
වර්තමානයේ ලොව සාර්ථකම අක්මා බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා මහාචාර්ය මොහොමඩ් රෙලාය. ගිනස් වාර්තාවක්ද තබා ඇති ඔහු මෙතෙක් සිදු කර ඇති සජීව අක්මා බද්ධ ශල්‍යකර්ම සංඛ්‍යාව 5,000කට ආසන්නය. මොහු පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ, මෙරට අක්මා රෝග සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන්ගේ හමුවකට සහභාගි වීම සඳහාය. මෙහි දැක්වෙන්නේ මහාචාර්ය මොහොමඩ් රෙලා එහිදී පළ කළ අදහස්වල සම්පිණ්ඩනයකි.
මා උපත ලැබුවේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මයිලදුතිරිය ප්‍රදේශයේ කිලිනූර් නම් දුෂ්කර ගම්මානයේය. මූලික අධ්‍යාපනය චෙන්නායි බෙයන්ට් තියෝෆිකල් උසස් පාසලෙන් ලද පසු ස්ටැන්ලි වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව මූලික වෛද්‍ය විද්‍යා උපාධිය හිමි කරගත්තෙමි. වැඩිදුරට අධ්‍යාපනය සඳහා මට 1985 වසරේ මහා බ්‍රිතාන්‍යයට යෑමට අවස්ථාව උදා විය. එඩින්බරෝ සරසවියට පිවිස උපාධිය හිමි කරගත් ඉක්බිති ලංඩනයේ කිංග්ස් යුනිවර්සිටි කොලේජ් හොස්පිටල්හි සේවය කරන්නට ඉඩ සැලසිණි. එහිදී පර්යේෂණ මට්ටමේ පැවති අක්මා බද්ධ ශල්‍යකර්මවලට මම නිරතුරුවම සහභාගි වුණෙමි. අවසානයේ අක්මා බද්ධ ශල්‍යකර්ම සිදු කිරීමේ අතිසංකීර්ණ ක්‍රියාවලිය මා වෙත පැවරිණි. එහිදී යුරෝපයේ හා බටහිර වෛද්‍යවරුන් සමඟ මා කටයුතු කළේ මහත් සතුටිනි. ඒ සැම මට මහත් රුචියෙන් සහාය වූහ. ඔවුහු අක්මා බද්ධ කිරීමේ රිද්මය මගේ ඇඟේ තිබෙන බව හැඳිනගත්හ. කෙසේ වෙතත් මා පුරා වසර 22ක්ම කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලෙහි කටයුතු කළ අතර, ඒ කාලය අතරතුර එහි සිදු වූ සජීව අක්මා බද්ධ ශල්‍යකර්ම 6,000න් 2,000ක් පමණ සිදු වූයේ මා අතිනි.
එහිදී මම මේ ශල්‍යකර්මයට පැමිණෙන රෝගීන් මුහුණ දෙන අභියෝග හොඳින් දුටුවෙමි. ප්‍රධාන වශයෙන් ඔවුන් මඬින ලදුයේ මුදල් අග-හිඟකම් විසිනි. සාමාන්‍යයෙන් යුරෝපයේ හෝ බටහිර රටක හෝ පිළිගත් රෝහලකදී අක්මා බද්ධයක් සඳහා අවම වශයෙන් ඩොලර් ලක්ෂ තුනක් වත් අවශ්‍ය වේ. එය අප වැනි රටක රෝගියකුට කිසි සේත් දරාගනු බැරි මුදලකි. සාමාන්‍ය පවුලකින් පැවත එන කෙනකු ලෙස මම මේ ගැන යළි-යළිත් සිතන්න වීමි. එබඳු බොහෝ අවස්ථාවල මට හැඟී-ගියේ මගේ සේවාව විදේශයකට පමණක් සීමාව ඇත්තේ මන්ද කියාය. එහෙත් යළි ඉන්දියාවට පැමිණීමට හිත හදාගැනීමට මට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. කිංග්ස් විශ්වවිද්‍යාලයයේ මගේ සමකාලීන වෛද්‍යවරු යුරෝපයේ තත්ත්වය යහපත් බැවින් යළි ඉන්දියාවට නොයන්නැයි ඉල්ලා සිටියහ. ඉන්දියාවේ අක්මා බද්ධය මීට පෙර බොහෝ දෙනකු ආරම්භ කිරීමට උත්සාහ කළද ඒවා සාර්ථක නුවූ බව ඔවුහු කියා සිටියහ. ඒ අනුව කල්පනා කළ මම කිංග්ස් විශ්වවිද්‍යාලය මුළුමනින්ම අත්නොහැර ඉන්දියාවට පැමිණියෙමි. දැනටද මම කිංග්ස් විශ්වවිද්‍යාලයයේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කරමි. මට අවශ්‍ය වූයේ සිරෝසිස් වැලඳී මරණ මංචකයේ සිටින ජීවිතවලට යළි පණ දෙන්නය. එය අද සාර්ථක වී තිබේ.
