කොරෝනාව පැරදවීමේ පුරවැසි යුතුකම | සිළුමිණ

කොරෝනාව පැරදවීමේ පුරවැසි යුතුකම

කිසිවක්ම සිදු නොවන හෝ සිදුවන්නට සිතන්නේවත් නැති දශක තිබේ. එසේ වුවත් දශකයක සිදුවන දෑ සිදුවන සති තිබේ යැයි කියන්නේ ව්ලැඩ්මියර් ලෙනින් ය. ඔහු එසේ ප්‍රකාශ කළේ 1905 වර්ෂයේ රුසියාවේ ඇතිවූ විප්ලවීය රළ පහර නිරීක්ෂණය කරමින් හා ඒ ක්‍රියාවලියට සහභාගී වෙමිනි. අර්බුද සමයන්හිදී සිදුවීම් කෙතරම් වේගවත් යන්නේ ද යත්; ඒවා විශ්ලේෂණය කිරීමටවත් ඉඩක් තියන්නේ නැත. ඒ, මොහොතකට පෙර ඉතාම අලුත් යැයි හැඟුණු විශ්ලේෂණ පවා ඉතා ඉක්මනින් ඉපැරණි හා කල් ඉකුත් වූ ඒවා වීම නිසාය.

කෝවිඩ් 19 කියන්නේද ඒ වැනිම වූ දෙයකි; මේ කියන, දකින, විශ්ලේෂණය කරන දෑ තවත් මොහොතකින් වෙනස් වන්නකි. එසේ වූවා කියා වයිරසයකට යටවී සියල්ල හකුළුවා ගෙන සිටීමේ හැකියාවක් ද නැත. කෝවිඩ් 19 අපේ සමීපතම ගමන් සඟයා වේදැයි යන තුෂ්ණිම්භූත හැඟීමෙන් යුතුව ගතවන දෙවන මාසයද නිමා වෙමින් පවතී. මුහුණු වැස්මෙන් ආවරණය වූ මුවෙන් අප එකිනෙකාට සිනාසෙන්නේ ද; ඔරවන්නේ ද යන්න ගැන නිනව්වක් නැතිවම ගොස්ය. ජීවිතයේ කිසිදු දිනෙක නොලද දීර්ඝ හා ආතතිකර නිවාඩුවක් අපි ගෙවමින් සිටින්නෙමු. කුමක් හෝ සිටුවන්නට බීජ සොයමින් ද; චූන් පාන් ඇතුළු පාරේ කෑ ගසමින් විවිධ දෑ විකුණමින් යන සෑම වාහනයකටම එබිකම් කරමින් ද අපි මේ ගෙවූ දෙමාසය විසින් අපට නිර්මාණය කර දුන් ආර්ථික අවපාතය නම් සුළුපටු නැත. එනිසාම ඒ ගැන වගකීමෙන් යුතුව සිතන්නට කාලය එළැඹ තිබේ.

තිහේ දශකයෙන් පසු ගෝලීය ආර්ථිකය මුහුණ දෙන දරුණුතම ගෝලීය ආර්ථික අවපාතය මෙයයි. ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳාම මේ වසරේ 32% කින් පමණ මන්දගාමී විය හැකි බව ලෝක වෙළෙඳ සංවිධානය (WTO) පුරෝකතනය කර තිබේ. ඒ අනුව අප කඩිනමින් කළ යුතු ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ උසස් අධ්‍යාපනය සඳහා රටින් පිට යන විදේශ විනිමය රඳවා ගැනීමට සැලසුම් කිරීමයි. අධ්‍යාපනය යනු රටක අනාගතය තීරණය කරන හොඳම ආයෝජනයයි. මේ රටේ ඉතිහාසය පුරා සිදුවූයේ නිදහස් අධ්‍යාපනයේ ඵල ප්‍රයෝජන ලබා ලාංකේය බුද්ධි සම්පත යුරෝපාකරයට ඒ දැනුම සින්න කිරීමය. විද්‍යාඥයන්, පර්යේෂකයන්, චින්තකයන්, ඉංජිනේරුවන් පමණක් නොව ව්‍යවසායකයෝද ඒ අතර වෙති. මේ අයගේ දැනුම සිය මවු රටට ගැනීමේ වැඩපිළිවළක් සකස් කිරීමට මේ හොඳම අවස්ථාවයි. කොයි දේශ දීපංකරයේ ගියත් ව්‍යසනයකදී හැමෝටම මතක් වෙන්නේ තම මවුබිමය. ඊට අවැසි උදාහරණ ඕනෑවටත් වඩා පසුගිය කාලවකවානුවේ අත්දකින්නට ලැබුණේ ය. බුද්ධි ගලනය නවත්වා ගත හැකි නම් ඔවුන් සක්‍රීයව මේ රටේ ආර්ථිකය ගොඩනංවන්නට දායක කරගත හැකිය.

