
මෙරට ඉතිහාසයේ 88- 89 යුගයෙන් පසු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු ප්රචණ්ඩත්වය ඉහළම අගයක් ගත් මැතිවරණය ලෙස සැලකෙන්නේ 2001 වසරේ පැවැති මහා මැතිවරණයයි. එම මැතිවරණ සමයේදී පමණක් දේශපාලන මුහුණුවරක් ගත් ඝාතන 67ක් පොලිස් පොත්වල ලියැවී තිබිණි. ඒ අතර පොදුජන පෙරමුණේ ආධාරකරුවන් 26 දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවන් 22 දෙනෙක්ද සිටියහ.
එම මැතිවරණයේදී වූ ම්ලේච්ඡතම ඝාතනය උඩතලවින්නේදී වෑන් රථයක් තුළ දේශපාලන ආධාරකරුවන් 10 දෙනෙක් එක පොදියට වෙඩි තබා බෝම්බ ගසා මරා දැමීමය. එම මැතිවරණ සමයේදී පොලීසියට වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන පමණක් 2000 කට වැඩිය. මෙරට මැතිවරණ ඉතිහාසයේ කළු පැල්ලමක් එක් කළ එම මැතිවරණයෙන් පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල ශීඝ්‍ර අඩු වීමක් වාර්තා වුවත් එය සැලකිය යුතු අඩු වීමක් යැයි සඳහන් කළ නොහැකිය.
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ 1982 වසරේ පැවැති පළමු ජනාධිපතිවරණය හා බැඳුණු මිනිස් ඝාතන හෝ වෙඩි තැබීම් ගැන නිසි වාර්තාවක් පොලිස් මූලස්ථානයේ නැත. එහෙත් නොසන්සුන්තා 98ක් වාර්තා වී ඇත. මැතිවරණ දිනයේ පමණක් නීති උල්ලංඝනය කිරීම් 64ක් සිදු වූ බව සඳහන්ය.
දෙවැනි ජනාධිපතිවරණය 88 වසරේ පැවැත්වෙන්නේ 87 දී අස්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ රටේ ඇති වුණු මහජන කැලඹීම්වල අඩුවක් නැතිව පැවැති මොහොතකය. ඒ වන විට පොලිසිය සිටියේ උදාසීනවය. මැතිවරණ නිලධාරීන්ට එල්ල වුණු තර්ජන ගර්ජන බොහෝය. දෙවැනි ජනාධිපතිවරණය එදා පැවැත්වෙන්නේ භීෂණයේ ගිනිදැල් මැදය. එම මැතිවරණ සමයේදී මැතිවරණය හා බැඳුණු අපරාධවල මෙන්ම මිනිස් ඝාතනවලද අඩුවක් නොවීය. ඒ ගැන නිශ්චිත සංඛ්‍යාවක් අදටත් සොයාගන්නට නැත.
තෙවැනි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 1994 දී ය. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලින් පිරුණු එම මැතිවරණයේදී සිදු වුණු විශාලතම ඛේදවාචකය වන්නේ ඔක්තෝම්බර් 24 වැනි දා තොටළඟ පැවැති එජාප රැස්වීමකට එල්ල වුණු ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයයි. එම ප්‍රහාරයෙන් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක මහතා ඇතුළු එවකට පැවැති රජයේ සිටි මැති ඇමතිවරු රැසක් සමග 56 දෙනෙක් මිය ගියහ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විධිමත් සංඛ්‍යා සටහන් දක්නට ලැබෙන්නේ සිව් වැනි ජනාධිපතිවරණයේ සිටය. 1999 වසරේ පැවැති සිව් වැනි ජනාධිපතිවරණ සමයේදී දේශපාලනික ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන 06කි. ඊට අමතරව දේශපාලන ගැටුම් පාලනය කිරීමට පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරවලින්ද 02 දෙනෙක් මියගොස් ඇති බව සඳහන්ය. වෙඩි තබා කළ ඝාතන තැත් කිරීම් ගණන 10කට වැඩිය. ඝාතන, ඝාතන තැත් කිරීම්වලට අමතරව පහරදීම්, බොම්බ ගැසීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් එම මැතිවරණයේදී 1201ක් වී තිබිණි.
ත්රස්තවාදීන් විසින් එවකට හිටපු ජනාධිපතිනි සහ ජනාධිපති අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කර කොළඹ පුරහල් භුමියේදී පුපුරවා හරින ලද මිනිස් බෝම්බයෙන් මිය ගිය පිරිිස 24කි. ජාඇළ පැවැති එජාපයේ මැතිවරණ ප්රචාරක රැලියක පුපුරවා හරින ලද මිනිස් බෝම්බයෙන් මිය ගිය පිරිස 12කි. ඉහත සංඛ්‍යාව ඒ හැරුණුකොටය. පොලිස් සංඛ්‍යා දත්ත අනුව එම මැතිවරණයේදී පොලිසියට වාර්තා වී තිබුණු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගණන 118කි.