අක්මා බද්ධයකින් පසු රෝගියකුට කොපමණ කලක් ජීවත් වීමට වරම් තිබේද යන්න බොහෝ දෙනකු මගෙන් අසන ප්රශ්නයකි. එය සැබවින්ම සාධාරණ ප්‍රශ්න කිරීමකි. මන්ද යත්: විශාල මුදලක් වැය කර, ජීවිත අවදානම් අභියෝගයකට මුහුණ දී, අක්මාවක් බද්ධ කරගෙන හමසක් හෝ අවුරුද්දක් ජීවත් වීමේ ඵලක් නැත.
ගිනස් පොතට ගිය විස්මිත සැත්කම
1997දී මම කිංග්ස් යුනිවර්සිටි රෝහලේදී අතිසංකීර්ණ අක්මා බද්ධ ශල්‍යකර්මයක් සිදු කළෙමි. ඇය ඉපදී දින 5ක් තරම් කුඩා අයර්ලන්ත කුඩා දැරියක්. ඇයගේ අක්මාව මුළුමනින්ම වාගේ විනාශව තිබුණු අතර, පැය 25කට අධික වේලාවක් ගෙන සිදු කළ දීර්ඝ සජීව අක්මා බද්ධ ශල්‍යකර්මයෙන් පසු ඒ දැරිය ජීවත් කිරීමට හැකි විය. අද ඕ අයර්ලන්තයේ නීතිඥවරියක ලෙස කටයුතු කරයි. මේ සිද්ධිය ගිනස් වාර්තා පොතටද ඇතුළත් කෙරුණු අතර, මා මේ ව්‍යයාමය ඉන්දියාව කේන්ද්‍ර කරගෙන ආරම්භ කළේ ඉන්දියාවේදී සජීව අක්මා බද්ධයක් සඳහා අදහසක් වත් නොතිබුණු අවධියකය.
ඉන්දියාවේදී මම රෝහල් කිහිපයක සේවය කළෙමි. ග්ලෝබල් රෝහලේ අක්මා බද්ධ ශල්‍යකර්මය විශාල වශයෙන් සිදු කළ අතර, එතැනදී මට මගේම රෝහලක් ආරම්භ කිරීමේ සිතිවිල්ල පහළ විය. එවිට තවත් මේ ශල්‍යකර්මය සඳහා වැය වන අධික වියදම අවම කරගත හැකි බව මට කල්පනා විය. ඒ සිතිවිල්ල අද සිරෝසිස් රෝගීන්ට මහත් පිළසරණක් තිබේ. ඒ අනුව 2018දී මම රෙලා ඉන්ස්ටිටියුට් ඇන්ඩ් මෙඩිකල් සෙන්ටර් රෝහල පටන් ගතිමි. අද මෙය ලෝකයේ උසස්ම තාක්ෂණය භාවිත කරන ආසියාවේ විශාලතම අවයව බද්ධ කිරීමේ රෝහලයි. අධිතාක්ෂණික ශල්‍යගාර 14කින් සහ ඇඳන් 130කින් යුත් දැඩිසත්කාර ඒකකයකින්, අවයව බද්ධ රෝගීන් සඳහාම වෙන් වූ රෝහල් කාමර 450කින්, මෙය සමන්විතය. එමෙන්ම සම්පූර්ණයෙන්ම අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා එංගලන්තයේ කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ පුහුණුව ලත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කරයි. එබැවින් වර්තමානයේ සජීව අක්මා බද්ධ ශල්‍යකර්මය සඳහා ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ මතු නොව, ආසියානු කලාපයේ කිසිවකු දැන් යුරෝපයට හෝ බටහිරට යා යුතු නැත. යුරෝපයට හෝ බටහිර රටවලට හෝ වඩා අපේ සේවය ඉහළ ගුණාත්මක තත්ත්වයක පවතී.
