
මීට දශක කිහිපයකට උඩදී ශ්‍රී ලාංකික තරුණයන්ගේ ලොකුම හීනය ඉතාලි යෑම ය. බුඩීගේ ‘මිල්ලෙ සොයා’ සිනමා පටයේ කතා වස්තුව වූයේ ද ඒ ඉතාලි සිහිනය යි. එහෙත් මේ වන විට ඒ සිහින සියල්ල උඩු යටිකරු වී ගොසිනි. අද ඉතාලියට යෑමට දඟලන්නේ එහෙමත් අයෙකි. ඉතාලි සිහිනය අද කොරියාවට මාරු වී ගොසිනි.
දකුණු කොරියාව යනු ආසියාවේ වේගයෙන්ම දියුණු වන ආර්ථිකයක් හිමි රටකි. ශීඝ්‍ර තාක්ෂණික දියුණුවක් සමඟ ඉදිරියට පැමිණි කොරියාව, තම ශ්‍රමික වෙළෙඳපොළ ලෝකයට විවෘත කළේ 2004 වසර තරම් ඈතදී ය. කාර්මික නිෂ්පාදන ආයතනවල පවතින උග්‍ර සේවක හිඟය හේතුවෙන් අග්නි දිග ආසියාවේ හා දකුණු ආසියාවේ තරුණ පිරිස් රැකියා සඳහා එරටට ගෙන්වා ගැනීම එරට රජයේ උපක්‍රමය විය. ඒ අනුව Employment Permit System (EPS) යනුවෙන් විශේෂ ක්‍රමවේදය හඳුන්වාදුන් අතර එය ඇරඹි 2004 වසරේදීම ඊට ඇතුළත් වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. ඒ, දෙරටේ ආණ්ඩු අතර ඇති කරගත් විශේෂ අවබෝධතා ගිවිසුමක් යටතේ ය.
කොරියාවේ ශ්‍රම හිඟය
EPS ක්‍රමවේදය යටතේ ලාංකිකයන් කොරියා රැකියා සඳහා යැවීමේ කටයුතු භාරව කටයුතු කරන්නේ බත්තරමුල්ලේ පිහිටි මෙරට EPS කාර්යාලයයි. එහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන කිම් වොන් සියොක් මහතා, පසුගියදා සිළුමිණ සමඟ සංවාදයක නිරතවෙමින් කොරියා රැකියා සිහිනයෙන් පසු වන ලාංකික තරුණයන් දැන සිටිය යුතු කරුණු රැසක් හෙළි කළේය.
ඔහු පැවසූ අන්දමට කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර සහ කෘෂිකර්ම හා සත්ත්ව පාලනය යන ප්‍රධාන කර්මාන්තවලට අදාළ රැකියා සඳහා විදෙස් ශ්‍රමිකයන් බඳවාගැනීම සිදුකෙරේ.
“කොරියාව තුළ මේ රැකියා ක්ෂේත්‍ර හතරේ විශාල ශ්‍රම හිඟයක් පවතිනවා. ඒ අනුව අපි ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් 16ක් සමඟ EPS සඳහා ගිවිසුම් අස්සන් කර තිබෙනවා. ඒ ශ්‍රම හිඟයට හේතුව තමා කොරියාවේ ඉන්න ශ්‍රම බළකායෙන් සියයට 70කට වඩා උපාධි තිබෙනවා. ඉතින් එයාල සාමාන්‍ය රැකියා අවස්ථාවලින් සෑහීමකට පත්වන්නේ නැහැ. තරුණ පිරිස් තමයි කොරියාවේ ආර්ථික සංවර්ධනයේ කොඳු නාරටිය. හැබැයි මේ වෙද්දි තරුණ ජනගහනයත් විශාල ලෙස අඩු වේගෙන යනවා. ගොඩක් පවුල්වල ඉන්නේ එක් ළමයෙක් පමණයි. ජනගහන වර්ධනයේ අඩු වීමත් වෙනත් රටවලින් ශ්‍රමය හොයාගෙන යෑමට එක් ප්‍රධාන හේතුවක්” කිම් කතාබහට මුලපිරීය.
ශ්‍රී ලංකාව ද ඇතුළත්ව නේපාලය, තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාර්, බංග්ලාදේශය, චීනය, පිලිපීනය, කිරිගිස්ථානය, උස්බෙකිස්ථානය ඇතුළු ආසියානු රටවල් 16න්ම වාර්ෂිකව කොරියා රැකියා සඳහා බඳවාගන්නා ප්‍රමාණය 56,000කට අධික ය.
සාමාන්‍යයෙන් ලංකාවෙන් කොරියාවට වාර්ෂිකව රැකියා සඳහා පිටත්ව යන සංඛ්‍යාව 3,500ක් පමණ වේ. ඒ සඳහා ඉල්ලුම් කරන සංඛ්‍යාව 22,000කට අධික ය.
“ලාංකිකයෝ බුද්ධිමත්; අවංකයි”
කොරියාවට මෙන්ම එරට රැකියාවලටත් ලාංකිකයන් දක්වන කැමැත්ත සේම ඔවුන්ට කොරියාවෙන් ඇති ඉල්ලුම ද ඉන් හොඳින් පිළිබිඹු වේ.
