
මේ දිනවල මැතිවරණ වේදිකාවේ ඇසෙන මාධ්‍යවේදි නම් කිහිපයක් ඇත. ලසන්ත වික්‍රමතුංග, කිත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ පෝද්දල ජයන්ත යන නම් සුලබව මේ දිනවල දේශපාලන වේදිකාවේ කියවෙයි. එයට හේතුව කවුරුත් දන්නා එකකි. මේ අතරින් නම කියවෙන පෝද්දල ජයන්ත හිටපු සිළුමිණ කර්තෘ මාණ්ඩලිකයෙකි. ශ්‍රි ලංකාවෙන් ඈත ඇමෙරිකාවේ ජීවත් වන ඔහු තමන්ට එල්ල වූ අමානුෂික මැර ප්‍රහාරයෙන් පසුව සිළුමිණ වෙනුවෙන් ලබා දුන් සාකච්ඡාව මෙසේ පළ කරමු.
පසුගිය ආණ්ඩු සමයේ අතිෂය අමානුෂික අත්දැකීමකට ඔබ මුහුණ දුන්නා. එහෙම වෙන්න හේතුව මොකක් ද?
පසුගිය ආණ්ඩු සමයේ වූ පැහැර ගෙන ගොස් මරා දැමීමේ ‘සුදු වෑන් සංස්කෘතිය‘ ගැන මං විතරක් නෙමෙයි මේ මුළු රටම දැනගෙන හිටියා. ඒත් ඒ ගැන කවුරුවත් එළිපිට කතා කරන්න බය වුණා. මා දන්නා බොහෝ දෙනා විශේෂයෙන් ම මාධ්‍යවේදීන් ‘සුදු වෑන්‘ පැහැර ගැනීමකට ලක් නොවී සිටීමට හරියට පරිස්සම් වුණා. “ජනතාවට ඇත්ත කියන්න ගියොත් මැරුම් කන්නයි වෙන්නේ. කට වහගෙන පරිස්සමින් හිටපන් ” ඒ අය මටත් උපදෙස් දුන්නා. ඒත් මේ රටේ මිනිස්සු උපදින්නත් කලින් ඉඳලම මැරිලා යනකම්ම මේ රටට ‘බදු‘ ගෙවනවා. ඒ මිනිස්සුන්ට තමන් ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලට මොනවද වෙන්නේ කියල දැන ගන්න අයිතියක් තියෙනවා. ඔවුන්ට ඒ අයිතිය ගැන දැන ගන්න තියෙන පහසුම මාර්ගය තමයි ජනමාධ්‍ය. රටේ ආණ්ඩු කරන දේශපාලකයන් අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් පිස්සු නටනකොට, ඒවා සාහසික විදියට ඩැහැගන්නකොට, ඒ බව මේ රටේ ජනතාව දැනගන්න ඕන නැද්ද?. 2005 දී බලයට පත්වුණු රජය ජනමාධ්‍යවේදීන් මරා දැමුවා, මරණ තර්ජන එල්ල කළා. මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුව්වා. ගිනි තිබ්බා. මේ හැම දෙයක්ම ඒ අය කළේ මේ රටේ ජනතාව දැනගතයුතු තිත්ත ඇත්ත සමාජ ගතවීම වැළැක්වීම සඳහයි. ඒ සඳහා ඔවුන් කටයුතු කළේ ඉතාම සැලසුම් සහගතවයි. ඒවා ගැන කතා කරන්න ගිහින් ලැබුණු දඬුවම තමයි මේ.
පසුගිය පාලන සමයේ මේ මර්දනකාරී ක්‍රියාන්විතය ආරම්භයේ සිට පැහැදිලි කළොත්?
