මහ­නු­වර රෝහ­ලත් දැන් ජාතික රෝහ­ලක්! | සිළුමිණ

මහ­නු­වර රෝහ­ලත් දැන් ජාතික රෝහ­ලක්!

දිගු කලක් තිස්සේ හද­වත් සැත්කම් හා අව­යව බද්ධ ප්‍රමුඛ විශිෂ්ට සෞඛ්‍ය සේවා රැසක් ඉතා ඉහළ මට්ට­මින් සප­ය­මින් සිටින මහ­නු­වර ශික්ෂණ රෝහල 30 වැනිදා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජාතික රෝහ­ලක් බවට නිල වශ­යෙන් නම් කෙරේ.

ප කාටත් හදිසි අන­තු­රු­ව­ලට, ලෙඩ-දුක්ව­ලට මුහුණ පෑමට සිදු වන්නේ අන­පේ­ක්ෂි­ත­වය. එවැනි අව­ස්ථා­වක ළඟම රෝහ­ලට ඇතු­ළත් කෙරු­ණද රෝගි­යාගේ ප්‍රති­කාර අව­ශ්‍ය­තාව මත ඔහු හෝ ඇය ඊළ­ඟට යොමු කෙරෙ­නුයේ අවශ්‍ය පහ­සු­කම් ඇති රෝහ­ල­ක­ටය. එහිදී ඒ රෝහල නිවෙසේ සිට කර­ද­ර­ය­කින් තොරව යා ගත හැකි දුර­කින් වීම ඒ පුද්ග­ල­යාගේ මෙන්ම ඒ පවුලේ සමා­ජි­ක­ය­න්ගේද ආර්ථි­ක­යට හා මාන­සි­ක­ත්ව­යට තදින්ම බල­පාන කරු­ණකි. මේ අව­ශ්‍ය­තාව ජන­තා­වට සපුරා දීම ජන­තාව වෙනු­වෙන් රජ­ය­කට කළ හැකි ඉහ­ළම සත්කා­ර­යයි. වත්මන් රජය මෙතෙක් කොළ­ඹට පම­ණක් සීමා වී තිබුණු ඒ පහ­සු­කම රට මැදට උරුම කර දෙමින් මහ­නු­වර ශික්ෂණ රෝහල සියලු පහ­සු­ක­ම්ව­ලින් සපිරි ජාතික රෝහ­ලක් බවට පත් කොට තිබීම රට වැසි­යන් සියලු දෙනාට සුබ ආරං­චි­යකි.

ඒ අනුව මේ මස 30 (බදාදා) ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මහ­නු­වර ශික්ෂණ රෝහල් පරි­ශ්‍රයේ පැවැ­ත්වෙන උත්සව සභා­වේදී එය ජාතික රෝහ­ලක් බවට නිල වශ­යෙන් නම් කිරී­මට නිය­මි­තය. මෙහිදී මධ්‍යම ආණ්ඩු­වක රෝහ­ලක් වීම, ඇඳන් ප්‍රමා­ණය 2,500කට වැඩි වීම, ප්‍රාථ­මික ද්විතී­යික හා තෘතී­යික සියලු සේවා පව­ත්වා­ගෙන යෑම, විශේ­ෂ­ඥ­තා­වෙන් පිරි රෝහ­ලක් වීම, උග­න්වන රෝහ­ලක් වීම, භූගෝ­ලීය පිහි­ටීම, දෛනික පිරි­වැය ඇතුළු අවැසි සුදු­සු­කම් ගණ­නා­වක් ඉහළ මට්ට­මෙන් සපුරා තිබීම මේ රෝහල ජාතික රෝහ­ලක් බවට පත් වීමට හේතු වී ඇත.

