
ජනාධිපතිවරණ උණුසුමත් ඒ සමඟ ම සමාජ ගතකරනු ලබන විවිධාකාර දේශපාලන විසූක දස්සනත් නරඹමින් සිටින මේ මොහොතෙහි ඊට ඉඳුරා වෙනස් මාතෘකාවක් පිළිබඳ ව කතා කිරීම ප්‍රායෝගික නොවේ යැයි ඔබ සිතන්නෙහි නම් අපට එයට විරුද්ධ විය නොහැකිය. එහෙත් මේ දේශපාලන සරදම් විසින් හෙට උදාවන ලෝකයේ සාඩම්බර උරුමය අහිමි කරන අපේ ළමා පරපුර හා ඔවුන්ගේ ඉරණම පිළිබඳව සබුද්ධික කිසිවකුට තුෂ්ණීම්භූත ව සිටිය හැකි යැයි අපට නම් නිගමනය කළ නොහැකිය. මක්නිසාද යත්, හෙට ලෝකය අයත් වන්නේ ජරපත් මහල්ලන්ට නොව වියපත් තාරුණ්‍යයට යැයි අප ද පිළිගන්නා හෙයිනි.
ඒ තාරුණ්‍යයේ අරුණෝදය ජාතියක මල් සම්පත බඳු දරුවන් යැයි අපට ද දැනෙන හෙයිනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෝක ළමා දිනය සිහිපත් කරමින් දරුවන් සුරකිමු ජාතික අරමුදල ස්ථාපනය කරන්නේ ද ඒ ජාතියේ මල් සම්පත සුරැකීමේ රාජ්‍ය නායක වගකීමත්, දරුවන්ට අසීමිතව ආදරය කරන පියකුගේ උදාරත්වයත් විශද කරමින් බව නිසැක ය. මහත්මා ගාන්ධිතුමන් වරක් ප්‍රකාශ කළේ වැඩිහිටියන් සතු ධෛර්යය, පෞරුෂය, ශික්ෂණය මෙන්ම පීඩා දරාගැනීමේ ශක්තිය හා උතුම් අරමුණු වෙනුවෙන් කැපවීමේ වටිනාකම ද සිය දරුවන්ට ලබා දිය යුතු බව ය.
ශ්‍රේෂ්ඨ සිතිවිලිවලින් හා දයාන්විත හදවත් විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයේ දොරගුළු දරුවන්ට හැරදීම ජාතියක අභිමානය වඩන්නක් බව තවත් විශිෂ්ට භාරතීය පුත්‍රයෙක් වූ ජවහර්ලාල් නේරු ද ප්‍රකාශ කර ඇත. මෛත්‍රී ජනපතිඳුන් මෙරටේ දරුවන් දෙස බලන්නේ ද සීතල කරුණා හදවතින් පමණක් ම නොව ඊට වඩා ගැඹුරු සමාජ දෘෂ්ටියකින් ය.
‘‘ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය හා ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර ලෙස හැදී වැඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත ය. දැනුම කුසලතා හා යහපත් සාරධර්මයන්ගෙන් සපිරි, වෙනස් වන සමාජ ආර්ථික අවශ්‍යතාවන්ට මනා ලෙස ගැළපෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ඵලදායී ළමා පරපුරක් බිහිකිරීම වත්මන් යුගයේ අවශ්‍යතාව යි.
එහෙයින් රජයක් වශයෙන් හා වැඩිහිටියන් ලෙස ළමයින් හට වඩා සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨානයෙන් කැපවිය යුතුව ඇත. මෙවර ‘සුමිතුරු දැයකින් - දිනවමු දරුවන්’ තේමාවෙන් ලෝක ළමා දින ජාතික සැමරුම මගින් අප බලාපොරොත්තු වන්නේ එවැනි යහපත් ඉසව්වක් කරා දරුවන් රැගෙන යෑමයි. ’’
මෛත්‍රී ජනපතිඳුන් විසින් අවධාරණය කරන ලද එකදු ලකුණක් හෝ අද මෙරටේ ළමා පරපුර කෙරෙහි අපට දැකගත හැකිද? වැඩිහිටියන්ලෙස අප සතු ඒ සමාජ වගකීම් ඉටු කර ඇත්තෙමුද? දේශපාලන, සමාජ හා සංස්කෘතික වශයෙන් වල්මත් වූ යුගයක හෙම්බත්ව සිටින සමාජයක දරුවන්ට තබා වැඩිහිටියන්ටවත් රැකවරණයක් තිබිය නොහැකිය.
දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් වෙන්වූ ළමා දින ප්‍රකාශයට පත්වුවත්, සමස්ත ලෝකවාසී දරුවන්ගෙන් වැඩි දෙනෙකුගේ ඉරණම ශෝකාන්තයක් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා ද පසුගිය දිනක පවසා තිබුණි. මේ වනවිට ළමා අපයෝජන නඩු පමණක් 8500ක් පමණ තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිවරිය ද සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවේ තිබෙන මේ තතු තවත් බොහෝ රටවලින් ලබාගත හැකිය.
ලෝකයේ ඉහළ ම ප්රජාතන්ත්රවාදය හා නිදහස ඇතැයි පිළිගනු ලබන ඇමෙරිකාවේ ළමා පරපුර මුහුණ දී සිටින ඉරණම දුක්බර කතාවලින් හා බිහිසුණු පුවත්වලින් යුතු බව රහසක් නොවේ. ඇමෙරිකාවේ පාසල් දරුවන් අතර නොයෙක් ප්රචණ්ඩ ක්‍රියාකාරකම් පවා සිදු වෙයි. ඇමෙරිකාවේ විශිෂ්ට ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන්ට අනුව දරුවා යනු මානව වර්ගයා සතු අමිල සම්පතකි. අනාගත මානව සංහතිය නම් අද සිටින දරුවෝ වෙති. සුදු පැහැති කඩදාසියක් බඳු ඒ දරුවාගේ මනසෙහි පළමු සටහන තබනු ලබන්නේ මව, පියා සහ සහෝදර සහෝදරියන් විසින් බවද ඔහු අවධාරණය කර තිබේ.
ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල දරුවන් වහල් සේවාවන් සඳහා යොදාගෙන තිබෙන බව කියති. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ හා නැගෙනහිරත් ව්‍යාප්තව තිබෙන බුමුතුරුණු නිෂ්පාදන කම්හල්වල නිර්දය ලෙස ළමා ශ්‍රමය සූරාකන බවට ද චෝදනා නැගෙයි.
විචිත්‍ර රටාවලින් හා රමණීය වර්ණවලින් අලංකාර වූ ඉන්දියාවේ බුමුතුරුණු මත දෙපා තබන කිසිවකුට එහි සුමුදු පහස විනා ඒවාට යට වූ කඳුළත්, ළමයින්ගේ සිහින් දෑත්වලින් වැටුණු රුධිරයත් පිළිබඳ බින්දු මාත්‍රයක හැඟීමක් නැති බව ඒ ළමයින්ගේ ජීවිතයට එබී බැලූ දුක් කවියක සටහන් වී තිබුණි. එසේම අස්වාමික ලියන් වෙනුවෙන් නිමැවෙන සති පූජා දරසෑයත්, බාල ළමා විවාහ ගැනත් අද ඉන්දියාව තුළම සංවාදයක් මතුවී තිබේ.
