රට ජනාධිපතිවරණ උණුසුමේ ය. කාට කාටත් දැන් ජනතාව වැදගත් ය; ජනතාවගේ, විශේෂයෙන් තරුණ ප්‍රජාවගේ කැමැත්ත වැදගත් ය. අපේ අදහස් විමසන්නට උකටලී වූවෝ දැන් ජීවිතය අප හා බෙදා ගන්නට පොර කති. ඡන්දයක් සමීප වන විට රටේ තත්ත්වය කොහොමත් එහෙම ය. ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා ගන්නට හදන මේ ඡන්දයේදී දේශපාලකයන් වැඩිපුර ම උනන්දුවක් දක්වන බව පෙනෙන්නේ තරුණ ඡන්ද වලට ය. තරුණයන් ඉලක්ක කරගත් දේශපාලන වැඩසටහන් ද ක්‍රියාත්මක ය. තරුණයන්ට අවශ්‍ය රටේ නායකයා කවරෙක් විය හැකිදැයි අහඹු ලෙස හමුවන තරුණයන් නියැඳියකින් විමසා බලන්නට අප මහ මඟට බසින්නේ ඒ නිසා ය. මේ සටහන් කරන්නේ වාරණයකින් තොරව මගතොටදී අපට මුණගැසුණු තාරුණයන් තමන් ප්‍රාර්ථනා කරන ජනාධිපතිවරයා කුමන ආකාරයේ පුද්ගලයෙක් විය යුතු ද යන්න පිළිබඳ අපට කී කතාවය.
රවිඳු සෙනාල්ගේ ගම මිනුවන්ගොඩය. වයස අවුරුදු 21 කි.
“මා විශ්වාස කරන හැටියට රටට අවශ්‍ය වන්නේ නීතිගරුක නායකයෙක්. වංචා, දූෂණයට එරෙහිව සෘජු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෙක්. රටේ ආර්ථිකය ගොඩනඟන්න සුවිශේෂී අවධානයක් ලබා දිය හැකි දැක්මක් සහිත නායකයෙක්. රටේ අනන්‍යතාව තබාගෙන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට ඔහුට හැකිවිය යුතුයි. මා පෞද්ගලිකව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මුලින් ම ඔහු නීතිගරුක විය යුතුයි යන්නයි. ඔහු නීතිය නොවිය යුතුයි. ඉල්ලා තිබෙන අපේක්ෂකයන් අතරේ සුදුසුකම් තිබෙන පුද්ගලයෙක් ඉන්නවා. තීරණය කරලා නැහැ තාම කාටද ඡන්දේ දෙන්නෙ කියලා. මම තවම කල්පනා කරනවා.
පූර්ණිමා ගයත්‍රි ජීවත් වන්නේ කොළඹ බ්ලූමැන්ඩල් වල ය. ඇයගේ වයස අවුරුදු 21කි.
“ඇත්තට ම ජනාධිපතිවරණය ගැන කතා කරන්න මං වැඩි කැමැත්තක් නෑ. මොකද දේශපාලනය කියන දේ වර්තමානය වෙද්දි තියෙන්නෙ ඉතාම පහළ මට්ටමක. කලකිරීමක් තමයි තියෙන්නේ. ඇත්තට ම අපිට අනාගතයේ දවසක රටක් ඉතුරු වෙයිද කියන එක ප්‍රශ්නයක්. මේ රටේ ජානාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාගෙන් මා කාරණා කීපයක් බලාපොරොත්තු වෙනවා. 2020 ජනාධිපතිවරයා වෙන පුද්ගලයා අවශ්‍ය මොහොතේ තීරණ ගන්න අන් මතයට ඇහුමකන් දෙන පුද්ගලයෙක් වෙන්න ඕන. ඔහු විදේශීය බලවේග, අන්තවාදි බලවේගවලට හිස නොනමන, රටේ ආරක්ෂාව ගැන සහතිකයක් දිය හැකි පුද්ගලයෙක් විය යුතුයි. කල්පනා කරන්න දශක හතක් තිස්සේ අපේ රට ලබපු දියුණුව මොකක්ද කියලා. සාපේක්ෂව බැලුවොත් මීට දශක කිහිපයකට ඉහතදී අපේ රටට වඩා ගොඩක් දුප්පත් රටවල් අද ලෝකයේ දියුණු ම රටවල් වෙලා. රටේ නායකත්වය රට හරියට මෙහෙයවලා නෑ. ඉතින් අනාගතයේවත් රටක් කියලා කටින් කියන්න පුළුවන් තැනක් හදන එක තමයි ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකව අපේක්ෂා කරන්නේ.
