
ලෝකය ආදරණීය තැනක් උනේත්, මනුෂ්‍යයාට මනුෂ්‍යයෙකුට හිමි විය යුතු ගෞරවණීය ජීවිතය හිමි වුනේත් ලෝකයට ආදරය කළ පැහැසර මිනිසුන් ස්වකීය රුධිරය, දහදිය, කඳුළු මතු නොව ජීවිත ප්‍රාර්ථනා ද කැප කර දියත් කළ අරගලයන්ගෙනි. ඒ අරගල දියත් වූයේ පුළුල් සමාජ, දේශපාලන හා දෘෂ්ටිමය පරණතියක් සහිත වටපිටාවකය. එය මිනිසුන්ට විපුල සමාජ ඵල නෙලා දුන්නේය.
එහෙත් මානව ශිෂ්ටාචාරයේ හැඩය වෙනස් කළ වෘත්තීය අරගල නැමැති මහා බලගතු අවිය සදාචාරාත්මකව ව්‍යසනයට ලක් කරමින් අවලමේ යැවීමේ අශිෂ්ටකම රටක් ලෙස මේ මොහොතේ අපි අත්විඳිමින් හිඳිමු. මැතිවරණයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක පවතින දුර්වල ආණ්ඩුව ගෙල ග්රහයෙන් ගෙන ස්වකීය පුද්ගලික අභිමතාර්ථ සාධනය සඳහා කරන මේ සාහසික කොල්ලයේ නින්දිත බව ගතවන පැයේදී ලෝකයට ප්‍රකාශ කරමින් සිටින්නේ දුම්රිය සේවකයන්ය. දුම්රිය සේවය සංවෘත සේවයක් බවට පත් කිරීම පමණක් ප්‍රමාණවත් නැතැයි පවසන දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් ආර්.එම්.1 හා ආර්.එම් 2 වැටුප් පරිමාණ ලබා ගැනීමට අසංවර පොරයක නිරත වෙමිනි. ඒ අනුව දුම්රිය රියැදුරු, නියාමක, පාලක ස්ථානාධිපතිවරු, අධීක්ෂණ කළමනාකාර ඇතුළු තාක්ෂණ සේවකයන් දැන් අඛණ්ඩ වර්ජනයකය. මේ ලියන අවස්ථාව වනවිටත් ගැටලුව විසඳී නැත.
ගැබිණියන්, තරුණියන්, වියපත් අම්මාවරුන්, පියවරුන්, ඇතුළු අපේ පන්තියේ දුගී මිනිසුන් අසීමිත පීඩාවට ලක්කරමින් මහ මගට ඇද දැමූ ඒ අශිෂ්ඨත්වය දැන් සීමාව ඉක්ම ගොස් තිබේ. රටට හෙළි නොවුන ඇත්තනම් මේ වැඩවර්ජනය මෙහෙයවන ඇතැම් නිලයන් දුම්රිය දෙපාර්තමේන්තුව හැසිරවීමේ බලය බලහත්කාරයෙන් සියතට ගෙන තිබීමය. කෙතරම් විධග්ධ වෘත්තියන් සිටියත් ඔවුන් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනයට මේ පිරිසේ හැසිරීම කලමණාකරණය කර ගත නොහැකි තත්වයක් උද්ගත වීමය. මුලින්ම දුම්රිය දෙපාර්තමේන්තුව ගෙල ග්රහයෙන් ගත් මේ පිරිස අතර අත්තනෝමතික හැසිරීම් වැඩි වශයෙන් ප්‍රකට කළේ දුම්රිය රියදුරන් හා නියාමකවරුන්ය.
ඒ අශිෂ්ටත්වය මේ වර්ජනයට සතියකට පෙරත් හෙළි වූයේය. ඒසේ නිරුවත් වූවෝ දුම්රිය නියාමකයන්ය. රාජ්‍ය දෙකක් අතර පරිපාලන සබඳතා තහවුරු කරන අතිශය වැදගත් රාජකාරි කටයුත්තකදී බලය යොදා එහි කාර්ය පටිපාටිය අවුල් කරමින්, ඒ සඳහා එක්වූ චීන රජය නියෝජනය කළ චීන ඉංජිනේරුවරුන්ට බීමත්ව පහර දීමට තැත් කරමින් මේ ගාඩ්ලා රට කාණු පල්ලට ඇද දැමූ ආකාරය ප්‍රධාන ඉංජිනේරු ධාවන විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව දන්වා තිබිණි.