ශ්‍රී ලංකාවේ ද වැඩිහිටියන් මෙන් විවිධ දුෂ්කර සේවා ඉටු කරන ළමා වහලුන් පිළිබඳ වාර්තා දුලබ නැත. ළමා මෙහෙකාර සේවය නිර්බාධිතව සිදුවෙමින් තිබේ. ගේදොර අතුපතුගෑම්, වතු ශුද්ධ පවිත්‍ර කිරීම්, බර ඇදීම්, සත්ව ගොවිපළවල හා කරවල වාඩිවල දුෂ්කර සේවා ඉටු කිරීම් මෙන්ම කුඩා දරුවන් බලාගැනීම් ද ඒ ළමා මෙහෙකරුවන්ට අයත් රාජකාරි අතර තිබේ. ඇතැම් ස්වාමිවරුන්ගේ හිංසා පීඩාවට ලක්වන දරුවන් ගැන වාර්තා නොවන දිනයක් නැතිතරම් ය.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා විසින් පුවත්පතකට (අරුණ, ඔක්.01) දෙන ලද සම්මුඛ සාකච්ඡාවකින් හෙළි කර තිබුණේ මේ රටේ ළමා පරපුර අද මුහුණ දී සිටින දුක්බර යථාර්ථය හා පීඩනය පිළිබඳ සැබෑ චිත්රයකැයි සිතිය හැකිය. ඔහු විසින් කරන ලද බරපතළ අනාවරණයක් වූයේ ශ්‍රී ලංකාවේ ගැහැනු දරුවන් මෙන් දෙගුණයක් පිරිමි දරුවන් අපයෝජනයට ලක්වන බවය.
ලිංගික වශයෙන් දරුවන් ගොදුරු වී සිටින අනතුරුවලට අමතරව දරුවන් නොසලකා හැරීම, අධ්‍යාපනය කඩාකප්පල්වීම හා මත්කුඩු වැනි විෂමාචාරවලට ගොදුරු වීම ඇතුළු විපත්වලට ඇතැම් දරුවන්ට මුහුණ දීමට සිදුව ඇත. මෛත්‍රී ජනපතිඳුන් විසින් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන ලද බක්මහ දිවුරුම වැනි සාධනීය වැඩසටහන් අද ක්‍රියාත්මක ව තිබේ.
බොහෝ විට ඈත ගම්බද ජනජීවිතය තුළ දරුවන් පත්ව සිටින හුදෙකලාව ඔවුන්ට විපත් සඳහා අත වනන බව ද සමාජ සමීක්ෂණවලින් හෙළි වී තිබේ.
දරුවාගේ පළමු ආරක්ෂකයා මව හෝ පියා වුවත්, ඈත ගම් දනව්වල ඒ වගකීම ලිහිල් ව තිබේ. ගෙදරින් පසු දරුවා දිගු කාලයක් ගෙවන්නේ පාසලේ ය. එහෙත් ඇතැම් පාසල්වල දරුවන්ට ගුරුවරයාගෙන් ලැබෙන ආදරයක් නැති බව ද කියති. ඒ සමඟ ම ගුරුවරුන්ගේ නරුම දඬුවම් නිසා ඇට්ටර වන දරුවන් පිළිබඳව ද පුවත් වාර්තා වේ. ළඟම පාසල හොඳ ම පාසල යැයි අලංකාර කියමන් ඇසුණත් බොහෝ දෙමව්පියෝ නරක යැයි හඟවන කොළඹ ජනප්‍රිය පාසලකට තම දරුවන් ඇතුළත් කර ගැනීමට අප්‍රමාණ දුක් ගනිති.
ශ්‍රී ලංකාව යනු තිස්වසරක බිහිසුණු යුද්ධයක් සමඟ විනාශ වී ගිය රටකි. දැන් යුද්ධය නිමවී දසකයකට ආසන්න කාලයක් ගතවුවද ඒ යුද පීඩනයට ලක්වූ ජනකොටස්වල ගැටලු විසඳා නැති බව ද රහසක් නොවේ. උතුරේ අහිංසක දෙමළ ජනතාවගේ දරුවන් බොහෝ දෙනෙකුගේ සුන්දර ළමාවිය ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය විසින් උදුරා ගනු ලැබුණි.
