
අද අපි දේශනා කරන්නට යෙදුණේ බුදුරජාණන් වහන්සේගේ නුවණ පිළිබඳ ව සඳහන් වන ගාථා පාඨයක්. බුදුන් රජාණන්වහන්සේගේ නුවණ පිළිබඳ ව බොහෝම අලංකාර ආකාරයට සඳහන් වනවා. බුදුරජාණන්වහන්සේ දිනක් භික්ෂූන්ට සමීපයට කතා කරලා දේශනා කරනවා,මහණෙනි! යම්කිසි කෙනෙක්ට චේතෝපරිය ඥානය නැතිනම් ඒ කියන්නේ අනුන්ගේ සිත දැකීමේ නුවණ නැතිනම් ඒ තැනැත්තාට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයිද නැතිද කියන කාරණාව අවබෝධ කරගැනීමට තියෙන්නේ එක ක්‍රමයයි; ඒ ක්‍රමය තමයි විමසීම.
අනුන්ගේ සිත දැකීමේ නුවණ ඇතිනම් උන්වහන්සේ කෙලෙස් ඇති කෙනෙක් ද නැති කෙනෙක් ද කියලා දැනගැනීමට හැකියාව තියෙනවා. නමුත් එසේ නැති නම් ගුරු උපදේශ ඇතිවද ගුරුඋපදේශ නැතිවද ධර්මය අවබෝධ කරගත්තේ කියලා හෝ එසේ නැති කෙනෙක්ද කියලා දැනගන්නට පුළුවන්. එසේ යම් කෙනෙක්ගේ සිත දැනගන්නට බැරි කෙනෙක්ට ඒ සිතක් දැනගැනීමේ හැකියාව ඇතිවෙන්නේ විමසීමෙනුයි.
උන්වහන්සේ ම විමසීම කියන කාරණාව පැහැදිලි කරනවා; ඇස මුල් වෙලා උන්වහන්සේ ගේ හිත තුළ කෙලෙස් ඇතිවුණාද කියන කාරණාව, ඒ වගේම කන මුල්වෙලා උන්වහන්සේ ගේ හිත තුළ කෙලෙස් හට ගත්තා ද කියන කාරණාව. ඇත්තටම ඇස මුල් වෙලා කවුරුත් තුළ කෙලෙස් හට ගන්නේ නැහැ. ඇස යනු අචේතනික වස්තුවක්. කන මුල්වෙලත් කෙලෙස් හට ගන්නේ නැහැ; කන කියන්නේ අචේතනික වස්තුවක්. කෙලෙස් හට ගන්නේ කන මුල්වෙලා; ඇසමුල් වෙලා හට ගන්න විඤ්ඤාණයෙනුයි. විඤ්ඤාණය කියලා බුද්ධ සාසනයේ හඳුන්වන්නේ උගන්වන්නේ දැනගැනීම කියන කාරණාවයි. තව විදිහකින් කිවහොත් දැනගැනීම කියන්නේ සිතටයි. ඇස මුල්වෙලා සිතක් හටගන්නේ නිසායි. හැබැයි ඇහැ මුල්වෙලා හටගත්තාට මේ සිත හටගන්නේ බුදුරජාණන්වහන්සේ ගේ ධර්මයට අනුව හදවත ඇසුරු කොට ගෙන පවතින අඩපතක තරම් ලේ ධාතුවක් ඇසුරු කරගෙනයි. නමුත් හදවතින් පිටතට ලේ ධාතුව ගලාගෙන යනවා. ධර්මයේ සඳහන් වෙනවා මේ සිත් හට ගන්න ලේ ධාතුව පිටතට ගමන් කරන ලේ ධාතුවත් සමඟ ගමන් කිරීමක් වෙන්නෙැ නැහැ කියලා. එය බුදු දහමින් උගන්වන විශේෂිත කාරණාවක්. මේ ලේ කොටස මරණයට පත් වු පසුව සම්පුර්ණයෙන් ම නැතිවෙලා යන බව උගන්වලා තියෙනවා. අපේ සමාන්‍ය ලෝකයේ පිළිගැනීම