
තිස් අවුරුදු යුද්ධය අවසන් වීමත් සමඟ අපේ රට අන්තර්ජාතික වශයෙන් ඇතිවූ සබඳතා වැඩිවීම නිසා සංචාරක ව්‍යාපාරයේ මෙන් ම ආනයන හා අපනයන ආර්ථිකයේ වේගවත් පිම්මක් ඉදිරියට ඇදී ගියේ ය.
එම නිසා අන්තර්ජාතික වශයෙන් සබඳතා තර කර ගැනීම පිණිස ගුවන් ගමන් පහසු කර ගැනීම මෙන් ම කඩිනම් කර ගැනීම ද අවශ්‍ය වූයේ ය.
මේ නිසා නව ගුවන් තොටුපොළ ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් මතු විය. මත්තල ගුවන් තොටුපොළ ඉදිවූයේත් කටුනායක ගුවන් ධාවන පථය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කෙළේත් ඒ නිසා ය.
උතුරු නැඟෙනහිර සංවර්ධනයේ පියවරක් ලෙසින් හා අන්තර්ජාතික සබඳතා තර කිරීමේ පියවරක් ද වශයෙන් පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු පිළිබඳව රජයේ අවධානය යොමු වුණේ ඒ අනුවය.
පලාලි ගුවන් තොටුපොළ යුද සමයේ භාවිත කෙරුණේ යුද කටයුතු සඳහා වන අතර තුවාල ලත් සෙබළුන් කඩිනමින් රෝහල්ගත කිරීමටත් මියගිය අය කොළඹට රැගෙන ඒමටත් ගුවන් තොටුපොළ වැඩි වශයෙන් භාවිත කෙරුණි.
ත්‍රිවිධ හමුදා සහ පොලීසිය නිලධාරීන්ගේ ගුවන් පහසුව ද ඒ හරහා සැලසුණ අතර ලයන් එයාර් යානයට ත්රස්තවාදීන් පහරදී බිම හෙළා එහි සිටි ගුවන් මඟීන් හා කාර්ය මණ්ඩලය ඝාතනය කිරීමත් සමඟ සිවිල් ගුවන් ගමන් අත් හිටුවනු ලැබිණි. යුද කටයුතු සඳහා ම වෙන්වූ ගුවන් තොටුපොළක් බවට පලාලි පත්වූයේ එයින් පසුවය.
![]() |
ජනාධිපතිවරයා විසින් යාපනය ගුවන් තොටුපොළ විවෘත කළ අවස්ථාව. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු අමාත්‍යවරුන් වන රවි කරුණානායක. ජෝන් අමරතුංග මහත්වරුද ඒ අවස්ථාවට සහභාගි වූහ. |
මේ නිසා එය අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කෙරෙන අතර එය අන්තර්ජාතික වශයෙන් පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කිරීමට රජය තීරණය කළේ ය. ඒ අනුව පලාලි ගුවන් තොටුපොළ අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණි. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවය. ඒ අනුමැතිය ඔස්සේ පසුගිය ජූලි මස 05 වැනිදා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 2250 කි. එයින් රුපියල් මිලියන 1950ක් ශ්‍රී ලංකා රජයෙන් ද රුපියල් මිලියන 300ක් ඉන්දීය රජයේ ආධාර ලෙසින් හිමි විය.
අක්කර දහස් ගණනක වපසරියක් පුරා විහිදී ඇති පලාලි ආරක්ෂිත කලාපයේ ගුවන් තොටුපොළට ද විශාල භූමියක් හිමිව තිබුණි. ගුවන් තොටුපොළ යාපනය අර්ධද්වීපයේ අධි ආරක්ෂක කලාපයක් තුළ පිහිටා තිබීම නිසා එහි ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් ඇති නොවීමද මේ සංවර්ධනයට වඩාත් විශාල රුකුලක් විය.