මේ ළමා සොල්දාදුවන් අතර කිසිදිනක පාසලකට පා නොතැබූ දරුවෝ ද වෙති. යන්තම් දැළි රැවුලවත් නොවැඩුණු සාමාන්‍ය දෙමළ ජනතාවගේ දරුවන්ට තමන්ට උසුලාගත නොහැකි ප්‍රමාණයේ බර අවි උරහිස දරාගෙන යුද බිමට යෑමට සිදු විය. එහෙත් දෙමළ නායකයන්ගේ කිසිම දරුවකුට එබඳු අවාසනාවන්ත ඉරණමක් අත් නොවූ බව ද සඳහන් කළ යුතුය. ළමාවියේ අවිහිංසකත්වය වෙනුවට වෛරයේ ක්රෑරත්වය හා සාහසිකත්වය රෝපණය කළ ප්රචණ්ඩ මනසක් සහිත උතුරේ දරුවන් වෙනුවෙන් පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් හෝ නිසි පරිදි ක්‍රියාත්මක නොවීය.
එහෙත් දෙමළ ජනතාවගේ මානව හිමිකම් ගැන මොරදෙන කවර හෝ ඇන්ජීඕ නඩයක් මේ ළමා හිමිකම් ගැන කතා කරත්ද? ළමා සොල්දාදුවන් පිළිබඳ කිසිදු තොරතුරක් රැස්කර තිබේද යන්නත් අවිනිශ්චිත ය. වැඩිහිටියන්ගේ දුෂ්ට අරමුණුවල ගොදුරු බවට පත්ව යුද බිමෙහි මියගිය දරුවන් ගැන මෙන්ම අදත් නන්නත්තාර වී සිටින උතුරේ ඇතැම් දරුවන් ගැනද නිසි අවධානයක් යොමු වී තිබේද? ලෝකයේ වෙනත් රටවල දරුවන්ටද එබඳු යුද්ධ වෙනුවෙන් අසාධාරණ ලෙස දිවි පිදීමට සිදුවී ඇත.
ඉරාකයේ පමණක් දරුවෝ ලක්ෂ පහකට අධිකව යුද්ධයෙන් මියගොස් සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරිනියක් වන මැග්ලින් ඕල්බ්රයිට් මහත්මියගෙන් වරක් රූපවාහිනී මාධ්‍යවේදියෙකු (සී.බී.ඇස්. රූපවාහිනිය) ඉරාකයේ දරුවන් යුද්ධයෙන් මිය යෑම ගැන ප්‍රශ්නයක් අසා තිබුණි.
ඇගේ පිළිතුර වූයේ එය අසීරු දෙයක් වුවත් එහි වරදක් නැති බව ය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ වෙහෙසෙන ඇමෙරිකාවේ වැදගත් නිලධාරිනියන්ගේ හැසිරිම් එබඳු ය.
දරුවන්ගේ හෙට දවස සුරකින්නේ මේ වර්ගයේ මානව දයාවකින් යුතු කතුන් සමඟ ද?
මේ අතර මෛත්‍රී ජනපතිඳුන් විසින් අවධාරණය කරන ලද ප්‍රෞඪත්වය සාරධර්ම සපිරි ප්රබුද්ධ ළමා පරපුරක් බිහිකිරීම සඳහා උචිත සමාජ ආර්ථික සැලසුම් ද රටට අවශ්‍යය යන කරුණ ද කිසිසේත් බැහැර කළ නොහැකිය. යහපත් සමාජයක් යනු යහපත් සිතිවිලි සහිත සමාජයකි.
ඒ සඳහා ඉතිහාසය හා සාහිත්‍ය අධ්‍යයන කිරීමට උචිත බුද්ධිමය අවකාශයක් ද තිබිය යුතුය. මෙරටේ බුද්ධිමය ක්ෂේත්‍ර හැකිළෙමින් තිබෙන අතර සංස්කෘතික දරිද්‍රතාවක් ව්‍යාප්ත වෙමින් ඇත. වරකාගොඩ ඥානරතන අස්ගිරි මහ නාහිමියන් නොබෝ දා මෛත්‍රී ජනාධිපතිවරයා ද සහභාගිවූ ශාස්ත්‍රීය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ ද පාසල් දරුවන්ට ඉතිහාසය ඉගෙනීමට තිබෙන අවස්ථා පුළුල් කළ යුතු බව ය.
