
ස්වභාවධර්මයේ දැතිරෝදය ඉතා හොඳින් හරි පැත්තට කැරකෙයි. ප්‍රතික්ෂේප කළ යුතු අය ප්‍රතික්ෂේප කරමින්ද, ඔසවා තැබිය යුතු අය ඔසොවා තබමින්ද නායකත්වයට පත් කළ යුතු අය නායකත්වයට පත් කරමින්ද දැතිරෝදය තවම කැරකෙයි. ශ්‍රී ලංකාවේ අතිබහුතරය ප්‍රාර්ථනා කළ අයුරින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත් වුණේය. රටේ අතිබහුතරය ප්‍රාර්ථනා කළ අයුරින්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් වුණේය. එහෙත් මේවා ඉබේ සිදු වූයේ නැත. ස්වභාවධර්මය හරි පැත්තට කැරකෙන්න පටන් ගත්තේද මිනිස් සමූහයක යහපත් ක්‍රියාවලිය නිසාය.
සිදුව ඇති දේශපාලන පරිවර්තනයට මුල්ගල තැබූයේ මීට වසර තුනකට හෝ තුනහමාරකට හෝ පෙරය. රටේ සිදු වෙමින් පැවති බලවත් විනාශය පිළිබඳ සමාජ සංවාදය පළමුව ඇති විය. දෙවනුව රටේ විද්වතුන් හා වෘත්තිකයන් ඒකරාශි කිරීම සිදු විය. තෙවනුව ගැටලු විසඳීමට අදාළ උපායමාර්ග සෙවීම සිදු විය. අවසන් ලෙස රටේ බිම් මට්ටමට මේ සංවාදය ගෙන යෑම සිදු විය. ක්‍රියාවලිය සරල නැත. වරෙක එය ඉදිරියට ගියේ ඉතා සෙමෙනි. තව වරෙක ජයග්‍රහණවලට වඩා පරාජයන් වැඩි විය. තවත් වරෙක සියල්ල කණපිට හැරවිය හැකි බාධා හා අවහිර එල්ල විය. එහෙත් අවසන් ලෙස මුළු රටේම ජනතාව එක පෙළට සිටගත්හ. ඒ ස්වකීය මවුබිම ආරක්ෂා කළ යුතුය යන මාහැඟි චින්තනය පෙරටු කොටගෙනය.
ලෙනින් සහෝදරයා විප්ලවය සඳහා ගොවීන් හා කම්කරුවන් ඒකරාශි කළේ සැතපුම් ගණන් පයින් ඇවිදිමිනි. ඇතැම් විට සති ගණන් එකම දේ ඔවුනට කියා දෙමිනි. එක්තරා දර කපන්නකු සිය විප්ලවයට දායක කරගැනීම සඳහා ලෙනින් සහෝදරයා කැලයට වැදුණේය. ඔහුද දර කැපුවේය; දර ඇද්දේය. උත්සාහය සාර්ථක විය. දර කපන්නා තම ගමේ සියලු දෙනා කැටුව විප්ලවයට එකතු වීය. මාඕ සේතුං සහෝදරයා චීන විප්ලවය සිදු කළේද එබඳු මහා පරිශ්‍රමයකින් පසුවය. හෝචි මිං සහෝදරයා වියට්නාමය ගොඩනැඟූයේද එබඳු මහා පරිශ්‍රමයකින් පසුවය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට ගොඩනැඟීමේ පණිවිඩය මැදපෙරදිගටද, යුරෝපයටද, ඕස්ට්රේලියාවටද, එංගලන්තයට හා අමෙරිකාවටද ගමන් කළේය. ඒ රටවල ශ්‍රී ලාංකිකයෝ වහා මවුබිමට පැමිණ ඡන්දය පාවිච්චි කළහ.
ලෝක ප්‍රකට නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන්නා සේ; විය යුත්තම සිදු වී ඇත. දැන් අවධානය යොමු විය යුත්තේ වැඩ කිරීම ගැනය. කාලය ඉතා වැදගත්ය. සෑම විනාඩියක්ම වැඩ කරන විනාඩියක් බවට පත් කරගැනීම සිදු විය යුතුව තිබේ. අගමැතිවරයා දිවුරුම් දුන් උත්සවයේදී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ දේශපාලකයාටද, පුරවැසියාටද අතිශයින් වැදගත් වන උපදේශනයක් දුන්හ. උන්වහන්සේගේ උපදේශනයෙහි ප්‍රධාන කරුණු තුනක් සංගෘහීතය. පළමු කරුණ වන්නේ ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අධිෂ්ඨානය සියලු දෙනා තුළම රෝපණය විය යුතු බවය. දෙවන කරුණ පාලකයන් මෙන්ම පුරවැසියන්ද මේ සඳහා කැපවීම් සිදු කළ යුතු බවය. තෙවන කරුණ මේ වගකීම අනාගත පරම්පරාවකට භාර නොදී අද පරපුරම නිමාවට පත් කළ යුතු යුතු බවය.
