
ලෝකයේ බිලියන දෙකකට වැඩි පිරිසක් තේ පානය කරති. බොහෝ දෙනෙකු තේ කෝප්පයට කිරි සහ සීනි ටිකක් එකතු කිරීමේ පුරුද්දක් ඇති කරගෙන ඇත. තේවලට කිරි හෝ කිරිවලට තේ, කෝපි, කොකෝවා සහ සීනි මිශ්‍ර කර පානය කිරීමේ පුරුද්ද යුරෝපා ජාතීන් හඳුන්වා දුන් පුරුද්දක් වෙයි.
ප්ලේන්ටි ද... ?, ටී ද....? තේ එකක් බොන්න කඩේකට ගොඩ වූ විට, එහෙමත් නැති නම් ගෙදරකට පැමිණි අමුත්තෙකුට සලකන්නට පෙර එසේ ඇසීම සාමාන්‍ය දෙයකි. අපේ රටේ “ප්ලේන්ටී” කියන්නේ නිකම්ම තේවලට ය. “ටී” කියන්නේ කිරි තේවලට ය. බොහෝ දෙනෙකු කිරිවලට පදමට තේ කහට දමාගෙන පානය කිරීමට වැඩි රුචියක් දක්වන අතර කිරි තේ සහ ප්ලේන් ටී, මේ කවර ආකාරයට පානය කළ ද බොහෝ දෙනෙක් සීනි පදමට දමාගෙන පානය කරන්නට ද පුරුදුව සිටිති.
ලංකාවේ ජනතාව ජලය ළඟට පානය කරන ඊළඟ පානය වන්නේ තේය. තේ කොළ මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් ද වී ඇත. නමුත් බොහෝ දෙනෙකු තේ පානය කරන්නේ පුරුද්දට සහ ප්‍රමෝදය සඳහා මිස එහි සෞඛ්‍ය ප්රතිලාභ පිළිබඳ සැලකිලිමත්ව නොවේ. කිරිවලට තේ, කෝපි, කොකෝවා සහ සීනි එක් කර පානය කිරීමේ පුරුද්ද රසය පිළිබඳ කාරණයක් වන නමුත්, විද්‍යාඥයන් පවසන්නේ තේ, කෝපි, කොකෝවාවලට එක් කරන කිරි සහ සීනි මඟින්, එකී ස්වාභාවික පාන වර්ගවලින් අපගේ සෞඛ්‍යයට ලැබෙන සියලු ප්රතිලාභ සම්පූර්ණයෙන්ම නිෂේධනය කළ හැකි බවයි.
තේ පානය කිරීමෙන්, පුළුල් පරාසයක රෝග නිවාරණ ගුණයක්
බොහෝ අය තේ පානය කරන්නේ තේවල තිබෙන උත්තේජන ගුණය සහ එය ප්‍රසන්න, ප්‍රබෝධවත් පානයක් වන නිසාය. එහෙත් තේවල ඉතාම වාසි සහගත සෞඛ්‍ය ප්රතිලාභ රාශියක් ඇත. ඒවා පුරාණ චීන්නු සහ ඉන්දියානුවෝ මැනවින් දැන සිටියහ. තේ, ජලය ළඟට මිනිසුන් පරිභෝජනය කරන ලාභදායකම සහ සුලභම පානය වෙයි. ඈත අතීතයේ සිටම තේ පානය කිරීම සෞඛ්‍යයට හිතකර පුරුද්දක් ලෙස සැලකේ. නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ එම විශ්වාසය සඳහා විද්‍යාත්මක පදනමක් සපයයි. විද්‍යාත්මක සාහිත්‍යයේ ප්‍රකාශයට පත් කෙරෙන සෑම නව අධ්‍යයනයක් සමඟම තේ පානයෙන් සෞඛ්‍යමය වාසි ලබා දෙන බවට වන සාක්ෂි ශක්තිමත් කෙරෙයි.
