
මරුවා පැමිණෙන්නට තැනක් වේලාවක් නැත. එසේ වුවද බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙන ඇතැම් මරණ වළක්වා ගත හැකි ඒවා වීම ඛේදවාදකයකි. පසුගිය 12 වැනි ඉරිදා වේයන්ගොඩ මල්ලැහැව මාර්ගයේ කොට්ටල ප්‍රදේශයේදී සිදුවූයේ ද එවැනි සිදුවීමකි. අනතුර හේතුවෙන් රිය පැදවූ දෙදරු මව සහ ඇයගේ කුඩා දරු දෙදෙනා මරු තුරුලට ගිය අතර රියේ ගමන් ගනිමින් සිටි අඹු සැමි යුවළක් ද තුවාල ලැබූහ. ත්‍රිරෝද රථය පැදවූ කාන්තාවට රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීම නිසා එම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
පසුගිය වසරේ ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා දිවයින පුරා සිදුව ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 30443ක් වන අතර එයින් 2645ක් මාරක අනතුරුය. එම මාරක රිය අනතුරු හේතුවෙන් 2839 දෙනකුට අකාලයේ ජීවිත අහිමි විය. අවාසනාවකට මෙන් පසුගිය වසරේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යතුරු පැදි අනතුරු හේතුවෙනි. එම අනතුරු සංඛ්‍යාව 8895ක් වන අතර රිය අනතුරුවලට හේතු වන දෙවැනි වාහනය වන්නේ ත්‍රිරෝද රථය. පසුගිය වසරේ පමණක් ත්‍රිරෝද රථ අනතුරු 5256ක් සිදුව තිබේ. ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ දත්ත වාර්තා අනුව වේගයෙන් රිය ධාවනය නිසා සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 259ක් මරු තුරුලට ගොස් ඇති අතර ඉස්සර කිරීම හේතුවෙන් සිදු වූ අනතුරු නිසා 250 දෙනකු මියගොස් තිබේ.
වේයන්ගොඩ දී පසුගිය දා සිදුවූ මාරක රිය අනතුර ද එවැනි අවාසනාවන්ත අනතුරකි. ඊට හේතුව අධික වේගය මෙම අනතුර සඳහා ප්‍රධාන හේතුවක් වී තිබීමය.
කිරිඳිවැල පාර, වේයන්ගොඩ ප්‍රදේශයේ තාවකාලික නිවසක පදිංචි වී සිටි හතළිස් හැවිරිදි සමුධිකා කුමාරි සිරිවර්ධන හක්මන නරාවල්පිටිය උතුර මිල්අඹහේන ප්‍රදේශයේ පදිංචිකාරියකි. දෙදරු මවක වන ඇයගේ වැඩිමහල් දරුවා තිනෙත් රවිෂාන්, යක්කල චන්ද්‍ර ජෝති විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. බාල දරුවා උදාන් රශ්මික වයස අවුරුදු එකහමාරක සිඟිත්තෙකි. සමුධිකා සිය දෙදරුවන් සමඟ ඉකුත් 12 වැනි දින කුරුණෑගල ප්‍ර දේශයේ පිහිටි ඥාති නිවසකට යෑමට පිටත්ව ඇත්තේ ඇයගේ සමීප මිතුරියක සහ ඇයගේ සැමියා ද සමඟය. ගමන සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ සමුධිකාට අයත් ත්‍රිරෝද රථයයි. සමුධිකා විසින් පැදවූ ත්‍රිරෝද රියේ පසුපස අසුනේ ඇයගේ දරු දෙදෙනා සහ මිතුරු යුවළ වූහ. ඒ වන විට වේලාව සවස 3.15 පමණ වන්නට ඇත. සතුටු කතාබහ අතරේ පැමිණි ඒ ගමන ඛේදවාචකයකින් අවසන් වනු ඇතැයි ඔවුහු කිසිවකු නොසිතන්නට ඇත. එහෙත් කොට්ටල ප්‍රදේශයේ කුඹුරක් මැදින් වූ මාර්ගයේ ගමන් කරමින් සිටි ත්‍රිරෝද රිය එකවරම මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුව හා ඇල කණුව මැදින් කුඹුරට පෙරලීමත් සමඟ ඔවුන්ගේ ජීවිත ඉරණම අවාසනාවන්ත ලෙස නිමාවට පත්විය. පෙරලුණු රථය කැබලිවලට කැඩී සුනුවිසුනු වී යන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණේ ඉතා අනුවේදනීය අයුරිනි.
අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ සමුධිකා, ඇගේ දරු දෙදෙනා සහ මිතුරු යුවළ කඩිනමින් වතුපිටිවල රෝහලට ඇතුළත් කළද සමුධිකා සහ ඇගේ දරුවන් දෙදෙනා සිය ජීවිත හැර ගියහ. සුළු තුවාල ලැබූ සමුධිකාගේ මිතුරියගේ සැමියා දිවි රැකගැනීමට තරම් වාසනාවන්ත වුවද බරපතළ තුවාල ලැබූ සමුධිකාගේ මිතුරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පිටත් කර යැවීමට සිදුවිය.
අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිදුවූ තවත් ඛේදවාචකයක් පසුගිය 10 වැනිදා උදෑසන වැල්ලවායෙන් වාර්තා විය. වේගයෙන් පැමිණි ත්‍රිරෝද රියක් ලොරි රථයක ගැටීමෙන් වැල්ලවාය මොණරාගල මාර්ගයේ වරුණගම යුද හමුදා කඳවුර ඉදිරිපිටදී සිදුවූ මාරක රිය අනතුරෙන් ද තිදෙනකු ජීවිතක්ෂයට පත්විය. එසේ අවාසනාවන්ත ලෙස මරු වැලඳ ගත්තේ ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කරමින් සිටි ප්‍රියන්ත ලාල්, තුෂාර රුවන් ප්‍රියදර්ශන සහ මාලනී ද සිල්වා යන අයය.
ඔවුන්ගේ මරණ පරීක්ෂණය වැල්ලවාය මූලික රෝහලේදී පැවති අතර එහිදී සාක්ෂි දෙමින් ලොරි රථයේ සහායක තරිඳු හෂාන් ඒ අනතුර සිහිපත් කළේ මෙලෙසිනි.
“අපි ඔක්කොම එක ගමේ එකට ඉන්න යාළුවො. ලොරියෙන් කොළඹට ගඩොල් අරගෙන ගිය අපි එන ගමන් ෂීට් අරගෙන බණ්ඩාරවෙල ගියා. අපි කෑම්ප් එක ළඟට එද්දි උදේ නවයහමාරට විතර ඇති. වරුණගම යුද හමුදා කඳවුර කිට්ටුවදී වීල් එක අපේ ලොරියට වෙට්ටුවක් දැම්මා. එතකොට ලොරියට මීටර් 10ක් විතර දුරක් තිබුණේ. අපි තිරිංග තද කළත් වේගයෙන් ආව වීල් එක ඇලවෙලා පිටිපස්ස අපේ ලොරියෙ වැදුණා. වීල් එක පෙරළිලා ගිහින් කෑම්ප් එක පැත්තට විසිවුණා. අපි ඉක්මනට බැහැලා ගිහින් වීල් එක කෙලින් කළා.
අවසානයේදී ගිලන් රථයකින් තුවාලකරුවන් රෝහලට ඇතුළත් කළද අවාසනාවකට මෙන් ඔවුන්ට ජීවත් වීමේ වාසනාව නොතිබිණ. අනතුරින් මියගිය ප්‍රියන්ත ලාල් ද සිල්වා සිවු වසරක් වයසැති පුතකුගේ පියකු වන අතර ඔහු රැකියාව ලෙස ගඩොල් කැපීමේ නිරතව සිටි අයෙකි. එම අවාසනාවන්ත සිදුවීම ගැන ඔහුගේ බිරිය රසිකා ප්‍රියදර්ශනී සිහි කළේ හැඬුම්බරවය.