අපේ සාම්ප්‍රදායික මිනිසුන්ගේ ක්‍රමය වන්නේ ජයග්‍රහණ සැමරීමට විශාල කාලයක් අපතේ යැවීමය. කිරිබත් කෑමට කාලයක් ගත වෙයි. පිළිගැනීමේ උත්සවවලට කාලයක් ගත වෙයි. සමාලෝචනයට කාලයක් ගත වෙයි. විරුද්ධවාදීන්ට පිළිතුරු දීමට කාලයක් ගත වෙයි. ආපසු හැරී බලන විට වැඩ කරන්නට කාලයක් නැත. ඉදිරි වසර පහක කාලය තුළ රටේ බොහෝ දේවල් සිදු විය යුතුව තිබේ. ආර්ථිකය ගොඩනැඟීම බොහෝ දේවල් අතර ඇති ප්‍රමුඛ කාරණය බවද කිව යුතුය. ජාතික ආර්ථිකය පවතින්නේ ඉතා නරක තැනකය. ආර්ථික සංවර්ධන වේගය පල්ලම් බැස තිබේ. අපනයන ක්ෂේත්‍රය කඩාවැටී ඇත. නව නිෂ්පාදන සිදුවන්නේම නැත. විදේශ ණය බර හොඳටම වැඩිය. ජනතාව මත පැටවී ඇති බදු බරද ඔරොත්තු නොදෙන තරම්ය. මේවා හැකි විගස වෙනස් කළ යුතුය. නැතහොත් වෙනසකට අඩිතාලම හෝ දැමිය යුතුය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රධාන සටන් පාඨ කිහිපයක් තිබිණි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා රටේ ඒකීයත්වය ආරක්ෂා කිරීම, ජාතික ආර්ථිකය ගොඩනැංවීම, විදේශීයකරණයෙන් රට මුදාගැනීම, විනයගරුක සමාජයක් බිහි කිරීම ඒ අතර ප්‍රධාන වෙයි. ලෝකයේ දියුණුවට පත් වූ සෑම රාජ්‍යයක්ම මීට සමාන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාවට නංවා තිබේ. මැලේසියාව, වියට්නාමය, ජපානය, ඉන්දියාව වැනි රටවල් ඊට නිදසුන් ලෙස පවතී. ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා ඉහත කී රටවල නායකයන්ද පුරවැසියන්ද බලවත් කැපවීම් සිදු කර තිබේ. රට හා ජාතිය වෙනුවෙන් එබඳු කැපවීමක් කළ නොහැකි නම්; රටක් කිසි කලෙක දියුණු වන්නේ නැත. මහාත්මා ගාන්ධි තුමා ඉන්දීය නිෂ්පාදන ප්‍රචලිත කිරීම සඳහා ලෝකය පුරා සංචාරය කළේය. එතුමා එදා ලෝකයේ සෙසු රටවලින් ඉල්ලා සිටියේ ඉන්දියාව දියුණු කිරීමට දායක වන්න කියාය.
සිදු වූ දේශපාලන පරිවර්තනය නිසා මහජන චින්තනය සුබදායක ලෙස වෙනස් වී ඇත. ස්වදේශිකත්වය අගය කරන මහජන පෙළගැස්මක් දැන් පවතී. එහි පැහැදිලි අර්ථය වන්නේ මවුබිම වෙනුවෙන් කැප කිරීම්වලට ජනතාව සූදානම් බවය. රටක මෙබඳු පොදු හැඟීමක් ඇති වන්නේ කලාතුරකිනි. මේ සුබදායක පරිවර්තනයෙන් උපරිම ඵල නෙළාගන්න පාලකයන් දැනගත යුතුය. ව්‍යාපාරිකයන් දැන් කකුලෙන් අදින්නේ නැත; අහේතුකව භාණ්ඩ මිල ඉහළ දමන්නේ නැත; භාණ්ඩ සඟවන්නේ නැත. ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් කුමන්ත්‍රණ අටවන්නේ නැත. පාතාලය පවා තක්බීර් වී සිටිති. රටේ පවතින පසුබිම ඉතා යහපත් බව ඒ අනුව සිතාගත හැකිය. මේ සියල්ලෙන්ම කියවෙන්නේ දැන් වැඩ කිරීමට කාලය එළඹ ඇති බවයි.
ජනාධිපතිවරයා ගෙවී ගිය දින කිහිපයේදී වැදගත් තීන්දු-තීරණ ගණනාවක් ගෙන තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් ඔස්සේ විමර්ශනයක් සිදු කිරීමට ගත් තීරණය ඒ අතර ප්‍රධානය. ඒ කමිටුවේ නිර්දේශ අනුව වැරදිකරුවන්ට දඬුවම්ද, වින්දිතයන්ට යුක්තියද ඉටු වනු ඇත. දේශපාලකයන්ගේ මුහුණු වෙනුවට රාජ්‍ය ලාංඡනය රජයේ කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට ගත් තීන්දුවද වැදගත්ය. දේශපාලකයන් පුම්බනවා වෙනුවට රට පිළිබඳ පොදු හැඟීමක් ඇති කිරීමට ඒ තීරණය හේතු-සාධක වෙයි. රට හා ජනතාව ගමන් කළ යුතු දිශානතිය දැන් පැහැදිලිය.