
අපේ රටේ කොරෝනා දෙවැනි රැල්ලක් නොමැති බවත් කොරෝනා රෝගය පිළිබඳව තත්ත්වය ගෝලීය වසංගතයක් බවත් ඒ අනුව එය මඟින් මේ අවස්ථාවේ දේශපාලන වාසි ලබා නොගත යුතු බව අප අපේ මේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදීය.
කොවිඩ් වසංගතය මුලින්ම ආපුවෙලාවේ ඒක පාලනය කරන්න පුළුවන් වුණා. කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය, අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකාය, රාජ්‍ය අංශය, සෞඛ්‍ය අංශ, යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය කැපවීමෙන් කටයුතු කළා. විශේෂයෙන්ම බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ කරපු කැපකිරීම මෙහිදී මතක් කරන්න ඕනේ.
මේ දවස්වල කොරෝනා වැලඳුන අය හමුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධව විශේෂඥයින් පැහැදිලි කරාවි. අපි සැමවිටම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරපු උදවිය. ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳවත් අපි දැඩි අවධානයෙන් ඉන්නේ. ඒ නිසා ඉදිරියේ දී ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි කටයුතු කරනවා.
මැතිවරණ කාලයක් නිසා දෙවැනි රැල්ලක් ඇවිත් කියලා ප්‍රචාරය කරන්න මැතිවරණ වේදිකාව භාවිතා කරමින් තිබෙනවා. ජනතාව බිය වැද්දීම අනවශ්‍ය බියක් ඇති නොකර කටයුතු කිරීම අපේ වගකීමක් යැයිද අගමැතිවරයා පැවසීය.
අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවේදි අගමැතිතුමා ද ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, ඇමැති බන්දුල ගුණවර්ධන, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ හා රජයේ සෞඛ්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය යන මහත්ම මහත්මීහු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.
සෞඛ්‍ය මාර්ගඋපදේශන ගැසට් නොකිරීම මැතිවරණයට බාධාවක් වෙන්න පුළුවන් කියලා මැතිවරණ කොමසාරිස්වරයා කියනවා?
ඇත්තටම ඒ ගැසට් එක නිකුත් කරන්න සූදානම් වෙමින් තිබෙනවා. මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ ගැසට් කරන්න සූදානම්. ඒ පිළිබඳව නීතිපති තුමාට ඉදිරිපත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසම මූලික උපදේශන ගැසට් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.
මැතිවරණ කොමිසම ඉල්ලීම් කරල තියෙන මැතිවරණයට අදාළ මාර්ගෝපදේශනවලට මූලිකත්වය දීලා ඒ ගැසට්පත්රය නිකුත් කිරීමෙන් පස්සේ අවශ්‍ය සෞඛ්‍ය උපදේශන සියල්ලක්ම ගැසට් කරන්න පියවර ගන්නවා. මැතිවරණ කොමිසම ලිඛිතව ඉල්ලා තිබෙන මාර්ගෝපදේශන නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ගැසට් කරන්න පියවර ගන්න කියලා ජනාධිපති ලේකම්වරයාත් දැනුම් දීලා තියෙනවා. ඒ නිසා ඒකට අපි මූලිකත්වය දීලා තියෙනවා.
යම් යම් පළාත් වසා දමන්න අවශ්‍ය වුණත් මහමැතිවරණය නිසා, ඒ ප්‍රදේශ වසා දමන්නේ නැතිව සිටිනවා කියලා චෝදනාවක් රජයට එල්ල වෙමින් තිබෙනවා?
එවැනි අවශ්‍යතාවයක් නැහැ. කන්දකාඩුවල රෝගීන් 533කින් 25ක් පමණයි සමාජයෙන් වාර්තා වුණේ.
රෝගීන් හැම දිස්ත්‍රික්කයකම පැතිරිලා කියලා කටකතාවක් යනවා. එවැනි තත්ත්වයක් නැහැ. විසි පස්දෙනෙක් විතරයි බාහිරින් හඳුනාගෙන තියෙන්නේ. ඒ අතරට කුණ්ඩසාලේ නිලධාරියාගේ පවුලේ උදවියත් අයත් වෙනවා.
