කොරෝ­නා­වෙන් පසු අපේ තේ දල්ලට අමිල වටි­නා­ක­මක් | සිළුමිණ

කොරෝ­නා­වෙන් පසු අපේ තේ දල්ලට අමිල වටි­නා­ක­මක්

කොවිඩ් 19 නව කොරෝනා වයි­ර­සය මේ වන විට ලොව ආර්ථි­ක­යට එල්ල කර ඇත්තේ මරු පහ­රකි. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ඇම­රි­කාව, චීනය, ප්‍රංශය, ඉන්දි­යාව වැනි ලොව බල­ගතු රට­වල් රැසක ආර්ථික කට­යුතු මේ වන විටත් බිම­ටම සම­තලා වී ගොස් තිබේ.

මේ කොරෝනා වයි­ර­සයේ ව්‍යාප්තිය යම් තර­ම­කට හෝ පාල­නය කර ගැනී­මට පසු­ගිය කාලය තුළ අප රටට හැකි­යාව ලැබී තිබු­ණද කොරෝනා වසං­ග­ත­යත් සමඟ මෙරට ආර්ථි­ක­යට වූ බල­පෑම නම් සුළු පටු එකක් නොවේ. වයි­ර­සයේ ව්‍යාප්තිය පාල­නය කර ගැනීමේ අර­මු­ණින් රට­පුරා ඇදිරි නීතිය ක්‍රියා­ත්මක කිරී­මට ද සිදු වුණු අතර රටේ ආර්ථි­කයේ වර්ධ­න­යට දාය­ක­ත්වය දුන් ක්ෂේත්‍ර රැසක නිෂ්පා­දන හා සේවා කට­යුතු සම්පූ­ර්ණ­යෙන්ම පාහේ බිද වැටුණි.

"හැම කළු වලා­ව­කම රිදී රේඛා­වක් සැඟවී තිබේ" යැයි පැරණි කිය­ම­නක් තිබේ. ඇතැම් විට පැරැන්නෝ එලෙස කියා ඇත්තේ නික­ම­ට­වත්, ඔවුන්ගේ කට කහ­න­ව­ට­වත් නොවේ. කොවිඩ් 19 නව කොරෝනා වයි­ර­සයේ ව්‍යාප්තිය මෙරට තුළ ආරම්භ වූ කාල සීමාව තුළදී පවා අප රටේ වැවිලි ක්ෂේත්‍රය සක්‍රීය ලෙසම මෙරට ආර්ථි­කය ඇද වැටෙ­න්නට ඉඩ නොදී එකී ජාතික ආර්ථි­ක­යට ජීවය හා ජවය ලබා දුන් අතර කොරෝනා අව­දා­නම ගැන නොත­ක­මින් 140,000ක් පමණ වූ වතු­ක­ම්ක­රු­වන් හා දස­ද­හ­ස­කට ආසන්න මෙරට සමස්ත වතු ක්ෂේත්‍රය නියෝ­ජ­නය කරන කාර්ය මණ්ඩ­ලය ඇඳිරි නීතිය ක්‍රියා­ත්මක වූ කාල සීමාව තුළදී පවා අඛ­ණ්ඩව සිය රාජ­කාරී හා සේවා කට­යුතු වල නිරත වූහ. විශේ­ෂ­යෙන්ම දැනට අප රටේ ක්‍රියා­ත්මක වන ලොකු, කුඩා තේ නිෂ්පා­දන කර්මාන්ත ශාලා 600 ක නිෂ්පා­දන කට­යුතු කොරෝනා ව්‍යාප්තිය මැද ඇදිරි නීතිය ක්‍රියා­ත්මක වූ මාස කීපය පුරාම ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදී.

මෙහිදී විශේ­ෂ­යෙන්ම සඳ­හන් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යාපා­රික වැවිලි අතු­රින් මුල් ස්ථානය හිමි කර ගෙන ඇති තේ කර්මා­න්තය තුළ කට­යුතු කරන වැවිලි කරු­ව­න්ගෙන් මෙන්ම එම ක්ෂේත්‍රය ආශ්‍රිත වතු කම්කරු ප්‍රජා­ව­ගෙන් එකී කාලය තුළ ඉටු වුණු මාහැගි සේවා­වයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනි­මය උප­යන එක් මාර්ග­යක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකි­යා­වල සේව­ක­යන් විශාල පිරි­සක් නිර­තව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සප­යන ප්‍රධාන මාර්ග­යක්ද වේ. තේ,රබර්, පොල් හා කටු­පොල් වගා­කර ඇති මහා පරි­මාණ වතු 428 ක් රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය ඇතු­ළුව මෙරට තුළ ක්‍රියා­ත්මක වැවිලි සමා­ගම් 27 ක් යටතේ පාල­නය වන අතර එම මහා පරි­මාණ වතු වල දැන­ටද වැඩි වශ­යෙන් වගා කර ඇත්තේද තේ වගා­වයි.