මුලින් ම රාජපක්ෂ ආණ්ඩුව බොහෝම සුළුවෙන් තමයි මාධ්‍ය මර්ධනය පටන්ගත්තේ. පසුව ඒක වර්ධනය වුණා. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියල කියන්නේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් 1200 ක පමණ (ඒවනවිට) නියෝජනය කරපු සංගමයක්. මේ සංගමයේ බොහෝ සමාජිකයන් මේ ජනමාධ්‍ය මර්දනය හමුවේ තර්ජන ගර්ජනවලට විතරක් නෙමෙයි, ඔවුන් සේවය කළ මාධ්‍ය ආයතන පවා ප්‍රහාරයට ලක්වුණා. පරමේෂ්වරී මුණුසාමි එල්ටීටීරී ක්‍රියාකාරියක් විදියට අත් අඩංගුවට ගෙන දින අනූවක් පමණ තබාගෙන ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් පරීක්ෂණ පවත්වා නිදොස් කොට නිදහස් කර තිබුණා. එසේ තිබියදීත් ඇය එල්ටීටීඊ ක්‍රියාකාරිනියක් විදියට හංවඩු ගසමින් තිබුණා. මේ නිසා එවක ජනමාධ්‍යවේදීන් සංගමයේ මහ ලේකම් ලෙස මටත්, සභාපති සනත් බාලසූරියටත් සෙසු නිලධාරීන්ටත්, සමාජිකයන්ටත් බලා ගෙන සිටිය නොහැකි වාතාවරණයක් උදා වුණා. මේ නිසා අනෙකුත් ජනමාධ්‍ය සංගම් එකතු කරගෙන පසුගිය ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දනයට එරෙහිව පාරට බැස්සා. එදා අපට වෙන වෙනම ඉඳගෙන මේකට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් තමයි එදා තිබුණේ. ඒ අනුව සියලූ මාධ්‍ය සංවිධාන එක්ව මාධ්‍ය සංවිධාන එකමුතුවක් ලෙස සංවිධානය වුණා. ඒත් මාධ්‍ය මර්දනය නතර වුණේ නැහැ.
මේ තත්ත්වයට මුහුණදීම සඳහා බොහෝ සිවිල් සංවිධාන අප සමඟ එක්ව මාධ්‍ය මර්දනයට එරෙහි ව්‍යාපාරය ලෙස නව පුළුල් සංවිධානයක් පිහිටුවා ගත්තා. මොකද ජනමාධ්‍ය නිදහස කියන්නේ රටේ ප්රජාතන්ත්රවාදයේ කැඩපත. නමුත් ඒ වෙනකොට ඊට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැ. මේ නිසා රටේ ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ කාර්යභාරයත් අපේ කර පිට පැටවී තිබුණා. අප අපට හැකි උපරිමයෙන් ඒ වෙනුවෙන් පෙනී හිටියා. මේ නිසා මාධ්‍ය සංගම්වල පළමූ පෙළ ක්රියාධරියින් කිහිප දෙනෙක් එදා පාලකයාන්ගේ බද්ධ වෛරයට ගොදුරු වී සිටියා. ඔවුන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණා. නමුත් අපට ඒවා ඒවන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණා. මේ කාලය වන විට අපට සතියකට වරක් දෙවරක් මේ මාධ්‍ය මර්දනයට එරෙහිව පාරට බහින්නට සිදු වුණා.
මේ කාලයේ නේද ඔබටත්, සනත් බාලසූරියටත් ආරක්ෂක අමාත්‍යාංශයේ එවක ලේකම්ගේ කැඳවීමකට යන්න සිද්ද වෙන්නේ ?
