
මහා වෘක්ෂ, මහා පර්වත, හිරු, සඳු වන්දනා කරමින් ජීවත් වූ ලාංකිකයන් බුද්ධ දර්ශනයේ ප්‍රභාවෙන් විචාරශීලී මිනිසුන් පිරිසක් බවට පත් වීමේ ආරම්භය සිදු වන්නේ මහින්දාගමනයත් සමඟ බව අප අවිවාදිතව පිළිගන්නා කරුණකි. ඒ අනුව සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේත්, ලාංකේය සංස්කෘතික ප්රවේණියේත් උල්පත ලෙස හඳුනාගන්නේ මිහිඳු මාහිමියන් වැඩම කළ මිහින්තලය යි.
තුන් වැනි ධර්ම සංගායනාව අවසානයේදී එයට ප්‍රධානත්වය ලබාදුන් මොග්ගලී පුත්තතිස්ස තෙරුන් සහ අනුග්‍රහය ලබාදුන් ධර්මාශෝක රජු විදේශයන්හි බුද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට අදිටන් කරගත්හ. ඒ අනුව ලක්දිවට මිහිඳු මාහිමියන් ප්රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසක යන පිරිස පිටත් කර එවන ලදි. එසේ මෙරටට වැඩම කළ පිරිස එකල මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජුට මුණගැසෙන්නේ මිහින්තලාවේදීය. සොළොස්මස්ථාන අතරින් එකක් සේ සැලකෙන මිහින්තලය “අම්බස්තලය” එනම් අඹතලය යන නාමයෙන්ද හඳුන්වනු ලබන අතර තවද සෑගිරිය, චේතියගිරිය හා මිස්සක පව්ව යන නාම ද භාවිතා වේ.
අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 11ක් පමණ දුරින් එයට ඊශාන දිශාවෙන් මිහින්තලා පුද බිම පිහිටා තිබෙන අතර මුහුදු මට්ටමේ සිට මීටර 309.27ක් උස් වූ එම ඓතිහාසික ශේෂ කන්ද ප්රාග් ඓතිහාසික යුගයේ පටන් මේ දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් හිමි ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. අක්කර 450ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතින එම ශුද්ධ භූමිය ඉතිහාසය පුරා අවිඡින්නව රාජ්‍ය අනුග්‍රහයෙන් පෝෂිතවූ බිමකි.
මිහිඳු මාහිමියන් යනු ගිහි කල ධර්මාශෝක රජුගේ එකම පුත්‍රයාය. ධර්මාශෝක රජු පැළලුප් නුවර අධිරාජයා බවට පත් වන විට මහින්ද කුමරුගේ වයස අවුරුදු 14ක් වූ අතර ඉන් වසර 6කට පසු එනම් කුමරු වයස අවුරුදු 20දී පැවිදි දිවියට ඇතුළත් වී ඇති බවත් පැනේ. මහණදම් පිරීම අරභයා වසර කිහිපයක් ගිය කල උන්වහන්සේ රහත් ඵලයට පත් වූහ. සසරමඟ කෙටි කරගත් මහින්ද මහරහතන් වහන්සේ තම පියාගේ ඉල්ලීම පිරිදි උතුම් වූ බුද්ධ දර්ශනයේ හරය රැගෙන ලක්දිවට වැඩම කළහ.
මිහිඳු මාහිමියන් ඇතුළු භික්ෂු පිරිවර තමන්ගේ වාසස්ථානය ලෙස මිහින්තලා පුද බිමම තෝරා ගත්හ. මිහිඳු හිමියෝ මිහින්තලයේම වැඩ උන්හ. වංශකථා සාධක අනුව දෙවන පෑතිස් රජ දවස සංඝයා උදෙසා පූජා කළ ලෙන් 68න් එක් ලෙනක මිහිඳු මාහිමියන් වාසය කර ඇති බවත් වර්තමානයේ මිහිඳු ගුහාව ලෙස ජනවහරේ ප්‍රචලිත වන්නේ එම ගුහාව බවත් පිළිගැනේ.