තථාගතයන් පහළ වීමට පෙර භෞතිකවාදීන් සඳහන් කළේ සිත් හටගන්න ප්‍රධාන වෙන්නේ මොළයයි කියලා. ඒවගේම උන්වහන්සේ පහළ වීමට පෙර සිට විඥානවාදීන් සිත පිළිබඳ ව සඳහන් කළේ සිත පිළිබඳව කල්පනා කරපු, හිත දියුණු කරන්නට සිතපු අය නුවණින් දැක්කා; සිත හට ගන්නේ හදවත ඇතුළතයි කියන කාරණාව. බුදුන්වහන්සේ පහළ වීමට පෙරයි මේ දේ දැනගත්තේ. උන්වහන්සේ එය සම්පූර්ණයෙන් දැනගත්තා, අවබෝධ කරගත්තා. ඇස මුල් වෙලා, නාසය මුල් වෙලා, දිව මුල් වෙලා, ශරිරය මුල් වෙලා කන මුල්වෙලා හටගන්නා සිතක් තියෙනවා. ඒවගේම සිතුවිලි දැනගැනීම කරන්නේ හිතින් නිසා මනස මුල්වෙලා සිතක් හටගන්නවා. මේ සිත් තථාගතයන් වහන්සේ තුළත් හට ගත්තා. කෙනෙක් කල්පනා කරනවා, උන්වහන්සේගේ ධර්මය තුළින් කල්පනා කරලා බලනවා; ආග්‍රාණය කිරීමේදි ආහාර පාන ගන්නා විට උන්වහන්සේ කායික ස්පර්ශයේදි කල්පනා කරන විට කොහොමද කියලා. දැන් අපිට උන්වහන්සේ පිළිබඳව දැනගන්නට ක්‍රමයක් නැහැ. එසේ හැකි වන්නේ උන්වහන්සේ ව පරික්ෂා කිරීමට ඇති ධර්මයෙන් පමණයි. ධර්මයෙන් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ව පරික්ෂා කරලා බලන්නට ඕන; එයින් තේරුම් ගන්නට ඕන උන්වහන්සේට ඇසින් රූප දැකීමත් සමඟ ඇතිවෙන විඤ්ඤාණයේන් චක්කු විඤ්ඤාණය නිසා රාගය උපදිනවාද කියලා. ඒ වගේම ද්වේශය, මෝහය ඉපදිලා තියනවාද කියන කාරණා. ඒ අපි ධර්මයෙන් විමසා බලා අවබෝධ කරගන්නට ඕන. ඒවගේම උන්වහන්සේට කනට ඇසෙන ශබ්ධයක් මුල්කරගෙන රාගය ද්වේශය මෝහය ඉපදුණාද කියලා; කියන කාරණාව නුවණින් විමසා බලන්නට ඕන. නාසය මුල්කරගෙන ගඳ, සුවඳ මුල්කරගෙන රාගය, ද්වේශය, මෝහය හටගත්තා කියලා නුවණින් විමසා බලන්නට ඕන. ඒ වගේම දිවට දැනෙන රසය පිළිබඳව, කයට ලැබුණ පහස, මනසට ඇති වෙන සිතුවිලි පිළිබඳව කෙලෙස් ඉපදුණාද කියන කාරණා පිළිබඳව පරික්ෂා කරලා තේරුම් ගන්නට ඕන. යමෙක් පරික්ෂා කළා නම් ඒ තැනැත්තාට අවබෝධ වෙනවා, උන්වහන්සේට මේ ආයතනවලට ලැබුණ අරමුණු නිසා කෙලෙස ඉපදිලා නැහැ කියන කාරණාව. ඇයි කෙලෙස් උපදින්නට නැතිවෙන්න හේතු කාරණාව.