
ජෝන් ඩොයිලිගේ දින පොතෙන් එන විස්තර අනුව 1815 මාර්තු 10 දා අත්සන් කිරීම සඳහා උඩරට ගිවිසුමේ පිටපත් දෙකක් ඉදිරිපත් කර ඇත. උඩරට ගිවිසුමේ මුල් පිටපත රාජ්‍ය ලේඛනාගාරයේ අස්ථානගතව තිබියදී හමුවූයේ 1988 තරම් මෑත කාලයකය. එතෙක් එහි අත්සන් පිළිබඳව වූ ගැටලු සාකච්ඡා කරන ලද්දේ ලේඛනගතව පැවති දෙවන පිටපත බලා බව පෙනේ. දෙවෙනි පිටපතේ බ්රවුන්රිග්, ඇහැලේපොල හා මොල්ලිගොඩගේ අත්සන් ඇතුළත්ව ඇත්තේ අවසන් පිටුවට කලින් පිටුවේ වන අතර අවසන් පිටුවේ අත්සන් පටන් ගන්නේ දෙවැනි අදිකාරම සහ සබරගමුවේ දිසාව වන පිළිමතලව්වේගෙනි. මේ අනුව මෙම පිටපත් දෙක පහසුවෙන් හඳුනාගත හැකිය.
උඩරට ගිවිසුම ගැන සලකා බැලීමේදී පළමුවෙන් අවධාරණය යොමුකළ යුත්තේ මෙය ඔවුනොවුන් අභිමුඛයේ අත්සන් කරන ලද ගිවිසුමක් ද යන්නයි. 1840 දී බ්‍රිතාන්‍ය රජයත් නවසීලන්තයේ මැඕරි ජාතිකයිනුත් අත්සන් කළ වයිටන්හි ගිවිසුම ඔවුනොවුන් අභිමුඛයේ අත්සන් කරන ලද්දකි. එහෙත් මේ ගිවිසුමේ එබඳු තත්ත්වයක් නොපෙනේ.
ඩොයිලිෙග් දිනපොත අනුව මාර්තු 10 හා 18 දිනවල උඩරට ප්‍රධානීන් වෙත වෙනම ගොස් ආණ්ඩුකරු ඉදිරියේ අත්සන් තබා තිබේ. මේ නිසා උඩරට ප්‍රධානීන් ඇහැලේපොළගේ නායකත්වය අනුව යමින් අනුපිළිවෙළින් පෝලිමේ ගොස් ගිවිසුමට අත්සන් කළේ යයි පිළිගත නොහැකිය.
උඩරට ප්‍රධානීන්ගේ අත්සන් හඳුනා ගැනීමට බ්‍රිතාන්‍ය සිවිල් සේවාවේ නිලධාරියෙක් වශයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුර දැරූ එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා උත්සාහයක් ගත්තේය.
පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය, පුරාණ ලංකාවේ කාසි හා සංක්ෂිප්ත ලංකා ඉතිහාසය යන ග්රන්ථ රචනා කරමින් රාජකීය ලංකා ආසියාතික සමිති කලාපයන්ට ශාස්ත්‍රීය ලිපි සැපයූ විද්වතෙකු වූ මොහු විසින් පිළියෙල කළ ලිපිගොනුව අංකයක් නොදරන ලේඛනයක් හැටියට මහනුවර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශාඛා කාර්යාලයේ තැන්පත්ව තිබේ.
මේ ලිපිගොනුව අනුව සබරගමු සන්නස්වල වම්පසින් ඒකාකාරීව ඇති ඇහැලේපොලගේ අත්සන නිවැරදිය. ඇහැලේපොලගේ අත්සනට උඩින් රවුමට නැවී ඇති අර්ධ කවය හා එය දෙපැත්තේ ඇති කෙටි හා දිගු කොකුවලින් සංකේතවත් වන්නේ සබරගමු දිසාවට අයත් නිල ලාංඡනයයි. මෙම තනතුර දැරූ වෙනත් ප්‍රධානීන්ගේ අත්සන වටා ද මෙම ලාංඡනය දක්නට ඇත.
උඩරට ගිවිසුමෙන් වසර තුනකට පසු ඇති වූ 1818 කැරැල්ලට සම්බන්ධවීම නිසා මෙම ගිවිසුමට අත්සන් කළ මොනරවිල කැප්පෙටිපොල ඇතුලු කිහිප දෙනෙක් මැරුම් කෑහ. සමහරු රටින් පිටුවහල් කරන ලදහ. සමහරු සිර භාරයට පත්කරන ලදහ. මේ කූඨ ලේඛනය සම්බන්ධ ඉතිරි වූ එකම සාක්ෂිය වූ ඇහැලේපොල මහා නිලමේ සිරකරුවෙක් හැටියට මුරිසියට පිටුවහල් කරන ලදි. මේ නිසා මෙම ලේඛනයේ සැබෑ තත්ත්වය අනාවරණය වීම වැළකී ගියේය.