සිද්ධිය වාර්තා වන්නේ පසුගිය මස 20දාය ( 2019.09. 20). අලුතින් ලංකාවට ගෙන්වා තිබූ S14 පන්තියේ 971 හා 972 බලවේග කට්ටල දෙක 878C හා 18/09 ලෙස නම් කර තිබූ පරීක්ෂණ ධාවනය සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා යොදවා තිබිණි. ධාවනය ආරම්භ වූයේ 20 දා උදේ වරුවේය.
චාරිකාවේ සැලසුම වී තිබුනේ කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය කර නැවත එදිනම ආපසු බණ්ඩාරවෙල දක්වා පැමිණ රාත්‍රී කාලයේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නැවතී සිට පසුදින කොළඹ බලා ගමන් කිරීමය. ගමන අතර විවිධ තාක්ෂණික පරීක්ෂණ ගණනාවක් කිරීමට නියමිත විය. එහෙත් දුම්රිය එදින බණ්ඩාරවෙලට එනවිට රාත්‍රී 9.30 පමණ වී තිබිණි. බදුල්ලට ගොස් නැවත බණ්ඩාරවෙලට පැමිණීමට කාලයක් නොවීය. එමෙන්ම එක් දුම්රිය ඇන්ජිමක කොටස්වල යම් රත්වීමක් නිරීක්ෂණය විය. එබැවින් එදින පරීක්ෂණ ධාවනය බණ්ඩාරවෙලින් අවසන් කිරීමට දුම්රිය ගමනාගමන අධිකාරීවරයා උපදෙස් ලබා දුන්නේය.
අනතුරුව ධාවනයට එක් වූ ඉංජිනේරුවරුන්ගේ සැලසුම වූයේ පසු දින බදුල්ල දුම්රිය ස්ථානය වෙත ගොස් නැවත කොළඹ බලා පැමිණීමය. බදුල්ල දක්වා ධාවනයේදී වැය වන ලිහිසි තෙල් ප්‍රමාණය මැන ගැනීම, එන්ජින්වල හැසිරීම අධ්‍යයනය කිරීම මෙන්ම ගමනට එක්වූ චීන ඉංජිනේරුවන්ට අවශ්‍ය ජී.පී.එස් දත්ත ලබා ගැනීම සම්පූර්ණ කරගත යුතු වූ නිසා මේ පරීක්ෂණ ධාවනය බදුල්ල තෙක් ගමන් කිරීම අත්‍යවශ්‍ය වී තිබිණි. එබැවින් දුම්රිය ගමනාගමන අධිකාරීවරයාගේ උපදෙස් මත පසු දින උදෑසන (21) කණ්ඩායම බදුල්ල දක්වා ගමන් කිරීමට සූදානම් වූහ.
මේ අවස්ථාවේදී එම ගමනට එක් වූ නියාමකවරු පිරිසෙන් එක් අයෙක් පැමිණ පරීක්ෂණ කණ්ඩායම ඇමතුවේය. “ රෑ හරියට නිදාගන්න බැරි උනා. ඔයගොල්ල බදුල්ලට යනවා නම් ගිහින් අපට පැය 09 ක් රෙස්ට් කරන්න දෙන්න වෙනවා. එතකොට අපිට කොළඹ එන්න පුලුවන් වෙන්නේ හෙට ( ඔක්තොම්බර් 22). මේ නියාමකයා චීන නිලධාරීන් ඇතුළු වෘත්තිකයන් පිරිස හමුවේ කියා බදුලු ගොස් කොළඹ ඒම මුලුමනින්ම ප්‍රතික්ෂේප කළේය.
නිලධාරීහු අසරණ වූහ. කණ්ඩායම නාවලපිටිය ප්‍රවාහන අධිකාරීවරයාව විමසුවේය. ඔහු ඒ වනවිට බදුල්ල දුම්රිය ස්ථානයේ සිටි දුම්රිය නියාමකවරු දෙදෙනෙක්ව සම්බන්ධ කරගෙන නැවත දුම්රිය කොළඹට ධාවනය කරවීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තේය. එය ව්‍යර්ථ වුනේය. විශේෂත්වය වන්නේ මේ පරීක්ෂණ ධාවන කටයුත්ත වෙනුවෙන් නියාමකවරුන් දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ද සහභාගී වී සිටිමය. එහෙත් පැය 9 ක විවේක කාලයක් ඉල්ලා සිටි මේ මිනිස්සු දුම්රිය බදුල්ල තෙක් ධාවන කර එතැනින් කොළඹට ගෙන ඒමට සහය දැක්වීම ප්‍රතික්ෂේප කළහ. පරීක්ෂණ ධාවන සැලසුම කඩාකප්පල් විය. තත්වය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දුන් පිරිස බදුල්ලට කළ යුතු පරීක්ෂණ ධාවනය අවලංගු කර නැවත කොළඹ බලා ඒමට තීරණය කළහ.
