
ගිරි ආරාම සංකීර්ණයක් ලෙස ආරම්භ වූ මිහින්තලාව විවිධ රජවරුන්ගේ හා පාලක කාරාදීන්ගේ අනුග්‍රහය ලැබීම සමඟ ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් ඓන්ද්‍රීය විහාරයක් දක්වා සංවර්ධනය වූයේය. මිහින්තලා පුදබිමේ කඳු පාමුල සිට ඉහළ දක්වා දක්නට ලැබෙන ආරාමීය නටඹුන් එම ඓන්ද්‍රීය විහාරයේ එවක පැවති දියුණුව විදහා දක්වන සාධක වේ. මිහින්තලාවට ප්‍රවේශ වීමේ දී කඳු පාමුල පළමුව දක්නට ලැබෙන්නේ පැරණි රෝහලය (වෙදහළයි). පුරාණ ආරාම සංකීර්ණයක් තුළ භික්ෂූන් වහන්සේ සිය ස්වස්ථතාව පිළිබඳ දැක්වූ සුවිශේෂතාව මිහින්තලේ පිහිටන පැරණි රෝහලෙන් අවබෝධ කරගත හැකිය.
එම රෝහල තුළ බුදු මැදුර, ගිලන් භික්ෂූන්ට වැඩසිටීමට තැනූ ගිලන් කුටි 30ක් හා බෙහෙත් ඔරු , ජන්තාඝරයක් හෙවත් උණුපැන් නානා ගෙයක්, දාන ශාලාව, ගබඩා කාමර හා රෝගීන් පරීක්ෂා සඳහා සකසා ඇති ස්ථාන ඇතුළත් අංග සම්පූර්ණ රෝහල් අංගවලින් යුක්ත වූ බව රෝහලේ සැලැස්මෙන් හඳුනාගත හැකිය. රෝගීන්ට මානසික සුවය ඇති වන ආකාරයට බුදු මැදුරක් සහිතව නිර්මාණය කර ඇති එම ආරෝග්‍ය ශාලාව ලක්දිව පුරාණයේ පැවති සනීපාරක්ෂාව පිළිබඳ කදිම නිදසුනක් ලෙස ද පෙන්වාදිය හැකිය.
ස්තූප
මිහින්තලා ආරාම සංකීර්ණයේ පිහිටන අතිශය වැදගත් ස්මාරකයක් ලෙස කණ්ඨත චේතිය හෙවත් ගිරිභණ්ඩ දාගැබ පෙන්වාදිය හැකිය. සෙනරත් පරණවිතානගේ මතය වන්නේ එම ස්තූපය මෙනමින් නම් කර ඇත්තේ සිදුහත් කුමරුගේ කණ්ථක අශ්වයා සිහි කිරීමට බවය. නමුත් මුල් බ්රහ්මී ශිලා ලිපි හා වංසකතා ඇතුළු සාහිත්‍ය මූලාශ්රයවල නිෂ්පාදන බෙදාහැරීම් මධ්‍යස්ථාන හැදින්වීමට පුරාණයේ දී කටක, කඩ, කඩක, කණ්ඩ, කණ්ඨ වැනි පද භාවිත කර තිබේ. ඒ පිළිබඳ විග්රහයක යෙදෙන සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත්තේ මහාවංසයේ පණ්ඩුකාභයගේ සංග්රාම ආශ්‍රිතව ගිරිකණ්ඩ, වට්ඨගාමිණී රජුගේ ගමන් මාර්ග ආශ්‍රිතව සිලාසොබ්බකටක, දඹුල්ල හා බුදුගේහින්න ආශ්රිත බ්රහ්මී ලිපිවල සඳහන් උපරිකඩහා මතුකඩ යන වචනවල එන කඩ, කටක, කණ්ඨ යන වචනවලින් සීමාව, ප්රවිෂ්ටය, සුළු වෙළඳපොළ අර්ථවත් වන බවය.
