
සෞභාග්‍යයේ අරුණලු උදා වී ඉකුත් 18 වැනිදාට හරියට ම තෙමසකි. නිදහස් රටක්, බියක් සැකක් නැති අනාගතයක් වෙනුවෙන් සිහින දකිමින් සිටි ජනතාවට ඒ බලාපොරොත්තු ඉටුවීමේ මූලික අඩිතාලම මේ තෙමස පුරා නිර්මාණය විණි. බෝම්බ බියෙන් ඇළලී ගිය, පාස්කු ප්‍රහාරයේ අඳුරු සෙවණැලිවලින් වැසී ගිය හදවත් ඇති බොහෝ ජනයා නිදහසේ අරුණලු විඳිමින් සිටිති. මේ සෞභාග්‍යයේ ඇරඹුම වන්නේ ඒ නිසා ය.
ඉතිහාසය පුරා බොහෝ වාරයක් අප සංස්කෘතිය බොහෝවිට ගොඩනැඟුණේ රැවටීම් මූලික කර ගනිමිනි. කුවේණිගෙන් ආරම්භ වූ එකී රැවටීම අද දක්වා බොහෝ වාරයක් තිස්සේ අපි අත්විඳින්නෙමු. එදා සිට අද දක්වා විවිධ වකවානුවල පාලකයන්ගේ බොරු පොරොන්දුවලට අපි රැවටුනෙමු. මෑතකදී යහපාලන ආණ්ඩුව අප කෙතරම් රැවටූයේ ද යන්න දැනෙන්නේ රටේ පොදු ජනතාව ඉදිරියේ පාලක පන්තිය හාස්‍යයට උපහාසයට ලක් වූ වාර ගණන සිතද්දී ය; එසේත් නැත්නම් ජනාධිපතිවරයා ජනතාවට සහන දෙන්නට කරන ක්‍රියා දකින විටදීය. ගෙවන්නට නොහැකි තරම් ණය බරක් ඉදිරියේ වත්මන් ආණ්ඩුව ජනතාවට සහන දෙන්නට කරන අරගලය; ජීවන අරගලය තරම් ම බර ය. හොරු අල්ලන්නට කියා ජනතා ඡන්ද රවටා ගත් යහපාලන ආණ්ඩුවට අල්ලන්නට හොරෙක් සිටියේ නැත. මේ සියලු අපහාස, උපහාස මායිම් නොකළ වත්මන් ජනාධිපතිවරයා සැබෑ ජන නායකයකුගේ භූමිකාවට පණ පොවමින් ජනතා සේවක කාර්යයේ නියැළෙන්නේ, නායකත්වය කෙසේ විය යුතුද යන පූර්වාදර්ශය සපයමිනි. වන්දනාමාන කරන නායකත්වයක් වෙනුවට ඔහු තෝරා ගත්තේ ක්‍රියාවෙන් වැඩ පෙන්වන්නකුගේ භූමිකාව ය. රටට සෞභාග්‍ය උදා වෙන්නේ ඒ නිවැරදි මඟ පෙන්වීමෙන් ලද ආශීර්වාදය නිසා ය.
බොරු පොරොන්දු සංස්කෘතියක් වෙනුවට වත්මන් ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ තැබූයේ තමන්ට ඉටුකර ගත හැකි පොරොන්දු ය. එහි සංස්කෘතියේ, ආර්ථිකයේ, අධ්‍යාපනයේ ඈ සෑම දේකම ලාංකේය අනන්‍යතාව ගැබී වී තිබිණි. එනිසාම පසුගිය මැතිවරණ සමයේ වූ පොරොන්දු මේ වන විට ජනතාව ඉදිරියේ යථාර්ථයක් වී තිබේ.
ජනතාව සිය ආණ්ඩුව කෙරෙහි දැක්වූ විශ්වසනීයත්වයට ගරු කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනා සම්මතයේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට රජය තීරණය කිරීම මේ තෙමස ඇතුළත සිදු වූ සිදුවීම් අතරින් කැපී පෙනෙයි. ජිනීවා මර උගුලෙන් ආණ්ඩුව ගැලවීම ඉමහත් ජනතා ප්‍රසාදයට ලක්වීම මෙයට හේතුවයි. රටේ සෛවරීත්වය, භෞමික අඛණ්ඩතාව හා දේශපාලන නිදහස වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීමේ වගකීම ආණ්ඩුව වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කළේය.
බදු බර ජනතාවගේ කර පිටෙන් ඉවත් කිරීම මේ තෙමස ඇතුළත ජනතාවට සැලසූ අප්‍රමාණ සහන අතර ප්‍රධාන තැනක් ගනී. පන්සලේ පින් පෙට්ටියෙන් පවා රඳවා ගැනීමේ බදු අය කර ගත් කාලයක් අපි පසු කළෙමු. බදු බරින් මිරිකී සිටි පොදු මහජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ මෙහෙයවීම මත ආණ්ඩුව ක්‍රියා කිරීම මේ අතරින් කැපී පෙනෙයි. එමඟින් වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩු කළ අතර දුරකතන බද්ධ සියයට 25කින් අඩු කිරීම නවීන තාක්ෂණය සපිරි රටක් ගොඩනැංවීමේ මූලික අඩිතාලම නිර්මාණය කිරීමකි.
