අපේ ඖෂධීය මුව ආවරණ ලොවට හඳුන්වා දුන් රටක් වටින කොල්ලා | සිළුමිණ

අපේ ඖෂධීය මුව ආවරණ ලොවට හඳුන්වා දුන් රටක් වටින කොල්ලා

 

ඔහුගේ කතා විලාසය ප්‍රියමනාපය. තරුණ වියට එළැඹෙන විටම ව්‍යවසායකයකු ලෙස තම ජීවිතය හැරවූ ඔහු සතුව අන් තරුණයන් සතු නොවූ යමක් තිබිය යුතුමැයි මට සිතිණි."මම ගම්පහ වැලිවේරියේ. ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙන් ඉගෙනගත්තේ. ඒලෙවල් කළේ ගණිතය. දැන් කැලණිය කැම්පස් එකේ භෞතික විද්‍යා අංශයේ තුන්වැනි වසර සිසුවෙක් විදියට ඉගෙන ගන්නවා. ගණිතය පැත්තෙන් ඉහළට යන්න නෙවෙයි මගේ හීනේ තිබුණේ. මට පොඩි කාලේ ඉඳන් තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න හීනයක්."

ඔහු එකදිගට කතාවක් කියයි. මට ඔහුගෙන් ඇසීමට අවශ්‍ය ඔහුගේ ව්‍යාපාරය ගැනය. එය ඔහුට දැනුණා විය යුතුයි.

"කොරෝනා වසංගතය ගැන ජනවාරි මාසේ දැනගනිද්දි මගේ හිතට ආවේ මේකට මොනවා හරි කරන්න ඕන කියලා. මම විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ බොහොමයක් ඒ වෙද්දිත් කරලා තිබුණේ. කැම්පස් එකේ භෞතික විද්‍යාව ඉගෙනගන්න අතරේ කැලණිය පොල්හේන විෂ වෙද රෝහලේ පාරම්පරික වෙදකම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න අතරේ තමයි මම පොඩි පොඩි පර්යේෂණ කරන්න ගත්තේ. දියවැඩියාව වගේ රෝගවලට ප්‍රතිකාර ක්‍රම හොයන්න ගත්තේ මම ඒකත් එක්ක."

ඔහු ආරම්භය ගන්නේ ඒ වෙද්දී ලංකාවේ බොහොමයක් දෙනා ආරම්භ කළ ව්‍යාපාරයකටය. විවිධ වර්ණයන්ගෙන්, විවිධ හැඩයෙන්, විවිධ ප්‍රමාණවලින් මැසූ මාස්ක් වෙළෙඳ පොළේ ඇති පදම් තිබියදී ඔහු එය පවතිනවාට වඩා යම් අගයක් එකතු කර වෙළෙඳපොළට ඉදිරිපත් කරයි.

"ඒ කාලේ මාස්ක් මිල එකපාරට වැඩිවුණා. මාස්ක් එකක් හොයාගන්න තැනක් නැතිවුණා. ඒ වගේම ප්‍රමිතියෙන් බාල මාස්ක් හැමතැනම තිබුණා. ඒකෙන් මිනිසුන්ට යහපතක් වෙන්නේ නැති බව මට තේරුණා. ඒ නිසාමයි මම හිතුවේ හර්බල් මාස්ක් එකක් නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා.

සර්ජිකල් මාස්ක් එකකින් වෛරස් බැක්ටීරියා එන එක නවතින්න එපැයි. ඒක කරන මෙතඩ් එක මම හෙව්වා. බොහෝ දේවල් කියෙව්වා. අපි ඉස්සර වදකහ,⁣ පෙරුම්කායම්, කරාබුනැටි, දෙහි, කහ වතුර එක්ක විෂබීජහරණයට බොහෝ දේ කළ බව මට මතක්වුණා. මම ඒ ගැන හොයලා කියෙව්වා, ටෙස්ටින් කළා. ඒ සේරම එකතුකරලා හර්බල් ලේයර් එකක් ඩිවෙලොප් කළා. කිහිපවතාවක් මේ වැඩේ අසාර්ථක වුණා. වික්‍රමාරච්චි ලැබ් එකට සාම්පල් දීලා පරීක්ෂා කළා. හත් අට වතාවක්ම වැඩේ ෆේල් වුණා. ඒත් මම වැඩේ අතෑරියේ නැහැ. කොහොමහරි කරනවමයි කියන දේ ඇතුළේ මම හිටියා. ඒක සාර්ථක වුණා."