සිදුවූ අප්‍රසන්න අත්දැකීම අමතක කළ කණ්ඩායම කළ යුතු වූ නිරීක්ෂණ සහිතව බණ්ඩාරවෙලින් කොළඹ බලා එන්නට පිටත් වූහ. දුම්රිය කඩුගන්නාව පසු කර ධාවනය වෙමින් පැවතිනි. එක්වරම චීන ඉංජිනේරුවරු දෙදෙනෙක් ඉදිරියට පැමිණ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ඇමතුවේය. “ දුම්රියෙ පසුපස ඉන්න කණ්ඩායමක් අපේ අපේ රාජකාරියට බාධා කරමින් සිටිනවා. ඔවුන් අපට ඉංග්‍රීසි භාෂාවේ එන නරකම අසභ්‍ය වචනවලින් බැණ වදිනවා. අපේ කණ්ඩායමේ එක් ඉංජිනේරුවරයෙකුට අයෙක් පහර දෙන්න ආවා. ඔවුන් ඔහුව තල්ලු කළා. ඒ අතරෙ තවත් පුද්ගලයෙක් අපේ කණ්ඩායමට තර්ජනය කළා. ඔහු අපේ එක් අයෙක් පසෙකට ඇදන් ගිහින් රේඩියෝවෙ ශබ්දය වැඩි කරලා ඉතාම පහත් විදිහට බැණ වදිමින් පහර දෙන්න හැදුවා. මොනවද මේ ඔබේ රටේ මිනිස්සු කරන්නෙ. අපි ආවෙ ඔබට සහය වෙන්න. මෙහෙම රාජකාරියක් කළ හැකි ද?.” චීන ඉංජිනේරුවරයා කියාගෙන ගියේය.
සිදුවන්නේ කුමක් දැයි වටහා ගත නොහැකි වූ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු ඉංජිනේරුවරු පිරිසක් චීන ඉංජිනේරුවා අනුව සිද්ධිය වූ ස්ථානයට ගමන් කළේය. දුටු දෙයින් පිරිස නිරුත්තර වූහ. විදේශික වෘත්තිකයන් පිරිසක් ඉදිරියේ දෙපාර්තමේන්තුවත් රටත් බල්ලාට වැටී තිබිණි. එතැන සිටියේ පරීක්ෂණ ධාවනයට එක් වී බදුල්ල බලා දුම්රිය ධාවනය ප්‍රතික්ෂේප කළ නියාමක කණ්ඩායමය. උන් සිටියේ සුනඛයන් සේ බීමත්ව සිහි විකල් ගතියෙනි. ඔක්කාරය දනවන මත්පැන් ගඳ හාත්පස වහනය විය. මේ රාජකාරි වෙලාවය. මේ පිරිස නිරතව සිටියේ රාජකාරි කටයුත්තකය. එහෙත් උන් කණමදයන් බීගෙනය. ස්වකීය සහායට පැමිණි විදෙස් රාජ්‍ය නියෝජිත වෘත්තිකයන් කණ්ඩායමකට මැර තර්ජන කර වහසි කියමින්ය.
පරීක්ෂණ කණ්ඩායමේ වෘත්තිකයන් තමන් ඉදිරියේ දිස්වන මේ නින්දාසහගත හැසිරීම ඉවසමින් චීන ඉංජිනේරු කණ්ඩායමට මේ ආකාරයේ තර්ජන එල්ල කරන හේතුව කුමක් දැයි විමසා සිටියහ. එතැන බීමත්ව අසිහියෙන් සිටි එකෙක් ගොත ගසමින් මොර ගෑවේය. “ මුන්ට මෙහෙම කරලා මදි .... පුතාලා. චීනෙදි අපිට පෝලිම්වල තියලයි කන්න දුන්නෙ.” චීන ඉංජිනේරුවරයා තමන්ව තල්ලු කර පහර දීමට පැමිණි නියාමකයාව පෙන්නුවේය. ඒ අශිෂ්ට මිනිසා සිහි විකල්වන තරමට බීමත්ව සිටියේය.