තේ පැළෑටිය (Camellia sinensis) වසර දහස් ගණනක් තිස්සේ වගා කර ඇති අතර, එහි කොළ ඖෂධීය අරමුණු සඳහා භාවිතා කර තිබේ. තේවල ඖෂධීය ප්රතිලාභ බොහෝ ප්‍රමාණයක් සොයාගෙන තිබේ. සත්ත්ව හා මානව අධ්‍යයනයන්ගෙන් හරිත තේවල මෙන්ම කළු තේ වල ද පිළිකා වැළැක්වීමේ හැකියාව සොයාගෙන ඇත. හෘදයවාහිනී හා පරිවෘත්තීය සෞඛ්‍යය නඩත්තු කිරීම ඇතුළු සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරන බොහෝ මානව රෝග වැළැක්වීම සඳහා තේ පරිභෝජනය ප්‍රයෝජනවත් බව පෙන්වා දී තිබේ. විවිධ අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත හා කළු තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක, පොලිෆීනෝලික සංයෝග හෘදය වාහිනී රෝග වැළැක්වීමේදී, විශේෂයෙන් ධමනි සිහින් වීම සහ කිරීටක හෘද රෝග වැළැක්වීම සඳහා හිතකර ලෙස සම්බන්ධ වී ඇති බවය. ඊට අමතරව, වයස්ගත වීම පාලනය කිරීම, පිළිකා රෝග, දියවැඩියාව වැළැක්වීම සහ සෞඛ්‍යයට හිතකර වෙනත් බොහෝ ප්රතිලාභ තේ පරිභෝජනය සමඟ සම්බන්ධ වෙයි. හරිත හා කළු තේවල ප්‍රධාන පොලිපීනෝලික් සංයෝග (Polyphenolic compounds) වන කැටෙචින්ස් සහ තෙයෆ්ලැවින්ස් (Catechins and Theaflavins) තේවල භෞතික සහ රසායනික විද්‍යාත්මක බලපෑම් බොහොමයකට වගකිව යුතු බවට සාක්ෂි රැස්වෙමින් තිබේ.
තේවල එකී සියලු ඖෂධීය ගුණ ඔබට ලැබෙන්නේ නියමාකාරයෙන් තේ පානය කිරීමෙනි. ඔබ ඔබේ තේවලට කිරි හෝ සීනි එකතු කළහොත්, එමඟින් තේවල තිබෙන හිතකර ගුණ මුළුමනින්ම පාහේ පහව යා හැකි බව විද්‍යාඥයෝ අවධාරණය කරති.
කිරි, තේවලට බලපාන්නේ කෙසේද?
අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කෙරෙන “යුරෝපියන් සොසයිටි ඔෆ් කාර්ඩියෝලොජි” නමති සඟරාවේ පළ කර තිබෙන පර්යේෂණ වාර්තාවකින් හෙළි වී ඇත්තේ, කිරි එකතු කිරීමෙන් තේ වලින් සිදු කෙරෙන ඉතා වැදගත් මෙහෙයක් වන, හෘදය වාහිනී පද්ධතියට ඇති කරන ආරක්ෂිත බලපෑම මුළුමනින්ම අතුගා දැමෙන බවයි. පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙන්නේ, ධමනි ලිහිල් කිරීමට හා පුළුල් කිරීමට තේවල ඇති හැකියාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කිරීමේ ගුණය, කිරි එකතු කිරීමෙන් මුළුමනින්ම අවුල් වන බවය.
තේ මඟින් රුධිරවාහිනී අභ්‍යන්තර බිත්ති මත නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම මඟින් රුධිර නාල ඉහිල් කරන බව සොයාගෙන තිබේ. කිරි එකතු කිරීමෙන් එම හැකියාව දුර්වල කරන බව සොයාගෙන ඇත. විශේෂඥයන් කියන්නේ කිරිවල අඩංගු ඇලෙනසුලු කේසීන් ප්‍රෝටීනය නිසා තේවල තිබෙන වැදගත්ම පොලිෆීනෝලික කැටචීන සංඝටකවල ක්‍රියාකාරිත්වය අවහිර කරන බවයි. තේ පානය කිරීමෙන් සිරුරට ලැබෙන සියලුම ප්රතිලාභ රඳා පවතින්නේ එම පොලිෆීනෝලික සංගටකවල ය.
https://www.escardio.org/The-ESC/Press-Office/Press-releases/Milk-elimin...
කිරි - තේ, සීනිත් එක්ක තවත් නරකයි
“චියැන්ග් මායි ජර්නල් ඔෆ් සයන්ස් ” පර්යේෂණ සඟරාවේ පළ කර තිබෙන අධ්‍යයනයකට අනුව, තේවල තිබෙන ප්‍රතිඔක්සිකාරක පොලිෆීනෝලික සංඝටකවල හැකියා තවත් දුර්වල කරන්නට කිරි- තේ සීනි දමා පානය කිරීමෙන් සිදු වන බව අවධාරණය කර තිබේ. සාමාන්‍යයෙන් ලාංකිකයන් කිරි තේ බොන්නට පුරුදු වී සිටින්නේ කටේ ඇලෙන පදමට සීනි දමාගෙන ය. දවසකට වැඩිහිටියෙකු සඳහා එකතු කළ සීනි තේ හැදි 6කට වඩා වැඩියෙන් ගැනීම දියවැඩියාව සහ හෘදය රෝග ආදී බෝ නොවන රෝග හටගැනීමේ අවදානම ඉහළ නැංවීම සඳහා බලපාන බව වෛද්‍ය මතය වුව ද, එක් දිනක දී සීනි තේ හැඳි දෙකක් දැමූ කිරි තේ කෝප්ප දෙකක් සහ තේ කෝප්ප එකක් පානය කරන ලාංකිකයෙකු තේ සහ කිරි තේ පානය කිරීමෙන් පමණක් සීනි මේස හැදි 6ක් අනුභව කරයි. ඊට අමතරව දිනක දී ගනු ලබන සීනි දමා සකස් කළ රසකැවිලි සහ පාන වර්ගවලින් ශරීරගත වන සීනි ප්‍රමාණය ද එකතු වීමෙන්, එක් අතකට පෙර කී බෝ නොවන රෝග අවදානම බරපතළ ලෙස ඉහළ නංවා ගනු ලබන අතර, අනෙක් අතට තේ කෝප්පයට සීනි එකතු කරගැනීම නිසා තේ කොළවල තිබෙන බෝ නොවන රෝග අවදානම පහත හෙළන ඖෂධීය ගුණය ද අහිමි කරගනී. https://www.researchgate.net/publication/279755116_Determination_of_the_...