“මම දන්නා තරමට ශ්‍රී ලංකාවේ අය කොරියාවට ගියාට පස්සේ තමන්ගේ උපරිම හැකියාවෙන් වැඩ කරනවා. ඒ අය ඉතාම සහයෝගයෙන් වැඩ කරන බුද්ධිමත් ජනතාවක්. ඒ හින්දා කොරියා සමාගම් ලාංකිකයන් බඳවාගන්න සෑහෙන කැමතියි” කිම් පවසයි.
“මම ඇත්තටම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ කිසිම දුර්වලතාවක් දකින්නේ නැහැ. එයාලා ඇත්තටම හොඳට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන් පිරිසක්. නමුත් එයාලට කොරියාවේ දේශගුණය නිසා ලොකු බලපෑමක් වෙන බව නම් මම දැකලා තියෙනවා. මොකද ලංකාව කියන්නේ ගොඩක් උණුසුම් දේශගුණයක් තියෙන රටක්. ඒත් කොරියාවේ ඍතු වෙනස් වීම් තියෙනවා. විශේෂයෙන්ම ශීත කාලයේදී ඔවුන් ගොඩක් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවක් පේනවා”.
කොරියා රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී විශේෂ වෘත්තීය නිපුණතා පැවතීම අත්‍යවශ්‍ය නොවුණ ද කොරියා භාෂාව දැන සිටිය යුතුම ය.
කෙසේ වෙතත් ලංකාවේ කොරියා භාෂා ඉගැන්වීම ගැන කිම් සෑහීමකට පත් වන්නේ නැත. බොහෝ සිසුන්ට භාෂා ප්‍රවීණතා විභාගයෙන් ලකුණු තිබුණ ද ඔවුන්ගේ භාෂා හැකියාව ගැන ප්‍රායෝගික ගැටලුවක් ඇති බව කිම්ගේ අදහසයි. ඒ අනුව කොරියා භාෂා ඉගැන්වීම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිරියේදී කොයිකා ආයතනය හා එක්ව ක්‍රියා කිරීමට ද EPS ආයතනය සැලසුම් කර තිබේ.
එහෙත් කොරියාවට ගිය පසු භාෂාව අල්ලාගැනීම ලාංකිකයෝ හපන්නුය. “දෙවැනි තුන්වැනි වතාවට කොරියාවේ යන ලාංකිකයෝ මට වඩා හොඳට කොරියන් කතා කරනවා” කිම් කියන්නේ සිනාසෙමිනි.
රක්ෂණ ආවරණ හතරක්
මේ අතර EPS ක්‍රමවේදය යටතේ හිමි වන තවත් වාසියක් වන්නේ දකුණු කොරියානුවන් හෝ ලාංකිකයන් කියා හිමි වන වැටුපේ වෙනසක් නොතිබීමයි. එමෙන්ම කොරියානු කම්කරු නීති ඉතා ශක්තිමත් බැවින් ලාංකිකයන්ට හෝ වෙනත් කිසිදු විදෙස් ශ්‍රමිකයෙකුට වෙනස් කොට සැලකීමක් කිරීමේ හැකියාවක් කොරියානු කර්මාන්ත හිමියන්ට නැත.
කොරියාවේ රැකියාවකට යන ලාංකිකයෙකුට එක් රක්ෂණාවරණයක් නොව රක්ෂණාවරණ හතරකම ප්රතිලාභ භුක්ති විඳීමට ද ඉඩකඩ සැලසේ. එය කොරියානුවන්ටවත් හිමි නොවන විදෙස් ශ්‍රමිකයන්ට පමණක් එරටදී හිමිවන පහසුකමකි.
ඉන් එක් රක්ෂණාවරණයක් වන්නේ රැකියාවෙන් ඉවත්වන විට හිමි වන විශ්‍රාම සැලසුම් රක්ෂණාවරණයකි. දෙවැන්න වන්නේ මාසික වැටුප නිසි අයුරින් නිසි දිනයේදීම ලබාගැනීම තහවුරු කිරීමට ඇති රක්ෂණයකි. තව ද රැකියාව නිමවා ලංකාවට පැමිණි පසු ද තම කොරියානු හාම්පුතුගෙන් යම් මුදලක් ලැබීමට ඇත්නම් එය ලබාගැනීම සඳහා ද රක්ෂණාවරණයක් පවතී. අවසාන වශයෙන් කොරියාවේ රැකියාව කරමින් සිටියදී ඇති වන වෛද්‍ය ප්‍රතිකාර ආදිය වෙනුවෙන් පවතින සෞඛ්‍ය රක්ෂණාවරණයක් ද ඔවුනට හිමි වේ.
මේ රක්ෂණාවරණ සම්බන්ධව ඇති තවත් අපූරු වරප්‍රසාදයක් වන්නේ එරට සිටියදී මින් කුමන හෝ රක්ෂණාවරණයකට අදාළ ප්රතිලාභ ලබාගැනීම අතපසු වුවහොත් ලංකාවට පැමිණි පසු ද මාස තුනක් ඇතුළත අදාළ රක්ෂණ හිමිකම් ලබාගැනීමට ඇති පහසුකමයි.