මිහින්තලය ද පිහිටා ඇත්තේ අනුරාධපුර හා සේරුවිල දක්වා දිවෙන ප්‍රධාන ගමන් මාර්ගයට ඉතා සමීපවය. එම මාර්ගය පුරාණයේ දී ලෝහ සම්පත් අනුරාධපුරයට රැගෙන ඒම සඳහා භාවිතයට ගත් මාර්ගය බව පුරාවිද්‍යා පර්යේෂණවලින් මේ වන විට තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව අනුරාධපුර පැරණි නගරයට කි. මී 12 පමණ දුරින් පිහිටන මිහින්තලය පුරාණයේ දී බෞද්ධාගම මෙරටට පැමිණීමට ප්‍රථම ප්‍රධාන මාර්ගය ආසන්නයේ භාණ්ඩ හුවමාරු කරන වෙළඳ පොලක් හෝ භාණ්ඩ රැස්කරන ස්ථානයක් වීමට වැඩි ඉඩකඩ පවතින බැවින් මෙම ස්තූපය ඉදිකිරීමේදී එම තත්ත්වය ද පදනම් කර ගනිමින් කටක හෝ කණ්ඩ උපයෝගී කර ගනිමින් කණ්ඨක චේතිය යන නම භාවිත කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය.
කණ්ඨක චේතිය වර්තමානයේ දක්නට හැකි ලෙස කැණීම් කර මතු කරගනු ලැබූවේ 1935 වර්ෂයේ දි සෙනරත් පරණවිතාන විසිනි.
අඩි 425ක විශ්කම්භයෙන් යුත් අඩි 40ක උසකින් යුක්ත එම ස්තූපයෙන් අවධි දෙකක ඉදිකිරීම් හඳුනාගෙන ඇත. එම ස්තූපයේ ආයත අලංකාර කැටයමින් යුක්ත වන අතර පැරණි දාගැබක දැකිය හැකි අලංකාර කල්ප රුක්ෂ කැටයම් කණ්ඨක චේතියේ දක්නට ලැබේ.
![]() |
භික්ෂු ආරාම කුටියක් |
මිහින්තලේ ඉහළම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්මාරකයක් ලෙස සැලකෙන තවත් ස්තූපයක් වන්නේ සේල චේතියයි . මීටර් 28 වටප්‍රමාණයෙන් යුත් ස්තූපය වටදාගෙයකින් යුක්ත වූ බව ශේෂ වී ඇති ගල් කණු 21 මඟින් තහවුරු වේ. බුදුන් වහන්සේ ලක්දිවට තෙවැනි වර වැඩමවා ධ්‍යානයට සමවැද සිටි ස්ථානයේ එම ස්තූපය ඉදි කර ඇති බව විශ්වාස කරන අතර එම ස්ථානය සොලොස්මස්ථානවලින් එකක් ලෙස ද සැලකේ. එසේම මහින්ද මහ රහතන් වහන්සේ එම ස්ථානයේ වැඩ සිට දේවානම්පියතිස්ස රජතුමාට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරන ලද බව මහාචාර්ය ආරිය ලගමුව පෙන්වාදී ඇත.
මිහින්තලේ ඇති ස්තූප අතරින් උඩමළුවේ ඉහළින්ම දැකිය හැකි ස්තූපය වන්නේ අම්බස්ථල දාගැබය. ක්‍රි-ව 9-21 මහාදාඨික මහානාග රජු විසින් එම ස්තූපය ඉදි කරන ලද බවත්, හතර වැනි මිහිඳු රජ විසින් පිහිටුවන ලද පුවරු ලිපියේ එම ස්තූපය අම්බුලු දාගබ ලෙසත්, පූජාවලියේ ඇබුලු දාගැබ ලෙසත් හඳුන්වා තිබේ. අඩි 136 ක විශ්කම්භයක් සහිත එම ස්තූපය මිහින්තලේ අනන්‍යතාව කියාපාන ස්තූපයක් බවත් පෙන්වාදිය හැකිය.