උඩට ගිවිසුමේ මුල් පිටපත ලන්ඩනයේ යටත් විජිත කාර්යාලයට නොයවා ලංකාවේ භාවිත ලිපිගොනුවකට ගොනු කර තිබීම නිසා සොයා ගත නොහැකිව 1988 තරම් කාලයක් සැඟවී තිබුණි. මේ නිසා මේ සම්බන්ධව කරන ලද විවේචන සැලකිය හැක්කේ මුල් පිටපත ළඟා තබා ගැනීමෙන් තොරව කරන ලද විවේචන හැටියට ය. මෙම විවේචනවලට අදාළ ප්‍රධාන කරුණ වූයේ උඩරට ගිවිසුමේ අඩංගු වගන්තිය මිස අත්සන් නොවේ. සත්‍ය වශයෙන්ම කිවතොත් මේ අත්සන් පිළිබඳව නිසි අවධානයක් යෙදවී නැත.
රාජ්‍ය ලේඛනවල සැක කටයුතු අත්සන් පිළිබඳව වර්මානයේ නිසි බලය පැවරී ඇත්තේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති සැක කටයුතු ලේඛන අංශයටය. උඩරට රාජ්‍යයේ භාවිතා වූ දැනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත්ව ඇති මෙම පැරැණි ලේඛන පරීක්ෂා කර බලා මේ පිළිබඳව නිගමනයක් දීම ඔවුන්ට අයත් කාර්යයකි.
උඩරට ගිවිසුමේ අත්සන් ගැන සෙවීමට දීර්ඝ කාලයක් ගත වූයේ මෙම ගිවිසුම අඩංගු ලිපි ලේඛන කොටුවේ මහලේකම් කාර්යාලයේ තිබුණ නිසාය. මේවා 1948 දී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවරන ලදී.
මෙම ලිපිගොනු තුළ උඩරට ප්‍රධානීන්ගේ අත්සන් සහිත වෙනත් ලේඛන නොතිබුණි. සමකාලීන වකවානුවේ උඩරට ප්‍රධානීන් විසින් කරන ලද විවිධ ඉඩම් ප්‍රදානයන්ට අදාළ සන්නස්, තුඩපත්, නඩු තීන්දු හා සීට්ටු ආදිය 1856 අංක 10 දරන ආඥාපනත යටතේ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය මඟින් ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට පවරන ලදී. අවසානයේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරුනු මෙම ලේඛනවල උඩරට ප්‍රධානීන්ගේ අත්සන් තිබුණි. මෙම ලේඛන දෙවර්ගය එකිනෙක හමුවූයේ ඉතාමත් මෑතකාලයක වීම මෙම කාල පරාසයට හේතු විය.
උඩරට ගිවිසුමේ මුල් පිටපත හමුවන තෙක් එහි අත්සන් පිළිබඳව කතා බහ ඇතිවුණේ දෙවන පිටපතේ ඇති ඇහැලේපොලගේ අත්සන පිළිබඳව පමණකි. මෙහි ඇති ඔහුගේ අත්සනේ ඇලපිල්ල නොමැති බවත්, ඔහු විසින් මුරිසියේ සිට මෙහි එවන ලද ලිපිවලින් හා ඔහුගේ දේපළ සාංඝික කරන ලද පූජා පත්‍රවල මෙ ඇලපිල්ල එලෙසම පිහිටා තිබෙන බවත් සඳහන් කර ඇත. මෙම අත්සන් ගැටලුව පිළිබඳව කරුණු දක්වන ආචාර්ය කොල්වින් ආර්. ද. සිල්වා මහතා මෙම වෙනසට හේතු වී ඇත්තේ ඔහුගේ රජවීමේ බලාපොරොත්තුව සුන් වීම නිසා බවත් දක්වයි.
මේ පිළිබඳව සුප්‍රකට ඉතිහාසඥයෙකු හා විද්වතෙකු වූ පෝල්.ඊ. පීරිස් මහතාස්වකීය Sinhala and the Patriots නමැති ග්‍රන්ථයෙන් මෙසේ සඳහන් කරයි. “භාෂා දෙකෙන්ම පැහැදිලි පිටපත් දෙක බැගින් පිළියෙල කිරීමට සිදු වූ නිසා ලේඛනයට අත්සන් තැබීමට දින කිහිපයක්ම ගත විය. සිංහල අත්සන් කරුවන් වූයේ, අතරතුර විරාමයේ දී බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් පත්වීම් ලැබූ මහ දිසාපතිවරුන් හතර දෙනෙකුත්, සුළු දිසාපතිවරු හය දෙනෙකුත් සහ මාර්තු 18 දින තම අත්සන ස්ථාපිතකළ ඇහැලේපොල දිසාවත් යන අය වෙති.