අම්බස්තල දාගැබේ සිට නැඟෙනහිර දිශාවට ගමන් කරන විට එම ස්ථානයෙන් පහළට යොමු වූ අඩි පාරක් දැකගත හැකි වේ. ස්වාභාවික ගල් පිහිටීම් හා තැනින් තැන ගොඩනැඟූ ශිලාමය පියගැට පේළි ඔස්සේ එම මඟ සකස් වී ඇති අතර එම මග ඔස්සේ ටික දුරක් ගිය විට මිහිඳු ගුහාව දැකගත හැකිය.
මිහිඳු ගුහාවට එම නම ලැබීමට හේතුව ලෙස ජනප්රවාදයේ සඳහන් වන්නේ එය මිහිඳු මාහිමියන් වැඩ සිටි ලෙන යන විශ්වාසය මතය. ජනප්රවාදයේ නිරවද්‍යතාව සනාථ වන සාධක ලෙනෙන් මෙන්ම ලෙන අවට පරිසරයෙන්ද ලැබෙන බව පෙනේ.
මිහින්තලා කන්දේ එක් බෑවුමක පිහිටි ලෙන තුළ සිටින අයෙකුට හාත්පස දක්නට ලැබෙන්නේ ඉතාම සුන්දර දර්ශනයකි. ලෙන අවට ස්වාභාවික පරිසරයේ චමත්කාරය දෙනෙතට හසු වන ඕනෑම අයෙකුගේ සිතට සැනසීම ගෙනදෙනවා නොඅනුමානය. රහතන් වහන්සේ නමකට එම නිදහස් පරිසරය තම මනස දියුණු කරගැනීමට මනා පිටිවහලක් බව පැවසීම උචිතය.
එම ලෙන මිහින්තලා කඳු අරණේ පිහිටි අනෙකුත් ලෙන් අතරින් වෙනස් වන සුවිශේෂී පිහිටීමකින්ද යුක්ත වේ. ඒ අනුව එම ලෙන සකස් වී ඇත්තේ ගල් දෙකක් ඉහළින් එකට බද්ධවූ ආකාරයට වන අතර එම නිසා ඇතුළත දෙපසින්ම පරිසරයට විවෘත වී පවතී. එම පිහිටීම නිසාම ලෙන හරහා නිරින්තරයෙන් සිහිල් සුළඟක් හමායනු දැනේ. එම අපූර්වතම ලෙන තුළ පිහිටි ගලේම මනාව ඔප දැමූ ගල් ආසනයක් සකස් කර ඇත.
එය මිහිඳු මාහිමියන් භාවනායෝගීව සිටීමට හා සයනය කිරීමට උපයුක්ත කරගන්නට ඇතැයි ජනප්රවාදයේ පවතී.
සිංහල ථූපවංසයේ සඳහන් වන්නේ මිහිඳු මාහිමියන් බොහෝ දෙනාට අවවාද කරමින් මිහින්තලයේම වැඩ විසූ බවය. ඒ අනුව පැහැදිලි වන කරුණ වන්නේ පොසොන් මස මෙරටට වැඩම කළ උන්වහන්සේ ඉන් මසකට පසු උදා වන වස් කාලයේ මිහින්තලයේම වස් විසූ බවය. සෙසු භික්ෂූන් අටසැට ලෙන්හි වස් වසන කල මිහිඳු මාහිමියන් එම මිහිඳු ගුහාවේ වස් වසන්නට ඇති බව සිතීම යුක්ති සහගතය.
මිහිඳු මාහිමියන් සැටවසක් ආයු වළඳා චේතියගිරි පර්වතයේදී එනම් මිහින්තලයේදී පිරිනිවන් පෑ බව මහාවංසය සඳහන් කරන අතර ඒ අනුව උන්වහන්සේ වෙනුවෙන්ම වෙන්වූ ලෙනක් එම ආරාම සංකීර්ණයේ පැවැතුණේයැයි ජනප්රවාදයේ එන අදහස යුක්ති සහගත බව පෙනේ. එසේ නම් මිහින්තලා පූජා භූමියට බැමිණෙන සැදැහැවතුන් අනිවාර්යෙන්ම දැකබලාගත යුතු පූජනීය ස්ථානයක් ලෙසට මිහිඳු ගුහාව හැඳින්වීම වටී.