලෙස සැලකිය හැකිය.
14, 19
23, 26, 27, 29
34, 35, 36, 39
41, 42, 43, 46, 47, 49
51, 53, 54, 57, 58, 59
62, 63, 65, 66, 67, 69
71, 72, 73, 74, 75, 76, 77, 78, 79
81, 82, 83, 84, 85, 86, 87, 88, 89
90, 91, 92, 94, 95, 96, 97, 98, 99
කාල වකවානු දැක්වීමේ දී වංශකථාකරුවන්ගේ අවධානය සංඛ්‍යා කෙරෙහි යොමු වූ බව අප විසින් පෙරදී ද සඳහන් කරන ලදි.
මෙරට පාලනය කළ රජුන් හා රැජිනියන් බොහෝ දෙනකුගේ පාලන කාල ගැන සඳහන් කිරීමේ දී ඒ ඒ රජුගේ හෝ රැජිණගේ හෝ සමස්ත පාලන කාලය ආසන්න වසරට වටයා පූර්ණ සංඛ්‍යාවලින් ඉදිරිපත් කිරීම වංශකථා රචකයන්ගේ සාමාන්‍ය සම්ප්රදාය වී තිබේ. (ශුභ සයහවුරුද්දක් රජ කළේ ය / මහාචූලිමහතිස්ස අවුරුදු 14 ක් රජ කළේය. ථුල්ලත්තන අවුරුදු තුනක් ද භාතිය අවුරුදු දෙකක් ද රජ කළේ ය.)
එහෙත් ඇතැම් රජුන්ගේ රාජ්‍ය කාල ඉදිරිපත් කිරීමේ දී වර්ෂ, මාස හා දින ගණන ද සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීමට මහාවංස කතුවරයා තම අවධානය යොමා තිබේ. එසේ පාලන කාලය ආසන්න වර්ෂයට වටයා නැති බොහෝ අවස්ථාවල දී අදාල රාජකීයයා ඝාතනයට ලක් වීම හෝ බලයෙන් පහ කිරීම හෝ සිදු වී තිබේ. (යසලාලකතිස්ස හත්අවුරුදු අටමසක් / ථුල්ලත්තන එක් මස් දස දිනක් / මහාරට්ඨ එක් දිනක්) බොහෝ රාජකීයයන්ගේ රාජ්‍ය කාල දැක්වීමේ දී වංශකථාවල සංඛ්‍යා උපයෝගී කොට ගත්ත ද ඔවුන්ගේ ආයු කාල දැක්වීමට සංඛ්‍යාත්මක අගයන් භාවිත කොට ඇත්තේ දෙ අවස්ථාවක දී පමණි.
දුටුගැමුණු රජු අටසැට වසරක් ද කාවන්තිස්ස රජතුමා සූසැට වසරක් ද ජීවත් වූ බව මහාවංසයේ දැක්වේ. මහාවංසයේ සඳහන් වී ඇති ලෙස වැඩිම ආයු සම්පත්තිය විඳ ඇත්තේ සබ්බකාමී රහතන්වහන්සේ ය. ආනන්ද තෙරුන්ගේ සද්ධිවිහාරිකයකු වූ එහිමියෝ උපසම්පදාවෙන් එකසිය විසිවසක් ගෙවා පිරිනිවන් පෑ බව මහාවංස රචක මහානාම හිමියෝ පවසති.
ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා වූ ඇතැම් වැදගත් සිදු වීම් වූ කාලවකවානු පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමේ දී ද මහාවංස හා දීපවංස රචකයෝ සංඛ්‍යා භාවිත කිරීමට පෙලඹී ඇත්තාහ. ලංකා ඉතිහාසයේ මහා ආන්දෝලනයකට ලක් වූ අභයගිරි විහාරය පිහිටු අවස්ථාව නිරවුල්ව දැක්වීමට වංශකථා ද්විත්වයේ ම සංඛ්‍යා උපයෝගී කොටගෙන තිබේ. (මහාවිහාරයේ පටන් ගැන්මෙන් දෙසිය සතළොස් දසමස දස දිනක් ඉක්මුණු කල) මහාවංසයේ හා දීපවංසයේ මූලික වශයෙන් සංඛ්‍යා උපයෝගී කොටගෙන ඇත්තේ ආගමික, රාජ්‍ය පාලන හා ශාසනික කටයුතු පැහැදිලි කිරීම සඳහා ය.