ගත වූ වසරේ මහ­බැංකු වාර්තා­වට අනුව මෙරට වගා­කොට ඇති මුළු තේ වගා­බිම් ප්‍රමා­ණය හෙක්ට­යාර් 200,000 ක් වන අතර තේ දලු කැඩීම සිදු­ක­රනු ලබන බිම් ප්‍රමා­ණය හෙක්ට­යාර් 193,000 කි. 2019 වසර තුළ පම­ණක් නිෂ්පා­ද­නය කර ඇති තේ ප්‍රමා­ණය කිලෝ ග්‍රෑම් මිලි­යන 300.1 ක් වේ. මීට වසර 153කට පෙර අතී­ත­යේදී රටේ ප්‍රධාන ආර්ථික භෝගය වූ කෝපි වගාව කොළ අංග­මා­රය රෝග­යට ගොදුරු වුණු අතර එතැන් සිට වාණිජ බෝග­යක් ලෙස තේ වගා කිරීම 1867 වර්ෂ­යේදී ආරම්භ කරන ලදී.

ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් පළමු වාණිජ තේ වගාව සහ තේ නිෂ්පා­ද­නය හේවා­හැට ලූල්ක­ඳුර වතු­යායේ දී ආරම්භ කිරී­මට කට­යුතු යෙදූ අතර ඔහු විසින් ලාංකීය කෘෂි­ක­ර්මා­න්තය සඳහා දායක වූවා පම­ණක් නොව තේ කර්මා­න්තයේ සැප­යුම් දාම පහ­සු­කම් ලබා දීම උදෙසා ශ්‍රී ලංකාවේ යටි­තල පහ­සු­කම් නිර්මා­ණය කිරී­මට ද පුරෝ­ගාමී වූ බව සඳහන් කිරීම වටී.

ශත වර්ෂ­ය­ක­ටත් අධික කාල­යක් මුළුල්ලේ සිට තේ කර්මා­න්තය මගින් රටේ ආර්ථි­කයේ තිර­සර පැවැත්ම සඳහා අඛණ්ඩ දාය­ක­ත්ව­යක් ලබා දෙමින් පවතී. මෑත වස­ර­වල දී ආදා­යම් උප­යන මාර්ග එකක් හෝ දෙකක් ඉස්මතු වුවද ඇම­රි­කානු ඩොලර් බිලි­යන 1.5 ඉක්මවා යමින් රට වෙනු­වෙන් වැඩිම විදේශ විනි­මය ඉපැ­යීම් ක්‍රියා­ව­ලියේ දී තේ කර්මා­න්ත­යට හිමි­වන්නේ සුවි­ශේෂී ස්ථාන­යකි. රටේ ජන­ග­හ­න­යෙන් ආසන්න වශ­යෙන් 20‍%ක් සෘජු හා වක්‍ර ආකා­ර­යෙන් තේ කර්මා­න්තයේ නියැළී සිටින අතර, එය ගබඩා පහ­සු­කම් සැප­යීම, ප්‍රවා­හන, මුද්‍රණ, ඇසු­රුම් ආදී උප­යෝගී කර්මාන්ත ගණ­නා­වක් දක්වා විසිරී පව­තියි. මීට අම­තර ව තේ මෙරට සමස්ත විදේශ විනි­මය ඉපැ­යී­ම්ව­ලින් 15‍%ක දාය­ක­ත්ව­යක් සහ කෘෂි­කා­ර්මික අප­න­යන ආදා­ය­මෙන් 65‍%ක් උත්පා­ද­නය සිදු කරන බවද සඳ­හන් කර සිටිය යුතුය.

කෙසේ වුවත් කොරෝනා වසං­ග­තය පැති­රෙ­න්නට පෙර­ගත වූ වර්ෂ කීපය අපේ තේ වගා­වට එත­රම් හොඳ කලක් උදා කර දී තිබුණේ නැත. කොරෝ­නා­වට පෙර මෙරට අමු තේ දලු කිලෝ­වක් පැව­තියේ රුපි­යල් 80ක් 85 වැනි මුද­ල­කට වන අතර එම මිල ගණන් අපේ තේ නිෂ්පා­ද­ක­යන්ගේ උද්යෝ­ග­යට කිසි ලෙස­කින් වත් හේතු වූයේද නැත. කෙසේ වුවත් කොරෝ­නා­වත් සමඟ මෙරට තේ කර්මා­න්ත­යට සුබ­දායී වාතා­ව­ර­ණ­යක් උදා කර ඇති අතර ඒ නිසාම අන්ත­ර්ජා­ලය හරහා සංවි­ධා­නය වුණු තේ වෙන්දේ­සිය තුළදී මෙරට නිමි තේ කිලෝ­වක් සඳහා ඉහ­ළම මිලක්ද හිමි වුණි. එම මිල ගණන් නිසා තේ දලු කිලෝව රුපි­යල් 120, 130 දක්වා ඉහළ යන ලදී. කොරෝනා වසං­ග­තයේ බල­පෑම නිසා මෙම තේ වෙන්දේ­සිය අන්ත­ර්ජා­ලය හරහා පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබී­මද ඉතාම සුවි­ශේෂ කාර­ණා­වක් වේ.

