
විවිධ වෘත්තීන් අතරින් ශ්‍රේෂ්ඨතම වෘත්තිය ගුරු වෘත්තිය බව ලොව කාගේත් පිළිගැනීමයි. ඒ සියලු වෘත්තිකයන් බිහිවන්නේ සැබෑ ගුරුවරයෙකුගේ මග පෙන්වීම මත බැවිනි. ගුරු වෘත්තිය තුළ මානව දයාව, සෙනෙහස, ආදරය, කරුණාව වැනි සියලු වේදිතයන් මුසුව පැවතීම තවත් හේතුවකි. ‘ගුරුවරයා’ යන්නට විවිධ අර්ථකථන දෙන්නේ ද එම වෘත්තියේ ඇති ගරුත්වය නිසා ය.
“ගුරුවරයා යනු දරුවන් යහමඟ යැවීමට දෙව්ලොව සිට මෙලොවට වැඩි ආශ්චර්යවත් පුද්ගලයෙකි” යනුවෙන් දිනෙක දරුවෙක් රචනයකට ලියා තිබුණා මතකය. ජීවිතයේ හිනි පෙත්තටම නැඟි බොහෝ උගතුන් ආපසු හැරී වැඳ නමස්කාර කරන්නේ ගුරුවරුන්ටය. ගුරුවෘත්තිය එවැනි පූජනීය එකකි.
නමුදු එවැනි පූජනීය මිනිසුන් පසුගිය දිනෙක වෘත්තිය අරගලයකට මැදිවන්නේ විසඳාගත යුතු බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කරමිනි. පෙර සඳහන් කළ පරිදි ඔවුන් සැබෑ ගුරුවරු නම්, වර්ජනය මුවාවෙන් දරුවන්ගේ අනාගතය බිලි දෙන්නට ඔවුන් කිසි දිනෙක සූදානම් නොවනු ඇත. ගුරු දෙවිවරු හෘද සාක්ෂියට එකඟව කිසි දිනෙක වැඩ වර්ජන කර දරුවන්ගේ වටිනා කාලය අපතේ නොහරිනු ඇත. දිනකට අතපසු වන විනාඩි හතළිහේ කාල පරිච්ඡේදයක් පිළිබඳව සති ගණන් විස්සෝප වන ගුරුවරු දින 2 ක් වර්ජනය කළේ කෙසේ ද? යන්න ලඝු කොට සැලකිය හැකි නොවේ. මේ වෑයම ඔවුන් ඒ දින දෙක ගත කළ අන්දම සොයා බැලීමට ය.
“ඉල්ලීම් දිනාගන්න වර්ජනය කළා තමයි. ඒත් ඒක හිතට එකඟ නෑ. මම උගන්වන්නෙ සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය. විභාගය අත ළඟටම ඇවිල්ලත් මගෙ පංතියෙ තාමත් ඉන්නවා අසමත්වන මට්ටමේ දරුවො 9 දෙනෙක්. මම වර්ජන දවස් දෙකේ ඒ දරුවො ටික මගෙ ගෙදරට ගෙන්න ගත්තා. ඉස්කෝලෙ කාලයට වඩා වැඩි වෙලාවක් දරුවො එක්ක වැඩ කළා. ඒ දරුවන්ව ළඟට අරන් බොහොම හොඳින් පාඩම් කියලා දුන්නා. මට දැනුණා දරුවන්ට වෙනදට වඩා වැඩි යමක් අවබෝධ කරගත්තා කියලා. වෙනදාට වඩා දරුවො මට ගොඩක් සමීප වුණා” යනුවෙන් පැවසුවේ නගරයේ පාසලක ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියකි.
අති දුෂ්කර කලාපයක විදුහල්පතිවරයෙක්, අපතේ ගිය කාලයට සරිලන සේ පාසල තුළ නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පැවසුවේය. “හිතට එකඟ නොවුණත් අපි හැමෝම වර්ජනයට සහභාගි වුණා. ගුරු වෘත්තියේ ඇති වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න ඉඩ නොදෙන්නෙ පාලකයෝ. දින දෙකක ඉගෙනීම අඩාළවීම හරිම කනගාටුවක් තමයි. ඒ නිසා මමත්, මගේ ගුරු මණ්ඩලයත් සාකච්ඡා කරල තීරණයක් ගත්තා පාසල නිමාවීමෙන් පසු පැය භාගයක විවේක කාලයක් ලබාදී එතැන් සිට හවස 5.30 වනතුරු දරුවන්ට උගන්වන්න. දෙමවුපියොත් මේ වැඩේට කැමති වුණා. ඒක සාර්ථක ක්‍රමයක් වේවි. පසුගිය කාලේ රටේ තිබුණ විවිධ ගැටලු සහගත තත්ත්වයන් මතත් දරුවන්ගෙ ඉගෙනීම් මඟ හැරුණා. අපි අපට පුළුවන් දේ දරුවන් වෙනුවෙන් කරනවා.”