පස් වැනි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2005 වසරේදීය. මිනිස් ඝාතන කිසිවක් එම මැතිවරණයේදී වාර්තා නොවූවත් ප්‍රචණ්ඩක්‍රියා 86ක් ගැන පොලිසියට පැමිණිලි ලැබී තිබිණි. එම මැතිවරණයේදී පොලීසියට වාර්තා වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගණන 537 කි.
2010 වසරේ හය වැනි ජනාධිපතිවරණය තරමක් උණුසුම් මුහුණුවරක් ගත් මැතිවරණයකි. මිනිස් ඝාතන 06ක්ම එම මැතිවරණයේදී වාර්තා විය. පොලිස් පොත්වල ලියැවුණු ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 1021කි. පොලිස් මැතිවරණ කාර්යාංශයේ දත්තයන්ට අනුව එම මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 68කි.
2015 වසරේ පැවැත්වෙන්නේ හත් වැනි විධායක ජනාධිපතිවරණයයි. එම මැතිවරණයේදී පොලීසියට වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 365කි. ඒ අතර මිනිස් ඝාතන දෙකකි. එම මිනිස් ඝාතන වාර්තා වන්නේ රත්නපුරයෙන් සහ අනුරාධපුරයෙනි. එම මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 107ක් වාර්තා විය.
මෙවර පැවැත්වෙන අට වැනි ජනාධිපතිවරණ සටනේදී පෙර මැතිවරණවලදී මෙන් ප්රචණ්ඩත්වයක් තවමත් දකින්නට නැති තරම්ය. රටේ මැතිවරණයක් ඇති බව ජනතාවටද නොදැනෙන තරමට මැතිවරණ නීතියද දැඩිව ක්‍රියාත්මකය. වෙනත් මැතිවරණවලදී මෙන් දැවැන්ත කටවුට් කොඩිවැල් මෙන්ම තාප්ප පිරෙන්නට ඇලවූ පෝස්ටර් අද දක්නට නැත. අපේක්ෂකයන්ගේ කාර්යාලවල පවා දක්නට ඇත්තේ වර්ග අඩි 30ක සහ වර්ග අඩි 20 ක බෝඩ් ලෑලි දෙකක් පමණි. ඒ හැරුණු කොට වෙනදා මෙන් අපේක්ෂකයාගේ දැවැන්ත කටවුට් මෙවර මැතිවරණ කාර්යාලවල දක්නට නැත. කාර්යාල ඉදිරිපිට පොලිතින් සැරසිලි පමණක් නොව, කොඩි වැල් ද දක්නට නැත්තේ මැතිවරණ නීතිය මෙවර දැඩිව ක්‍රියාත්මක වන බැවිනි.
මෙතෙක් මැතිවරණ කොමිසමට සහ පොලීසියට ලැබී ඇති පැමිණිලි විශ්ලේෂණයේදී පෙනී යන්නේද වෙනත් මැතිවරණ හා සාපේක්ෂව මෙවර මැතිවරණය හා බැඳුණු ප්රචණ්ඩත්වයද පහළ අගයක් ගන්නා බවකි. මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි 1500කට වැඩි ප්‍රමාණය අතර ප්රචණ්ඩත්වය හා බැඳුණු පැමිණිලි ඇත්තේ 10ක් පමණි. සෙසු පැමිණිලි සියල්ලක්ම පාහේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි. වෙනත් මැතිවරණ හා සාපේක්ෂව සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේදී පෝස්ටර් කටවුට් නැති වුවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල නම් අඩුවක් නැත.
මෙවර ඉහළම අගයක් ගෙන ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලිය. එම පැමිණිලි විශ්ලේෂණයේදී පෙනී යන්නේ වැඩිම පැමිණිලි ඇත්තේ රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම් සහ මාධ්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙනි. රාජ්‍ය මාධ්‍යට වඩා මෙවර පැමිණිලි ඉහළ අගයක් ගෙන ඇත්තේ පෞද්ගලික මාධ්‍යයන්ට එරෙහිවය.
මෙවර මැතිවරණය ආරම්භයේදීම බොහෝ අය අනුමාන කෙළේ පාතාලයද ඒත් එක්කම කලඑළි බසීවි යැයි කියා ය. පසුගිය සමයේ පැවැති සෑම මැතිවරණයකදීම පාතාලය දේශපාලනඥයන් සමඟ එක් වී වැඩ ඇල්ලූහ. මෙවරත් පාතාලය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට කිට්ටු වීමට උත්සාහ ගත්තද එය ව්‍යාර්ථ වන්නේ ඒ දෙදෙනාම පාතාලයට එරෙහිව හඬ නඟන නිසාය.
මෙවර මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර වීමට මුල් වන්නේද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පාතාලය ඈත් කිරීමය. පාතාලයට සම්බන්ධකම් ඇති අපේක්ෂකයෙකු ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බැවින් ඒ ගැනද පොලීසිය මෙන්ම බුද්ධි අංශද සිටින්නේ දැඩි අවධානයකිනි. ඒ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවල ඔහු ඉලක්කයක් බවට පත් වී සිටින බැවිනි. ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් අයෙකුට කිට්ටුවන්නට බලාගෙනය. එමගින් වාසි ගන්නටය. එහෙත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ඔහුව ඈත්කර තිබීමද මැතිවරණය තවමත් සාමකාමී වීමට බලපා ඇති බව පොලීසියේ විශ්වාසයයි.
