
බුද්ධ වර්ෂ 236 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ දෙටුපුත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට දඩකෙළියෙහි යමින් සිටි දෙවන පෑතිස් මහ නිරිඳුන් ඇතුළු 40,000 ක් පිරිස පංචශීලයෙහි පිහිටුවා චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කරමින් පළමුවෙන්ම සම්බුද්ධ ශාසනය පිහිටු වූ ස්ථානය ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමියයි.
එකල සිරිලක රජකම් කළ දේවානම්පියතිස්ස මහ නිරිඳුන් ඇතුළු පිරිස දුනු හී බිම දමා මරණ බියෙන් දිව යන ප්‍රාණියා හට අභය දානය ලබා දීම හරහා ලොව පළමු අභය භූමිය හැටියට ද පත් වන්නේ මෙම උතුම් පුණ්‍ය භූමියයි. අනුබුදු මිහිඳු මාහිමියන් හා දෙවන පෑතිස් නිරිඳුන් අතර ඇති වූ පැණ විමසීම ලෝකයේ පළමු වාචික බුද්ධිපරීක්ෂණය හැටියට සඳහන් වන අතර සම්බුදු දහමෙහි උත්තරිතර දායාදය ලක් වැසියනට උරුම වූ ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය සිරිලක බෞද්ධ දර්ශනයේ තිඹිරිගෙය හැටියට සඳහන් කළ හැකිය.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වයස අවුරුදු 32දී පමණ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරමින් සිරි ලක්වැසියන්ට අර්ථයෙන් ධර්මයෙන් යමමඟ ගමන් කිරීමට කියාදෙමින් අවුරුදු 48ක් පුරා මෙරට වැඩහිඳිමින් වස් 60 සම්පූර්ණ කරමින් වයස අවුරුදු අසූවක් පිරුණු තැන බුද්ධ වර්ෂ 287 හි වප් මස පුර අටවක පොහෝ දින පරිනිර්වාණය කළ බව මහාවංශය ඇතුළු ග්රන්ථයන්හි තොරතුරු සඳහන් ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පරිනිර්වාණය කරන විට එකල ලක්දිව රජකම් කළ උත්තිය මහ රජතුමන් විසින් එම දිනය “ මිහිඳු පුර අටවක දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මහ රජුන් ඇතුළු ජනයා මිහිඳු මහ රහතන් වහන්සේ වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීම සඳහා විවිධ පුණ්‍යෝත්සවයන් සිදු කළ ආකාරය ද ඉතිහාසගත බොහෝ තොරතුරු මඟින් අනාවරණය වේ. අතීතයේ සිටම රාජරාජ මහාමාත්‍යාදීන් විසින් තම දිවි දෙවැනි කොට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් සිදු වූ ඒ උත්තරීතර අමිල සේවාවට කෘතවේදීත්වය දැක්වීමට කටයුතු කර ඇත.
සිංහල රජ දවසින් පසු මහින්දාගමනය සිදු වී වසර 2327 ක් ගතවීම හා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී වසර 2279 ගෙවීම කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කිරීම වෙනුවෙන් වර්තමාන ශ්‍රී ලංකා රජය විසින් විවිධ වැඩසටහන් රාශියක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පළමුව පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය ප්‍රකාශ කර සිටිමි. සිංහල රජ දවසින් පසුව ඓතිහාසික මිහින්තලා පුණ්‍යභූමිය කේන්ද්‍රකර ගනිමින් විශාල මුදලක් යොදවමින් සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් ආරම්භ කර ඇත. ඒ අතර සුවිශේෂී හා අගය කළ යුතු කාර්යය වනුයේ මහින්දාගමනය සිදු වී වසර 2327 ගත වන තෙක්ම කිසිදු රජයක් මඟින් සිදු නොකර තිබූ, ශ්‍රී ලාංකීය සංස්කෘතික පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානයක් වූ මිහින්තලා පෞරාණික සිද්ධස්ථානය හා පුරාවිද්‍යා වනජීවී වන සංරක්ෂණ කලාපය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමය. වාර්ෂිකව පැවැත්වෙන ලංකාවේ පළමු පෙරහර හැටියට සැලකෙන අනුබුදු මිහිඳු මහා පෙරහැර හා වාර්ෂික පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් වශයෙන් ප්‍රකාශයට පත් කරමින් සෑම වර්ෂයකදීම ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම, ආදී වූ කාරණාවන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්, ගරු අගමැතිතුමන් හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් යුතුව ප්‍රකාශයට පත්කිරීමයි.
ලක්දිව සම්බුදු සසුනෙහි තිඹිරිගෙය වන ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමින් මිහින්තලාවෙහි පවතින ඓතිහාසික සංසිද්ධීන් හා වාස්තු විද්‍යාත්මක උරුමයන් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීමෙහිලා ඓතිහාසික තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන්නට යෙදුණු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ටත්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ටත්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ටත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රවී කරුණානායක මැතිතුමන්ටත්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා ඇතුළු ඒ හා කැප වූ සියලුම අමාත්‍ය මණ්ඩලයටත්, අපරිමිත සේවාවක් ඉටු කරන්නට යෙදුණු සියලුම ලේකම්වරුන්ටත්, ත්‍රිවිධ හමුදාවටත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, මේ වෙනුවෙන් ඇප කැප වූ සියලුම ජනතාවටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුදකරන අතර සම්බුදු සසුනෙහි අභිවෘද්ධිය පිණිස මෙම උතුම් කාර්යය ඉටු කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන සමස්ත මැති ඇමතිවරුන් ප්‍රධාන වර්තමාන රජයට අපගේ ශුභාශිංසනය ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.
ඒ වගත් මෙසේම,
ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති
හා භාරකාර, ගෞරව ශාස්ත්‍රවේදී
පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි,
රාජමහා විහාරය, මිහින්තලේ.