“අපි විවාහ වෙලා අවුරුදු 20ක් විතර වෙනවා. අපි අලුතින් කඩයක් දැම්මේ ඔය අනතුර සිදුවූ දිනට කලින් දවසේ. ඒකට කෑම හදන්න එළවළු ටිකක් ගේන්න තමයි මහත්තයා වැල්ලවාය සති පොලට ගියේ. මට කඩේට වෙලා ඉන්න කියලා තමයි මහත්තයා ගියේ. ටික වෙලාවකින් කඩේට ආව කෙනෙක් කිව්වා පාරේ ගිය වීල් එකකුයි ලොරියකුයි හැප්පිලා කියලා. මම ඒ වෙලේ අම්මටත් ගිහින් ඒ ගැන කියලා අනේ පව් ඒ අය කියලා දුක් වුණා. ඊට ටික වෙලාවකට පස්සේ කඩේට ආව කෙනෙක් කිව්වා ඒ හැප්පිලා තියෙන්නෙ අපේ අය කියලා. මට ඒක අදහගන්නත් බැරිවුණා. අපි ඉක්මනටම එතනට ගියත් ඒ වෙද්දි එයාලව ඉස්පිරිතාලෙට ගෙනියලා. මම ගිහින් බලද්දිත් මහත්තයා අපිව දාලා ගිහින්. මමයි දරුවයි දැන් මේ ලෝකේ තනිවුණා.”
ප්‍රියන්තගේ පියා කලකට පෙර වල්අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී ඇති අතර ප්‍රියන්තගේ වැඩිමහල් සහෝදරයා ද මීට වසර තුනකට පමණ පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත. එතැන් සිට මව ද රැකබලා ගනිමින් සිය බිරියත් දරුවාත් සමඟ ජීවත් වූ ප්‍රියන්ත සිය උත්සාහයෙන් ජීවත් වූ අයෙකි. එහෙත් අද ඒ සතුටු කතාවට දුක්බර ඉරණමක් එකතු වී ඇත. ඒ ගැන ප්‍රියන්තගේ මව පී.කේ.එම්.ඥානවතී ද පැවසුවේ කඳුළු සලමිනි.
“පුතා තමයි අපිව බලාගත්තෙ. එදා උදේ පුතා මටත් කියලා තමයි ගෙදරින් ගියේ. හිච්චි නැන්දා එක්ක තුෂාර පුතත් ඒ ගමනට එකතු වුණා. උදේ ඉඳලා පුතාගේ කඩේ ගාව හිටිය චාමර පුතාගේ වීල් එකෙන් තමයි එයාලා පොලට ගියේ. කලින් ලොකු පුතා නැතිවුණ මට දැන් මගෙ සුදු පුතත් නැතිවුණා.”
ප්‍රියන්ත සමඟ පොලට යමින් සිටියදී මරු තුරුලට ගිය ඔහුගේ ඥාතිවරියක(හිච්චි නැන්දා) වන මාලනී ද සිල්වා(72) ගේ පුතකු වන ආර්.පී. අනිල් කුමාර(41) සිය මවට අත්වූ අවාසනාවන්ත ඉරණම සිහි කළේ දැඩි සංවේගයෙනි. “අම්මා එදා හිටියෙ ප්‍රියන්තලාගේ ගෙදර. මම එදා ගඩොල් ඕඩරයක් අරගෙන ඇල්ලෙ ඇවිත් ඉන්නකොට තමයි අම්මා ගිය වීල් එක අනතුරට ලක්වුණා කියලා කෝල් එක ආවේ. ඉස්පිරිතාලෙට ගේද්දිත් අම්මා නැතිවෙලා. ”
අධික වේගය, නොසැලකිලිමත් රිය ධාවනය වටිනා ජීවිත කිහිපයක් එසේ බිලිගනිද්දී එවැනි පුවත් අසා සංවේගයට පත්වී එය අමතක කර දමනවාට වඩා රියැදුරකු ලෙස රිය සුක්කානම හසුරුවන සෑම අයකුම ඒ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව සිහි කළ යුතුමය.