යකඩ කූරක ආධාරයෙන් තල්පතක ලිවීමට පුරුදුව සිටි මේ පිරිසට පාත්තයෙකුගේ පිහාටුවක් තීන්තවල ඔබා කොළයක ලිවීම නුහුරු අත්දැකීමක් විය. මොනරවිල, ගලගම හා ගලගොඩ යන තිදෙනා සිංහල අක්ෂර යෙදූ අතර සෙසු අය සිංහල හා දෙමළ භාෂාවනට සමානකම් කියන පසු කාලීන සමයේ රාජ්‍ය තන්ත්රයේ විලාසිතාවට පත් ‘ග්‍රන්ථෙ’ අකුරු භාවිතාකළහ. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ට අනුව ‘ග්‍රන්ථෙ’ යනු භාෂාවක් නොවේ. එක් අතකින් සිංහල භාෂාවටත් තවත් අතකින් දෙමළ භාෂාවටත් සමානකම් ඇති අකුරු ලිවීමේ ක්රමයකි.
උඩරට ගිවිසුමේ ඇති ඇහැලේපොලගේ අත්සනේ ‘ඇ’ යන්නේ ඇලපිල්ල පමණක් අල්ලාගෙන කරනු ලබන විග්රහයට වඩා දේශීය ලේඛනවල ඇති ඔහුගේ වෙනත් අත්සන් හා සසඳා බලා විග්රහ කිරීම ශාස්ත්‍රීය සම්ප්‍රදායට එකඟය. ඇහැලේපොල සබරගමු දිසාවේ හැටියට කටයුතු කරද්දී නිකුත් කළ සන්නස් හා තුඩපත් සබරගමු සන්නස් වෙළුමේ ඇත. ඇහැලේපොල මුරිසි දිවයිනේ සිරකරුවෙකුව සිටිය දී එවන ලද ලිපිවල සඳහන් අත්සන හා සබරගමු සන්නස් වෙළුමේ අත්සන් සමරූපී ස්වභාවයක් දරයි. මෙම අත්සන් වටා ඇති පොල්ගෙඩියක හැඩය ගත් රවුම උඩරට ගිවිසුමේ නැත. අක්ෂරවල ස්වරූපය ද වෙනස්ය. ඒ අනුව නිසැකව තීරණය කළ හැක්කේ උඩරට ගිවිසුමේ ඇති ඇහැලේපොලගේ අත්සන ව්‍යාජ එකක් බව ය.
එමෙන්ම උඩරට ගිවිසුමේ අත්සන් කළ පළමුවෙනි අදිකාරම සහ සත්කොරලයේ දිසාව වූ මොල්ලිගොඩගේ අත්සන හා සබරගමුවේ සන්නස් වෙළුමේ ඇති මොල්ලිගොඩ අදිකාරමගේ අත්සන එකිනෙකට වෙනස්ය. පිළිමතලව්වේ දෙවෙනි අදිකාරමගේ ( සබරගමුව දිසාවේ) හෙවත් කපුවත්තේගේ අත්සන සබරගමු සන්නස් වෙලුමේ ඇති අත්සන නොවේ. ලන්ඩන් රාජ්‍ය ලේඛන කාර්යාලයේ තිබෙන උඩරට ගිවිසුමේ දෙවන පිටපතේ ඇති පිළිමතලව්වේ හතරකෝරලයේ දිසාවගේ අත්සනත්, උඩරට ගිවිසුමේ මුල් පිටපතේ ඇති ඔහුගේ අත්සනත් ඉඳුරාම වෙනස්ය.
මොනරවිල කැප්පෙටිපොල දිසාව උඩරට ගිවිසුමේ යොදා ඇත්තේ සබරගමුව සන්නස් වෙලුමේ හමුවන ඔහුගේ අත්සන නොවේ. රත්වත්තේ මාතලේ දිසාව උඩරට ගිවිසුමේ යෙදා ඇති අත්සන හා සබරගමු සන්නස් වෙලුමේ හමුවන ඔහුගේ අත්සන එකක් නොවේ. සබරගමුව සන්නස් වෙලුමේ හමුවන නුවර කලාවියේ ගලගොඩ දිසාවගේ අත්සනත්, උඩරට ගිවිසුමේ ඔහු තැබූ අත්සනත් එකිනෙක වෙනස්ය. ගිවිසුමේ අත්සන් කළ අනෙක් ප්‍රධානීන්ගේ අත්සන්වල නිරවද්‍යතාවය ගැන සොයා බැලීම අනාගත ශාස්ත්රාභිලාශීන්ගේ වගකීමකි.