නිල ඇරියුමක් ලැබුණොත් ලංකාවේදීම සැත්කම් කළ හැකියි
මේ වන විට මා විසින් සජීව අක්මා බද්ධ ශල්‍යකර්ම 5000කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේද 100කට වඩා පිරිසක් ඒ අතර වෙති. ලාංකික වෛද්‍යවරු මා සමඟ වසර දහයක පමණ කාලයක සිට කටයුතු කරමන් සිටිති. මා සිදු කරන සජීව අක්මා බද්ධ කිරීමේ සිදු කළ රෝගීන් වැඩිදුරටත් බලාගැනීම ලංකාවේ වෛද්‍යවරුන් විසින් සිදු කෙරේ. මගේ අරමුණ මගේ වෛද්‍ය කණ්ඩායම සමඟ ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ කරගැනීමයි. එමෙන්ම ශ්‍රී ලංකා රජය නිල ආරාධනාවක් කළ හොත් ලංකාවට පැමිණ සජීව අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට අපට හැකියාව ඇත. එවිට ඒ සඳහා යන අධික වියදම සැලකිය යුතු ලෙස අඩු කරගන්න පිළිවන. අපි හැම මොහොතකම ශ්‍රී ලංකාවට උපරිමව සහාය වීමට සූදානමින් පසු වමු. එය තාක්ෂණය විය හැකිය; දැනුම අතින් විය හැකිය. ලෝකයේ බොහෝ රාජ්‍ය අප සමඟ සම්බන්ධ වී වැඩ කරති. අපේ වෛද්‍යවරු දැනටමත් ඕමානයට ගොස් ඒ රටට අවශ්‍ය සේවය සපයති. මේ වන විට Dr Rela Institute and Medical Centre රෝහලේ අක්මා බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රෝගීන් විශාල පිරිසක් ලියාපදිංචිව සිටිති. ඔවුන්ගේ පහසුව සඳහා කොළඹ, තිඹිරිගස්යාය, බොතේජු මාවතේ අංක 01 දරන ස්ථානයේ සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපිත කිරීමට අපි පියවර ගතිමු.
අද සජීව අක්මා බද්ධයේදී පවුලේ සාමාජිකයකු ඉදිරිපත් වීම වැදගත්ය. ඒත් බොහෝ දෙනකු සිතන්නේ අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීම හේතුවෙන් දායකයාට කිසියම් හානියක් වේය, කියාය. මෙය මිථ්‍යා මතයකි. මන්ද යත්: අක්මාව යනු නැවත ලියලන අවයවයකි. එය සති 3ක්-4ක් ඇතුළත එය පැරණි තත්ත්වයට ලියලයි. අනෙක් කාරණාව: ඔහුගෙන් හෝ ඇයගෙන් අක්මාවේ කොටසක් ලබාගැනීමට පෙර, පූර්ණ පරීක්ෂණ ක්‍රියාවලියකට භාජනය කෙරේ. පරිත්‍යාග කරන්නාගේ අක්මාවෙන් කොටසක් ලබාගන්නේ ඒ පර්යේෂණ 100%ක් ගුණාත්මක මට්ටමක තිබේ නම් පමණි. සැත්කමින් අනතුරුව මසක් ඇතුළත ඔහු හෝ ඇය සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි.
ශ්‍රී ලංකාවේද දක්ෂ වෛද්‍යවරු සිටිති. ඔවුහු ඉන්දියාවේ වෛද්‍යවරුන් සේම දක්ෂය. අනාගතයේදී ඔවුන්ටද සජීව අක්මා බද්ධකිරීම් ඇරඹීමට අවකාශ සැලසෙනු ඇතැයි මම විශ්වාස කරමි. මම ඒ සඳහා පූර්ණ සහාය දක්වමි. එය මාගේ අසල්වැසි රට වෙනුවෙන් මට කළ හැකි ගෞරවාන්විත හා ආදරණීය පරිත්‍යාගයකි.