කළ හැකි එකම දෙය මේ බේබද්දන්ගෙන් මුදවා ගෙන චීන පරීක්ෂණ කණ්ඩායමට සිය රාජකාරි කටයුතු කරගෙන යෑමට ඉඩ සැලැස්වීමය. දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගවත්ත ස්ථානභාර නිලධාරීවරයා ඇමතූ පරීක්ෂක කණ්ඩායම සිහි විකල් වූ බේබද්දන් ඔහුට භාර දුන්නේය. ඒ වනවිට මේ කණ්ඩායම සමග සහකාර ප්‍රවාහන අධිකාරීවරයාද සිටියේය. ඔහුත් සිද්ධිය පිළිබඳ දැනුවත් වූයේය. මේ පියවරින් පසු චීන වෘත්තික කණ්ඩායමට බාධාවකින් තොරව ස්වකීය රාජකාරි කරගෙන යෑමට අවස්ථාව සැලසිනි.
S 14 බලවේග කට්ටල කමිෂන් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය මත ලංකාවට පැමිණි චීන කණ්ඩායම ඔවුන්ට මැර ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බීමත් නියාමකයාගේ ඡායාරූපයක් ගෙන තිබිණි. මේ තැනැත්තා සේවයට එක්වී ඇත්තේ වර්ෂ 2016 දීය. ඔහු තවමත් පරිවාස කාලය ගත කරන්න රජයේ සේවකයෙකි.
මේ විකෘතිකයන්ගේ හැසිරීම පිළිබඳව කාර්මික ශාඛාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා දුම්රිය සාමාන්‍යාධිකාරී තැනට ලිඛිතව මේ නරුමයන් පිලිබඳව දන්වා තිබුණේය.
“ මාණ්ඩලික සේවයේ නිලධාරීන්වන අපට චීන ඉංජිනේරුවරුන් වෙත පහර දෙන්නට ගිය පුද්ගලයා බීමතින් සිටි බවත්, ඔහුගෙන් මත්ද්‍රව්‍ය ගඳ වහනය වූ බවත්, සහතික කළ හැකිය. ආයතන සංග්‍රහයේ නීති රීති අනුව ඔහුට සුදුසු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අප විසින් නිර්දේශ කරමු. එසේ නොමැති වුවහොත් දෙපාර්තමේන්තුවේ විනය පවත්වා ගැනීමටත් එය බාධාවක් වනු ඇත. ශ්‍රී ලංකා රජයේ කොන්ත්‍රාත්තුවකට අනුව ශ්‍රී ලංකාවට පැමිණ සේවයේ නියුතු විදේශිකයෙකුට මෙසේ හිරිහැ කිරීම රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටත්, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ගෞරවයටත් කැලලක් සිදුකළ සිද්ධියක් බව අපගේ හැඟීමය. එම නිසා දෙපාර්තමේන්තුවේ විනය බලධාරියා ලෙස ඔබතුමා මෙයට සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.”
දුම්රිය සේවය ගෙල ග්රහයෙන් ගෙන ඇති මේ අශිෂ්ටයන් සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට මෙසේ ලියන්නේ දුම්රිය ඉංජිනේවරුන්ය. ලියුම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලඟය. විනය ක්‍රියාත්මක කිරීමට විදිහක් නැත. ගාර්ඩ්ලා වැඩි පඩි ඉල්ලා වර්ජනයේය. දුම්රිය රියැදුරු, නියාමක, පාලක ස්ථානාධිපතිවරු, අධීක්ෂණ කළමනාකාර ඇතුළු තාක්ෂණ සේවකයන් උන් සමග එක්වය. අපි උන්ගෙ පාදඩකම් විඳිමින් මහපාරේය.
මුලින්ම කිවයුත්තේ මේ පිස්සු හැදුණු සුනඛයන් බැඳ දැමීමේ මුල්ම වගකීම ඇත්තේ ඔවුන්ගේ විනය පිළිබඳ ඍජුවම වගකිවයුතු බලධාරීන්ට බවය. ඒ මට්ටමේ පාලනය නොවූ විට උන් හතර වටේටම පනිමින් හපන්නට ගන්නේය. දැන් රටත් කීතු කරමින් පෙන්වමින් සිටින්නේ ඒ වැරැද්දේ තරමය.