කවර රටක කෙබඳු සමාජයක වුවද ප්රමුඛ හා වටිනා දායාදයක් ලෙස ඒ සමාජයට අයත් සාහිත්‍ය, කලාව හා ඉතිහාසය සඳහන් කළ හැකිය. එවන් අමිල දායාද නිර්බාධිතව දරුවන්ට ලබාගත හැකි සමාජ දේශපාලන අවකාශයක් හා අධ්‍යාපනයක් ලබාදීමට ද වැඩිහිටියෝ බැඳී සිටිති.
පෙර’පර දෙදිගම බොහෝ ලේඛකයන් විසින් ජාතික අභිමානය, මනුෂ්‍යත්වයේ උදාරත්වය, දේශීය සංස්කෘතික උරුමය ආදිය මාතෘකා කර ගත් නිර්මාණ බිහිකරමින් ඒ ජාතික වගකීම හා අභිලාෂය ඉටු කරනු ලැබ ඇති බව ද සඳහන් කළ යුතුය.
එදා මෙරටේ ළමා පරපුර සඳහා සාහිත්‍යයක් ද විය. ටිබැට් ජාතික මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස ආදී වියත්හු ඒ සඳහා කැප වූ අය අතර ප්‍රමුඛයෝ ය. ළමා මනසෙහි සුන්දරත්වය පසක් කරගත් අගනා නිර්මාණ සමුච්ඡයක් ඔව්හු ජාතිය සතු කළහ. මහින්ද හිමියන්ගේ ප්‍රකට නිර්මාණ වන දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල අදත් ළමා පරපුරට නවතාවෙන් යුතුව විඳ ගත හැකි අපූර්ව නිර්මාණයකි.
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් උඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
විදු සක්විති ඇදුරිඳු ගේ
බුත්සරණෙහි තිබෙන අගේ
දැනගෙන පොඩි පුතා මගේ
වෙන්න උඹත් මතු එ වගේ
මහින්ද හිමියන්ගේ ළමා කවි මෙන්ම එහිමියන්ගේ නිර්මාණ එන්ජීඕ තරාදිවලින් කිරන ව්‍යාජ මානව හිතවාදී රූකඩ ඒ සියල්ලට ම ජාති වාදී මුද්‍රාව තබා වීසි කිරීමට ද යෝජනා කරති. එහෙත් එදා වූ ජාතික නිදහස් සටන වෙනුවෙන් පෑන මෙහෙය වූ උන්වහන්සේ පිළිබඳ අපගේ කියවීම වෙනස් ය. ඒ නිර්මාණ අතර රැඳුණු අගනා සුභාෂිතයන් බැහැර කිරීමට අප රිසි නොවන බව ද සඳහන් කළ යුතුය.
විශ්ව කීර්තියට පත් රුසියාවේ ලෙනින් දරුවන්ට හොඳ ම දේ දිය යුතු යැයි යෝජනා කර තිබුණත් අපේ දරුවන්ට හොඳම දේ තබා බොහෝ දේ අහිමිව තිබෙන බව ද අපි දනිමු. මෙරටේ දැරුවන්ට කිසියම් දේශපාලන වටිනාකමක් හිමි වූයේ නම් ඇතැම් විට ඔවුන් කෙරෙහි දේශපාලන අවධානය යොමු වීමට ද තිබුණා විය හැකිය.
කිසිම දරුවෙක් තම හිමිකම් ගැන කතා කරත් ද, තමන්ගේ අයිතීන් සඳහා වර්ජන තර්ජන කරත් ද? වීදිවලට බැස ඝෝෂා කරත් ද? ඒ දරුවන් රැකබලා ගැනීමේ සමාජ වගකීම නිතැතින්ම මව්පියන්ට ම බාර වී තිබේ. සිය දරුවා මවට බරක් නොවුවද, ඒ දරුවන් දැඩි කළ නොහැකි මව්වරුන් කිරිකැටියන් තුරුලු කරගෙන ගංගාවලට පැන දිවි නසා ගන්නා සංවේදී සිදුවීම් බොහෝ විට බොහෝ දෙනෙකුට හාන්සිපුටුවල හිඳ කියවන පුවත් පමණක් වී තිබේ.