කොරෝනා පැති­රීම වර්ධ­නය වීමත් සමඟ තේ කර්මා­න්ත­යට නමක් දිනා ගෙන සිටි අපේ අස­ල්වැසි ඉන්දි­යාව සම්පූ­ර්ණ­යෙන්ම වසා දැමී­මත්, තවත් රස­වත් තේ නිෂ්පා­ද­ක­යකු වන කෙන්යාව වැනි රට­වල තේ නිෂ්පා­ද­නය ශීඝ්‍ර­යෙන් පහත වැටී­මත් සමඟ වයි­රස වලට එරෙ­හිව සටන් කරන ශක්ති­මත් ශාරී­රික ප්‍රති­ශ­ක්ති­යක් ඇති කරන ඉහ­ළම ප්‍රමි­ති­යෙන් හා ගුණ­යෙන් යුත් ලොව පින­වන ශ්‍රී ලාංකික තේ සඳහා සමස්ත ලෝක ප්‍රජා­ව­ගෙන්ම ඉහ­ළම ඉල්ලු­මක් ඇති වීමට හේතු සාධක වුණු බව ආර්ථික විචා­ර­ක­යන්ගේ මත­යයි. මේ ඉහළ ඉල්ලුම නිසා ශ්‍රී ලාංකික තේ අප­න­යන සමා­ගම් හා තේ කම්හල් වෙත කල­කට පසු කරළ පැහුණු ඉතා සුබ කාල­යක් උදා වන ලදී.

ඇත්ත වශ­යෙන්ම මේ වන විට අපේ රටේ තේ නිෂ්පා­දන සඳහා ජාත්‍ය­න්ත­ර­යෙන් හොඳ මිලක් මෙන්ම හොඳ තක්සේ­රු­වක්ද ලැබී ඇති බව පැහැ­දි­ලිය. එහෙ­යින් අභි­යෝග, දුෂ්ක­රතා පර­ද­මින් හිමි වූ මේ කිරුළ රැක ගැනී­මට තේ කර්මා­න්තය තුළ කට­යුතු කරන සිය­ලුම පාර්ශ්ව වග­කී­ම­කින් යුතුව කට­යුතු කළ යුතු කාලය දැන් උදා වී තිබේ. නොප­මාව පැහැ­දිලි වැඩ­පි­ළි­ව­ලක් මෙන්ම එම වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් ලෙස ඉදි­රි­යට ගමන් කර­විය හැකි ප්‍රබල යාන්ත්‍ර­ණ­යක්ද වහ වහා ගොඩ­නගා ගත යුතුය. අවා­ස­නා­ව­කට හෝ ඒ කියන වැඩ­පි­ළි­වෙළ හා යාන්ත්‍ර­ණය ගොඩ­නගා ගැනී­මට අප රටට නොහැකි වුව­හොත් හෝ එය තව­දු­ර­ටත් පමා වුව­හොත් මෙරට තේ නිෂ්පා­දන සඳහා ජාත්‍ය­න්ත­ර­යෙන් ලැබුණු හොඳ මිල මෙන්ම තක්සේ­රු­වද අභි­යෝ­ග­යට ලක්ව ශ්‍රී ලංකාවේ තේ කර්මා­න්තය අභි­යෝ­ගා­ත්මක, අති දුෂ්කර සම­යක් වෙත ගමන් කර­වනු නිසැ­කය. එහෙ­යින් එය එසේ නොව­න්නට වග බලා ගැනීම තේ වගා කරු­වන්ගේ, කර්මාන්ත ශාලා හිමි­යන්ගේ, වතු කම්කරු ජන­තා­වගේ මෙන්ම දේශ­පා­ලන අධි­කා­රිය ඇතුළු තේ හා සම්බ­න්ධව කට­යුතු කරන සිය­ලුම පාර්ශ්ව­වල වග­කීම වන බව සට­හන් කර සිටිමු.

Comments