ඒක වුණේ කීත් නොයාර් පැහැර ගිය දිනට පසු දින. මාත්, සනත් බාලසූරියත් එතකොට සේවය කළේ ලේක්හවුස් ආයතනයේ. ආරක්ෂක අමාත්‍යාංශයේ එවක ලේකම්ගේ දැනුම් දීමක් මත අප දෙදෙනා ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවාගෙන ගියා. අප එහි දී ගෝඨාභය රාජපක්ෂ ව මුණ ගැහුණා.“සියලූ උද්ඝෝෂණ ව්‍යාපාර නැවැත්වූවේ නැත්නම් සිදුවන දේ බලාගන්න පුලුවන්” යැයි කියමින් එහි දී ඔහු අපට තර්ජනය කළා. නමුත් අප ඔහූගේ තර්ජනයට බිය වූණේ නැහැ. “ඔබ කරන්නේ තර්ජනයක්ද …?” අප එවෙලෙම ඔහුගෙන් ඇහුව්වා. “ තවදුරටත් මාධ්‍යවේදීන් මරා දැමීම, තර්ජනය කිරීම, පැහැර ගෙන යෑම, මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම නවත්වන්න. ඒ දේවල් නවත්වන තුරු අපි අපේ විරෝධතා ව්‍යාපාර නොනවත්වා ඉදිරියටත් පවත්වාගෙන යනවා” කියල අපි දෙන්නා එක හඬින්ම කිව්වා. “අපි දුප්පත් වුණත්, අපේ මව්පියන් මැදමුලනේ වළං හොඳන්නේ නෑ” කියලා එවෙලේ අපි මූණට ම කිව්වා. එවිට ‘‘ ආ එහෙම ද? එහෙනම් නම් වෙන්න ඕන දේ ඕන තැනින් වෙයි” කියල ඔහු කිව්වා. තවත් ඒ අපහාස තර්ජන ඉවසන් ඉන්න බැරිතැන අපි එතැනින් එළියට ආවා. ඒක ඉතාම පැහැදිලි ජීවිත තර්ජනයක් බව අපට හැඟුණා. ඒ නිසා ඔහූගේ කාර්යාලයෙන් පිට වී අපි දෙන්නා කොටුව පොලීසියට ගියා. ඒත් අපේ පැමිණිල්ල ඔවුන් භාර ගත්තේ නැහැ.
ඊට පස්සේ මොකද වුණේ?
ඒ සිදුවීම වෙලා මාස කිහිපයක් යනකොට ‘මිග් 27‘ගනුදෙනුව ගැන ‘සන්ඬේ ලීඩර්‘ සහ ‘සන්ඬේ ටයිම්ස්‘ පුවත්පත්වල ලිපි පළ වුණා. ඒත් එක්කම සන්ඩේ ටයිම්ස් පත්තරේ මාධ්‍යවේ දී ඉක්බාල් අතාස්ට මරණ තරජන එල්ල වුණා. වැඩි දවසක් ගත වුණේ නැහැ සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ දවල් අධි ආරක්ෂක කලාපයක මහමග මරා දමා තිබුණා. ලසන්ත වික්‍රමතුංග අවමංගල්‍ය උත්සවය මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, බොහෝ දේශපාලන පක්ෂ එකතු වී දැඩි විරෝධතා මධ්‍යයේ සිදු කළා. ඊට පස්සේ අපේ සංවිධානයේ හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානීන්ට නොකඩවා මරණ තර්ජනය එල්ල වුණා. ඔවුන්ගෙන් බේරීමට තිබූ එකම විකල්පය වුණේ රටින් පිටව යාමයි. අප රටින් පිටව ගියා. ඒත් සති තුනකින් විතර මම ලංකාවට ආවා. ඔය කාලය වනවිට අප සංගම් කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලයි තිබුණේ. දවසක් මා සංගම් කාර්යාලය ඉදිකරන වැඩ බිමේ සිට නිවස කරා යාමට පිටත් වුණා. ඒ වන විට මම හිටියේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් ලබා දෙන නුගේගොඩ ඇඹුල්දෙණියේ පිහිටි ආරක්ෂිත නිවසක. මම පිටකොටුවේ සිට නුගේගොඩ දක්වා පැමිණ එතැන්සිට ඇඹුල්දෙණිය මහවත්ත පාරේ ඇවිද ගෙන යන විට නවතා තිබූ සුදු වෑන් රියක් අසළින් යන විට ක්ෂණිකව දොරවල් විවෘත කොට ඇතුළත සිටි පිරිසක් මා ඇතුළට ඇද ගත්තා. මගේ මතකයේ හැටියට එම සුදු වෑන් රථයේ තිබූණේ ඉදිරිපස ආසනය සහ පිටු පස ආසනය විතරයි. පැහැර ගත් සැණින් ඔවුන් මාව වෑන් රථය බිමට ඇද දමා අත් දෙකයි ඇස් දෙකයි බැන්දා. ඊට පස්සේ ඉතාම අමානුෂික අන්දමින් පහර දුන්නා. එහෙම පහර දෙන අතරතුර ඔවුන් පැවසු දේ මගේ කණ වැකුණා. “ඔහොම හරියන්නේ නෑ. මේ කොට කෑල්ල කකුලෙ යටට තියලා ගහපන්”. මොහොතකින් හෙණයක් පාත්වුණා වගේ. මට සිහිසුන් වෙන්න යනවා වගේ දැනුනා. ඊට පස්සේ මට මොනව වුණාද කියල මං දන්නේ නැහැ. විශාල පිළිස්සුම් වේදනාවකින් මං එකපාරටම ඇහැරුණා. ‘මීට පස්සේ උඹ බල්ලා වගේ කට පියාගෙන හිටපං. මේක අපටත් මළ කරදරයක්” එතන සිටි අයෙක් කිව්වා. වාහනයේ දොර විවෘත වෙන හඬ ඇසුණා. මාව වාහනයෙන් එළියට ඇදල දැම්මා කියල මට දැනුණා.