දාන ශාලාව
මිහින්තලේ ආරාම සංකීර්ණයේ දැකිය හැකි තවත් වැදගත් ස්මාරකයක් වන්නේ දාන ශාලාවය. මීටර් 33ක් හා මීටර් 22ක් පමණ දිග පළලකින් යුත් එම දාන ශාලාව චතුස්ශාලාවක ලක්ෂණ පෙන්නුම් කරන අතර එහි මධ්‍ය මැද මිදුලක් ලෙස ඉදි කර තිබේ.
ගල් ටැම් 128 ක් පේළි අටකට සිටුවා ඒ මත වහල ඉදි කර ඇති බව උපකල්පනය කළ හැකිය. දාන ශාලාවේ උතුරු දෙස මිටර් 12 කට වඩා දිගැති ශිලාමය බත් ඔරුව දැකගත හැකිය.
ඒ ආසන්නයේම මීටර් 4 පමණ දිගැති කැඳ ඔරුව වශයෙන් සලකන කුඩා ගල් ඔරුව පිහිටා තිබේ. එසේම දානශාලාවේ දකුණු දෙසින් දාන ශාලාවට ජලය රැගෙන ආ ශිලාමය නල මාර්ගය වන අතර අතර එය කණුමත ඉදි කර තිබේ. බොහෝ දෙනෙකුගේ මතය වන්නේ එම ජල නළ මාර්ගය සිංහ පොකුණට සම්බන්ධ වන බවය.
පොකුණු
මිහින්තලේ ආරාම සංකීර්ණයේ දැකගත හැකි නිර්මාණ අතර පොකුණු ඉතාම සුවිශේෂ ඉදි කිරීම් වේ. ස්වාභාවික ගල් ආවාට පුළුල් කිරීමෙන් සහ ස්වාභාවික ගල් ආවාටය පුළුල් කර ඉදිරියෙන් ගල් බැම්මක් බැඳීමෙන් නිර්මාණය කර ඇති ඉහළ මළුවේ පිහිටා ගල්ගේ පොකුණ සහ නාග පොකුණ ද මැද මළුවේ දානාශාලාවට තරමක් පහළින් පිහිටා ඇති දානශාලාව අතර සහ ගිරිභණ්ඩ චේතිය අතර පිහිටි උස් භූමිය යාකොට පස් බැම්මක් ඉදි කිරීමෙන් නිර්මාණය කර ඇති තිඹිරි පොකුණ හා ඊට තරමක් පහළින් පිහිටි හඳුනා නොගත් පොකුණක් ද මිහිඳු පොකුණ සහ මණිනාග පොකුණද මේ අතර වැදගත් වේ. නාග පොකුණේ සිට උමං ජල මාර්ග ඔස්සේ මැද මළුවට විශේෂයෙන්ම දාන ශාලාවට සඳහා ජලය ගෙනවිත් තිබේ. ඒ සඳහා භාවිත කළ මැටි නළ මිහින්තලේ ආරාම සංකීර්ණයේ පඩිපෙළ සකස් කිරීමේ දී හමු වී මේ වන විට මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
![]() |
පබ්බතාරාම |
එමෙන්ම සිංහ පොකුණ නමින් ව්‍යවහාර වන නිර්මාණය ද විශේෂිත ඉදිකිරීමකි. ස්වභාවික පාෂාණ උද්ගතයක් භාවිතයට ගනිමින් නිර්මාණය කර ඇති දිගින් මීටර් 4.30ක් ද පළලින් මීටර් 3.50කින් ද යුක්ත චතුරස්රාකාර හැඩයකින් යුක්ත වූ පොකුණ මධ්‍යයේ මීටර් 2.10X 1.90 X1.20 කින් යුක්ත ජල ටැංකියකින් සහ එහි රැස් වන ජලය සිංහ මුඛයකින් පිටතට ගත් සිංහ පොකුණ අලංකාර නිර්මාණයක් ලෙස සඳහන් කළ හැකිය. එහි බටහිර පසින් දැකගත හැකි ජලය පිට වන විවරයේ විශ්කම්භය සෙ. මී. 9 ක් පමණ වේ. ජලය බහාලන ටැංකියෙහි පාෂාණ උද්ගතයට සම්බන්ධ වන දකුණු පස හැරෙන්නට අනෙක් පැති ත්‍රිත්වයම පාෂාණ උද්ගතය මත ශිලා පුවරු එකිනෙකට වෑද්දුම් කර චතුරස්රාකාර ටැංකියක් ආකාරයට නිර්මාණය කර තිබේ.