ඒ අනුව ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු අදියර 3ක් යටතේ සිදු කිරීමට යෝජනා වූ අතර පසුගියදා වනවිට එහි පළමු අදියරේ වැඩ කටයුතු නිමා කරන ලදී.
1 අදියර යටතේ මීටර් 950ක දිගකින් යුත් ගුවන් ධාවන පථය සම්පූර්ණයෙන් අලුතින් ඇතිරීම සිදු කෙරිණි.
ඒ අනුව අන්තර්ජාතික ගුවන් ගමන්හි යෙදෙන ආසන 72 ට අඩු කුඩා මඟී ගුවන් යානා වන Bombardier@ - 100 වර්ගයේ ගුවන් යානා ගොඩ බැස්සවීමට හා ගුවන් ගත කිරීමට පලාලි ගුවන් තොටුපොළට හැකියාව ලැබේ.
ජූලි මස 5 වැනිදා අරඹන ලද ධාවන පථයේ පූර්ණ අලුත්වැඩියා කටයුතු දැන් නිමවා ඇත. ඒ අනුව මඟී පර්යන්ත කටයුතු ද මේ වනවිට නිමවා ඇත. එසේ ම ආරක්ෂිතව අන්තර්ජාතික ලෙස ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කරන්නට අවශ්‍ය සන්නිවේදන කටයුතු ද ස්ථාපිත කර ඇත. ඒ බව පැහැදිලිව විද්‍යාමාන කරමින් පසුගිය 15 වැනිදා අඟහරුවාදා ඉන්දියාවේ චෙන්නායි සිට පලාලි දක්වා පළමු ගුවන් යානය අත්හදා බැලීම් චාරිකාවක් සඳහා මෙරටට පැමිණියේ ය. ඉන්දීය ජාතික ගුවන් සේවයට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගමේ අනුබද්ධ ගුවන් සමාගමක් වන ‘එලායන්ස් එයාර්’ සමාගමට අයත් මේ ගුවන් යානය මෙරටට පැමිණීමත් සමඟම එය මෙරට ගුවන් ඉතිහාසයට අලුත් පිටුවක් එක් කෙරිණ. ඒ මෙරට 3 වැනි අන්තර්ජාතික ගුවන් තොටුපොළ ලෙසින් පලාලි ගුවන් තොටුපොළ එක් කරමිනි.
ඒ එක් කිරීම් නිල උත්සවය පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දා (17) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙනි. මේ අවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද එක් විය. රවි කරුණානායක, ජෝන් අමරතුංග, විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා යන මැති ඇමැතිවරුන් ද උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ද ඒ සඳහා එක් වූහ.
ජනාධිපතිවරයා පසුව පලාලි ගුවන් තොටුපොළ ‘යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ’ ලෙසින් නම් කරමින් එහි සමරු ඵලකය විවෘත කරන ලදී. ගුවන් ගමන් පර්යන්තය ද ජනාධිපතිවරයා විසින් විවෘත කළ අතර අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ද ඊට එක් වූහ.
දෙවන ලෝක යුද්ධ සමයේ ‘එයාර් සිලෝන්’ නමින් දකුණු ඉන්දීය ගුවන් සේවාවන්හි ගමනාන්තයක් ලෙස පලාලි ගුවන් තොටුපොළ භාවිතා කර ඇත. එතරම් දීර්ඝ ඉතිහාසයක් මේ ගුවන් තොටුපොළට හිමිවේ.
එවන් ඉතිහාසයක් හිමි ගුවන් තොටුපොළක් දේශීය හා විදේශීය ජනතාවගේ ප්‍රයෝජනය පිණිස වැඩි දියුණු කිරීම ආරම්භ කිරීමට ඇමැති අර්ජුන රණතුංග මහතා තීරණය කෙළේ ය. ඒ අනුව හිමිවූ කැබිනට් අනුමැතියෙන් හය මසක් ඉක්ම යාමටත් පෙර පලාලි ගුවන් තොටුපොළ අන්තර්ජාතික ගුවන් තොටුපොළක් බවට පත් කරන්නට හැකි විය.