වෙනත් මැතිවරණ වලදී මේ වන විට වෙඩි තැබීම් මෙන්ම ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම් ඕනෑ තරම් වාර්තා වේ. පොලිස් පොත් පිරෙන්නේ තර්ජන ගර්ජන වලිනි. මෙවර මෙතෙක් ගිනි අවි භාවිතා කිරීමක් ගැන වාර්තා වී ඇත්තේ එකක් පමණි. ඒ වාද්දූවෙනි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන එක්සත් ජනතා නිදහස් සංධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමීපතයෙකු බව කියන සිසිර මෙන්ඩිස් නැමැත්තා ගිනි අවියක් පෙන්වා කළ පහරදීමකි. ඔහු පහරදුන්නේ යැයි කියන්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනෙකුටය. එම්.එස්. නිහාල්සිංහ සහ නවරත්න බණ්ඩා යන දෙදෙනාට එසේ පහරදී ඇත්තේ වාද්දූව පොතුපිටිය සුසානභුමිය අසලදී ය. ඒ ඉකුත් 19 වැනිදාය.
නිහාල්සිංහ විසින් වාද්දූව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ගිනි අවියක් එල්ල කර බැණ තර්ජනය කර කළ පහරදීමක් ලෙසය. ඒ සම්බන්ධයෙන් සිසිර මෙන්ඩිස් නමැති දේශපාලන ආධාරකරු අත්අඩංගුවට ගත්තද ඔහු වැඩි වේලාවක් පොලිස් ස්ථානය තුළ රඳවාගත්තේ නැත. ඔහු නිදහස් කර යැවෙන්නේ පොලිස් ඇප මතය. මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව ඔවුන් ඒ ගැන වාද්දූව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් තොරතුරු විමසීමේදී පෙනී යන්නේ පැමිණිල්ලෙන් ගිනි අවිය හැලී ඇති බවය. පැමිණිලිකරු පවසන්නේ ගිනි අවිය ගැන තමන් පොලීසියට පැමිණිලි කළ බවකි. එහෙත් අනිතිමට පොලිස් පොතේ ගිනි අවියක් නැත. පොලිස් ඇප ලැබෙන්නේ ඒ නිසාය.
ප්‍රචණ්ඩක්‍රියා යැයි කියා මෙවර මැතිවරණය පුරාවටම දක්නට ඇති පැමිණිලි කිහිපයේම තත්ත්වය එසේය. පොලීසියට අනුව තවමත් දේශපාලන ගැටුම්වලින් තුවාල ලබා රෝහල් ගතකිරීම් කිසිවක් වාර්තා වී නැත. ඒ හුංගමදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකු වන සමීර අබේකෝන් මහතාගේ පියාටත් සහෝදරයාටත් ඉකුත් 20 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් කිහිපදෙනෙකුගෙන් එල්වුණු ප්‍රහාරය පොලීසිය මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවක් ලෙස වාර්තා කර නැති බැවිනි. පොලීසිය පවසන්නේ එම ප්‍රහාරය ගමේ ගොඩේ ආරවුලක් බවකි.
ප්‍රහාරයට ලක් වූවන්ගේ පැත්තෙන් පවසන්නේ නම් ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් මත වූවක් නොවන බවය. එම ප්‍රහාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියාගේ පියාත් සහෝදරයාත් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ. පියා රෝහල් ගත කෙරෙන්නේ ගල් ප්‍රහාරයකින් හිසට සිදු වුණු තුවාලයක් හේතුවෙනි. පොලීසිය පවසන්නේ එම පහරදීම කර ඇත්තේ බීමතින් බවකි.
එම පහරදීම මැතිවරණ පැමිණිල්ලක් ලෙස පොලිස් පොත්වල ලියැවුණත් නැතත් පොදුවේ පිළිගත යුතු සත්‍ය නම් මෙවර මැතිවරණය සමස්තයක් ලෙස ගත් කල තවමත් ප්‍රචණ්ඩත්වයෙන් තොර බවය. මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම් ගැනද මැතිවරණ කොමිසමට පැමිණිලි දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතත් ඒ අතර පොස්ටර් කටවුට් වැනි නීති විරෝධි ප්රචාරක කටයුතු ගැන හෝ කාර්යාල ගැන පැමිණිලි ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. ඒ පොලීසියෙන් නීතිවිරෝධි මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඉඩක් මෙන්ම බුරුලක් නොලැබෙන බැවිනි. මේ තත්වයට මැතිවරණ කොමිසමේ බලවත්කමත් පොලිස් කොමිසමෙන් පොලීසියට ලැබී ඇති රැකවරණයත් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලීසිය මෙහෙයවන ආකාරයත් මුල් වී ඇති බව නම් පැහැදිලිය.