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි දිනපතා තේ පානය කරමු. එහෙත් තේවලින් ලැබෙනවා යැයි කියන පෙර කී මාහැඟි සෞඛ්‍ය ප්රතිලාභ කිසිවක් අපට ලැබෙන බවක් නම් නොපෙනෙයි. එක් අතකට මේ වන විට තේ කොළ වෙළෙඳාම බොහෝ සෙයින් දූෂිත තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වෙයි. ලෝකයේ හොඳම තේ කොළ නිෂ්පාදනය කරනවා යැයි පාරම්බෑවට මෙරට ජනතාව බොහෝ දෙනෙකුට පානය කරන්නට සිදු වී ඇත්තේ විවිධ රසායනික ද්‍රව්‍ය දැමූ බාල කළ කසළ තේ විය හැකිය. එකී කාරණාව නිසා තේ කොළවලින් අපේක්ෂිත ගුණය වෙනුවට සෞඛ්‍යයට අහිතකර ප්‍රතිවිපාක අත් වෙයි. අනෙක් අතට තත්ත්වයෙන් ඉස්තරම්ම තේ කොළ වුව ද, තේ පානය කිරීමට පුරුදුව සිටින පෙර කී වැරදි පිළිවෙත් නිසා , බරපතළ රෝගාබාධවලින් ගැලවෙන්නට තිබෙන පහසු මඟක් අපි අහිමි කර ගන්නෙමු.
මෙහිලා අපගේ අවධානයට යොමු විය යුතු තවත් වැදගත් කාරණාවක් ද වෙයි. අප තේවල ගුණය විනාශ කර දමන්නට එකතු කරනු ලබන කිරි හෝ කිරි පිටි සම්බන්ධයෙන් ද පැවසීමට තිබෙන්නේ යහපත් කාරණා නොවේ. වෙළෙඳ දැන්වීම්වලින් මෝහනයට පත් කර ඇති අපගේ මොළගෙඩිවලින් තෝරාගෙන, පානයට ගනු ලබන කිරිවලින් ද ලැබෙන්නේ යහපත් ප්රතිලාභ නොවේ; සෞඛ්‍ය තත්ත්වය අනතුරේ හෙළන අයහපත් ප්‍රතිවිපාකයි.
ඉදින්, තේවල මාහැඟි ප්රතිලාභ දූෂ්‍ය කිරීමට ඔබට අවශ්‍ය නැති නම්, රුසියානුවන් තේ පානය කරන ක්‍රමය එනම්, මී පැණි හෝ දෙහි යුෂ සමඟ පානය කිරීමට උත්සාහ කරන්න. නොඑසේ නම්, ස්ලාවික් ජනයා හෝ චීන්නු හා ජපනුන් මෙන්, අඩුම තරමින් සීනිවත් එකතු නොකර තේ බොන්න පුරුදු වෙන්න. ඔබගේ තේරීම හරිත තේ නම් වඩාත් අගනේ ය. එහෙත් ආහාර හා සෞඛ්‍යය සම්බන්ධයෙන් සියලු විද්‍යාත්මක උපදෙස් පිළිපැදීම බොහෝ දෙනෙකුට වඩ වඩාත් දුෂ්කර වෙමින් තිබේ.
පුරුදු, ඇබ්බැහිවීම් සහ වාණිජ බලපෑම් නිසා අද වන විට බොහෝ සෞඛ්‍ය උපදේශන බරපතළ ලෙස නොසලකා සිටින්නට මෙරට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. එහි ප්‍රතිවිපාක විඳින්නේ ඔවුන්ගේ සිරුරු ය. ඔවුන්ගේ රැකවරණය පතා සිටින දරුවෝ ය. එබැවින් තමන් ඇබ්බැහි වී සිටින වැරදි පුරුදු වෙනස් කරගන්නට මනා සිහිය සහ වීර්ය ඇත්තන්හට පමණක් මෙකී විද්‍යාත්මක කරුණු කාරණා බෙහෙවින්ම වැදගත් වනු ඇති.