අර්ජුන රණතුංග ඇමැතිවරයා පෙන්වා දෙන්නේ එකවර විශාල මුදලක් වැය කර සමස්ත ගුවන් තොටුපොළම නවීකරණය කිරීමට කටයුතු නොකළ බවත් 1 අදියර යටතේ ප්‍රතිසංස්කරණය කරනු ලබන වියදම ලබා ගන්නා අතර ඊළඟ අදියර ක්‍රියාත්මක කරනු ලබන බවයි.
විශේෂයෙන් ම මෙම ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේදී යුද හා ගුවන් හමුදාව විශේෂ දායකත්වයක් ලබාදුන් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.
අර්ජුන රණතුංග ඇමැතිවරයා ලෝක වාර්තා දෙකකට හිමිකම් ලබාගත් බවත් ඉන් පළමුවැන්න ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට ලබාදීමත් දෙවැන්න කෙටි කලකින් අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ඉදිකිරීමත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.
එමෙන් ම ගුවන් තොටුපොළ සංවර්ධනය ඉදිරි අදියර ක්‍රියාත්මක වීමෙන් පසුව මැද පෙරදිග සිංගප්පූරුව, තායිලන්තය හා මැලේසියාව වැනි රටවලින් ද පලාලි දක්වා ගුවන් ගමන් සිදුකෙරෙන බව ද එතුමා පැවසීය. යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ආර්ථිකය පලාලි ගුවන් තොටුපොළ හරහා යළි ස්ථාපනය කිරීමට කටයුතු යොදන බව කී අගමැතිවරයා ඉදිරියේදී යාපනය හා කොළඹ අතර සිවිල් ගුවන් ගමන් ද යළි ආරම්භ කරනු ලබන බව ද කීය.
පලාලි ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සබඳතා වැඩි දියුණු කිරීමට, විශේෂයෙන් ඉන්දියාව හා සබඳතා වැඩි දියුණු කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇත. ඉන්දීය රජයෙන් ද ඒ සඳහා රුපියල් මිලියන 300ක් ලබා දුන්නේ එහෙයිනි.
විශේෂයෙන් ම ඉන්දියාව බලා ගමන් ගන්නා උතුරේ දෙමළ ජාතිකයන්ට කොළඹට පැමිණ තම කාලය වැය කිරීමකින් තොරව යාපනයේ සිටම පලාලි දක්වා ගොස් ඉන්දියාවට ගමන් කිරීමට පහසුකම් සලසාගත හැකි ය.
මේ වනවිට චෙන්නායි හා හයිද්‍රාබාද් දක්වා ගමන් ගන්නා ගුවන් මඟීන්ගෙන් වැඩි පිරිසක් උතුරේ ද්‍රවිඩ ජනතාව බව හෙළිවී ඇත. එම නිසා එය එම ජනතාවට පමණක් නොව ඉන්දියාවේ සිට උතුරු පළාතට පැමිණෙන ජනතාවට ද මේ ගුවන් තොටුපොළ හරහා විශාල සෙතක් වනු ඇත.
උතුරේ නිෂ්පාදන කොළඹට රැගෙන විත් ඉන්දියාව ඇතුළු රටවලට අපනයනය කිරීමට වඩා කඩිනමින් පලාලි හරහා අපනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
එමෙන් ම චෙන්නායි දක්වා වන ගුවන් කාලය විනාඩි 45 ක් දක්වා අඩුවීම නිසා ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ද අඩුවනු ඇත. එය ද මෙරට සියලු දෙනාටම ආර්ථික වාසියක් වනු ඇත. පලාලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පාලක මැදිරිය ඉදිකිරීම සඳහා ඉන්දීය රජය මඟින් ආධාර ලබා දුන්නේ ය. ගුවන් තොටුපොළට පමණක් නොව මෙරට දුම්රිය සේවය, කන්කසන්තුරේ වරාය මෙන් ම දකුණේ ධීවර වරායන් සංවර්ධනය කිරීමට ද රුහුණු විශ්ව විද්‍යාලයේ සම්මන්ත්රණ ශාලාවක් ඉදිකිරීමට පූර්ණ ආධාර ලබාදී ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.