මේ කෙලෙස් ඇතිවෙන්න හේතුව මේ චිත්ත සන්තානය. මේ හැමඅවස්ථාවේ ම ක්‍රියාත්මකව නොපවතින අරමුණක් ලැබුණාම විතරක් අවදි වෙලා ක්‍රියාත්මක වෙන කෙලෙස් විශේෂයක්. දැන් අපි තුළ වුවත් එහෙමයි. මේ බණ කියවන වෙලාවේ ඔබේ හිත තුළ කෙලෙස් හට ගන්නේ නැහැ; රාගය, ද්වේෂය, මෝහය හටගන්නේ නැහැ; මානය විචිකිච්ඡාව නැහැ. නමුත් අරමුණක් අාවොත්, ඒ කියන්නේ රූපයක්, ශබ්ධයක්, ගන්ධයක්, ස්පර්ශයක්, රසයක්, පහසක් වැනි එක සිතුවිල්ලක් හරි ආවොතින් ආසාව පැන නඟිනවා. තරහව ඇතිවෙන සිතුවිලි ආවොත්, සැකය ඇතිවෙන සිතුවිලි ආවොතින්, සැකය ඇති වෙනවා. මානය ඇතිවෙන්න හේතුවක් ඇතිවුවහොත් මානය ඇතිවෙනවා. හිතේ නිදාගෙන ඉන්න මේ කෙලෙස් මතුවෙනවා.මේ වට අපි කියන්නේ අනුසය ධර්ම කියලා. නිදාගෙන සිටීම කියන අදහසයි; සයනය කරන කෙලෙස් නමිනුයි මේවා හඳුන්වන්නේ. නිදාගෙන සිටින කෙලෙස් නිසා තමයි අපිට දකින දේවල් ඔස්සේ කෙලෙස් ඇතිවෙන්නේ. ඇසෙන දේවල් කෙලෙස් ඇතිවීම වගේම රස විඳින දේවල් ඔස්සේ කෙලෙස් ඇතිවීමකුත් වෙනවා. ආග්‍රාණය කරන දේවල් ඔස්සේ කෙලෙස් හටගන්නවා. අනුසය ස්වභාවය නිසා ස්පර්ශය මුල්වෙලා කෙලෙස් හටගන්නවා. ඒ එකක්වත් නැතිව සිතට එන සිතුවිලි මුල්වෙලා කෙලෙස් හටගන්නවා. ඒ ඇයි එහෙම වෙන්නේ. හිතේ නිදා ගන සිටින කෙලෙස් නිසා මෙහෙම වෙන්නේ. තථාගතයන් වහන්සේ මේ අනුසය ස්වභාවය සම්පුර්ණෙයෙන් ම නැති කළා. ඒනිසා උන්වහන්සේ ගේ සිත තුළ දකින රූප මුල්වීම, ඇසෙන ශබ්ධ ආග්‍රණය ගඳ සුවද මුල්වෙලා කයට දැනෙන පහස, සිතට දැනෙන සිතුවිලි මුල්වෙලා කෙලෙස් හටගන්නේ නැහැ; මනසට එන සිතුවිලි මුල්වෙලා කෙලෙස් ඇති වුනේ නැහැ. ඒකට හේතුව වුණේ අනුසය ස්වභාවය නිසා. ඒනිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ශ්‍රවකයා තේරුම් ගන්නට ඕන. සමාධි ආලෝකයක් කෙනෙක්ගේ හදවතට යොමුකරනවා; ඉන් පසුව එයාට දැනගන්නට පුළුවන් වෙනවා සිත් හටගන්නට ඇතිවන ලේවල වර්ණය ඒ වර්ණය තවත් අධීක්ෂණය කරනකොට ඒ සිතට අනුව වර්ණය වෙනස්වීමට පටන් ගන්නවා. එයට සිත යොමු කරමින් සිටින විට ධර්මය සඳහන් කරන ආකාරයට මොනවා හරි ඇහෙනවා වගේ මේ තැනැත්තාට ඇසෙන්නට පටන් ගන්නවා. ඒ අනුවයි සිත් දැනගන්නට හැකිවුණේ. එක්තරා ධර්මයකට සහභාගි වෙලා සිටින විට ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ආයුෂ්මතුන් හිත එකතැනකට තියාගන්න ඕන; එක