
ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 19 වැනි ගුණානුස්මරණය ඔක්තෝබර් 10 වැනිදාට යෙදී තිබුණි. මේ ලිපිය එතුමියට උපහාරයක් වශයෙනි.
මුළු රටම මැලේරියා උවදුරින් ඇළලී යද්දි බළන්ගොඩ ප්‍රදේශය පාලනය කළ මහවල තැන්න රටේ මහත්තයාට රාජකාරි බහුල වූයේ එකී ප්‍රදේශයේද මැලේරියාව ව්‍යාප්ත වූ බැවිනි. රටේ මහත්තයා සිය හිතවතුන් සමඟ කඳු පල්ලම් බැස අසරණ රෝගීන් වෙනුවෙන් බෙහෙත් වර්ග රැගෙන යන ගමනට ඔහුගේ වැඩිමහල් දියණිය ද ඔහු පසුපසින් වැටුණේ ඈ තුළ තිබූ මානව දයාව නිසාය. එතැනින් නොනැවතුණු ඈ සිය පියා බළන්ගොඩ ප්‍රදේශය පාලනය කරන විට ප්‍රදේශයේ කාන්තාවන් වෙනුවෙන් යම් මෙහෙවරක් කළ යුතු යැයි සිතුවාය.
බළන්ගොඩ සමාජ සේවා සංගමය නමින් කාන්තා සංවිධානයක් බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ගැබිනි මාතාවන්ට නොමිලේ කිරි ලබා දීම ඇතුළු සුබ සාධක කටයුතු රැසක් ඉටු කරන බළන්ගොඩ සමාජ සේවා සංගමය, වරක් නාට්‍යයක් රඟ දක්වා ලැබුණු ආදායමින් මහවලතැන්න වලව්වේ පසෙක තැනුණු රෝහල වැඩි දියුණු කිරීමට සමත් විය. එම නාට්‍යය පුහුණු කළේ රටේ මහත්තයාගේ වැඩිමහල් දියණියයි.
එවකට සිටි පළාත් පාලන ඇමති දිනක් කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා යන ගමනේදී බළන්ගොඩ මහවලතැන්න සමාජ සේවා සංගමය අධීක්ෂණය කිරීමට සිතුවේ ඉන් ඉටු වන මෙහෙවර ඒ වන විට රට පුරා ප්‍රසිද්ධ වී තිබූ බැවිනි. එහි ගිය ඇමතිවරයා ඉන් සිදු වන සේවා ගැන බෙහෙවින් සතුටට පත් වී ඔවුන් දිරිමත් කළේ ඊට රාජ්‍ය අනුග්‍රහය ද ලබාදෙන බව පවසමිනි. රටේ මහත්තයාගේ වැඩිමහල් දියණියගේ රූපශ්‍රීය පමණක් නොව මහජන සේවයට ඇති ඇගේ කැපවීම ගැන එවකට තනිකඩ ජීවිතයක් ගත කළ ඇමතිවරයාගේ සිතේ තදින්ම කා වැදුණා නම් එය පුදුමයක් නොවේ.
ඔවුන් දෙදෙනා 1940 ඔක්තෝබර් මස 03 වැනි දින යුග දිවියට ඇතුළත් වූයේ දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාදය මැද මහ ඉහළින් විවාහ මංගල්‍යය පවත්වමිනි. එදා පළාත් පාලන ඇමතිවරයා වූයේ හිටපු අගමැති දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. ඔහුගේ අත ගත් රටේ මහත්තයාගේ වැඩිමහල් දියණිය වූයේ සිරිමාවෝ රත්වත්ත මැතිනියයි. පසුකලෙක සිරිමාවෝ බණ්ඩාරනායක ලෙසින් ගෞරවාදරයට පාත්‍ර වූ අද මෙරට ශ්‍රේෂ්ඨ චරිතයක් වූයේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රිය බිරිය වූ නිසා ම නොවේ. ලොව ප්‍රථම අගමැතිනිය ලෙසත් තෙවරක්ම ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරිය ලෙසත් අභිෂේක ලද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සදානුස්මරණීය චරිතයක් වන නිසාය. ඔක්තෝබර් 10 වැනි දිනට ඈ අභාවයට පත් වී වසර 19 ක් ගත වුවද තවමත් අප ඈ පිළිබඳව කතා කරන්නේ එවැවිනි.