මේ අතර පැළ නැති හේනේ අකාල මහ වැහි වැටෙද්දී සිය දරුවන් තුරුළේ හංගාගෙන එක පිම්මේ සිටින මව්වරු ද වෙති. ඈත ගම් දනව්වල, ගොවිබිම්වල, වැඩබිම්වල සිටින බොහෝ අම්මලාට දරුවන්ට දීමට ඉතිරිව තිබෙන්නේ ද ඒ මව් සෙනෙහස පමණි.
අද බොහෝ මධ්‍යම පාන්තික දරුවන්ගේ ජීවිත කෙරෙහි අයහපත් බලපෑම් කරන නූතන සන්නිවේදනය හා තාක්ෂණ මෙවලම් ගැන ද වාර්තා වේ. රූපවාහිනිය අබියස සිටින දරුවන් ගැන ප්‍රවේශම් වන්නැයි අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ අවවාද කරති.
එහෙත් මේ ධනවාදී පාරිභෝගික සමාජය තුළ බොහෝ දෙමව්පියෝ ඒවා බරපතළ කරණු ලෙස නොසලකති. තම පුතා හෝ දියණිය ‘සුපිරි තරුවක්’ කිරීමට සිහින දකින මව්පියෝ සුලබ ව සිටිති.
ඇතැම් ‘සුපර් ස්ටාර්’ තරගවල කුඩා දරුවන් ලවා ගයනා කරනු ලබන ගීත කෙබඳු දැයි නිකමටවත් සිතා බලන්නෝ වෙත් ද? ශෘංගාරය, විරහ වේදනාව ප්‍රේමයේ උමතුව ළමා මනසට කොතරම් ගෝචරදැයි ඒවාට ඔල්වරසන් දෙන කීදෙනෙක් විමසා බලත්ද? ඒ සිල්ලර ජනප්‍රියත්වය ලුහුබඳන අම්මලා ගැන අපට ඇත්තේ දුකකි.
කෙසේ හෝ අපගේ දේශපාලන සංස්කෘතිය තුළ මෙන්ම වැඩිහිටි සමාජයෙන් ද දරුවාට ලැබෙන පරමාදර්ශ ඉතා අඩු බව කිව යුතුය ‘‘මල්ලිටයි මටයි ගෙඩි දෙකක් ඇති - වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි මේ අපි’’යි යනුවෙන් එදා පන්ති කාමරයෙන් ඇසුණු ආදරණීය ගුරු මවගේ කටහඬ අද ඇසේදැයි නොදනිමු.
කුමක්වුවත් සියල්ල බදා ගන්නා සමාජ දේශපාලන සන්දර්භයක යස ඉසුරු ලුහුබඳිමින් මී පොරයට වැටීසිටින, දේශපාලන බල ලෝභය ඉහවහා ගිය සමාජයක දරුවන්ට ලැබෙන පරමාදර්ශ ගැන කතා කිරීම ද නිෂ්ඵල ය.
එහෙත් කායික ව මෙන්ම මානසික ව ද පීඩාවට පත්වන දරුවන් සිටින කවර රටකට වුවද හෙටක් ඉතිරි නොවන බව අප ලියා තැබිය යුතුය. වසරකට වරක් එළැඹෙන අන්තර්ජාතික ළමා දිනයේ දී ළමයින් ගැන ලියා තිබෙන වගවාසගම් දෙඩවීම හෝ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය එළියට ගැනීම හෝ ළමයින් උදෙසා කෙරෙන ජාතික මෙහෙවරක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
මෛත්‍රී ජනපතිඳුන් විසින් දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ස්ථාපනය කරන ලද දරුවන් සුරකිමු ළමා අරමුදල නොයෙක් හේතු නිසා අසරණ වී සිටින අපේ දරුවන්ට හෙට දවස පිළිබඳ සුබ ආරංචියක් වනු ඇතැයි අපිට හැඟෙන්නේ මේ පසුබිම තුළ ය.
ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතියේ දරුවන්ට පිරිනැමූ ඒ ත්‍යාගයට සියලු පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු සහයෝගය ලබාගැනීම ද අගය කළ යුතුය.