මුනිෆර් රහුමාන්ගේ ගම කුරුණෑගලය. වයස අවුරුදු 20 කි.
“මේ වෙලාවෙ රටට අවශ්‍ය වෙන්නේ තරුණ නායකත්වයක්. නවීන ක්‍රම රටාවකට රට පාලනය කිරීමේ හැකියාව ඔහු සතු වෙන්න ඕන. ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති ඔහු දැන සිටිය යුතුය. නිදහස තහවුරු කිරීමට අවශ්‍ය සියලුම විධිවිධාන වගකීමෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සතු වගකීමක්. බෙදා වෙන් නොකර හැම ජාතියකට ම එකට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන, පෞද්ගලික කැමැත්ත පසෙකට දාලා සාමූහික අපේක්ෂා ඉටු කරන්න හැකි, උගත් දූරදර්ශී පාලකයෙක් මා අපේක්ෂා කරනවා. නිවැරදි වෙලාවේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් නායකයකුට තිබිය යුතුයි. මා ඡන්දේ පාවිච්චි කරන අපේක්ෂකයා තීන්දු කරලා ඉවරයි.
නදීශා නිලක්ෂිගේ ගම අනුරාධපුර ය. වයස අවුරුදු අවුරුදු 21 කි.
“මට හිතෙන හැටියට රටට අවශ්‍ය තරුණ නායකයෙක්. හොඳ අධ්‍යාපනයක් සහිත ඒ නායකයා ගතානුගතික පාරම්පරික දේශපාලන ප්‍රතිපත්ති නියෝජනය නොකරන අලුත් දැක්මක් සහිත ස්වාධීන නායකයෙක් වෙන්න ඕන. පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමයි මම පෞද්ගලිකව ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන්නේ. ඒ වගේම පරිසරයට ආදරය කරන නායකයෙක් වීම වැදගත්. අපි පරිසර හානියෙන් බැට කන මිනිස්සු. මගෙ දෙමව්පියන් ඒ පීඩනය විඳිනවා. රැල්ලට පරිසරය රකින්න හදන නායකයො නෙමෙයි, තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විහිලු ඇතුළත් නොකර එහි ඇති දේ ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකි විය යුතුයි. ජනතාව හඳුනාගන්නා අපක්ෂපාතිත්වය ගරු කරන නායකයෙක් වීම තමයි 2020 ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. සුදුසුකම් සහිත පුද්ගලයෝ පෙනී හිටියත් සම්පූර්ණ සුදුසුකම් තිබෙනවද කියන දේ ප්‍රශ්නයක්. මම තවම මගේ ඡන්දය ගැන කල්පනා කරනවා.
සුමුදු විශ්වනුවරඑළියේය. වයස අවුරුදු 21.
“2020 ජනාධිපති වරයා අනිවාර්යයෙන්ම රටේ ජනතාවගේ ජීවිතය හඳුනා ගැනීම වැදගත්. පොදු මතයට ගරු කරන කෙනෙක් වගේම රටේ මිනිස්සුන්ගේ දුක තේරෙන කෙනෙක් වෙන්න ඕන. ජාතිවාදය වෙනුවට ජාතිකත්වයට ගරු කරන සෘජු තීරණ ගැනීමේ හැකියාව අනිවාර්යෙන් ම තියෙන්න ඕන. රට මුල් තැන තබාගෙන ඉන්න, කිසිදු බලවේගයකට යටත් නොවන ස්වරූපයක් ඔහු සතු විය යුතුයි. දැනට ඡන්දය ලබා දෙන අපේක්ෂකයා තීරණය කරල තියෙන්නෙ.
පද්මඥානප්රිය ජීවත් වන්නේ ගාල්ලේය. අවුරුදු 22 කි.