එහෙත් ඇතැම් අවස්ථාවකදී ගිහියන්ගේ අතිශය පෞදගලික ලෞකික කරුණු පිළිබඳ අදහස් දැක්වීම සඳහා ද සංඛ්‍යා උපයෝගී කොටගෙන තිබේ. දුටුගැමුණු කුමරුගේ නම් තැබීමේ මංගල්‍යයෙන් පසු නම වන දවසේ කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමඟ සංවාසයේ යෙදීමෙන් සද්ධාතිස්ස කුමරුගේ පිළිසිඳ ගැන්ම සිදු වූ බව මහාවංසයේ දක්වා ඇත්තේ මෙලෙසිනි. “එයින් නම වන දවස් මාගම් ගොස් දේවිය හා සංගමය කළේය. ඒ බිසව් ඉන් ගැබ් ගත්තී ය.”
දීපවංස කතුවරයා ලංකාද්වීපයේ සමස්ත භූමි ප්‍රමාණය පිළිබඳ කරුණු දැක්වීමේ දී ද විශ්වාසය තබා ඇත්තේ සංඛ්‍යා කෙරෙහිය. ලංකා නම් දූපත දිගින් යොදුන් 3ක් ද පළලින් යොදුන් 18ක් ද වටප්‍රමාණයෙන් යොදුන් සියයක් ද වන බව දීපවංස කතුවරයාගේ අදහස වී තිබේ. විවිධ ආගමික ගොඩනැගිලිවල දිග, පළල, උස වැනි භෞතික මිනුම් අවධාරණය කිරීම සඳහා ද වංශකථාවල සංඛ්‍යා භාවිත කිරීම සම්ප්රදාය වී ඇත. (තොපගේ මුනුපුරු වූ දුටුගැමුණු නම් මහපිනැති මිහිපතියෙක් තෙම අනාගතයේ මනොහර වූ එකසිය විසිරියනක් උස් වූ සොණ්ණමාලි නම් මහා ස්තූපය කරවන්නේ ය. / ඇගේ රත්න ප්‍රාසාදය තෙම දොළොස් යොදුනක් උස්විය අවට යොදුන් අටසාළිසෙක, කුළුගෙවල් දහසකින් සැරසුන් නවමහල් විය, දහසක් ගබඩාවෙන් සමන්විත වූයේ සතරදිගට මුඛ ඇතිව බබළන්නේ ය.)
විශාලත්වය පිළිබඳ සාපේක්ෂ අදහස් ඉදිරිපත් කිරීමේ දී මහාවංසයේ හා දීපවංසයේ බිංදුවේ සිට අනන්තය දක්වා වූ අති විශාල පරාසයක පැතිර ඇති සංඛ්‍යා පිළිබඳ අවධානය යොමු කොට තිබේ. මහාවංසයේ සඳහන් වී ඇති විශාලතම වටිනාකමකින් යුක්ත සංඛ්‍යාව වන්නේ දසකෙළ දහසය. වත්මන් ව්‍යවහාරයේ දී එම සංඛ්‍යාව හැඳින්වෙන්නේ සියක් බිලියනයක් ලෙසිනි. එම දසකෙළ දහස සංඛ්‍යාව මහාවංස කර්තෘට අවශ්‍ය වූයේ මහාකාල නගයාගේ පිරිවර සේනාව පිළිබඳ සාපේක්ෂ අදහසක් ඉදිරිපත් කිරීම සඳහා ය.
එම සංඛ්‍යාවේ සත්‍ය වටිනාකම පිළිබඳ මහාවංස රචකයා හෝ එකල විසූ පාඨක ජනයා හෝ නොදැන සිටි බව පිළිගත හැකිමුත් එයින් අතිවිශාලත්වය යන හැඟීම ජනනය වන බව එකී දෙපාර්ශ්වයම පැහැදිලි ලෙසම දැන සිටියේ ය.
මහාවංස කතුවරයාට වඩා ඉතා විශාල වටිනාකමකින් යුත් සංඛ්‍යා තම රචනාවට එක් කිරීමට දීපවංස කතුවරයා නොයෙක් අවස්ථාවල දී උත්සහ ගෙන තිබේ. දීපවංස කතුවරයාගේ අවධානයට ලක් වී ඇති විශාලම සංඛ්‍යාව වන්නේ එක්ලක්ෂ හතර නහුතයයි. නහුතයේ වටිනාකම දැක්වීමට ද දීපවංස කතුවරයා අමතක කොට නැිිිත. දීපවංස කතුවරයාට අනුව දහයේ විසි අටවන බලය නහුතයයි. එම නිසා එක්ලක්ෂ හතර නහුතය 1000040000000000000000000000000000 (එක්ලක්ෂ හතරයි, බිංදු විසි අට) ලෙස හෝ කැටිකොට 100004 × 1028 බලය ලෙස හෝ දැක්විය හැකිවේ.