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින්, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතිදුෂ්කර පාසලක විදුහල්පතිවරයා පැවසුවේ මෙවැනි කතාවකි.
“ඉස්කෝලෙ හතර වටේම අලි වැට. දරුවො උදේට ඉස්කෝලෙ එන්නෙ දහසක් දුක් කරදර මැද. අපේ පාසලේ දරුවන්ගේ අම්මල බහුතරයක් ඉන්නෙ විදෙස් ගතවෙලා. එහෙව් දරුවන් නගරෙ වටිනා කියන ඉස්කෝලෙකට යවන්නයි අපි උත්සාහ දරන්නේ. අපේ අරමුණ ඒක නිසා ‘වර්ජනය’ කියන වචනෙ අපි කාටවත් ඇහුණේ නෑ. දරුවො ශිෂ්‍යත්වය පාස් කරන එක අපිට හරියට පිපාසයක් වගේ. ඒ නිසා අපේ පාසලේ ගුරුවරුන්ගෙ පැමිණීම සියයට සියයක් ම පැවතුණා.”
ගුරුවරු සංවේදිය. ඔවුහු තවමත් ගුරුවෘත්තිය දේවත්වයේ ලා සලකති. මේ එවන් ගුරුවරියකගේ කතාවකි.
“මම කලින් දවසෙ හිතාගත්තා වැඩ වර්ජනය කරනවමයි කියලා. මොකද මං බොහොම ආර්ථික පීඩාවලට මැදිවුණ ගුරුවරියක්. මට ගෙදර දරුවො හතර දෙනෙක් ඉන්නවා. ඉස්කෝල වෙලාවෙන් පස්සෙ මට කුලී වැඩ කරන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ වැඩ වර්ජනයට මම සහභාගි වෙනවමයි කියල හිතාගෙන හිටියා. ඒත් මොන කරුමෙද මන්දා ඒ දවස් දෙකෙත් වෙනද වගේ ම ලෑස්ති වෙලා ඉස්කෝලෙට ආවා. ආවා නෙමේ එවුනා. සුපුරුදු විදිහටම ඉගැන්නුවා” යනුවෙන් පවසමින් ඇය කඳුළු පිස දැමුවා ය. ඒ කඳුළුවල බර කිසිවෙකුට මැන බැලිය හැකි නම්...?
කලින් දැනුම් දී තිබූ වැඩ වර්ජනයට සූදානම් වූ ආකාරය තවත් පාසලක විදුහල්පතිවරයෙක් මෙසේ පැහැදිලි කළේ ය.
“ඉල්ලීම් දිනාගන්න වර්ජනය කළයුතුයි කියන මතයෙ අපි හිටියා. ඒත් දරුවන්ට හානියක් කරන්න අපි කවුරුත් කැමති වුණේ නෑ. ඒ නිසා ගුරු සාකච්ඡාවකින් පස්සෙ දින දෙකටම ගැළපෙන විදිහට සියලුම විෂයයන් ඇසුරෙන් දරුවන්ට කරගෙන ඒමට වැඩ පැවරීමක් සිදු කළා. දරුවන් ඉතා ඕනෑකමින් ඒ වැඩවල නිරත වුණ බව අපි පසුව දැනගත්තා...” යනුවෙන් පැවසුවේ ය.
අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යන දුෂ්කර පාසලක ගුරුවරයෙක් මෙසේ පැවසුවේ ය. “අපි හැමෝම වෙනද වගේ ඉස්කෝලෙ ආවා. දරුවන්ටත් එන්න කීවා. පොත අත්සන් නොකර සුපුරුදු පරිදි වැඩ කළා. ඒකෙ නීතිමය ගැටලු ඇති... අපි නොදන්න. ඒත් බෙල්ල ගහල ගියත් මේ අහිංසක දරුවන්ට පිටුපාන්න බැරි වුණා. ඒ අතින් අපි හරි දුර්වලයි ද කියලත් හිතෙනවා. ගුරුවරයා පැවැසුවේ මදහසක් පාමිනි.