දෙවැන්න සුබසාධක යැපුම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් පණ ගන්වා ගැනීමය. ඒ සඳහා යම් යම් සැලසුම් පිළිබඳ අවධානය යොමු වෙන අයුරුත්; ජනතාව අතර ඒ ගැන ප්‍රබෝධයක් හා සැලැස්මක් නිර්මාණය වෙන අයුරුද දුටුවෙමු. ආර්ථිකය කියන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා පමණක් නොවේ. මේවා යම් පමණකට අදියරෙන් අදියර මැයි 11 වැනිදා සිට විවෘත කිරීමට රජය ගත් තීරණය හා සමගාමීව සංචාරක, ඇගළුම් හා ස්වයං රැකියා ක්ෂේත්‍ර ද ආරම්භ කිරීමට පියවර ගත යුතුව තිබේ. මේ ක්ෂේත්‍ර අද ඇත්තේ අකර්මණ්‍යව ය. ලෝකයේ බොහෝ රටවල් මේ වැනිම මන්දගාමී තත්ත්වයක සිටියද ආර්ථිකය සක්‍රිය කර ගැනීම ගැන විවිධ අත්හදාබැලීම් කරමින් සිටිති. නිෂ්පාදන ආර්ථිකය ඇණ හිටීම නිසාත් අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වීම නිසාත් දහස් ගණනකගේ රැකියා මේ වනවිට අහිමි වී තිබේ. එනිසා පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මානව සම්පත රැක ගැනීම ගැන අවධානය යොමු කරමින් ආර්ථිකය පණ ගැන්වීම උදෙසා රට ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ආ යුතුව තිබේ. එහිදී සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්ණායකයන්ට කොන්දේසි විරහිතව එකඟ වීම අත්‍යවශ්‍යය.

රට ආර්ථික ක්‍රමවේදයකට යටත් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව අප කොරෝනාව සමඟ වැඩ කරන ක්‍රමවේද සොයාගත යුතුව තිබේ. තවමත් එන්නතක් හෝ සොයාගෙන නැති බැවින් දුරස්ථකරණයේ සීමා සමඟ තව කාලයක් කොරෝනාව හා සටන් කළ යුතුව ඇත. එනිසා කොරෝනාව සමඟම ඊට එරෙහිව තමන්, තමන් සමඟම සටන් කරමින් මේ ක්‍රියාවලියට අනුගත වීමට සිදු වේ. මේ වනවිට ලොව කොරෝනාවෙන් දරුණුම ලෙස බැට කෑ ස්පාඤ්ඤය පාපන්දු ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම් වන අතර; ඊශ්‍රායලය පාසල් පද්ධති විවෘත කිරීමට සූදානම් ව සිටී. ඇමරිකාව ද සිටින්නේ ආර්ථිකය විවෘත කිරීම පිළිබඳ කතිකාවකය. ඉදින් ශ්‍රී ලංකාව පම ණක් අඳුරු පටලයකින් වසා ගෙන සිට වැඩක් නැත; එසේ නොවුවහොත් එහි අගතිය හා පාඩුව ලැබෙන්නේ අපටමය.

ලංකාවේ සමාජය සමමිතික නැත: අසමිතිකය. සමාන නැත: විසමය. අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙය දරුණුවට බලපෑම් කරන්නේය. අතමිට අත ඇත්තෝ ඔන්ලයින් ක්‍රමයෙන් ඉගෙන ගත්ත ද හැම පාසල් දරුවකුටම ඒ පහසුකම නැත. මෙරට ලක්ෂ 44කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීමේ පහසුව ඇත්තේ සියයට පහකටත් අඩු පිරිසකට බව අවිවාදිතය. දරුවන්ට පාසල ඉතිරි කරන්නට නම් පාසල් අධ්‍යාපනය පටන් ගත යුතුව ඇත. එය අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කරන්නට රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටී.

කොරෝනා වයිරසය ලොව සියලු ජීවිත වල පදනම සලිත කර තිබේ. ඒ මහත් දුක් ප්‍රමාණයක් ජනිත කිරීමෙන් පමණක් නොවේ; මහා ආර්ථික අවපාතයකට වඩා දරුණු ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීමෙනි. එනිසා නැඟී සිටිය යුත්තේ ද පුරවැසියන්මය; ඔවුන්ගේම ශක්තියෙනි. ගුණ කථනයක් නොව; පෙට්ටියක් හෝ නැතිව මිය යන ගැඹුරු හුදෙකලාවක නෑසියන් නැතිව තනිවෙන මරණයක් ගැන සිතද්දී; කොරෝනා කළ හදියෙන් නැඟිටීමට සෑම පුරවැසියකුටම අද අදම ශක්තිය ලැබෙනු නිසැකය.

Comments