තැන වාඩිවෙලා හිටියාට වැඩක් නැහැ කියලා. උන්වහන්සේට ඒ අවස්ථාවේ පොඩි අායුෂ්මතුන් කියනවා මම හිදගෙන ඉන්නවා වගේ තමයි හිතත් එක අරමුණක කියලා. ඉන්පසුව අහනවා ඔබවහන්සේ කොහොමද කියන්නේ මගේ හිත එක අරමුණක නැහැ කියලා; එහෙම කියන්න පුළුවන් ද කියලා. ඒ අවස්ථාවේ දි උන්වහන්සේ පොඩි ස්වාමින්වහන්සේ සිතමින් සිටි කාරණාව කියන්නට පටන්ගත්තා; කිසිදු දෙයක් අඩුවක් නැතිව හිතමින් සිටි සියල්ල කිව්වා. කෙසේ ද මේ සිත දකින්නේ කියලා පොඩි උන්වහන්සේ ප්‍රශ්න කරනවිට මේ ආකාරයටයි මේ හිත දකින්නේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට පටන් ගත්තා . පසුකලක ධර්මයේදි මා දුටුවා වෙන කෙනෙකුගේ හිත දැකගන්න ධර්මය තුළ පැහැදිලි කරලා තියන කාරණාව. මෙයින් පැහැදිලි වෙනවා යමෙක්ගේ සිත දැක්කා නම් ඒ සියල්ලෝම දැක්කේ හදවතට හිත යොමු කරලා ලේ පරික්ෂාවක් මුල් කරගෙනයි කියලා. තර්කයක් විතර්කයක් නැතුව අත්දැකීම් ලබපු අයට පුළුවන්. සිත් සහ සිත්වල ලේ ධාතුව හටගන්නේ කෙලෙසද කියලා; සර්වඥයන් වහන්සේගේ ඉගැනීම් අනුව. කෙසේ නමුත් අපිට ඔබට මටවත් එය පරික්ෂා කරන්ට හැකියාවක් නැහැ. බුදුන්ගේ නොව වෙනත් කෙනෙකුගේ වත් හිත දකින්න හිත දියුණු කරලා නැහැ අපි. ඒ තැනැත්තා බුදුන්වහන්සේ දකින්නේ කොහොමද කියලා පරික්ෂා කර බැලීමෙන් පමණයි.
උන්වහන්සේ විමංසන කියන සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා උන්වහන්සේගේ කායික ක්‍රියා සම්බන්ධයෙන්. එයින් පසු වාචසික ක්‍රියා පිළිබඳ ව පරික්ෂා කරමින් බලන්නට ඕන; උන්වහන්සේ බොරු කිව්වා ද, කේලාම් කිව්වාද, පරුස වචන කිව්වාද, හිස් වචන කිව්වාද කියලා ධර්මය තුළින් අපිට පරික්ෂා කරලා බැලුවත් කිසිදු අවස්ථාවක අපි ඒ ගැන දැකලා නැහැ. ඒ අනුව අපි දැනගන්නට ඕන විමසීමෙන් සම්මා සම්බුදු කෙනෙක් කියන කාරණාව. කායික වචනය අනුව බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා අපි තේරම් ගන්නට ඕන. ඉන්පසුව තවත් පරික්ෂා කරලා බලන්න උන්වහන්සේ පිළිබඳව. දේශනාව කරන්නෙ උන්වහන්සේ සමඟ ඉන්න පිරිසටයි. මේ දේශනාව කරන්නේ උන්වහන්සේ සමඟ නිතරම ඉන්න භික්ෂුන්ට යි. ඒ පිරිසට පරික්ෂා කරලා බලන්නයි මේ කියන්නේ.