“මම උගන්වන්නෙ 4 ශ්‍රේණියට. වර්ජනය දවසෙ උදේ ඇවිත් බලද්දි දරුවො සේරම ඇවිත්. නමුත් මට මේ අරගලය අතහරින්න හිතුණෙත් නෑ.
හරියට උණු හින්දා බොන්නත් බෑ... කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ වැඩක් මට වුණේ. එහා පැත්තෙ පන්සල. මං හාමුදුරුවො එක්ක කතා කරල දරුවො ටික බණ මඩුවෙ තියාගෙන ඉගැන්නුවා. මම වර්ජනයටත් සහභාගි වුණා. දරුවන්ට හානියක් කළෙත් නෑ. අපිත් මිනිස්සුනෙ. කොහොමද මේ පැටවුන්ට පිටුපාන්නෙ” යනුවෙන් පැවසුවේ ප්‍රාථමික පාසලක ගුරුවරයෙකි. ඔහු ගව් ගණනක් දුර ඈතක සිට දුෂ්කර සේවයට පැමිණි අයෙකි.
තවත් පාසලක විදුහල්පතිවරයෙක් පැවසුවේ මෙවැන්නකි.
“අපිට මේ දිනවල වැදගත්ම කණ්ඩායම සාමාන්‍ය පෙළට මුහුණදෙන ළමයි. ගුරුවරු වර්ජනයට සහභාගි වුණත් සා.පෙළ දරුවො අත හැරියෙ නෑ. අපි ඒ දවස් 2 ම හවස 3.30 වනතුරු ගණිත, විද්‍යා සම්මන්ත්රණ කළා.”
තවත් අපූරු සිදුවීමක් සිදුව තිබුණේ දුෂ්කර පාසලකමය. විශ්‍රාම යාමට ආසන්නයේ පසුවන විදුහල්පතිවරයා ආවේගශීලීව කතා කළේ ය.
“මං ඔය වර්ජනවලට විරුද්ධයි. මට දැන් අවුරුදු 60 ට ඔන්න මෙන්න. අපි කවදාවත් ඔය ලැජ්ජා නැති වැඩ කළේ නෑ. මගේ ඉස්කෝලෙත් ගුරුවරු කීප දෙනෙකුට උණ හැදුණා. එයාලා සඳුදා ඉස්කෝලෙ ආවම උණ දෙපිටින් ගියා” “ඒ ඇයි දැයි” විදුහල්පතිවරයාගෙන් නොඉවසිල්ලෙන් විමසුවෙමි.
“මම සඳුදා උදේ වර්ජනය කරපු ගුරුවරු කීපදෙනා රැස්වීම ඉස්සරහට ගත්තා. දරුවො ඉස්සරහම අපතෙ ගිය මිනිස් පැය ගණන ගණන් හැදුවා. ඊට පස්සෙ මම උන්දලට හොඳටම දෙහි කැපුවා. ආයෙ නම් ජීවිතේට වර්ජනය කරන එකක් නෑ. ලුණු ඇඹුල් ඇතිවම කීවා. ගුරුවරු වුණාම පපුව තෙත වෙන්න එපැයැ” යනුවෙන් පැවසුවේ ය. විදුහල්පතිවරයාගේ දෝෂාරෝපණයට ලක්වූ ගුරුභවතුන්ගෙන් අදහස් විමසීමේදී ඔවුන් පවසා සිටියේ “අපෙ ලොකු සර් ඔහොම තමයි. කියන්න තියෙන දේ මූණටම කියනවා. සර් කියන කතාවෙ වරදකුත් නෑ... හැබැයි අපි වර්ජනය කරපු එකේ වරදකුත් නෑ. මේවා ඉතිං යමලෝකෙන් ඇවිත් විසඳන්න ඕන නඩු” යනුවෙන් පැවසුවේ ය.
සියයට සියයක් ම සාර්ථක වූ ගුරු වැඩ වර්ජනයේ අතුරු කතා එමට ය. ඒ අතුරු කතාවලින් බිඳකි.ඒ.