මේ නිසා කිසිම ප්‍රදේශයක් වසා දමන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුගෙන් ස්පර්ශකයින් 20ක් කියලා ගණන් තියලා, ඒ සියලුදෙනාම නිරෝධනයට ගෙනයාම තමයි සිද්ධ වෙන්නේ. ඒ විදිහට නිරෝධායනයට යම් යම් පිරිස් ගෙනයාම නිසා මෙවැනි ප්‍රචාර සිදුවෙනවා ඇති.
නිරෝධායනය සඳහා ගෙන යනවා කියන්නේ ඔවුන් කොවිඩ් ආසාධිතයින් කියන එක නෙමෙයි. ඒ අයව කොවිඩ් ආසාදනය විය හැකියි කියලා අනුමාන කරලා නිරෝධායනය කරන එකයි සිද්ධ වෙන්නේ. සමහර අවස්ථාවල නිරෝධායනයේ සිටින අතරේ ඔවුන් ආසාධිතයින් බව තහවුරු වුණු අවස්ථා තිබෙනවා. කිසියම් තැනක පැතිරීමක් සිද්ධ වෙනවා නම් අපි ඒ පැතිරීම වළක්වා ගන්න තමයි ප්‍රදේශයක් ලොක් කරන්නේ. සමාජ මාධ්‍ය මඟින් තමයි බොහෝ වැරදි ප්‍රචාර සිද්ධ වෙන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම ප්‍රමාණවත් නැති බව කියනවා?
මේ වෙන කොට පී.සී.ආර්. පරීක්ෂණ එක් ලක්ෂ තිස්දාහක් සිදුකරලා තියෙනවා. මාර්තු මාසේ දිනක් ඇතුළත පරීක්ෂණ අසූ දෙකක් සිදුකළා. අප්‍රේල් මාසයේ දිනකට 682ක් සිදුකළා. මැයි මාසය වන විට දිනකදී පරීක්ෂණ 1393 කළා. ජුනි මාසයේ සාමාන්‍ය අගය පී.සී.ආර්. පරීක්ෂණ 1422 සිදුකළා.
ජූලි මාසය වන විට අපි දිනකට දැන් පී.සී.ආර්. පරීක්ෂණ 1466 ක් සිදුකරනවා. අපි පරීක්ෂණ කිරීමේ වේගය වැඩිකරලා තියෙන ආකාරය එයින් පේනවා. ඒ වගේම අපිට පළවෙනි පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂය කරන්න අපිට දින 95ක් ගත වුණා. දෙවෙනි පරීක්ෂණ ලක්ෂය කරන්න ගත වෙන්නේ දින 24යි.
ඒකෙනුත් පැහැදිලි වෙන්නේ අපේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ වේගය ඉහළ ගිහින් තියන බවයි.
රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ දවසකට පන්දාහක් කරන්න ඕනේ කියලා?
අපි කවදාවත් සංඛ්‍යාත්මක දේවල් ගැන විශ්වාසය තිබ්බේ නැහැ. මේ වෙනකොට අවශ්‍ය නම් පරීක්ෂණ හාරදහසක් සිදු කිරීමේ තත්ත්වයක් අපිට තිබෙනවා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පී.සී.ආර්. පරීක්ෂණ නැවැත්වීම ගැන මේ දිනවල කතා වෙනවා?
මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසුගිය කාලේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අවස්ථාවේ සෑහෙන උදව් කරපු ආයතනයක්. අපි කරන්නේ රටට වගකියන වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළේදී අපිට හැමෝවම සතුටු කරන්න ලැබෙන්නේ නැහැ.