ඒසා විශාල වටිනාකමකින් යුත් සංඛ්‍යාවක් දීපවංස කතුවරයාට අවශ්‍ය වූයේ පෘථිවිය මත බිහි වූ මුල් ම රජු ලෙස සැලකෙන මහාසම්මතගේ සිට සිද්ධාර්ථ කුමරු දක්වා වූ ක්ෂත්‍රිය රාජ පරම්පරාවේ වූ සාමාජික රජුන් ගැන ප්‍රමාණාත්මක අදහසක් ඉදිරිපත් කිරීම සඳහා ය.
මහාවංස කතුවරයා මෙන් ම දීපවංස කතුවරයා ද ඇතැම් අවස්ථාවල දී සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි ය යන අදහස ඉදිරිපත් කිරීම සඳහා අසංකෙයිය, අසංඛ්‍යාත ගණනාපථාත්රිකාන්ත වැනි යෙදුම් භාවිත කොට ඇත. වත්මන් ගණිතයේ දී එම අදහස සඳහා භාවිත වන්නේ අනන්තය (infinite) යන යෙදුමය. බුදුන්ගේ පරිනිර්වාණ අවස්ථාවේ දී කුසිනාරාවට වැඩම කළ භික්ෂූන් ප්‍රමාණය දැක්වීමේ දී ද රුවන්මැලි සෑ ධාතු නිධාන උත්සවයේ දී සෝවාන්ඵලයට පත් වූවන්ගේ ප්‍රමාණය දැක්වීමේ දී ද මහාවංසයේ අසංකෙයිය (ගණනය කළ නොහැකි) යන අදහස ඉදිරිපත් කොට තිබේ.
වංශකථාවල සඳහන් වී ඇති අසංඛ්‍යාත හා අසංකෙයිය යන දෙවදන ගැන අවබෝධයක් ලබාගැනීමට දීපවංසයේ ඇති එක් සඳහනක් උපුටා දැක්විය හැකිය. දීපවංසයේ දැක්වෙන ලෙස මිනිසාගේ බුද්ධියට ගෝචර වන සංඛ්‍යා පරාසයේ අවසානයේ ඇති සංඛ්‍යාව පදුමය නම් වේ. එහි වටිනාකම ලෙස දීපවංසයේ දක්වා ඇත්තේ එක සංඛ්‍යාව පෙරටු කොටගත් බිංදු එකසිය දහනවයයි. නූතන ගණිතයේ දී එකී සංඛ්‍යාවේ අගය 10119 බලය ලෙස හඳුන්වා දෙනු ලැබේ. රම සංඛ්‍යාවට එපිටින් වූ සංඛ්‍යා අසංකෙයිය (incalculable) නම් වේ.
මහාවංසයේ මෙන් ම දීපවංසයේ ද ආගමික සාහිත්‍යයට අදාළ කරුණු දැක්වීමේ දී අතිවිශාල වටිනාකමකින් යුත් සංඛ්‍යා යොදාගෙන ඇත්තේ අනුගාමිකයා තුළ ශ්‍රද්ධාව ඇති කිරීමේ අරමුණින් බව පැහැදිලි ය. දුටුගැමුණු රජතුමා ලෝවාමහාපාය සෑදීම සඳහා කෝටි තිහක ධනය වැය කළ බව දීපවංසයේ සඳහන් වේ. බුදුන්ගේ පිරිනිවන්පෑමෙන් පසුව සංවිධානය කළ උත්සවයට හත්ලක්ෂයක් ශ්‍රාවකයන් වහන්සේ එක්රැස් වූ බව ද එහිම සඳහන් වේ. බුදුදහමේ උන්නතිය සඳහා අශෝක රජු විසින් ආරාම අසූහාර දහසක් ඉදි කිරීමට වැය කළ ධනය කෝටි අනූහයක් වූ බව දීපවංස කතුවරයා තවදුරටත් දක්වා ඇත. පිරිවර සේනා අනුගාමිකයන් පිළිබඳ සාපේක්ෂ අදහස් දැක්වීමේ දී දහස, ලක්ෂය මෙන් ම කෝටිය යන සංඛ්‍යාත්මක අගයන් ද වංශකථා රචකයන් දෙදෙනාම යොදාගෙන තිබේ. (භික්ෂූන් දහසක් සහිත සබ්බන්දි තෙරණිය / අනූහය දහසක් භික්ෂුණීන් / අසූ කෝටියක් සංඝයා / හත්ලක්ෂයක් ගෝලයෝ) එහෙත් කිසිම අවස්ථාවක මේ සංඛ්‍යාවල සත්‍ය වටිනාකම පාඨකයාට අවබෝධ කිරීමට වංශකථා රචකයන් උත්සාහ කළ බව පිළිගැනීමට ඇත්තේ අල්ප වූ අවස්ථාවකි.