“ඔහු හමුවන්නේ අහම්බෙන් කොළඹ පැමිණි මොහොතක ය. අනිවාර්යෙන් ම ඔහු දැඩි පාලනයක් ක්‍රියාත්මක කරන්න ඕන. අවශ්‍ය සෘජු තීරණ ගන්න ඕනි. ආරක්ෂාවට මුල්තැන දෙන්න ඕන. අනිවාර්යයෙන් ම රාජ්‍ය සේවකයන් වසර කිහිපයකට වරක් තාක්ෂණික වශයෙන් යාවත්කාලීන කරන්න ඕන. සෞඛ්‍ය හා කසළ කළමනාකරණය කිරීම පිළිබඳ ව මනා වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ණය ගැනීම නොව තිබෙන ණය ගෙවීමට විධිමත් ක්‍රම සැලසුම් කරන නායකයෙක් ඕන. අපනයනය ආර්ථිකය ගොඩනැංවීමට, දූෂණය ඉවත් කරන්නට ජනාධිපතිවරයා කැප විය යුතුයි. ප්‍රධාන පුරවැසියා ලෙස ඔහු මූලිකවම රටේ නීතියට ගරු කළ යුතුයි. මම ඡන්දය පාවිච්චි කරනවා. ඒ පුරවැසියෙක් විදිහට මගේ අයිතියක් නිසා. නමුත් මම අපේක්ෂා කරන මට්ටමේ කෙනෙක් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා නෑ.
මවිදු මදුෂාන්ට වයසඅවුරුදු 21 කි. ඔහු ජීවත් වන්නේපානදුරේය.
“නීතිය නීතිය ලෙස ක්‍රියාත්මක කරන ජනපතිවරයෙක් තමයි මේ වෙලාවේ රටට අවශ්‍ය වෙන්නේ. රටේ ආරක්ෂාව ගැන වඩා හොඳ අවධානයක් දෙන්න ඕනේ. අධ්‍යාපනය මුළුමනින් ම වෙනස් කරන්න ඕනේ. තරුණයන්ගේ ශ්‍රමය කාලය අපතේ නොයවා ප්‍රයෝජන ගන්න ඕනේ. මේ සියල්ලට ම විධිමත් ක්‍රමවේදයක් හදන එක තමයි ජනාධිපතිවරයෙක්ගෙන් පෞද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ. අපට තෝර ගන්න වෙන්නෙ ඉදිරිපත් කරලා තියන අපේක්ෂකයන් අතරින් කෙනෙක් නෙ. ඔවුන් අතරින් කෙනකුට දැනටමත් මම ඡන්දය දෙන්න තීන්දු කරලා ඉවරයි.
මහේෂිකා ප්රබෝධිනි බණ්ඩාර කඩවත ය. වයස අවුරුදු 21 කි.
“ඔහු රාජ්‍ය පාලනය ගැන අවබෝධයක් තියන කෙනෙක් වෙන්න ඕනේ. සංවර්ධනය විධිමත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කෙනෙක් වෙන්න ඕන. ඍජු තීරණ සහිත පුද්ගලයෙක් වීම ගොඩක් වැදගත්. පුද්ගලික ව පෞද්ගලික ව මා අපේක්ෂා කරන්නේ රට තුළ තිබිය යුතු සාධාරණත්වය සහ ආරක්ෂාව. අපේක්ෂයන් අතරින් මගේ මනාපය පළ කරන පුද්ගලයාත් අනික් අය වගේම මනුස්සයෙක්. මිනිස්සු හැමකෙනාම සම්පුර්ණයෙන් යහපත් අය නෙවෙයි. අපට තෝරා ගන්න තිබෙන්නෙ ඉදිරිපත් වෙලා ඉන්න අය අතරින් සාපේක්ෂව හොඳ කෙනා. රාජ්‍ය පාලනය ගැන අත්දැකීමක් තියෙන රට නිවැරදිව ගෙනියන්න පුළුවන් කියලා විශ්වාස කළ හැකි නායකයෙක් ගැන මට බලාපොරොත්තුවක් තිබෙනවා.
ටිෂානි ශෂී කුමාරි - සාවිත්‍රි විජේවර්ධන