
සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික මංග්‍යලයයි. අප ද, ප්‍රජාව ද, භූමිය ද ඒ අනුව සමස්ත සමාජයීය, පාරිසරික ක්‍රියාවලිය ද අලුත් වෙන කාලයයි. හිතේ සතුටට අලුත් අවුරුද්දේ වත් පිළිවෙත් චාරිත්‍රානුකූල ව සහ ජයට ඉටු කරන්නට නොහැකි වන්නේ නම් ඊට වඩා සිංහලයා අසතුටට පත් කරන තවත් දැයක් නැති තරම් ය.
එහෙත් අප මේ වනවිට වාඩිලා සිටින්නේ ලාවා පිරුණු ගිනි කන්දක මුවවිටය. ඒ ගිනිකන්ද කොයි මොහොතේ පුපුරා ගොස් අපේ ජීවිත ගින්නෙන් දවාලන්නේ ද යන්න ගැන හරිහැටි නිනව්වක් නැත. වෙනදා වපුරන අස්වැන්න ගෙට ගෙන වේලා සහල් කර අලුත් බතක් පිසින්නට අලුත් වළන් මිලදී ගෙන ලිප් තනන අපි; අද ආහාර සුරක්ෂිත කරගෙන අරපිරිමැස්මෙන් භාවිත කරන අයුරු ගැන සිතන්නෙමු. වෙනදාටත් වඩා සක්‍රිය සොබාදහම දෙස බලන්නට, ඒ හා ඒකාකාරී වන්නට සිතේ නිදහසක් නැත. සොබාදහමේ ආශීර්වාදයෙන් අස්වැද්දෙන කුඹුරේ සහල් ගෙන අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට මෙවර ඉඩ නැත. සියල්ලන් සිටින්නේ තැති ගැන්මකින් හා බියකිනි. එහෙත් වෙන කවරදාටත් වඩා ගෙදර සැවොම එකට එක්වී පවුලක් ලෙස දීර්ඝ නිවාඩුවක් ගත කරමින් සිටිති. එය සාධනීය වූවකි. වෙනදා මෙන් කදමලු බැඳගෙන නෑ හිතවතුන් බලන්නට යෑම වෙනුවට සිය පවුලේ අය සමඟ හුදෙකලාව සමරන අවුරුද්දක් උදා වී ඇත. ප්‍රිය සම්භාෂණ හෝ මත්පැන් සාද නැති හිතේ ආදරය පමණක් ම ඇති අවුරුද්දක් මේ ඔබේ ජීවිත කාලය ඇතුළත උදා වූ පළමු අවස්ථාව විය හැකිය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද; මේ රටේ ජනතාව ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ වාසය කළ පැරණි මිනිසා තමන් දැන සිටි ස්වභාවික විශ්ව විද්‍යාවක් සාමූහික ව සැමරීමේ උත්සවයයි. මේ රටේ මිනිසාට රාශී චක්‍ර ගැන, විශ්වයේ ස්වභාවය ගැන තිබූ අවබෝධය තියුණු ය. එපමණක් නොවේ; ස්වභාවධර්මය ගැන ඇති දැනීම ද හිතළුවක් නොවේ. එබැවින් සොබාදහම ‘කොරෝනා‘ නමින් මේ දී ඇති තරමක් දීර්ඝ ‘නොනගතය‘ ගැඹුරින් කියවා ගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් වේ. සොබාදහම මේ දෙන ලද දඩුවම හෝ පණිවුඩය හරියට තේරුම් ගෙන එය ඉල්ලා සිටින දැඩි ආත්ම විනය රැකගෙන ගෙවල්වලට වී කුටුම්භය නිදුකින් නිරෝගීව ආරක්ෂා කරගැනීම අපේ වගකීමයි. මේ අප පැරැණ්නන් දැන සිටි විශ්ව විද්‍යාව නියමාකාරයෙන් කළ යුතු කාලයයි.