160 වස­රක කීර්ති­මත් යට­ගි­යාව

වර්ෂ 1860දී ඉංග්‍රීසි පාල­ක­යන් විසින් වසං­ගත රෝග සඳහා ප්‍රති­කාර කරන රෝහ­ලක් ලෙස ආරම්භ කරන ලද මහ­නු­වර රෝහල 1946දී මහ­නු­වර ශික්ෂණ රෝහල ලෙස නම් කරනු ලැබුණු අතර, ඉක්බිති පත් වූ මෙරට රජ­යන් යටතේ අදි­ය­රෙන් අදි­යර දියු­ණු­වට පත්ව රට පුරා ජන­තා­වට සෑම අංශ­ය­කම ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවා­වක් සැල­සී­මට සමත් විය.

දෛනි­කව බාහිර රෝගි ප්‍රති­කාර අංශ­යෙන් 1,000 ඉක්මවා මහ­නු­වර රෝහ­ලෙන් ප්‍රති­කාර ලබන අතර, සායන මඟින් 3,000ක් පමණ දින­කදී ප්‍රති­කාර ලබති. සේවාව සප­යන සේවක මණ්ඩ­ලය 5,800කි. මෙයට වෛද්‍ය­ව­රුන් 1,000ක්, විශේ­ෂඥ වෛද්‍ය­වරු 125ක්, හෙද නිල­ධා­රීන් 2,225ක් ඇතුළු අනෙ­කුත් කාර්ය මණ්ඩ­ලය ඇතු­ළත් වේ. අතුරු-වෛද්‍ය සේවා සහ පරි­පූ­රක වෛද්‍ය සේවාද ක්‍රියා­ත්මක වේ. 2,500ක පමණ රෝගීන් ප්‍රමා­ණ­යක් දෛනි­කව නේවා­සි­කව ප්‍රති­කාර ලබති.

මෙරට ප්‍රථම හද­වත් බද්ධය සිදු කරනු ලැබුවේ මහ­නු­වර ශික්ෂණ රෝහ­ලෙනි. ඉහ­ළම අව­යව බද්ධ ඇතු­ළුව අක්මා, වකු­ගඩු ඇතුළු තවත් බද්ධ­යන් රැසක් සිදු කෙරෙන අතර, ළඟ­දීම පෙණ­හලු බද්ධ­යන් සඳහා පහ­සු­කම් සූදා­නම් කොට ඇත.

කෝටි 57ක හදිසි ප්‍රති­කාර ඒක­කය

පසු­ගිය වසර කිහි­පය තුළ මේ රෝහල වඩාත් විධි­මත් සහ කාර්ය­ක්ෂම කිරී­මට කට­යුතු කර තිබේ. ඒ අනුව රු. මිලි­යන 570ක විය­ද­මින් හදිසි අන­තුරු සහ හදිසි ප්‍රති­කාර ඒක­කය නවී­ක­ර­ණය කරන ලද අතර, හද­වත් බද්ධ කිරීම සඳහා විශේෂ දැඩි සත්කාර ඒක­ක­යක් රුපි­යල් මිලි­යන 10ක විය­ද­මින් ඉදි කර ඇත.

රු. මිලි­යන 1,200ක් වටිනා මහල් අට­කින් යුත් තැල­සී­මියා ඒක­කයේ වැඩ නිම වෙමින් පව­තින අතර, ලේ බැංකු­වක් සහ අවශ්‍ය සියලු අංගෝ­පාංග වලින් එය සම­න්වි­තය. මෙහිදී තැල­සි­මියා දරු­වන් සඳහා ඇට­මි­දුලු බද්ධය සිදු කිරී­ම­ටද හැකි වනු ඇත. මහල් 12කින් යුත් පිළිකා වාට්ටු සංකී­ර්ණ­යේද වැඩ රු. මිලි­යන 2,500ක විය­ද­මින් නිම වෙමින් පව­තින අතර, මෙහි ශල්‍යා­ගාර දෙකක්, ඇඳන් 305ක් හා දැඩි සත්කාර ඒක­ක­යක් ස්ථාපිත කෙරේ.