කාලයක් රෝගීන් වාර්තා නොවන තත්ත්වයක් තිබුණා. ඒ අවස්ථාවේ යම් පුද්ගලයෙක් රෝගියෙක් කියන්න කලින් අපි දෙවරක් සිතා බලනවා. මේ සම්බන්ධයෙන් ඇති වූ යම් ප්‍රශ්නයක් හේතුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පරීක්ෂණ පැවැත්වීමෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියනවා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසුගිය කාලයේ පරීක්ෂණ 12000 ට වඩා කළා. අපි ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයට අපේ ස්තුතිය පළ කරනවා. සිංගප්පූරුව අපට වඩා හුඟක් පුංචි රටක්. ඒ රටේ 40000 කට කොරෝනා හැදුණා. ඒත් පසුගිය මාසේ එහේ ඡන්දයත් හොඳට කළා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමන්ගේ ජීවිතය ගැන අවදානමක් අරගෙන පසුගිය කාලයේ දිගින් දිගටම පරීක්ෂණ කරන්න දායකත්වයක් ලබා දුන්නා. අපි ඒක අගය කරනවා.
රෝගීන් නොවන පුද්ගලයෙක් රෝගියෙක් කියලා ප්‍රකාශ කරන එක ඇත්තටම පුද්ගලයකුට කරන හානියක්.
නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ සිටින අය සමාජගතවීමක් නේද පසුගිය දවස්වල සිද්ධ වෙලා තියෙන්නේ. මේ චෝදනාවත් එක්ක රෝහල්වල නිරෝධායන මධ්‍යස්ථානවල වැඩ කරන අය සම්බන්ධයෙන් ජනතාව තුළ බියක් ඇති වෙනවා?
නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුත්ත නිවැරැදිව සිදුවෙලා නැහැ කියලා ඔබතුමා කියනව නම් ඒ කතාව පිළිගන්න බැහැ. නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටත්වුණු පුද්ගලයින් අතරෙන් රෝගීන් වාර්තා වීමක් වෙලා නැහැ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තුළින් එළියට ගිය අය අතරින් යම් බෝවීමක් තමයි සිද්ධවෙලා තියෙන්නේ.
ප්‍රථම වතාවට කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් වාර්තා වුණේ. ඒකෙන් තමයි අපි දැනගන්නෙ මූලාශ්‍රය කන්දකාඩු බව. උපදේශන සඳහා පිටතින් පැමිණ ගෙවල්වලට යන අයත් ඒ අතර හිටියා. පළමු පුද්ගලයා වාර්තාවීමත් සමඟ අපි සියලු දෙනා නිරෝධායනයට අරන් පවුල්වල අයත් නිරෝධායනයට යොමු කළා. පසුව ඔවුන් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරලා ඒ අය අතර කොරෝනා වෛරස ආසාදිතයින් සිටිනවා ද කියලා තහවුරු කරගන්නවා. දින කීපයක් ඇතුළත අපි තත්ත්වය සම්පූර්ණයෙන් ම අපේ පාලනයට අරගෙන තියෙනවා.
පුනරුත්ථාපන කඳවුරේ එකවර මෙවැනි සිදුවීමක් වුණේ කොහොමද?
බොරැල්ල සහ කොළඹ ආසාදිතයන් හා සම්බන්ධ පිරිස් අපි නිරෝධායනය කළේ ස්ථාන දෙකක. කන්දකාඩු ගල්කන්ද සහ මුලතිව් කියන ස්ථානවල. ඒ අය නිරෝධායනයෙන් පස්සේ සමාජගත කරනවා ද හොඳ පුරවැසියන් බවට පත් කරන්න කටයුතු කරනවාද කියන තර්කය මතු වුණා. මත්ද්‍රව්‍යයට උපරිමයෙන් ඇබ්බැහිවූ අයයි එතන හිටියේ.
ඒ අනුව නැවත අධිකරණ තීන්දුවක් අරන් ඔවුන් මේ කඳවුරට යොමු කළා. බොහෝ දුරට මේ අය අතරින් පසුකාලීනව රෝග ලක්ෂණ මතුවීම තුළින් ම මේ මතුවීම සිදුවුණා වෙන්න පුළුවන්්.
බය වෙන්න එපා සියලු කොරෝනා තිබෙන ප්‍රදේශවල පාලනය අප අතට අරන් ඉන්නේ.
අලුත්ම තත්ත්වය කොහොමද?