"ආයු හර්බල්ස් ඇන්ඩ් ෆාමසියුටිකල්ස් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිෂ්පාදනයක් විදියට තමයි මම කරගෙන යන්නේ. ⁣මේක රෙදි මාස්ක් එකක්. ලේයර්ස් 02ක බෙහෙත් පොඟවපු ලේයර්ස් 04කින් යුතු මාස්ක් එකක්. බෙහෙත් පොඟවලා තිබුණට ඒවා වේළලා තියෙන්නේ. තෙත් බවක් නැහැ. මේ වෙද්දි මේ මාස්ක් ලොව වටා බෙදා හරිනවා. දැනට යුරෝපා රටවල්, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල්වලින් හොඳ ඉල්ලූමකුත් තියෙනවා." ලංකාවේදී වුණත් බොහොම සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන්.

ඔහුගේ ආයතනය තුළ විවිධ ⁣ඖෂධීය කෝපි සහ තේ වර්ග නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත්තේ මාස්ක් නිෂ්පාදනයට පෙරය.

"දැනට අවුරුදු එකහමාරකට දෙකකට කලිනුයි මේක පටන් ගත්තේ. මුලින්ම ගොරක චූර්ණය හැදුවා. ඉන්පස්සේ පස්පංගුව තේ බෑග් හැදුවා. ඒ දේවල් සාර්ථක වුණා. ඉන්පස්සේ මම දිගින් දිගටම පර්යේෂණ කරලා තවත් ඖෂධීය පාන වර්ග හොයාගත්තා. වැඩිපුරම තේ සහ කෝපි වර්ග තමයි නිෂ්පාදනය කරන්නේ.

ඒ සියල්ලක්ම ශාකසාරමය පාන වර්ග. ගොටුකොළ කෝපි, ලුණුවිල, ඉඟිනි, මුරුංගා වගේ කෝපි වර්ග හදනවා. දියවැඩියාවට, ශරීර ස්ථුලතාව පාලනය කරන්න විවිධ ඖෂධීය පාන වර්ග නිෂ්පාදනය කරනවා."

ඔහුගේ සියලුම කාර්යයන් පසුපස සිටින්නේ අම්මා සහ තාත්තාය. එමෙන්ම විශ්වවිද්‍යාලයේ ඔහුගේ යහළුවන්ගෙන්ද ලැබෙන සහයෝගය ඔහු විශේෂයෙන් මතක් කළේය. බොහෝ රජයේ නිලධාරීන් ඔහුගේ ව්‍යාපාරය වෙනුවෙන් උදව් කරන බවත් ඔහු පැවසුවේය.

"මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. ඒත් මුදල් පස්සේ යන ගමනකුත් නෙවෙයි මේක. මේ මාස්ක් වැඩේ මෙතනින් නතරවෙන්නෙත් නෑ. මම මේකෙක් පස්සේ ස්වසන පද්ධතිවල රෝගවලට ප්‍රතිකාර විදියට මාස්ක් එකක් හදාගෙන යන ගමන් ඉන්නේ. ඇරෝමා තෙරපිවලින් මාස්ක් එකක් හදනවා මිනිස්සුන්ට හැමදාම පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඇරෝමා තෙරපි කියන්නේ විවිධ සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් මොළේ උත්තේජනය කර එයින් රෝග සුවපත් කරන එක. ඒවා අත්හදා බලලා ඒ අත්දැකීම්වලින් සමාජයට යමක් කිරීමයි මගේ අරමුණ. ඒ ආත්ම තෘප්තිය මට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ."

මෙවන් තරුණයන් වෙනුවෙන් අපේ පෑන වෙහෙසිය යුතු බව මගේ හැඟීමය. රටෙහි අනාගතය පිළිබඳ අපිට තවත් බලාපොරොත්තු තියාගැනීමට හැකි බවට ඔවුන් ලබාදෙන උත්තේජනයට ජාතියක් ලෙස අපි ඔවුන්ට කෘතඥපූර්ව විය යුතුය.

 

[email protected]

 

Comments