පසුව මම දැනගත්ත විදියට මාව දාල ගිහින් තිබුණේ අංගොඩ උණ රෝහලට යන පාළු පාරක ලඳු කැළෑවක් අසළ. රාත්‍රියට ඒ පාරේ වාහන යන්නේ ඉතාම කලාතුරකින්. ත්‍රීරෝද රථ රියදුරෙක් ඒ අසලින් යද් දී එහාට මෙහෙට පෙරළෙන, කෑගසන ගුලියක් වගේ දෙයක් දැකල; අංගොඩ මංසන්ධියට ගිහින් තවත් ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනක් එක්කගෙන ඇවිත් මොකක්ද කියල බලලා. ඊට පස්සේ මනුස්සයෙක් කියල දැනගෙන ගැටගහල තිබූණු මගේ බැමි කපල මාව කොළඹ මහ රෝහලේ හදිසි අනතූරු අංශයට ඇතුළත් කර තිබුණා. රෝහලට ඔවුන් මාව අරගෙන එනකොට නොනවතින විශාල කැස්සක් මට තිබුණා මතකයි. ඒ කැස්ස හැදිල තිබුණේ මගේ රැවුල කපල ඒ කෙස් මගේ කටට ඔබල තිබුණ නිසයි. කුඩා කෙස් කෙට උගුරට ගිහින් කැස්ස ඇති වී තිබුණා. හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පස්සේ පැය කිහිපයකින් පියවි සිහිය ලැබුණා. එතකොට තමයි දැනගත්තේ මගේ වම් පාදය වළලූ කර ළඟින් කඩා දමා ඇති බව. අනිත් කකුලේ අස්ථි බිඳී නොතිබුණත් දරුණු අන්දමින් සිදු කළ පහරදීම් නිසා මාංශ පේශිවලට හානිවෙලා තිබුණා ඒ වගේම පිලිස්සී තිබුණා. දකූණු අතේ ඇඟිලි කිහිපයක්ම තුවාල කරලා තිබුණා. මීටත් අමතරව මුගූරක් වැනි දෙයකින් ඔළුට පහර දීම නිසා තැලී තුවාල වී තිබුණා. පසුව ශල්‍යකර්මයකට භාජනය කර කඩා දමා තිබුණු වම් පාදයේ වළලූකර ලෝහමය තහඩුවලින් බද්ධ කළා. රෝහලේ සිටි මූල් දින කිහිපයම මා ගතකළේ කිසිදා කිසිවකූ නොදැරිය යූතු මහත් වූ වේදනාවකින්. මේ විදියට දවස් 29ක් හදිසි අනතුරු ඒකකයේ මා ප්‍රතිකාර ලැබුවා. ඊටපස්සේ මාස තුනක් ම සති දෙකකට වරක් සායනික ප්‍රතිකාර සඳහා රෝහලට යන්න මට සිද්ද වුණා. මේ ගතවු මාස නමයක කාලය තුළ යම්තමින් හරි මම ඇවිදන් ගියේ කිහිලිකරුවල ආධාරයෙන්.