පාෂාණ උද්ගතයේ සිට ඉහළට බොරදමකින් අලංකාර කර ඇත. බොරදමට ඉහළින් පිහිටා ඇති සිරස් මුහුණතක් සහිත පාෂාණ තීරුව අලංකාර සත්ත්ව, මානව හා වෙනත් කැටයම්වලින් අලංකාර කර තිබේ. ඊට ඉහළින් ඇති බොරදමට ඉහළ ඇති සිරස් මුහුණත සහිත කෙටි පාෂාණ තීරුවේ පිටත වාමන රූප සහ ලියවැල් කැටයමින් අලංකාර කර තිබේ. එම නිර්මාණයේ ඇති කැටයම් හා අලංකරණාංග පිළිබඳ එච්. සී. පී. බෙල්, අනුරාධ සෙනෙවිරත්න, ජේ. බී. දිසානායක සහ ආරිය ලගමුව වැනි විද්වතුන් විසින් අදහස් දක්වා තිබේ. එච්. සී. පී. බෙල් එම ස්ථානයෙහි තිබෙන සිංහ මුඛයෙන් ජලය පිටතට වැස්සෙන ආකාරයට නිර්මාණය කර ඇති සිංහ මූර්තිය ලංකාවේ ඇති විශිෂ්ටම ගණයේ සිංහ මූර්තියක් වශයෙන් සඳහන් කර තිබේ.
වෙනත් වාස්තුවිද්‍යා නිර්මාණ
ආරාමයක භික්ෂූන් වහන්සේ රැස් වී සාකච්ඡා පැවැත්වූ ස්ථානය සන්නිපාත ශාලාව වශයෙන් හඳුන්වනු ලැබේ. මිහිනතලාවේ ද සන්නිපාත ශාලාවක් දැකිය හැකිය. මිහින්තලේ ඇති සන්නිපාත ශාලාව මැද මළුවේ පිහිටා තිබේ. මීටර් 19 X19 පමණ ප්‍රමාණයේ චතුරස්රාකාර ගොඩනැගිල්ලක් වන ඒ සඳහා පැති තුනකින් ප්‍රවේශ වීමට සල්ස්වා ඇත. සන්නිපාත ශාලාවේ මධ්‍යයට වන්නට පිඨිකාවක් දැකගත හැකි වන අතර එය බොහෝ විට ප්‍රධාන කථිකයා රැස්ව සිටින පිරිස ආමන්ත්‍රණය කිරීම එම පීඨිකාවේ සිට සිදු කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. මිහින්තලේ දැකිය හැකි අනෙක් වාස්තුවිද්‍යා නිර්මාණ අතර මණිනාග විහාරය, ගිරිභාණ්ඩ ස්තූපය, ආරධනාගල, මිහිඳු ගුහාව, මිහිඳු මහා සෑය සහ භික්ෂු ආරාම කුටි පුරාණයේ එම විහාරයේ ඓහාසික හා පුරාවිද්‍යා වැදගත්කම කදිමට කියාපාන මහාර්ඝ වාස්තුවිද්‍යා නිර්මාණ වන බව පෙන්වාදිය හැකිය.