අලුත් අවුරුද්ද ලෙස අප අර්ථකථකතනය කර ගන්නේ ම පිරිසුදු හා නිරෝධායන ක්‍රියාවලියකි. අවුරුද්ද එළැඹෙත්ම අපි ගේ දොර අස්පරස්කර හුනු, තීන්ත හෝ ගොම ගා විෂබීජ හරණය කරන්නෙමු. පරණ ඇඳුම් වෙනුවට අලුත් ඇඳුම්, පරණ ලිප වෙනුවට ගොම ගා පිරිසුදු කරන ලද නව ලිප, කිරි ඉතිරවන නව මුට්ටිය, කිරිබත් උයන නව වළඳ ආදිය නව බවේ, පිරිසුදු බවේ ලකුණු ය. අනතුරුව හදන හත්මාළුව; අපි සැමගේ උදර සුවතාව උදෙසා ය. නොනගතය; වසරේ දින 365 ම වෙහෙසෙන ගෙදර ගෘහණියට විවේකයක් උදෙසා ය. නොනගතයේ පන්සල් යන අපි මනසින් ධාර්මික ද; ගතින් නිරෝධායනය ද වෙමු. පන්සල් භූමියට ඇතුළු වෙද්දීම පයට පෑගෙන වැලි කැට ඔබේ පයේ ස්නායූ උද්දීපනය කරයි. කාබන්ඩයොක්සයිඩ් වැඩියෙන් ම උරාගන්නා ශාකය සේ නම් ලද බෝධිය විෂ වායු උරාගෙන ඔක්සිජන් සම්පාදනය කරයි. ඒ ද නිරෝධායනයකි.
අනතුරුව වැඩ අල්ලා ලිඳට යන අපි ලිඳ සමඟ ගනුදෙනු කරන්නේ භාණ්ඩ කිහිපයක් සහිත පොට්ටනියක් ලිඳට දමා අනතුරුව පළමු වතුර බාල්දිය උඩට ඇද ගැනීමෙනි. ළිඳට දමන පොට්ටනියේ අඟුරු කෑලි කිහිපයක්, සමන් මල් කිහිපයක් හා තඹ කාසියක් ඇතුළත් ය. දිය පිරිසුදු කිරීමේ ශක්තිය අඟුරු කැබැල්ලට ඇති අතර; මිනිස් සිරුරට අවශ්‍ය තඹ, තඹ කාසියේ අන්තර්ගත ය. පොට්ටනියේ අඩංගු දෑ වසරක් තිස්සේ ළිං දියෙහි දියවෙයි. අවුරුද්දක් තිස්සේ ඒ ළිඳෙන් වතුර බොන ගෙදර අයට නොදැනුවත්වම තඹ ඇතුළු වේ. තඹ; ශරීරයට අත්‍යවශ්‍ය දෙයකි. මේවා නමින් හැඳින්වූයේ නැතත් ස්වයංනිරෝධායන ක්‍රමය ය.
හිස තෙල් ගෑමේ චාරිත්‍රය ද එසේය. බෙහෙත් පැලෑටිවලින් පිළියෙළ කරන තෙලක් සුබ නැකතට හිස් මුදුනේ වැඩිහිටියකු විසින් ගල්වනු ලබයි. දෙහි ඇඹුල් මිශ්‍ර ඖෂධ වලින් හිස සෝදා ගැනීමෙන් හිසේ අපවිත්‍ර දෑ ඉවත් වී නිරෝගී වේ. මේවා ද නිරෝධායන ක්‍රම නොවන්නේද?
අලුත් අවුරුද්ද කියන්නේම නිරෝධායන ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය ගෙදර සිට සැමරීමට මේ ගෝලීය වසංගතය අපට බල කර සිටී. වඩා වැදගත් වන්නේ නිරෝගී බවයි. එබැවින් මේ වැනි වසංගත සමයෙක අප අවුරුද්ද සැමරිය යුත්තේ අනෙකාගේ යහපත ගැන සිතා ය. මේ ඇඳිරිනීතිමය තත්ත්වය ලිහිල් නොකර තවදුරටත් පවත්වා ගතහොත් කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කරගත හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සමාජ දුරස්ථභාවය වසංගතයක් පාලනය කිරීමේ මූලික ම කරුණ ය. එය සෞඛ්‍ය බලධාරීන්ට පමණක් කළ හැක්කක් නොවේ. ඊට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යය ය. ජනතාව නිසි ක්‍රමවේද පිළිපදින්නේ නම් මේ වසංගතය පාලනය කිරීම අසීරු කරුණක් නොවේ.
මේ අවුරුදු උදාවේ ඔබේ සමීපතමයන් එකට එක නිවෙසේ සිටීම වාසනාවක් සේ සලකා නිවෙසේ සිට ඔබට හැකි පමණින් අවුරුදු සමරන්නේ නම් එය රට වෙනුවෙන් ඔබ කරන මහඟු මෙහෙයක් වනු නොඅනුමාන ය.