පරික්ෂා කර බලන්න මම අකුසල රැස් කරනවා ද කියලා. ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බ්‍රහ්ම චරියාව, බොරු කීම, කේලාම් කීම, අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ටි ඔබ පරික්ෂා කර බලන්න. මම අකුසල් කරන කෙනෙක් ද කියලා ඒ කාලයේ භික්ෂුන්ට පුළුවන් ඒ දේවල් දකින්න. අද අපිට එසේ කරන්නට බැහැ . නමුත් ඉස්සර කාලයේ පුළුවන්. හොඳින් පරික්ෂා කරන්නට පුළුවන් සර්ව:ඥයන් වහන්සේ අකුසල් කරන කෙනෙක් ද කියලා. සම්මා සම්බුදු කෙනෙක් කියන කාරණාව තේරුම්ගන්න කියලා. තවත් පරික්ෂා කර බලන්න සමහර අය මිශ්‍ර පැවැතුම් ඇති අය. අපි අපේ ජීවිතේ පිනුත් කරනවා, පව්ත් කරනවා. අපේ හිත තුළ අධික අශාව ඇතිවීමත් පවක්. පින් පව් මිශ්‍රිත ජිවිතයක් කියන්නේ කෙලෙස් ඇති අයගේ ස්වභාවයයි. වැඩිපුර පව් කරන අයත්, වැඩිපුර පින් කරන අයත් ඉන්නවා. වැඩියෙන් පව් කරන, අඩුවෙන් පින් කරන, මිශ්‍රිත ජිවිත ගතකරන අයයි බහුතරයක් ඉන්නේ. නමුත් බුදුරජාණන්වහන්සේ කියනවා මට තියෙන්නේ එවැනි මිශ්‍රිත ජිවිතයක් ද කියලා බලන්න කියලා. එසේ පරික්ෂා කර බැලුවාම සර්වඥයන් වහන්සේ මිශ්‍රිත ජිවිතයක් ගතකරන කෙනෙක් නොවන බව උන්වහන්සේ දේශනා කරනවා; හැංගිලාවත් පව් කරන්නේ නැහැ. හැංගිලා පව් කරන අයත් ඉන්නවා. වෙන අයට තේරුම්ගන්න බැරි විදියට පව් කරන අයත් ඉන්නවා. නමුත් සර්වඥයන් වහන්සේ සැඟවිලාවත් පාප කර්ම කළේ නැහැ . මේ ආකාරයට උන්වහන්සේගේ සම්මා සම්බුද්ධා කියන කාරණාව අපි වටහාගත යුතුයි. උන්වහන්සේ පිළිබඳව තේරුම් ගැනීමට හැකි තවත් සුත්‍ර දේශනා කිහිපයක් තියෙනවා. මේවා ඉගන ගැනීම පිණිසයි, අපි සඳහන් කරන්නේ. උන්වහන්සේ පරික්ෂා කිරීමට අද ජීවමානව උන්වහන්සේ නොමැති නිසා අපිට පුළුවන් ඉගෙන ගෙන උන්වහන්සේ තේරුම් ගන්න.
ගුරු උපදේශ නැතිව චතුර්රාර්ය සත්‍ය අවබෝධ කරගත් කෙනෙක්. සීලය, සමාධිය, ප්‍රඥාව අවබෝධ කළ කෙනෙක්, නිවන් මාර්ගය අවබෝධ කරගත් කෙනෙක්; මේ ලෝක ධාතුව අවබෝධ කරගත් කෙනෙක්; දමනය කළ යුතු අය දමනය කළ කෙනෙක්; දෙවියන්ට මිනිසුන්ට ශාස්තෘ කෙනෙක්. තමන්ට අවබෝධ වූ ධර්මය අන් අයට අවබෝධ කරවූ කෙනෙක්. ඒවගේම සියල්ල දන්නා දකින කෙනෙක්. ඒ වගේ අනන්ත ගුණ ඇති කෙනෙක් පරික්ෂා කොට බලා ඉගෙන ගෙන උන්වහන්සේව තේරුම් ගතයුතු කාරණා මොනවාද කියලා කියන්න. මම කවුද, මම උන්වහන්සේ ගැන දන්නේ ඉතා ස්වල්පයක් පමණයි. මාගේ සර්වඥයන් වහන්සේ ගැන මා දන්නේ ටිකයි. මහ මුහුදේ ජලය සමාන නම් උන්වහන්සේ ගේ ගුණය ඒ ජලයෙන් ලෝම කූපයක් තරම් ස්වල්පයැයි මා සිතනවා. එතරම් ඒ සර්වඥයන් වහන්සේ ගේ ගුණය අනන්තයි. එබඳු අනන්ත ගුණ ඇති ඒ මහෝත්තමයන් වහන්සේ ට ආදරයෙන් ගෞරවයෙන් යුතු ව වැද නමස්කාර කරමි; මාගේ නමස්කාරය වේවා! අපි මේ මෙතෙක් රැස් කරගත්තාවූ ධර්මය පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කරන්න.