කටු සෑය පරිශ්‍රය
වර්තමාන A9 මාර්ගය ආසන්නයේ පිහිටා ඇති කටු සෑය විවිධ භාරහාර සඳහා මහජනයා අතර වඩා ප්‍රචලිත බෞද්ධ සිද්ධස්ථානයකි. 1938 වර්ෂයේ දී එම ස්තූපය පිළිසකර කිරීමට මැදැහත් වී ඇති අතර එහි තිබී හමු වී ඇති අතර එම රන් පතේ ක්‍රි.ව. නව වැනි සියවසට අයත් අක්ෂර සටහන්ව තිබී ඇත. එම ස්තූපය හතර වැනි මිහිදු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ දක්වා ඇත්තේ ද කටු සෑ ලෙසය. ස්තූපය සහිත මළුව දිග පළලින් මිටර් 21-75X21-25 පමණ වේ. සෑයේ වට ප්‍රමාණය මීටර් 35-20 වන අතර වර්තමාන උස මීටර් 4.85ක් පමණ වේ. ස්තූපයේ පහළ කොට ගලින් නිමවා ඇති අතර එහි අලංකාර නෙළු පෙති මෝසතරයක් දැකිය හැකිය. එම නෙළුම් පෙති මෝස්තරය නිසා එම ස්තූපයේ ආකෘතිය පද්මාකාර ආකෘතිය වන බව සමහර විද්වතුන්ගේ මතය වී තිබේ.
කටු සෑයට ආසන්නයේ ඊට උතුරු දෙසින් ඉදිකටු සෑය වශයෙන් ව්‍යවහාර කරන ස්තූපය හා ආරාමය පිහිටා තිබේ. ප්‍රකාරයකින් වට කර තනා ඇති එම විහාරයට අයත් ස්තූපයේ මළුව මීටර් 11.60X 1.60 ප්‍රමාණයේ දිග පළලින් යුක්ත වන අතර ස්තූපයේ පාදම කළු ගලින් නිමවා තිබේ. එහි පාදමේ වට ප්‍රමාණය මීටර් 23ක් වන අතර උස මීටර් 3.70 ක් වේ. 1941 වර්ෂයේ දී එම ස්තූපය කැණීමේ දී ප්‍රඥා පාරමිතා සූත්‍රය ලියූ තඔ තහඩු 91ක් සොයාගෙන ඇත. ප්‍රවේශ ද්වාරවල සිංහල දොරටු මණ්ඩප කැටයම වන සඳකඩපහණ, මුරගල හා කොරවක්ගල් කැටයම් චාම් සුන්දරත්වයක් සහිතව නිර්මාණය කර තිබේ. එසේම මෙම විහාරය තුළ ජන්තාඝරයක්, පොකුණක් හා පංචකාවාස ලෙස හඳුන්වන භික්ෂු ආරාම ද දක්නට ලැබේ.
පබ්බතාරාමය
![]() |
කුටිය ප්‍රතිසංස්කරණයට පෙර |
මිහින්තලා පුදබිමට අයත් වාස්තුවිද්‍යා නිර්මාණ අතර රාජගිරි කන්ද පාමුල තවත් සුවිශේෂ විහාරයක් වන පබ්බතාරාම විහාරයකට අයත් නටඹුන් දක්නට ලැබේ. පබ්බත විහාරයක මූලික ලක්ෂණ වන්නේ ස්තූපය, පිළිමගෙය, බෝධිඝරය හා පොහොයගෙය යන පූජනීය අංග ආරාමයේ මැද උස් කර බඳින ලද මාලකයක ස්ථාපිත කිරීමයි. රාජගිරි කන්ද පාමුල දැකගත හැකි එම නටඹුන් වූ පබ්බතාරාම සංකීර්ණයේ දැනට සංරක්ෂණය කර ඇති පොකුණක ද නෂ්ටාවශේෂ දක්නට ලැබේ. විශේෂයෙන්ම ලෙන් විහාර ඓන්ද්‍රීය විහාර හා ඉන් අනුරුව වනවාසී ආරාම වන පබ්බතාරාමයක් දක්වා මිහින්තලා ආරාම සංකීර්ණය වර්ධනය වූ ආකාරය එම වාස්තුවිද්‍යා නිර්මාණ මඟින් හඳුනාගත හැකිය.