වකු­ගඩු සහ අව­යව බද්ධ කිරීමේ රෝගීන්ගේ පහ­සුව සඳහා නේවා­සි­කා­ගා­ර­යක් ඉදි කර ඇත. බොහෝ දුර බැහැර සිට පැමි­ණෙන රෝගීන් සඳහා නේවා­සික පහ­සු­කම් අවශ්‍ය අව­ස්ථා­ව­න්හිදී රෝගියා මෙන්ම පවුලේ අයද මෙතෙක් මුහුණ පෑ ගැට­ලු­වට මෙම­ඟින් විස­ඳු­මක් ලැබෙනු ඇත.

භූමිය තහ­වුරු කිරී­මට පිය­වර

රෝගී පහ­සුව සඳහා ගිලන් රථ සේවා­වට අම­ත­රව විදු­ලි­යෙන් වැඩ කරන රෝගී ප්‍රවා­හන රථ 12ක සේවාව සලසා ඇත. රුපි­යල් මිලි­යන පන්සි­ය­යක වටි­නා­ක­ම­කින් යුතු නවීන විකි­රණ යන්ත්‍ර දෙකක් රෝහ­ලට ලැබී ඇත. මෙය මෙතෙක් රෝහ­ලට නොති­බුණු පහ­සු­ක­මකි. රසා­ය­නා­ගාර සංකී­ර්ණ­යක් සඳහා රු. මිලි­යන 1,200ක් වෙන් කොට ඇති අතර, නුදු­රේ­දීම එහි වැඩ­ක­ට­යු­තුද ආරම්භ කිරී­මට නිය­මි­තය.

රෝහල් භූමිය අවට පිහි­ටීම නාය යෑම් අව­දා­නම් සහ­ගත තත්ත්ව­යක් ඇති බැවින් පාංශු සංර­ක්ෂණ වැඩ­පි­ළි­වෙ­ළක්ද රු. මිලි­යන 1,200ක විය­ද­මින් ක්‍රියා­ත්මක කෙරේ. අක්කර 58ක භුමි ප්‍රමා­ණ­යක් මේ රෝහල සතුව තිබු­ණද මේ වන විට එයින් සෑහෙන ඉඩම් ප්‍රමා­ණ­යක අන­ව­සර පදිං­චි­ක­රු­වන් පදිං­චිව සිටිම බර­ප­තළ ගැට­ලු­වක්ව ඇති අතර, ඒ ඉඩම් අත්පත් කර­ගැ­නීමේ කට­යු­තුද ක්‍රියා­ත්ම­කව පවතී.

වකු­ගඩු ආර­ක්ෂණ සංග­මය, ස්නායු ආර­ක්ෂණ සංග­මය, හෘද­ය­වස්තු ආර­ක්ෂණ සංග­මය ඇතුළු ශුභ­සා­ධක සංගම් රැස­කින් රෝගීන් වෙනු­වෙන් කට­යුතු විශාල ප්‍රමා­ණ­යක් ක්‍රියා­ත්මක කෙරේ.

මෙලෙස ශික්ෂණ රෝහ­ලක් ලෙස මේ තරම් වැඩ කොට­සක් සිදු කර­මින් තිබෙන මහ­නු­වර රෝහල ජාතික රෝහ­ලක් බවට පත් විමේදී මේ සේවා­වන් වඩාත් පුළුල් වන බව අමු­තු­වෙන් කිව යුතු නැත.

මේ කට­යුත්ත ජන­තාව වෙනු­වෙන් ඉටු කර-ලීමට මහත් කැප­වී­මක් කළ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනා­රත්න මහතා ප්‍රමුඛ රජ­ය­ටත්, මේ සඳහා දිරි­ගැන්වු රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නා­යක මහ­තා­ටත්, පරි­පා­ලන නිල­ධා­රීන්, විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, වෛද්‍ය­ව­රුන් ප්‍රමුඛ සියලු දෙනා­ටත් ජනා­තා­වගේ හද පිරි ස්තුතිය හිමි විය යුතුයි.

Comments