“එහේ කාර්මික නිෂ්පාදන අංශයේ සහ ඉදිකිරීම් අංශයේ රැකියාවලට ගිය අය ඉතා හොඳ ජීවිතයක් ගත කරනවා. හොඳ වැටුපකුත් ලබනවා. නමුත් ධීවර කර්මාන්තයේ රැකියාවලට ගිය අයට ඒ ජීවිතේට හුරු වෙන්න ටිකක් අමාරුයි. ධීවර අංශය තමයි රැකියා ලබාගන්න ලේසිම ක්ෂේත්රය. ඒත් ඒ රැකියාවලට යන ගොඩක් අය ලංකාවේ කවදාවත් ධීවර රැකියාව කරපු අය නෙමෙයි” කිම් පෙන්වා දෙයි.
එසේ වුවද කොරියාවේ රැකියාවක් කිරීමට තිබෙන අධික වුවමනාව නිසාම ඔවුහු ධීවර අංශයේ රැකියාවකට ඉල්ලුම් කර කොරියා යති. නමුත් අවසානයේදී ඔවුන්ට සිදු වන්නේ කෙසේ හෝ වෙනත් අංශයක රැකියාවක් සොයාගැනීමට ය. එය කොරියාව තුළ ඔවුන් සොයා යන ජීවිතය අසාර්ථක වීමට බලපාන අතරම ඔවුන්ට රැකියා ලබාදුන් කොරියානු ආයතන ද අසීරුතාවට පත් වීමකි.
කොරියානු රජය මෑතකදී හඳුන්වා දුන් නීති රීති මාලාව අනුව එරටදී සතියකට වැඩ කළ යුතු පැය ගණන 52කි. ඒ අනුව සතියේ දින පහ තුළ තමන්ගේ රාජකාරි හරිහැටි ඉටු කිරීමටත් අනතුරුව එළැඹෙන සති අන්තයේදී පබ් එකකට ගොස් හොඳින් විනෝද වීමටත් ශ්‍රමිකයන්ට අවකාශ උදා වේ.
“විදේශිකයෙක්ට කොරියාවේ ජීවත් වෙන එක එච්චර අමාරු නැහැ. එකම දේ කොරියානු භාෂාව ගැන තරමක අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. එහෙම නැතුව කොරියානුවෝ එක්ක අදහස් හුවමාරු කරගන්න, හිතවත් වෙන්න විදිහක් නැහැ. ඒ වගේ කොරියානු සංස්කෘතියට ගරු කිරීමත් අපි බලාපොරොත්තු වෙනවා” කිම් කීය.
අවම වැටුප රුපියල් දෙලක්ෂ හැටපන්දහසක්
ශ්‍රී ලංකාවේ EPS කාර්යාලයේ මෙහෙයවීමෙන් මේ වන විට දිවයින පුරා විසිරී සිටින තරුණ පිරිස්වලට කොරියා රැකියා පිළිබඳ තොරතුරු ගෙන යෑමේ සම්මන්ත්රණ මාලාවක් සංවිධානය වෙමින් තිබේ. ඒ යටතේ ගාල්ල, මාතර සහ තංගල්ල මෙන්ම වවුනියාව, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ කරාත් කොරියානු රැකියා ලබාගන්නා ආකාරය ගැන සමාජය දැනුවත් වී තිබේ. මේ කටයුතු සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයෙන් ද ඔවුනට විශාල සහායක් ලැබී තිබේ.
“ලංකාවේ ශ්‍රමිකයන්ගේ පළමු තේරීම කොරියාව බව මම අහල තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව හොඳ වැටුප් හිමි වීම වෙන්න ඕනෙ” කිම් සඳහන් කළේය.
ඔහු පවසන ආකාරයට දකුණු කොරියාවේ සේවය කරා යන ශ්‍රමිකයෙකුට හිමි වන අවම වැටුප අමෙරිකානු ඩොලර් 1,500ත් 2,000ත් අතර ප්‍රමාණයක් (ශ්‍රී ලංකා රුපියල් 265,000ත් 350,000ත් අතර අගයක්) ගනී.
“ලංකාවේ EPS මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා විදිහට මම ඇත්තටම කැමැතියි ලංකාවට දෙන රැකියා ප්‍රමාණය තවත් වැඩි කරන්න. මම ලංකාවට ඇවිත් තවම මාස 10යි. ඒ කාලය තුළ ලංකාවේ මිනිස්සු ගොඩක් බුද්ධිමත් අවංක මිනිස්සු පිරිසක් කියලා මට තේරුණා. ඔවුන් හැම වේලාවෙම හිනාවුණු මුහුණින් ඉන්නෙ. හැබැයි ඉතින් රැකියා අවස්ථා ප්‍රමාණය ගැන තීරණය කරන්නේ කොරියානු රජයට අනුබද්ධ කමිටුවකිනුයි” කිම් පැවසීය.
සේයාරුව - දුෂ්මන්ත මායාදුන්නේ