දින 29ක් රෝහලේ හිටපු ඔබ නිවසට ගියේ ඉදිකරමින් තිබූණු සංගම් කාර්යාලයටත් ගිහිල්ලා. අයි එච්චර අමාරුවෙන් ඒවගේ දෙයක් කළේ.
ඇත්තටම සංගම් කාර්යාලය හදන එක මගේ හීනයක්. ඒකට හේතූ තමයි වසර 38 කට වැඩි ඉතිහාසයක් තිබුණු අපේ සංගමයට හරි හමන් කාර්යාලයක් නොතිබීම. ටිකට් කපල රෝහලෙන් පිටවෙලා එනකොට බිරිඳත්, ගාමිණී සුසන්තත් මා සමඟ හිටියා. ඔවුන්ගේ තදබල විරෝධය මත මා සංගම් කාර්යාලය ඉදීකරන වැඩ බිමට ගියා. ඊට මාස දෙකකට විතර පස්සේ සියලූම පුවත්පත් කතුවරුන්ගේ සහභාගිත්වයෙන් නව සංගම් කාර්යාලය විවෘත කළා. ඒ ආවෙත් කිහිලිකරු ආධාරයෙන්. පැහැර ගැනීමෙන් මාස හයකට පස්සේ ජීවිතාරක්ෂාව සඳහා ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මඟින් මාවත්, බිරිඳවත්, දියණියවත් ඇමෙරිකාවට යැව්වා.
අමානුෂික අන්දමින් පහර දී වසර දහයක් පමණ ගතවී තිබුණත්; තවමත් ඔබ ඉන් පීඩා විඳින බව දැන ගන්න ලැබුණා.
ඔව් ඔවුන් මට නිරෝගී මිනිසකු විදියට ජීවත්වත්වෙලා මිය යන්න තිබෙන අයිතිය අහිමි කර තිබෙනවා. අදත් ඒ වධ හිංසා නිසා මම විවිධ අතුරු ආබාධයන්ට මුහුණ දෙනවා. ශීත සෘතුවේ දී ඇතැම් දිනවල ශීතල ඍණ අගයට පත්වන අවස්ථා තිබෙනවා. සුළු වේලාවකට හෝ ඒ මොහොතේ එළිමහනට ගියොත් වම් කකුල අභ්‍යන්තරයේ බද්ධ කර ඇති ලෝහමය තහඩු ශීතල වෙලා ඉවසාගන්න බැරි වේදනාවක් දෙපතුලේ සිට හිස් මුදුන කරා ගමන් කරනවා. පඩි පෙළක් නඟින්න අමාරුයි. වේගයෙන් ඇවිද ගෙන යන්න බැහැ. ඇවිද යද් දී සමබරතාව ගිලිහෙන ඇතැම් අවස්ථාවල ඇතිවන වේදනාව ඉවස ගන්න අමාරුයි. ඒ වේදනාව පැයක් හමාරක් පහනොවී තියෙනවා. මේ සියලූ ශාරීරික වේදනාවන් කෙසේ හෝ ඉවසා දරාගත්තත්; මගේ මනස තවමත් බියෙන් සලිත වෙනවා. වසර දහයක් ඉක්ම ගිහින් තිබුණත් ඒ මානසිකත්වයෙන් මට මිදීමට නොහැකියි. මම රාත්‍රියේ දී මර හඬ දී නින්දෙන් අවධි වෙනවා. ලංකාවෙන් සැතපුම් දස දහස් ගණනක ඈත සිටියත් අදත් සුදු වෑන් රථයක් දකින විට මා බියෙන් සලිත වෙනවා. මේ සඳහා කොතෙකුත් උපදේශන ප්‍රතිකාර ලැබූවත් මගේ මනස සුවපත් වී නැහැ. මා කවදාවත් මෙතරම් දුර්වල මනසක් ඇත්තෙකුව සිට නැහැ. එහෙත් නිරෝගී මිනිසකු වූ මා රෝගියකු බවට පත්කර තිබෙනවා.
පසුගිය පාලන කාලය තුළ ඝාතනයට ලක් වූ අයට හෝ ඔබට තවමත් යුත්තිය ඉටු වී නැහැ නේද?