අතිවිශාල වටිනාකම්වලින් යුත් සංඛ්‍යා හඳුන්වාදීමෙන් ඔවුන් අපේක්ෂා කළේ විශාලත්වය හා අති විශාලත්වය ගැන අදහසක් පාඨකයා තුළ ඇති කිරීම පමණි. ඒ ව්‍යායාමයේ දී වංශකථා රචකයන් දහයේ ගුණාකාර, සියයේ ගුණාකාර සහ ඇතැම් අවස්ථාවල දී සියස් සහසේ ගුණාකාර සංඛ්‍යා ද උපයෝගී කොටගෙන තිබේ.
දීපවංසය හා මහාවංසය රචනා වූ යුගය වන විට ලක්දිව මහායාන බුදුදහම ද ස්ථාපිතව තිබිණි. විශාලත්වය නිසා භක්තිය උපදින බව මහායානයේ දී පිළිගැනෙන අදහසකි. එම අදහස ද මහාවංස හා දීපවංස රචකයන්ගේ අවධානයට ලක් වූ බව පිළිගැනීමට ද අවස්ථාවක් වේ. මහායාන ලලිත සූත්‍රයේ දක්වා ඇති ලෙස බුදුරජාණන්වහන්සේ තුළ බිංදුවේ සිට දහයේ 421 බලය දක්වා (එනම් එක පෙරටු කොටගත් බිංදු හාරසිය විසි එකකින් නිරූපන වන සංඛ්‍යාවේ වටිනාකම) වූ පරාසයේ පිහිටි සියලු සංඛ්‍යා පිළිබඳ අවබෝධයක් තිබී ඇත.
සමස්තයක් ලෙස ගත් කල සැකයෙන් තොරව අපට පැවැසිය හැක්කේ අනුරාධපුර සමාජ සංවිධානයේ විසූ පොදු ජනයා තුළ ප්‍රායෝගික ජීවිතයේදී භාවිත වූ සංඛ්‍යා පිළිබඳ මෙන් ම ආගමික අදහස් සන්නිවේදනයේ දී ධර්මප්රචාරකයන් විසින් භාවිත කළ අනන්තය දක්වා වූ උපකල්පිත සංඛ්‍යා පිළිබඳ ද පැහැදිලි අවබෝධයක් පැවැති බවය. කෝටිය, කෙළකෝටිය, නහුතය යන සංඛ්‍යාවලින් පැරණි සමාජයේ ජනයා තුළ මෙන් ම අධ්‍යතන සමාජයේ ජීවත් වන බොහෝ දෙනකු තුළ ද ජනනය වන්නේ අති විශාලත්වය පිළිබඳ අදහසකි.
එම සංඛ්‍යාවල සත්‍ය වටිනාකම් පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ගණිතඥයන්, විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් හා ආර්ථික විද්‍යාඥයන් පමණි. ඔබටත් මටත් එම සංඛ්‍යා හෙටත් පෙර මෙන් ම විශාලත්වය හා අතිවිශාලත්වය පිළිබඳ සාපේක්ෂ අදහසක් සන්නිවේදනය කරන සංකේතයෝම වන්නාහ.
මෙරට පාලිවංශකථා රචනා ලිවීමට පෙර කාලයක භාරත දේශයේ රාජ්‍ය පාලකයන්ට ගුරුහරුකම් දීම සඳහා රචනා වූ කෞටිල්ල්යයේ අර්ථශාස්ත්‍ර නමැති ග්‍රන්ථයේ 1/4, 1/2, 3/4 වැනි භාග සංඛ්‍යා විශාල වශයෙන් භාවිත කොට තිබිණි. රජයට අයත් විය යුතු විවිධ බදු වර්ග ගැන සඳහන් කිරීමේදී එම සංඛ්‍යා යොදාගැනීමට අර්ථශාස්ත්‍ර රචක චානක්‍ය පඬිතුමාට අවශ්‍ය විය.
එහෙත් මහවංස රචකයා හෝ දීපවංශ රචකයා හෝ කිසිම අවස්ථාවක භාග සංඛ්‍යා භාවිත කිරීමට උත්සුක වී නැත. ඒ ඔවුන් එම සංඛ්‍යා පිළිබඳ අනවබෝධයෙන් සිටි නිසා නොව ඔවුන්ගේ අවධානයට ලක් වූ විෂය සඳහා එම සංඛ්‍යාවල අදාළතාවක් නොවූ නිසාය.