බ්‍රහස්පතින්දා වනවිට වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2673 ක්. මේ අවස්ථාවේ රෝගීන් 650 ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. රෝගීන් සංඛ්‍යාව 150 ක් පමණ වන අවස්ථාවක තමයි අපි මේ තත්ත්වයට නැවත මුහුණ දුන්නේ.
කන්දකාඩු පොකුරේ රෝගීන් 553 ක් ඉන්නවා. ඒ කඳවුරේම ප්‍රතිකාර කිරීම් ආරම්භ කරලා තියෙනවා. ඔවුන් ඉතා හොඳ ශාරීරික මානසික තත්ත්වයකින් සිටින බව වෛද්‍යවරුන් දැනුම් දීලා තියෙනවා. ඒ කඳවුරට අලුතෙන් ම වෛද්‍යවරුන්, හෙදියන් සේවයට යොදවල තියෙනවා. කිසියම් ස්වසන අපහසුතාවයක් තියෙනව නම් වහාම වැලිකන්ද රෝහලට යොමු කරන්න අවශ්‍ය කටයුතු, ප්‍රවාහන පහසුකම් සලස්වලා තියෙන්නේ.
ඒ සමඟම විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා. පසුගිය දින කිහිපයේ කන්දකාඩු පොකුර ආශ්‍රිතවත් පී.සී.ආර්. පරීක්ෂණ හාරදාහක් කරලා තියෙනවා. අපි දෛනිකව නියැදි අරගෙන පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් තිබෙනවා. රජයේ සහ පෞද්ගලික අංශවල සමහර ආයතනවල සේවකයින් පන්සීයකට වඩා වැඩි පිරිසක් සිටින අවස්ථා තිබෙනවා.
දුරස්ථභාවය, ස්වසන පුරුදු පවත්වාගෙන යාම ආයතන ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් සිදුකරන්න කියලා අපි දැඩි ලෙස ඉල්ලා සිටිනවා.
සමාජ සම්ප්‍රේෂණයක් අද සිදු නොවුණත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්නයි මේ පියවර අනුගමනය කළ යුතු වෙන්නේ. එක් එක් ආයතනවල ඒ අංශ වෙන් වෙන් වශයෙන් කටයුතු කරනවා නම් වඩාත් සුදුසුයි.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස මොන වගේද?
මේක නිවාරණ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක්. අපි රෝගීන් කළමනාකරණය කරගන්න ඕනේ. දේශපාලන නායකත්ව, සෞඛ්‍ය ධාරිතාව කළමනාකරණය හා මහජනතා දායකත්වය කියන දේවල් වයිරසය පාලනය කිරීමට වැදගත් වෙනවා.
විශේෂයෙන් කියන්න ඕනේ මේ රෝගය සම්බන්ධයෙන් මිය ගිය අයගෙන් සියයට 96.2 ක් ම බෝ නොවන රෝග වැලඳී සිටි අය. ඒ කියන්නේ බෝ නොවන රෝග තමයි බෝ වන රෝගවලට පසුබිම් වෙන්නේ.
මෙවැනි අවස්ථාවක දේශපාලනයට වඩා ජනතාවට සංවේදීව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ජනතාව බියවෙන ආකාරයට කැලඹීම් ඇතිවන ආකාරයට කටයුතු කරන්න සුදුසු තත්ත්වයක් නෙවෙයි මේක.
වෛරස තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් ගෙන්වලා දැනුම්වත් කිරීමක් කරන්න බැරිද?
මේ අවස්ථාවේ මැතිවරණයක් තියෙනවා. ඒ නිසා ඒ අය ආරාධනා කරත් එන්නේ නැහැ. අපි ඉල්ලා සිටිමු කොවිඩ් වෛරසය මැතිවරණ වේදිකාවේ දේශපාලන මාතෘකාවක් කරගන්න එපා කියලා.
මහත් අභියෝග මැද මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ඔබ ඉල්ලා සිටිනවා.
මේ පාර අපි බලාපොරොත්තු වෙන්නේ තුනෙන් දෙකක බලයක් තමයි.