![]() |
ගුවන් යානයට ජල උපහාරයක් |
යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ නිසා උතුරේ පමණක් නොව උතුරුමැද නැඟෙනහිර සිටින ජනතාවට ද පලාලි දක්වා ගොස් ඉන්දියාව ඇතුළු ගුවන් යානා සේවා සපයන රටවල් කරා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ හරහා දඹදිව වන්දනාවට යන්නන් උදෙසා ද යම් සහනයක් ලැබෙනු ඇත.
පලාලි ගුවන් තොටුපොළේ සෙසු අදියර ක්‍රියාත්මක වීමෙන් පසු ලක්වාසී සියලු ජනතාවට විශාල සෙතක් සැලසෙන්නේ එය පරිපූර්ණ අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය වන නිසා ය. ඒ අනුව 2 අදියර යටතේ ප්‍රධාන ගුවන් ධාවන පථය කිලෝමීටර් 1.5ක් දක්වා අලුතින් ම සකස් කිරීම සිදු කෙරේ. එය සම්පූර්ණ කිරීමෙන් පසුව ගුවන් තොටුපොළ වර්ග කිලෝමීටර් 1800 ක ගුවන් අවකාශයක් ආවරණය වන පරිදි ගුවන් යානා හැසිරවීමට හැකිවනු ඇත.
ව්‍යාපෘතිය අවසන් අදියර වන 3 වන අදියරේදී ප්‍රධාන ගුවන් ධාවන පථය කිලෝමීටර් 2.3ක් දක්වා සම්පූර්ණයෙන් ම අතිරීම සිදු කෙරේ.
එම අදියර නිම කෙරෙන්නේ මඟී පර්යන්තයන් සියල්ලම අන්තර්ජාතික ප්‍රමිතියට සකස් කිරීමත් සමඟිනි. ඒ සියලු කටයුතු සම්පූර්ණ කිරීමත් සමඟ AL – 320, AL – 321 වැනි ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට පලාලි ගුවන් තොටුපොළට හැකියාව ලැබෙනු ඇත.
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ මෙන් ම මෙරට තවත් අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ලෝක ගුවන් යානා සිතියමට එක්වන්නේ මෙරට සංවර්ධනය නව මං පෙතක් පෙන්නුම් කරමිනි.
පලාලි ගුවන් තොටුපොළ හරහා උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට නම් ගුවන් තොටුපොළ දක්වා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කළ යුතු ය. විශේෂයෙන් ම යාපනය - පලාලි මාර්ගයේ ගමන් කර ගුවන් තොටුපොළට යන මාර්ගය වෙනුවට මේ වනවිට යාපනය - කන්කසන්තුරේ මාර්ගයේ කීරමලේ හන්දියෙන් හැරී මාවිත්තපුරම් හරහා නව මාර්ගයක් පලාලි ගුවන් තොටුපොළ දක්වා ඉදිකර ඇත. ඒ - 9 මාර්ගයේ සිට එම මාර්ගයෙන් ගුවන් තොටුපොළට ළඟාවීමට කිලෝමීටර් 4.1ක් ගමන් කළ යුතු ය. ඒ සඳහා ගුවන් ගමන් හා සම්බන්ධව ප්‍රවාහන සේවා ආරම්භ කළ යුතු වන්නේ එලායන්ස් ගුවන් සේවාව දිනපතා ම චෙන්නායි දක්වා ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු කර ඇති හෙයිනි. ඉදිරියේදී දේශීය මෙන්ම ඉන්දියාවේ වෙනත් ගුවන් සමාගම්ද ඉන්දියාවේ අනෙක් ගමනාන්තයන් සදහා ගුවන් ගමන් ඇරැඹෙනු ඇත.
සේයාරූ - සුදත් මලවීර