ලසන්ත වික්‍රමතුංග මරා දැම්මා. සම්පත් ලක්මාල් ඇතුළු මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් 44 දෙනකු මරා දමා තිබෙනවා. ඔවුන් දැන් මිය ගිහින්. ඒත් මං වගේ පැහැර ගැනීමට සහ අති අමානුෂික වධහිංසාවන්ට ලක්වූ පිරිස් මුළු ජීවිත කාලයම දවස ගානේ මැරි මැරී උපදිනවා. මේ තත්ත්වයට පත්වෙන්න මා කළ අපරාධය මොකක්ද?. කවුරුන් හෝ වරදක් කර ඇත්නම්, පැහැරගෙන ගොස් අමානුෂික වධ බන්දනවලට ලක්කිරීමට කවර නීතියකින් ද අවසර දී ඇත්තේ? මා සේවය කළේ මුද්‍රිත මාධ්‍යයක. මා ලියූ අකුරක් පාසා අදත් ඕනෑම කෙනෙකුට කියවා බැලීමට හැකියි. රාජ්‍ය මාධ්‍යයක් වූ ‘සිළුමිණ’ පුවත්පතේ පවතින රජයේ රාජ්‍ය ආයතනවල මහා පරිමාණ දූෂණ වංචා කොතරම් හෙළිදරව් කර තිබේද යන්න ඕනෑම කෙනෙකුට පරීක්ෂා කර බැලීමට පූළුවන්. මහ බැංකු බැඳුම්කර සිද්ධියට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම වැට් බදු වංචාව රටට හෙළි කළේ මායි. වංචාවේ ප්‍රමාණය කෝටි 1200 ක්.
එය මුලින්ම හෙළිදරව් කළේ වංචාව කෝටි පනහක්ව තිබියදීයි. ඒ පිළිබඳ මා විසින්ම අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ද දමා තිබෙනවා. රාජපක්ෂ බලයට පැමිණ හොරකමට අදාළ වැට් බදු අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ආදායම් බදු කොමසාරිස් ජනරාල් බවට පත් කළා. ඒ නිසා මේවා හෙළිදරව් කිරීම රාජපක්ෂලාට රිස්සූවේ නැහැ. රටක බදු ගෙවන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ නිසා තමයි අද මා අර්ධ ආබාධිතයකු බවට පත්ව සිටින්නේ. මේ ඛේදවාචකයට මුහුණ දී ඇත්තේ මා පමණක් නෙමෙයි. මාධ්‍ය ක්ෂේත්රයේ රැඳී සිටි අයකු නිසා මට සිදු වූ විපත ගැන කතාබහට ලක්වුණා. එහෙත් හඬක් නැති කී දෙනෙකුට මේ අපරාධය සිදුවෙලා ඇද්ද ?
රාජ්‍ය පාලනයේ දී සිදුවන වරදක් පෙන්වා දීම, විවේචනය කිරීම; ඒ පුද්ගලයා මරා දැමීමට අතුරුදහන් කිරීමට, පැහැර ගෙන ගොස් අමානුෂික වධහිංසාවන්ට ලක්කොට නිහඬ කිරීමට හේතුවක් වී තිබුණා. ඒ නිසා එදා ජනමාධ්‍යවේදීහු නිහඬ වුණා; ජනමාධ්‍ය ආයතන නිහඬ වුණා; සිවිල් ක්‍රියාකාරිකයින් නිහඬ වුණා. ඇත්තටම මේ රටේ ජනතාව සබුද්ධික නම්, හෘදය සාක්ෂියක් ඇති අයනම්, මෙවැනි ව්‍යසනයක් නැවත දොතින් තුරුලූ කර ගන්න එකක් නැහැ. ඒ නිසා මොවුන් මේ සිදු කරල තියෙන්නේ එසේ මෙසේ අපරාධයක් නෙමෙයි. මේවට ඔවුන් වන්දිගෙවිය යුතුමයි. ඒ නිසා මට ඉටු කරන යුක්තිය වෙන්නේ මේ රටේ සබුද්ධික ජනතාව නැවත එවැනි තත්ත්වයකට ඉඩ නොතැබීමයි.