ඈ අගමැතිනිය වශයෙන් කටයුතු කළ කාල 1960 – 1965, 1970 – 1977, 1994 – 2000 වශයෙන් දැක්විය හැකිය. ඇගේ දේශපාලන ගමන් මග ඇරඹුණේ ඇගේ සැමියා වන හිටපු අගමැති එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයත් සමගිනි. 1959 සැප්තැම්බර් 26 වැනි දින බණ්ඩාරනායක මහතා ඝාතනය වීමත් සමඟ රටේ අගමැති වශයෙන් පත් වූයේ විජයානන්ද දහනායක මහතාය. එහෙත් ඉතා කෙටි කාලයකින් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා 1960 මාර්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදු විය. එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමි වූයේ සී.පී. ද සිල්වාටය.
එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ ආසන 55ක් ලබාගනිමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 46 ක් පමණි. අගමැති ලෙස ඩඩ්ලි සේනානායක මහතා පත් විය. නමුත් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ යෝජනාවක් කථානායක තේරීම් යෝජනාවත් පරාජයට පත් වීමෙන් පසු රාජාසන කතාව ද පරාජයට පත් වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු විය. නැවතත් මහ මැතිවරණයක් කැඳවිණි.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට මැතිනියට පාක්ෂිකයන් ඇරයුම් කළ ද ඈ ඊට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් පක්ෂයෙන් කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ නොහැකි තැන ඈ ඊට එකඟ වූයේ අකමැත්තෙනි. 1960 මැයි මස 07 වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය ලෙස පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඡන්ද සටනට පිවිසුණාය. එකී මැතිවරණයෙන් ආසන 98 කින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 75 ක් හිමි මිය. එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ ආසන 30කි.
ඒ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඈ මෙරට අගමැතිනිය වූයේ ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස ඉතිහාසගත වෙමිනි. එහෙත් 1960 දී ඈ ආසනයට තරග නොකළ බැවින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හෝ සෙනෙට් සභාවේ සාමාජිකාවක වීම අවශ්‍ය විය. එම අවස්ථාවේදී එම්.පී.ද සොයිසා සෙනෙට් සභාවෙන් ඉල්ලා අස් වීම නිසා සිරිමාවෝ බණ්ඩාරනායක සෙනෙට් මන්ත්‍රීවරියක ලෙස පත් වූ අතර ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ඈ අගමැති ධූරයට පත් කළේය.
1960 – 1965 කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අතින් සිදු වූ සේවා බොහෝය. විවිධ ආගමික මණ්ඩල මඟින් මෙරට පිහිටුවන ලද පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමෙන් ජාතික අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇගේ ප්‍රථම රජයෙන් සිදු කරනු ලැබීය.
1961 ජුලි 02 වැනි දා මහජන බැංකුව ස්ථාපිත කළේ ගොවීන් සහ කුඩා ව්‍යාපාරිකයන් අතරට බැංකු කටයුතු රැගෙන යෑමටය. එමෙන්ම ලංකා බැංකුව රජයට පවරා ගැනීමෙන් ආර්ථිකයේ වැදගත් කොටස්වලට, වඩා ඵලදායි ලෙස ණය මුදල් යොමු කිරීමට හැකි විය. රක්ෂණ සමාගම් කටයුතු ද රජයේ බලතල යටතට පත් කිරීමෙන් විදේශීය සමාගම් මඟින් එකතු කළ මුදල් රට තුළම රඳවා ගැනීමට හැකි විය.
1964 ඔක්තෝබර් 30 වැනි දින සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ඉන්දීය අගමැති බහදූර් ශාස්ත්‍රී මහතා අතර ඇති කරගත් සිරිමා - ශාස්ත්‍රි ගිවිසුම ඇගේ දේශපාලන දිවියේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.