කළුදිය පොකුණ ආරාමය
ඇත්වෙහෙර කන්ද පාමුල පිහිටන කළුදිය පොකුණ ආරාම සංකීර්ණය තුළ ලෙන් ආරාම, පධානඝරය, ස්තූපයක් හා කළුදිය පොකුණ දැකගත හැකිය. ඇත් වෙහෙර කන්දේ ඇති ශාකවල ඡායාව එම පොකුණට වැටීම නිසා පොකුණේ ජලය දිස් වන්නේ කළු පැහැයට බැවින් එම පොකුණ සඳහා කළුදිය පොකුණ යන නම ලැබී තිබේ. ගල් වැටි යොදා සකස් කර ඇති එම පොකුණ මිහින්තලේ දැකගත හැකි විශාලතම පොකුණ වේ. පොකුණ මධ්‍යයේ ඇත්වෙහෙර කන්ද හා ස්ම්බන්ධ වන ලෙස නිර්මාණය කර ඇති නිර්මාණය සඳහා නැගෙනහිර දෙසින් මීටර් 8ක පමණ දිගින් යුතු ගල්පාලමක් තිබේ. පොකුණට උතුරු දෙසින් කුඩා ස්තූපයක් දැකගත හැකිය. එය උස් භූමියක සකස් කළ මළුවක් මත ඉදි කර තිබේ. මීටර් දෙකක් පමණ උසකින් යුතු එම ස්තූපයේ මළුව මීටර් 14X13 ප්‍රමාණයෙන් යුක්ත වේ. ස්තූපයට ඉහළින් හඳුනා නොගත් ගොඩනැගිල්ලක් දක්නට ඇති අතර එය 2008 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් කැණීම් කර සංරක්ෂණය කර ඇත.
මාලක ක්‍රමයට භූමිය සකස් කරගනිමින් භූ දර්ශනය ගොඩනඟා ගැනීම කළුදිය පොකුණේ ඇති විශේෂත්වය වේ. පොකුණේ බටහිර බැම්ම දෙසින් ඉතා මනරම් ලෙන් ආරාමයක් දැකගත හැකි අතර එය පොත්ගුල ලෙස වර්තමානයේ ව්‍යවහර කරනු ලැබේ. කළුගලින්ම සකස් කළ උළුවහු හා ජනෙල් ද ලෙන් කුටියේ වහල ද පුරාණ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික ඥානය කදිමට ලොවට කියාපාන නිදසුනක් වැනිය. ගුහා කටාරමට පහළින් ඉදි කර ඇති එවැනි විශිෂ්ට ගණයේ ලෙන් විහාර ලංකාවේ දැකගත හැක්කේ ඉතා අල්පවය. මීළඟට තනා ඇති මාලකය තුළ ස්ථාන ගත කර ඇත්තේ වනවාසී සම්ප්රදායේ ආරාමයක් වන පධානඝරයකි. මීටර් 15X 10 ප්‍රමාණයේ වේදිකාව මීටර් 2 පමණ වන මීටර් 1.50ක් පමණ දිග පළලින් යුත් ගල් පාලමකින් සම්බන්ධ කර තිබේ. එසේම එතැන සිට ආරම්භ වන ආනෙයිකුට්ටි කන්දේ ලෙන් රාශියක් දැකගත හැකිය.
ඒ අනුව ලෙන් ආරාම සංකීර්ණයකින් ආරම්භ වූ මිහින්තලා සංඝාරාමය ක්‍රමානුකූලව ඓන්ද්‍රීය විහාරයක් බවට පත් වෙමින් ආගමේ ඇති වන සංවර්ධනය සමඟ පබ්බතාරාමයක් දක්වා දියුණු වී අවසන් වශයෙන් වනවාසී බවුන් වඩන පධානඝර සම්ප්රදායේ ආරාමයක් දක්වා සංවර්ධනය වූ බව මිහින්තලාව පිළිබඳ කෙරෙන ඓතිහාසික හා පුරාවිද්‍යා විමර්ශනයකින් පැහැදිලි වේ.