මැති ඇමතිවරුන්ට අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ සංස්කෘතිය නතර කළ වත්මන් ජනාධිපතිවරයා ඒ මඟින් වසරකට කෝටි 1000ක ප්‍රතිලාභයක් රටට ඉතිරි කර තිබේ. පසුගිය ආණ්ඩු සමයේ මැති ඇමැතිවරුන් පමණක් නොව මන්ත්‍රීවරුන් සඳහා ද ගෙන්වූ අධි සුඛෝපභෝගී වාහනවල මිල ගණන් හා ඒ වෙනුවෙන් වැය කළ පිරිවැය අපි මාධ්‍ය ඔස්සේ දුටුවෙමු. ජනතාවගේ ඡන්දයෙන් ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට පත්වන මහජන නියෝජිතයන් සැප වාහනවල යද්දී, ඊට දරදිය ඇදි සාමාන්‍ය ජනතාව හරිහමන් පොදු වාහනයක් හෝ නැතිව මහමඟ දුක් විඳි සංස්කෘතිය නිමාවට පත්වෙමින් තිබේ. මේ අප දකින්නේ ජනතාවගේ කඳුළු බරට වැඩියෙන් බර සතුටු කඳුළු ය.
විවිධ අවශ්‍යතා හා බලපෑම් නිසා උසස් අධ්‍යාපනය ලැබීමට නොහැකිවූ බහුතරයක් තරුණ පිරිසගේ අනාගතය ගැන මෙතෙක් කිසිදු ආණ්ඩුවක් සිතුවේ නැත. එහෙත් වත්මන් ජනාධිපතිවරයා සාමාන්‍ය පෙළ සමත් ලක්ෂයකට රැකියා ලබාදීම හා උසස් පෙළ සමත් 181,000කට උපාධි වරම් ලබාදීමට තීරණය කර තිබේ. මෙතෙක් ඒ වූල අධ්‍යාපනික අයවලුන් ගැන කිසිවෙක් සිතුවේ නැත. රටක ජීවනාලිය වන තරුණ පරම්පරාව රැක ගැනීමේ හා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට වත්මන් ආණ්ඩුව ප්‍රවිශ්ට වූයේ එලෙසය. මේ තෙමසක කාලය ලොකු කුඩා සැමටම පොදු සෞභාග්‍යවත් කාලයක් වන්නේ එලෙසය.
උපාධිධාරීන් නිසිපරිදි රාජ්‍ය සේවයට එක්කර ගැනීමටත්, ඔවුන්ගෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත් රජය විසින් උපාධිධාරින් 50,000කට රැකියා ලබාදීමට ගත් තීරණය ද වැදගත්ය. එමෙන්ම එසේ බඳවා ගන්නා උපාධිධාරින්ට නිදහස්, නිවහල් චින්තනයකින් යුතුව වැඩ කිරීමේ පරිසරය ද නිර්මාණය වෙමින් පවතී. දේවානී ජයතිලකලා නිසි රාජ්‍ය සේවයක් වෙනුවෙන් අරගල කරන්නට පසුබට නොවූයේ ඒ නිසාය. රාජ්‍ය සේවාව ශක්තිමත් වීම දියුණු ආර්ථිකයක පෙරමඟ ලකුණු ය. දේවානිලාගේ පරපුරටත් ඉදිරි පරම්පරාවලටත් නිදහස්ව නිවහල්ව වැඩ කිරීමේ අවකාශය උදා වෙන්නේ මේ ලබාදුන් නිදහස නිසාය.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ 22 වැනි ජාතික සම්මේලනයේදී ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දුව මෙහිදී අවධාරණය කරනු වටී.
“රාජ්‍ය සේවා තියෙන්නේ ජනතාව වෙනුවෙන්. ඒත් ඒ සේවා ලබාගන්න ජනතාව කෙතරම් බාධක විඳිනවද? මේ දැඩි නීති ලිහිල් කරන්න ඕන. මේ නීති නිසා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා“
මේ පාලකයකුගේ හඬ නොව නායකයකුගේ හඬයි. මේ තෙමස ඇතුළත වසර ගණනාවක ජවයක් තිබේ. ජනතාවට තමන්ගේ හිතට දැනෙන, තමන්ට ආදරය කරන ජන නායකයකු ලැබී තිබේ. සුබ අනාගතයක පෙරනිමිති පහළ වන්නේ පාලකයකු වෙනුවට නායකයකු ලැබී ඇති බැවිනි.
2005 වසරේ මහින්ද චින්තනයෙන් ආරම්භ වී 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් විකසිත වුණු ජනතා අභිලාෂය 2020 දී සෞභාග්‍යයේ දැක්මෙන් ඵලදරමින් තිබේ.
නිවැරදි නායකත්වයක් හා දැක්මක් විසින් රටක් සුරක්ෂිත කිරීම යථාර්ථයක් බවට පත් වී තිබේ. ඉදින් මේ එළැඹෙන්නේ ජනතා බලාපොරොත්තුවේ ඉදිරි දැක්මයි. තෙමසක් ඇතුළත පොදු ජනතාවගේ සිතිවිලි හා බලාපොරොත්තු මෙතරම් හොඳින් කියවාගත් හා ඒ වෙනුවෙන් කැපවූ ආණ්ඩුවක් ලැබීම ජනතාවට භාග්‍යයක් වන්නේ ඒ නිසාය.