ඒ අතරවාරයේදී 1962 ජනවාරි 27 දින බණ්ඩාරනායක රජය පෙරළීමට කළ ඉහළ පෙළේ රහස් කුමන්ත්‍රණයක් හෙළිදරව් විය. 1964 ජුනි 11 වැනි දින ලංකා සමසමාජ පක්ෂය සමඟ එකතු වී සභාග රජයක් පිහිටුවනු ලැබුවේ ඇගේ අග්‍රමාත්‍ය ධූරය යටතේදීය. එහෙත් ඇතැම් පුවත්පත් රජයට පවරාගැනීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ බැවින් 1964 දෙසැම්බර් 3 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු විය.
1965 පැවැති මහ මැතිවරණයේදී ජයග්‍රහණය ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ආසන සංඛ්‍යාව 66 ක් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 41ක් පමණි. එබැවින් අගමැති ධූරයට සමු දුන් ඈ විපක්ෂ නායිකාව වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගත්තාය. බණ්ඩාරනායක මැතිනියගේ දෙවැනි අගමැති ධුර කාලය ඇරඹුණේ 1970 මැයි 27 දා ය. එවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය එකතු වී සමගි පෙරමුණු රජයක් පිහිටුවනු ලැබීම කැපී පෙනෙන සිදුවීමකි. සමගි පෙරමුණු ගිවිසුමට අත්සන් තැබුවේ 1968 ජුනි 5 දාය.
බණ්ඩාරනායක මැතිනිය අත්තනගල්ල ආසනයෙන් වැඩි ඡන්ද 27, 723ක් ලබා ජයග්‍රහණය කළාය. මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක් හිමි විය.
ඇගේ දෙවැනි අගමැති ධූර කාලයේදී ඈ මුහුණුදුන් දරුණුතම අභියෝගය වූයේ 71 කැරැල්ලයි.
1971 අගෝස්තු මාසයේදී පසළොස්වක පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත් කළේ ඈ ශ්‍රද්ධාවෙන් යුක්ත බෞද්ධ කුල කාන්තාවක වූ නිසාය. ජනපති මන්දිරයේ ප්‍රථම වරට බුදු මැඳුරක් ඉදි වූයේද 1960 ඇගේ පාලන කාලයේදීය. අඩසිය වසකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ අධිරාජ්‍යවාදී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී නිදහස්, ස්වාධීන, ස්වෛරී ජනරජයක් බවට පත් කෙරුණේ 1972 මැයි 22 දින ඇගේ නායකත්වයෙනි. එය ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂි ජයග්‍රහණයකි.
1974 දී කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට තහවුරු කර ගැනීම ඇගේ දේශපාලන දිවිය තුළ කැපී පෙනෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. 1976 අගෝස්තු මාසයේ ලංකාවේ පැවැති නොබැඳි ජාතින්ගේ සමුළුවට ඈ නායකත්වය දෙමින් ජීවය දුන් ආකාරය ඇගේ දේශපාලන පෞරුෂය විදහා දක්වන තවත් අවස්ථාවකි.
2000 වසරේ ඔක්තෝබර් 10 වැනි දින පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිට්ටඹුව සංඝබෝධි විදුහලට ගොස් ආපසු එන අතරමඟදී හදිසි හෘදයාබාධයක් හට ගැනීමෙන් ඇයව කඩවත පෞද්ගලික රෝහලකට අතුළත් කරණු ලැබූ අතර එහිදී ඈ මෙලොවින් සමුගෙන ගියේ ජීවන ගමනේ 84 වැනි සැතපුම් කණුව අසල සදහටම නැවතෙමෙනි. ඇගේ මරණයත් සමඟම ඇගේ දෙනෙත් දන් දෙනු ලැබුවේ ඇගේ ඉල්ලීමකට අනුවය. බණ්ඩාරනායක මැතිනිය 1999 ජුනි 05 වැනි දින පෞද්ගලික ලඝු ලේඛක විලි විජේරත්නට සටහන් කර ගැනීමට කියා දුන් අවසන් කැමති පත්‍රයට අනුව දේහය ආදාහනය නොකෙරිණි. ඔක්තෝබර් 13 සහ 14 දෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් විය. ඔක්තෝබර් 14 වැනි දින ඉතා චාම් අන්දමින් අවසන් කටයුතු සිදු කෙරුණේ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අබියසදීය.